|
අම්මට උයන්න බැරිවුණදාට කෑම කඩෙන් තමයි
අමිලාගේ කැදැල්ලට යමු
නාගහමුල්ල ප්‍රදේශය ලස්සන කරන දියවන්නා ඔයේ දියරැළි ලෙළදෙන්නේ තාලයකට ය. එක්වරම කොහොදේ සිට පැමිණි දියකාවෙක් ජල තලය පිහිරා කුඩමසකු ඩැහැ ගත්තේ සූර දඩයක්කරුවෙකුගේ සිරිය විදහා පාමිනි. සංසුන්ව ගැලූ දිය කඳ ක්ෂණයකින් වේගවත් විය. ඒ වක්‍රාකාරව වේගවත් වූ දිය රැළි නැගූ රටාවේ අමුතු සුන්දරත්වයක් ඇතැයි මට සිතුණේ ඉබේ ම ය. දියවන්නා ඉවුරේ තැනින් තැන ලැග සිටින කිරළ දෙනකගේ මව් සෙනෙහසේ තරම ඒ පාරේ ගමන් කරන්නෙකුගේ සිත පුදුමයට පත් කරයි. අලුයම පටන් ගිනි ගහන අව්වේ හිරු කිරණට අභියෝග කරමින් සිය තුරුළට වී සිටින කිරළ බිත්තරයෙන් පැටවා එළියට පැමිණෙනතුරු ම ඇය තනි රකින්නී ය. මේ මව් සෙනෙහසේ අරුමය පිළිබඳ සිතමින් අපි නිවාස සංකීර්ණය දෙසට ගමන් කළෙමු. ඒ ඔබ ආදරය කරන කෙනෙකු හමුවන්නට ය. “ අමිලා නදීශානි ” අප ඉදිරිපස උන්නේ කුඩා දියණියකි. ඈ අපව දුටු සැනෙන් නිවෙස ඇතුළට දිව්වා ය. සාලයේ සෝපාව මත අසුන් ගෙන සිටියේ අමිලා හා ඇගේ සැමියා සමන්ත ය. “ චූටි දූ බලාගෙන හිටියේ ඔයාලා එනතුරුම තමයි.” අප පිළිගන්න ගමන් ම අමිලා දියණිය පිළිබඳ පැවසුවා ය. “මොකද අද අපි එන නිසාමද මේ නිවෙසටම වෙලා ඉන්නේ ? ” බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන ගායිකාවක වූ අමිලාගෙන් මා විමසුවේ කුමන වේලාවක කතා කළත් කුමන හෝ කාර්යයක නිරතව සිටින බැවිනි. “ මේ දවස්වල නම් ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒත් අනෙක් කාලවලදි ගැන සිතන විට නම් මේ දවස්වල ප්‍රසංග අඩු බවයි මට සිතෙන්නේ. ඒ අතර පුංචි විවේකයකුත් තිබෙනවා. ඒ විවේකය නිතරම මා යොද වන්නේ ව්‍යාපාර කටයුතුවලට වගේම දරුවන්ගේ වැඩකටයුතුවලටයි. ” ගායිකාවක් ලෙසින් ඔබ හමුවට පැමිණෙන අමිලාගේ අලුත්ම භුමිකාව ව්‍යාපාරයි. ඇය සාරි වෙළෙඳ සල් හිමිකාරිණියකි. “ ඔබ දැන් ව්‍යාපාරිකාවක් වෙලා වගෙයි ” “ විශේෂයෙන් ම ව්‍යාපාර කටයුතු කරන්නේ මහත්තයා. ඔහුගේ කටයුතුවලට මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඇඹිලිපිටිය, කටුනේරිය, බොරුලැස්ගමුව කියන ස්ථානවල අපේ සාරි වෙළෙඳ සල් කිහිපයක් ම තිබෙනවා. ඒවාට මොනවගේ සාරි ද ගේන්නේ කියලා තීරණය කරනවා. සාරි ගේන්න යනවා. මිල කරනවා. මෙවැනි සෑම කටයුත්තකට ම මා සහභාගි වෙනවා. ” ඈ අසල සිටින්නේ සමන්ත ය. ඔහු සිය බිරියගේ අදහස් අනුමත කරන්නේ මුවඟට සිනහවක් නගන අතරතුර ය. “ කාලෙකින් ඔබ සී.ඩී. එකක් කළේ නැහැ නේද ?” “ මේ වනවිට මම ඕඩියෝ හැටක් විතර කරලා තියෙනවා. ඒ සියල්ලම එකතු කරලා සී.ඩී. එකක් කරන්න ඕන කියලා මා සිතාගෙන සිටිනවා. අපි දෙන්නාම කලා කටයුතු පිළිබඳ සැලසුම් කරලා තිබුණත් පසුගිය දවස්වල ඒවා කරන්න කාලයක් නැතිව ගියා. මේ කාලය ඇතුළත විශේෂයෙන් ම කළ යුතු දේවල් ටිකක් තිබෙනවා. ඒ කටයුතුවලින් පස්සේ අපේ අවධානය යොමු කරන්නේ කලා කටයුතුවලටයි. එහිදි මගේම කියලා ප්‍රසංගයක් කොළඹ දී කරන්න සිතාගෙන ඉන්නවා. ඒ ‘අමිලා ඔබේමයි’ කියන මගේ දෙවැනි ප්‍රසංගයයි. ඒ කටයුත්ත සිදු වනවිට 2017 වසරේදී විතර වෙයි. ඒත් සමඟ මා සී.ඩී. එකකුත් කරන්නට සිතාගෙන ඉන්නවා. මගේ මහත්තයාගේ සංගීත කටයුතුත් මේ වනවිට නැවතිලා. ඒ සියල්ලමත් ආරම්භ කළ යුතුයි. හෙමින් හෙමින් ඒ කටයුතුවල නිරත වන්නේ අප දෙදෙනාම මේ වනවිට බරපතළ වැඩ ගණනාවක සිටින නිසයි. ඒ වගේම ඉදිරියේ දී මා ලියූ නවකතාවක් ප්‍රකාශයට පත්වීමට නියමිතයි.” අප අතරට පැමිණෙන්නේ ඇගේ දඟකාර දියණිය ලිතුම්යා සිතුම්දි ය. ඇය ග්‍රේට් වේ ආයතනයේ ළදරු පාසලේ ඉගෙනුම ලබන්නී ය. අපගේ කතාබහට බාධ කරන කුඩා දියණියගෙන් බේරෙන්නට පහසු කාර්යයක් නොවේ. “ ඩෝන්ට් ඩිස්ටර්බ් මී බබා.” අමිලා දුවව යොමු කරන්නේ සමන්ත දෙසට ය. “ සින්දු කියන එක පැත්තකට දමලා දිගටම නවකතා ලියන්න ද සිතාගෙන සිටින්නේ ? ” “ එහෙම එකක් නැහැ. එදා ඉඳලාම මා පොත් ලියනවා. ඒ වගේම ගීතත් ලියලා තියෙනවා. ඒ වුණාට ඒ ගීත ගයලා නම් නැහැ. ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත මගේ නවකතාව නම් කරලා තියෙන්නේ ‘රළ කරළිය’ නමින්.” අමිලාගේ දෑසේ දැල්වෙන්නේ බලාපොරොත්තු රැසකි. ජීවිතය නම් ගඟ තරණයට ඈ සූදානම් වන්නේ සැලසුම් සහගතව ය. ඒ සැලසුම් අතර ගෙවෙන ඔවුන්ගේ ජීවිතයේ අනෙක් කටයුතු කෙරෙන්නේ කෙලෙස දැයි මගේ සිතට නැගෙන්නේ පැනයකි. “කාර්යබහුලව ගෙවෙන ජීවිතයේ නිවෙසේ කටයුතු කරන්නට තරම් කාලයක් තිබෙනවා ද?” “ නිවෙසේ කටයුතුවලට කියලා වැඩිපුර මහන්සි වෙන්න උවමනාවක් අපට නැහැ. උයන පිහන කටයුතු ඇතුළු අනෙක් සියල්ලක් ම අම්මා බොහොම කැමැත්තෙන් ම කරනවා. හදිසියේ දී ඇයට උයන්න නොහැකි වුණොත් අපි කඩෙන් ගෙනැත් හරි කෑම කනවා. නිවෙසේ වැඩකටයුතු කරන්න ආස වුණත් අපි දෙන්නට තිබෙන කාර්යබහුලත්වයයි ඊට වැටකඩුලු බඳීන්නේ. වැඩිපුරම මගේ අත් දෙකෙන් සිද්ධ වෙන්නේ නිවෙස අස්පස් කරන එකයි. කුමන කටයුතු කළත් ඒ සියල්ල කරන්නේ මගේ මහත්තයත් එක්කමයි. එතකොට අපි දෙන්නා ම දන්නවා මේ වැඩේ අපි දෙන්නාට ම තිබෙන වැඩක් කියලා. දෙන්නාත් එක්කම එක ම වැඩය කරද්දි බොහොම ඉක්මනින් ඒ කටයුත්ත අවසන් කරන්නට ද හැකි බව මා දන්නේ අත්දැකීමෙන්මයි.” කෑමබීම උයන්නේ කිසි කෙනෙකුට විශේෂත්වයක් ලබාදී නොවේ. පොදුවේ ය. එහෙත් සමන්ත හදන විශේෂ බත් එකට අමිලාගේ සිතේ ඇත්තේ විශේෂ කැමැත්තකි. නිවෙසේ දුරකථනය නාදවෙයි. ඊට පිළිතුරු බඳීන්නේ කොලු ගැටයෙකි. මම ඔහු දෙස ම බලා සිටියෙමි. දැක පුරුදු මුහුණකි. “ ඔය ඉන්නේ අපේ ලොකු පුතා. ” අමිලා ඔහු දෙස බලා පවසයි. මීට වසර කිහිපයකට පෙර දුටු බිතුම් චානක්‍ය චූටි පුතු දැන් වැඩුණු දරුවෙකි. තර්ස්ටන් විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන ඔහු සංගීතයට හපනෙකි. “පුතාත් කවදාහරි කලාව ම තෝරා ගනියි ද?” “පුතා හොඳ ඩ්‍රම්ස් වාදකයෙක්. ඒ අතර මේ දවස්වල ගිටාර් එක ප්ලේ කරන්නත් එයා තනියම පුංචි මහන්සියක් ගන්න විදිය මා දුටුවා. කවදහරි පුතා වාදකයෙක් වේවි. ඒත් දුව නම් අමිලා පුංචි කාලයේ වගේම ගී ගයන්න බොහොම දක්ෂ බව හැඟෙනවා. ඈ ඒ අංශයෙන් ඉදිරියට යාවි කියන බලාපොරොත්තුවක් අපට තිබෙනවා.” සමන්ත සිය දරුවන් ගැන පවසන්නේ ආඩම්බරය රැඳී හඬකිනි. ඒ අතර අමිලාගේ මව සංග්‍රහශීලී කාන්තාවකගේ භූමිකාවට පිවිසෙන්නී ය. “පෙම්බර මධූ මගේ......” ලිතුම්යා ගීතයක් ගැයීම ආරම්භ කළ ද එය නැවැත් වූයේ නුහුරු නුපුරුදු අප සිටි බැවිනි. ඇගේ සවනට ඇසෙන ඕනෑ ම ගීතයක් ගයන්නටද ලිතුම්යා දියණිය පසුබට නොවෙයි. මේ ගීතය ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වීම සඳහා පුරුදු පුහුණු වූ අවස්ථාවේ අමිලා ගැයූ ගීයකි. කුඩා දියණියට එය අපූරුවට මතක ඇති වග නම් සහතිකය. සමන්ත අත ගිටාරයකි. සියල්ලන් ම ගීයක් ගයයි.
|