වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




පේ‍්‍රක්ෂකයන් රජකතාවලට අකැමැති නැහැ

පේ‍්‍රක්ෂකයන් රජකතාවලට අකැමැති නැහැ

‘මහරජ අජාසත්’ හැදූ සුනිල් ටී. ප්‍රනාන්දු කියයි

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මුල්ම චිත්‍රපටය වූ ‘චණ්ඩි පැටව්’ තිරගත වූයේ අදින් වසර තිස් දෙකකට පෙරාතුවය. මේ වන විට ඔහු නිෂ්පාදනය කර ඇති චිත්‍රපට සංඛ්‍යාව හැටකි. එය ලාංකේය නිෂ්පාදකවරයකු විසින් නිෂ්පාදනය කළ වැඩිම චිත්‍රපට සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් වේ.

ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයන්ට අද සිනමාව වහකදුරු මෙනි. ඒ තරමටම ඔවුන්ට සිනමාව එපා වී ගොසිනි. එසේ වී ඇත්තේ සිය ව්‍යාපාරික අරමුණු ඉටු නොවීමත්, අධ්‍යක්ෂවරුන් මවා පෙන් වූ සුරංගනා ලෝකය සිනමාවේ නොමැති නිසාත්ය.

එවන් වටපිටාවක චිත්‍රපට හැටකට තම අර්ථපති දායකත්වය පුද කළ සුනිල් ටී. වැනි නිෂ්පාදකයකු අපේ සිනමා කර්මාන්තයට සම්පතකි. ඒ ඔහු ව්‍යපාරිකයකුට වඩා සැබෑ සිනමා ප්‍රේමියකු නිසාය. සිනමාව ඔහුගේ ජීවිතයයි. විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් තවමත් ඔහු සිනමාවේ රැඳී සිටින්නේ එහෙයිනි.

දැන් තිරගත වන ‘මහ රජ අජාසත්’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ද සුනිල් ටී ය. එහි අධ්‍යක්ෂවරයා වූ සනත් අබේසේකර සමඟින් ඔහු ඊට පෙර ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කළේය.

මේ ‘මහ රජ අජාසත්’ චිත්‍රපටය ප්‍රමුඛ කොට ගනිමින් සුනිල් ටී. සමඟ කළ සංවාදයකි.

ප්‍රථම වරට සිංහල සිනමාවේ පිටපත් 70 ක් සමඟ ඔබේ නවතම නිෂ්පාදනය ‘මහරජ අජාසත්’ ප්‍රදර්ශනය ආරම්භ කළා. මෙය ඔබට සුවිශේෂී අත්දැකීමක් වගේම අපේ සිනමාවේත් එක්තරා අන්දමක පෙරළියක්. ඒ පිළිබඳ මුලින්ම කතා කළොත්?

ඇත්තෙන්ම පිටපත් 70 ක් අප මුදා හැරියේ මෙය අති විශාල මුදලක් වැය කර නිෂ්පාදනය කළ චිත්‍රපටයක් නිසාත්, මුළු ලංකාවේම ඉන්න ප්‍රේක්ෂකයන්ට එකවර නැරඹීමට අවස්ථාව ලබා දීමට අවශ්‍ය නිසාත් තමයි. විශේෂයෙන්ම ඈත ගම් දනව්වල වෙසෙන ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය පලුදු වෙන්න කලින් නරඹන්නට අවස්ථාව මේ මඟින් උදා වෙනවා. මොකද චිත්‍රපටය දෙවන වටයේ ප්‍රදර්ශනයක් සිදු කෙරෙන්නේ නෑ. ඒ වගේම ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් යොදවන නිසා එය ලංකාවම ආවරණය වෙන විදිහට ප්‍රදර්ශනය කිරීම අපටත් එක්තරා වාසියක්.

කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඉතාමත් හොඳයි. ඇත්තෙන්ම ප්‍රේක්ෂකයාගේ උනන්දුව නිසා තමයි මෙච්චර පිටපත් සංඛ්‍යාවක් අපි මුදා හැරියේ. එය සාර්ථක ක්‍රියාවලියක් බව දැන් ඔප්පු වී තිබෙනවා.

ඒත් ‘මහරජ අජාසත්’ නරඹන්න ප්‍රේක්ෂකයෝ විශාල වශයෙන් ආවේ නෑනේ?

ප්‍රේක්ෂකයෝ සිංහල චිත්‍රපට නැරඹීමට එන ප්‍රවණතාවේ අඩුවීමක් තිබෙනවා වර්තමානයේ. නමුත් මේ චිත්‍රපටය මම නිෂ්පාදනය කළේ මුදල් සෙවීමේ පරමාර්ථයෙන්ම නෙවේ. මගේ හිතමිත්‍ර ජීවන් කුමාරතුංගගේ ඉල්ලීමක් තමයි මම මේ ඉෂ්ට කළේ. ඉතින් මේ චිත්‍රපටය පාඩුවක් නොවී ප්‍රදර්ශනය වෙන බවක් මට පෙනෙන්න තියෙනවා.

දිගින් දිගටම ඔබේ චිත්‍රපට කිහිපයක් වාණිජමය අතින් අසාර්ථක වුණා. මම හිතන්නේ ‘දරුවනේ’ චිත්‍රපටයෙන් පසු ඔබේ චිත්‍රපටවලට එතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණේ නෑ. මොකක්ද මේකට හේතුව?

ඒක මට විතරක් පොදු දෙයක් නෙවේ. මෑතකදී ප්‍රදර්ශනය වුණ ඇහැලේපොළ කුමාරිහාමි, මහරජ ගැමුණු වගේ චිත්‍රපටවලටත් සිතූතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ නැහැ. අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තමයි නරඹලා තියෙන්නේ. අද ක්ෂේත්‍රයේ තියෙන්නේ ලොකු තරගයක්. ටී. වී. චැනල්ස්වලින් චිත්‍රපට පෙන්වනවා. ඒ වගේම D. V. D.  මාර්ගයෙන්, අන්තර් ජාලයෙන් චිත්‍රපට නරඹන්න හැකියාව තියෙනවා. මේ නිසා මිනිස්සු සිනමා ශාලාවලට එන්න පොඩි කම්මැළි ගතියක් දක්වනවා. විශේෂම නිර්මාණයක් වුණොත් තමයි ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට පැමිණෙන්නේ.

නමුත් මෑතකදී තිරතත වූ ‘ගින්දරී’ වගේ චිත්‍රපටයකට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා නේ?

එක ඇත්ත. නමුත් ප්‍රදර්ශනය අවසානයේ දී ලක්ෂ දාහක වගේ අදායමක් තමයි ලැබුණේ. ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපටයක් හැටියට ගත්තම ‘සිරි පැරැකුම්’ ලක්ෂ පන්දාහක අදායමක් ලබලා තියනවා. ඊට කිට්ටුවකට යන්නවත් චිත්‍රපටයක් මෑත කාලේ ප්‍රදර්ශනය වෙලා නෑ. ඉතින් මම හිතනවා මම හදපු චිත්‍රපටවලට විශාල ආදායමක් නොලැබුණත් මම වැය කරපු මුදල් ගොඩක් දුරට Cover  කරගෙන තියෙනවා. ඒක මට ලොකු සතුටක් සහ ධෛර්යයක්. මොකද ඉදිරියේදීත් මගේ චිත්‍රපට කිහිපයක් ප්‍රදර්ශනයට තිබෙන නිසා.

‘සිනමාව නිසා මාව නැත්තටම නැති වෙයි. ඒත් කමක් නෑ’ කියා ඔබ එක්තරා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා?

එහෙම මම කිව්වා තමයි. මොකද මට මේ හැම දෙයක්ම ලැබුණේ සිනමාවෙන්. මගේ මවුපියන්ට සල්ලි තිබුණා. නමුත් මගේ කැමැත්ත නිසා සිනමාවේ ඉදිරියට යන්න ඔවුන් මට ඉඩ දුන්නා. ඉතින් හොඳ චිත්‍රපට හදලා මාව නැති වුණත් මට කමක් නෑ. මොකද මට මවුපියන්ගෙන් ලැබුණු දේවල් තියෙනවා. මට දැන් ඉන්නේ එක දරුවයි. ඒ නිසා කිසිම දේකට මම සැලෙන්නේ නෑ. මගේ තිරගත වීමට නියමිත චිත්‍රපට අසාර්ථක වුණත් මට දුකක් නෑ. මොකද මම හැදුණේ සිනමාවෙන් නිසා.

ඕනෑම පාඩුවක්, අලාභයක් විඳ දරා ගන්න පුළුවන් තරමේ ධනවතෙක් ඔබ?

භෞතික සම්පත්වලට, මිල මුදලට වඩා හිතෙන් මම ධනවත් පුද්ගලයෙක්. මම හැමදාම හිනාවෙලා ඉන්නේ. සිනමාව නැති වුණා කියලා මට ගැටලුවක් ඇති වෙන්නේ නෑ. මගේ අනෙක් ව්‍යාපාර ටික කරගෙන ඉන්න පුළුවන්. ඒකෙන් ඇදලා මේකට දානවා කියන එක එච්චර ලොකු දේකුත් නෙවෙයි. අනෙක මට කිසිම අවශ්‍යතාවයක් නෑ කෝටි ගණන් උපයන්න. දරුවා වෙනුවෙන් මම යුතුකම් ඉටු කරලා තියෙනවා. මගේ බිරියත්, දරුවත් එක්ක සතුටෙන්, සැනසීමෙන් ඉන්න මට පුළුවන්.

නොයෙක් හේතූන් මත ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වූ චිත්‍රපට මිලදී ඒවා එය ප්‍රදර්ශනයට මුදා හැරීමේ ක්‍රියාදාමයකුත් ඔබ ආරම්භ කර තිබෙනවා. ඇයි එවැනි කාර්යයකට මුල පිරුවේ?

ඇත්තටම ඒ චිත්‍රපට මිලදී ගත්තේ නැතිනම් ඒවා කිසි දිනෙක ප්‍රදර්ශනය නෙවෙන්නත් ඉඩ තිබුණා. කවුරුත් ඒවා ගන්නෙත් නෑ. මටම කියලා ප්‍රදර්ශන මණ්ඩලයකුත් තියෙනවනේ. ඒ නිසා ඒ උදව්ව මට කරන්න පුළුවන්.

එතකොට උදව්වක්, උපකාරයක් හැටියටයි ඔබ එය කරන්නේ?

අනිවාර්යයෙන්ම. සිනමාව ගැන දැක්මක්, උනන්දුවක් වගේම හැකියාවක් තිබෙන තරුණයන්ට ඉදිරියට එන්න අවස්ථාව ලබාදීමක් මම ඒ කරන්නේ. සත්‍යජිත් මාඉටිපේ ලොකු සතුටක් බුක්ති වින්දා ‘බොරදිය පොකුණ’ පෙන්නුවට පස්සේ. මොකද අවුරුදු දොළහක් ඔහු මේ චිත්‍රපටය පෙන්න ගන්න බැරුව හිටියේ. ඔහු මානසිකව වැටිලා හිටියේ. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසුව ලොකු සමාජ කතිකාවක් ගොඩ නැඟුණා. ඔහුගේත් පුදුම පිබිදීමක් ඇති වුණා. දැන් සංජීව පුෂ්පකුමාර කියන්නෙත් එවැනි නිර්මාණශීලී තරුණ සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපටයත් මම නොපමාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන එනවා. ඒ තමයි ඉඟිළෙන මාළුවෝ. ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ ‘හෝ ගානා පොකුණ’ත් අපේ සිනමාවේ සුවිශේෂී කඩඉමක් වේවි.

ඔබ අධ්‍යක්ෂවරුන්ට අත හිත දෙන්න නොපැකිළව ඉදිරිපත් වෙන නිෂ්පාදකවරයෙක් විදිහට හඳුන්වන්න මම කැමැතියි?

නිලේන්ද්‍ර දේශප්‍රිය අවුරුදු දහයේ ඉඳන් මගේ යාළුවෙක්. මම ඔහුට කියලා තිබුණා ‘කවදා හරි මම උඹත් එක්ක චිත්‍රපටයක් හදනවා’ කියලා. ඉතින් අසීමිතව ඒකට මුදල් වැය වුණා. නමුත් ඒ ආපු මුදලින් ශත පහක්වත් අපට ලැබුණේ නෑ. තනිකර Lost එකක්. නිලේන්ද්‍ර එයාගේ ගේ උකස් තියලා චිත්‍රපටය කළේ. නමුත් අද වෙනකල් ඒ චිත්‍රපටයේ ආදායමෙන් එක සත පහක්වත් අතට ලැබිලා නෑ. ඒත් නිර්මාණකරුවෙක් විදිහට නිලේන්ද්‍ර ඒ චිත්‍රපටය පිළිබඳ අසීමිත සතුටක්, තෘප්තියක් අත්වින්දා. ඒක මටත් ලොකු සතුටක්. ඒ වගේම කියන්න ඕනෑ අනගාරික ධර්මපාල, සිනහව අතරින් චිත්‍රපටවලිනුත් මට ලාභයක් ලැබුණේ නෑ.

අපි දන්නවා මෙබඳු අවස්ථාවලදී නිෂ්පාදකයන් හා අධ්‍යක්ෂවරුන් අතර යම් මතභේද, ගැටුම්ි පවා නිර්මාණය වෙනවා. මෙවැනි අත්දැකීම්වලට ඔබත් මුහුණපෑවාද?

නැහැ. චිත්‍රපටයට සල්ලි දාන්නේ මම. ඒගොල්ල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා විතරයි. මුදල පිළිබඳ කිසිම විදියක වගකීමක් දරන පුද්ගලයෙක් නෙවෙයි ඩිරෙක්ටස්ලා කියන්නේ. ඒ වගකීමෙන් ඔවුන් නිදහස්. චිත්‍රපටය දිව්වත් මටයි. පාඩු වුණත් මටයි. සනත් ගුණතිලක ගැන මෙතනදි පොඩි සඳහනක් කරන්න ඕනෑ. එයා චිත්‍රපටයත් එක්කම වගේ හිටියා. ඉතින් ඒකට මගේ ගරුත්වයක් තියෙනවා සනත්ට. නමුත් සමහර අධ්‍යක්ෂවරු ගැන නම් මට පැහැදීමක් නෑ. එයාලා ඩිරෙක්ටර් Fee  එක බලාගෙන එන අධ්‍යක්ෂවරු විතරයි.

චෝදනාවක් ද ඔය එල්ල කරන්නේ?

චෝදනාවක් නෙවෙයි. මොකද මම අධ්‍යක්ෂවරුන්ගේ උදවු බලාගෙන චිත්‍රපට හදන නිෂ්පාදකයෙක් නෙවෙයි. මම ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කර දෙන එක පමණයි. ප්‍රදර්ශනයේදී ඒ අවශ්‍ය ප්‍රචාරක කටයුතු සම්බන්ධව ක්‍රියා කරන්නේ මම තමයි. ඒ තීන්දු, තීරණ ගන්නේ මම තමයි.

‘ඉතිහාස කතා’, ‘රජ කතා’ දැන් මිනිස්සුන්ට එපා වෙලයි තියෙන්නේ. ‘මහරජ අජාසත්’ චිත්‍රපටයෙනුත් ඒකම නේද ඔප්පු වෙන්නේ?

මෙහෙමයි, ඉතිහාස කතා, රජ කතා මිනිස්සුන්ට එපා වෙලා නෑ. අධ්‍යක්ෂවරයා හොඳ නිර්මාණයක් කළොත්. ප්‍රේක්ෂකයා ඒක අනිවාර්යයෙන්ම වැලඳ ගනියි. අධ්‍යක්ෂවරයා තමන්ගේ නිර්මාණය හරියට කළේ නැතිනම් ප්‍රේක්ෂකයෝ ඒක ප්‍රතික්ෂේප කරයි. එතනදි මම ‘මහරජ අජාසත්’ චිත්‍රපටය ගැන කියන්නෙත් ඒ අධ්‍යක්ෂවරයා මිනිස්සුන්ව කැච් කරන්න මහන්සි වෙලා නෑ.

ඔබ ප්‍රේක්ෂකයෝ ගැන හොඳ ඉවක් තියෙන නිෂ්පාදකවරයෙක්නේ. ඇයි එතකොට මෙවැනි නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායක වුණේ?

මම මුලිනුත් කිව්වේ ඒක මම ජීවන් කුමාරතුංග මහත්තයා වෙනුවෙන් කරපු උදව්වක්. නමුත් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු වෙන්නේ මට ඕනෑ විදිහට. ලාභය නොලැබුණත් අඩු ගානේ ගිය මුදල පියවා ගැනීමේ දක්ෂතාවය මට තියෙනවා. ඉතින් මේ වෙන කොට මම ඒක Cover   කරගෙන තියෙන්නේ.

චිත්‍රපටයේ ග්‍රැෆික්ස් ඒ වගේම විශේෂ ප්‍රයෝග භාවිතයේ එතරම් උසස් තාක්ෂණික නිමාවක් ප්‍රේක්ෂකයෝ හැටියට අපි දකින්නේ නෑ?

එහෙම කියන්න එපා. මොකද ඒකේ කලා අධ්‍යක්ෂකට මම ලක්ෂ අනූ පහක් ගෙවලා තියෙනවා. ග්‍රැෆික්වලට ලක්ෂ පනහකට වඩා ගිහින් තියෙනවා. ඔය දේවදත්ත පොළොව පළාගෙන යන තැන ඒ ග්‍රැෆික් එක ඉවර කර ගන්න අවුරුද්දක විතර කාලයක් ගියා. පසුබිම් සංගීතයට පවා මම මිලියනයකට වඩා ගෙවලා තියෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සනත් අබේසේකර සහ ඒ වැඩ කරපු පිරිස ඔය සියල්ල දන්නවා. ඒ තිර රචනයට, අධ්‍යක්ෂණයට මම මුදල් ගෙවලා තියෙනවා. ඒත් චිත්‍රපටය දුවන්නේ නැති වුණාම මම බලනවා ඒකට හේතුව මොකක්ද කියලා.

මුළුමනින්ම ඒක අධ්‍යක්ෂවරයාගේ වරදක් විදිහට ද ඔබ දකින්නේ?

නෑ එහෙම අධ්‍යක්ෂවරයා පිට වරද පටවන්න ඕනෑත් නෑ. මොකද චිත්‍රපටය ලාබ වුණත් මට. පාඩු වුණත් මට. මම චිත්‍රපට නොකර හිටියා නම් අධ්‍යක්ෂවරු මතු වෙන්නෙත් නෑ. නළුවො මතු වෙන්නෙත් නෑ. ඔය කිසිම කෙනෙක් මතු වෙන්නේ නෑ සල්ලි වියදම් කළේ නැතිනම් මම. කොහොම වුණත් කගෙවත් පිට මම වරද පටවන්නේ නෑ. මොකද චිත්‍රපට හැටක් නිෂ්පාදනය කරපු කෙනෙක් මම.

ඉදිරිය ගැන අවදානමක් දැනෙන්නේ නැද්ද?

මම කරලා තියෙන දේවල් ගැන පසුතැවෙන්නේ නෑ. ඒ වගේම ඉදිරියේදී ප්‍රදර්ශනයට සූදානම් චිත්‍රපට ගැන බියක් දැනෙන්නේත් නෑ. මට තියෙන්නේ අඩු පිරිවැයකින් හොඳ චිත්‍රපටයක් කරලා ලාභ උපයා ගන්න ක්‍රමය හොයා ගන්න එක විතරයි.

D. V. D. මාර්ගයෙනුත් ඔබේ චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ලබාදීමේ වැඩ පිළිවෙළක් ඔබ විසින්ම ආරම්භ කළා. මම හිතන්නේ එය එක්තරා විදිහකට නිර්මාණ මංකොල්ලයට එරෙහිව ගත් සාධනීය පියවරක්?

සිනමා ශාලාවල ප්‍රදර්ශනයෙන් චිත්‍රපටය පාඩු වුණත් D. V. D.  අලෙවියෙන් ඒ පාඩුව මඟහරවා ගන්නට පුළුවන්. නැතිනම් අවම කර ගන්න පුළුවන්. එහෙම අවම කර ගත්තත් ඒකත් ශුද්ධ ලාභයක්.

හිටපු චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතා සමඟ ඔබේ මත ගැටුමක් තිබුණා. අලුත් සභාපතිවරයෙක් අවශ්‍යයි කියන සටනේ පෙරමුණේම හිටියේ ඔබ. දැන් අලුත් සභාපතිවරයෙක් පත් වී සිටිනවා නව රජය යටතේ. කොහොමද මේ වෙනස ඔබට දැනෙන්නේ?

අලුත් සභාපතිතුමා ගැන මම පුදුම පැහැදීමකින් ඉන්නේ. පසුගිය 25 වැනිදා ‘ලැන්ටින් සිංඤෝ’ කියන චිත්‍රපටය රිලීස් වුණා. මගේ සිනමා ශාලා පහළොවක් මට දෙන්න වුණා ඒ චිත්‍රපටයට ‘මහරජ අජාසත්’ ගලවලා. සීයට සියක් මට ආදායම ලැබෙන මගේ පෞද්ගලික සිනමා ශාලාත් ඒ අතර තිබුණා.

චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වැඩිපුර සිනමා ශාලා ඉල්ලා සිටින ඔබ ඇයි එවැන්නක් සිදු කළේ?

සභාපතිතුමා මගෙන් කාරුණික ඉල්ලීමක් කළා. ඒ ප්‍රදර්ශන මණ්ඩල තුනකට සීමා කරලා, වර්ගීකරණය කරලා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ වැඩ පිළිවෙළට සහයෝගයක් වශයෙන්. මට අවශ්‍ය නම් ඒ සිනමාහල් ටික නොදී ප්‍රශ්නයක් ඇති කර ගන්නත් තිබුණා. නමුත් මම එහෙම කළේ නෑ. මොකද ‘මහරජ අජාසත්’ පිටපත් 70 ක් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දුන්නෙත් එතුමා. මම එතුමාට හිස නමා ආචාර කරනවා. ප්‍රදර්ශන මණ්ඩල ධාරා තුනේ වැඩ පිළිවෙළට මට අයිති  M. P. I.  මණ්ඩලයේ සහයෝගයත් මම ලබා දුන්නේ පෞද්ගලිකව එතුමාට කරන ගෞරවයක් වශයෙන් සහ සිනමාවේ ඉදිරි ගමන ගැන සලකා බලලයි.

නව සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාට වත්මන් සිනමාවේ අර්බුද හා ගැටලු සඳහා යම් ඵලදායි පියවරක් ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

මම හිතන්නේ එතුමා තමයි ජයන්ත ධර්මදාස මහතාගෙන් පසුව චිත්‍රපට සංස්ථාවට ආපු හොඳම සභාපතිවරයා. සිනමා ශිල්පීන්ගේ හඬට කන් දෙන්න පුළුවන්, සංවේදී පුද්ගලයෙක් එතුමා. මම හිතනවා ස්ථාමෝචිත ප්‍රඥාව යොදවලා අපේ සිනමා කර්මාන්තයේ සුබ සිද්ධියට ලොකු මෙහෙයක් කරන්න පුළුවන් වෙයි කියලා එතුමාට. එතුමාට හොඳ දැක්මක් තියෙනවා. සිනමා ශිල්පීන්ගේ යුතුකම තමයි එතුමාට සහාය දැක්වීම.

ප්‍රදර්ශන මණ්ඩල පහ දැන් සිනමාහල් ධාරා තුනක් බවට පත්වෙලා තිබෙනවා. මේක හොඳ ද නරකද?

මේක ඇත්තෙන්ම හොඳයි. සම සමව සර්කිට් තුනක් බෙදිලා තියෙනවා. අවුරුද්දකට හය ගානේ බැලුවත් අඩු ගානේ චිත්‍රපට දහඅටක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳ ක්‍රමයක් කියලා මම හිතනවා.

එතකොට අපේ සිනමාවේ අනාගතය පිළිබඳ ඔබට තිබෙන්නේ සුබවාදී දැක්මක්?

ඔව්. අනිවාර්යයෙන්ම අපි හැමෝම ඒ සුබවාදී ආකල්පයෙන් තමයි සිනමාවේ හෙට දවස ගැන හිතන්න ඕනෑ. අනාගතය දෙස බලන්න ඕනෑ.

එතකොට ඔබේ අනාගතයත් සිනමාව වෙනුවෙන්මයි?

හැමදාම නෙවෙයි. නමුත් පුළුවන් තාක් කල් මම චිත්‍රපට හදනවා. චිත්‍රපට සීයක් නිෂ්පාදනය කිරීමේ ආශාවක් මට තියෙනවා. ඉදිරියේදී එය කළ හැකි යැයි කියන සුබවාදී බලාපොරොත්තුව හිතේ දරාගනයි මම ඉන්නේ. සිනමාවෙන් සමු ගන්නේ නැති වුණත් අවුරුද්දකට චිත්‍රපට පහ, හයක් හදන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. ඒත් දෙක තුනකට හරි සම්මාදම් වෙනවා. හැබැයි ආයේ හයි බජට් ෆිල්ම් හදන්නේ නෑ කියලා මම තීරණය කළා.

ඔබේ නිෂ්පාදනයෙන් ඉදිරියේදී ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපට පිළිබඳ ප්‍රේක්ෂකයාට සිහිපත් කළොත්?

‘සිංහයා’, ‘තුන් පත් රටා’, ‘හෝ ගානා පොකුණ’, ‘ඉගිළෙන මාළුවෝ’, ‘වෛෂ්ණාවි’, ‘ෆැන්ජිපානි’ (සය පෙති මල) කියන චිත්‍රපට හය ප්‍රදර්ශනයට නියමිතයි.

අනාගතයේදී තවත් සුවිශේෂී කාර්යයකට අත පොවන්න ඔබ සූදානමින් සිටින වග වටෙන් ගොඩින් ආරංචි වෙනවා?

මගේ පොඩි ආසාවක් තියෙනවා වයෝවෘද්ධ කලාකරුවන්ට තමන්ගේ කාලය ගත කරන්න නිවාඩු නිකේතනයක් එහෙම නැතිනම් විශ්‍රාම ශාලාවක් වගේ තැනක් ඇති කරන්න. ලෙඩ වෙලා අසරණ වෙලා, කිසිවක් කර කියා ගන්න බැරුව ඉන්න කලාකරුවෝ ඉන්නවා අපේ රටේ. මගේ පෞද්ගලික ධනය වැය කරලා තමයි මේක කරන්නේ. ඒ සේවය ලබා දෙන්නෙත් නොමිලේමයි. ජයන්ත ධර්මදාස මහත්මයා මට කිව්වා වෛද්‍ය පහසුකම් පවා ඔහු ගානේ ලබා දෙන්නම් කියලා. ඒ වගේම දමයන්ති ෆොන්සේකා, දමයන්ති ජයසූරිය මට කිව්වා ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ සේවය මේ සඳහා ලබා දෙනවයි කියලා.

මේ සොඳුරු නවාතැන් පොළ ඉදි වෙන්නේ කොහේද?

බොල්ගොඩ ගඟ ආශ්‍රිතව තිනෙ ‘රිකී’ස් වයිට් හවුස් එකේ තමයි මම මේ නිවාඩු නිකේතනය ඉදි කරන්නේ මගේ රිකී පුතාව සිහි වෙන්නත් එක්ක. සිනමාවෙන් හැදිච්ච මිනිහෙක් හැටියට සිනමාව වෙනුවෙන්, කලාකරුවන් වෙනුවෙන් මොනවා හරි සේවයක් කිරීම තමයි මගේ ලොකුම අභිප්‍රාය සහ ප්‍රාර්ථනාව. දැන් මට අවුරුදු පනස් හතරක්. එයින් අවුරුදු තිස් දෙකක් මම ගත කළේ සිනමාව එක්ක.

සුනිල් ටී. කියන්න් බෙහොම විනෝදකාමී, සැහැල්ලු ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක්. ‘ජොලි බෝයි’ කෙනෙක්. නමුත් දැන් මට ඔබව පෙනෙන්නේ ජීවිතය දිහා බොහොම යථාර්ථවාදීව බලන පරිණත පුද්ගලයෙක් විදිහට. මොකක්ද මේ පරිවර්තනයට හේතුව?

ඔබතුමා ඇත්තෙන්ම හරි. මම දැන් බොහොම තැන්පත් කෙනෙක්. ඒත් මිතුරු ඇසුර, විනෝදකාමී ජීවිතය තවමත් මගෙන් දුරස් වෙලා නෑ මුළුමනින්ම. මගේ ජීවිතේ කොටසක් ඒක. ඉතින් අපි වයසට යනවනේ. වයසට යනකොට ඒ වයසට හරියන දේවල් තමයි අපි කරන්න ඕනෑ. මම අවුරුදු දහ අටේදී කරපු දේ දැන් පනස් හතරේදී කරන්න බෑනේ. මම විතරක් නෙවේ මම හිතන්නේ අසංක වුණත් ඒ වයසට යනකොට එහෙම වෙනවා. මොකද මම දන්නවා අසංකට තරුණ කාලේ බෝතල් දෙකක් විතර බොන්න පුළුවන්. ඒත් දැන් එහෙම බොන්න බෑ. බාගයක් විතර බොන කොට ඇති. ඒ වගේ අපි හැම කෙනාම එක් එක් වකවානුවලදී වෙනස් වෙනවා.

එහෙම වෙන්න ඕනෑමයි?

ඉස්සර මට මතකයි මම කුකුල්ලු දෙන්නෙක් විතර කනවා. දැන් කන්නේ කුකුල් අණ්ඩයි. මෙකද හැමදාම පාටිස්නේ. තියෙන පලියට කන්නේ බොන්නේ නෑ. මිනිස්සුන්ට හැදෙන ලෙඩ දුක් අපට පේනවා. දැක දැක එතනට වැටෙන්න බෑ. මොකද දුක කියන එක හරි අමාරුයි විඳ දරා ගන්න. සැපෙන් ජීවත් වෙච්ච කෙනෙක් වශයෙන් මට ඇඳකට වෙලා ඉන්න බෑ. මට වැඩ කරන්න ඕනෑ. මෑත කාලයේ ඔය මාරියෝ ජයතුංගලා මැරිච්ච විදිහ අපි දැක්කනේ. ඒ විදිහට මැරෙන්න මම ආසා නෑ. මම සුබ මරණයක් බලාපොරොත්තුව ඉන්නේ. මට විතරක් නෙවේ මම හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ සුබවාදී මරණයක්. දුක් නැති මරණයක්. අපි යනකොට ගෙනි යන්නේ අපි කරපු හොඳ විතරයි. ඒ නිසා පුළුවන් තරම් හොඳින් ජීවත්වීමයි මගේ පරමාර්ථය.