වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




නිදහස් ජීවිතයකටයි දැන් වඩාත් කැමැති

නිදහස් ජීවිතයකටයි දැන් වඩාත් කැමැති

කලා දිවියේ අඩසියවස සමරන මියුරි

සිනමාව, වේදිකාව, පුංචි තිරය ගුවන් විදුලිය යන සිව් ක්ෂේත්‍රය ම ජයගත් ප්‍රවීණ කලා ශිල්පිනියක් වූ මියුරු සමරසිංහගේ කලා ජීවිතයට අඩ සියවසකි. ඒ නිමිත්තෙන් ‘මියුරි සමරසිංහ රංගාභිනන්දන උලෙළ’ මේ මස 04 වැනිදා පස්වරු 2.30ට ටවර් හෝල් රඟහලේ දී පැවැත්වෙයි. මේ ලිපිය ඒ වෙනුවෙනි.

මොරටු පුරවරයේ ඉපැදුණු මියුරි කියන්නේ විජේරත්න පවුලේ බඩපිස්සී. මියුරි දෝණි තාලයට අඩි තිබ්බේ යාන්තමට පියවර තියලා ඇවිදින්න වුණු දා පටන්. ඈ කොයිතරම් නැටුමට දක්ෂ ද කිව්වොත් හෝලි රොසරී පාසලේ හැමෝම වගේ මේ දැරිවිට ආදරය කළා. දවසක් හෝලි රොසරී පාසලේ තිබුණේ විවිධ ප්‍රසංගයක්. ළමයින්ගේ දක්ෂතා ඔප් නංවන මේ ප්‍රසංගයේ විවිධ අංග වේදිකා ගතවුණේ එකින් එක. ඊළඟ අංගයට වේදිකා විවෘත වුණා. එහෙත් කිසිම කෙනෙක් නොවෙයි වේදිකාවට පැමිණියේ. ශාලාවේ අසුන් ගෙන හිටිය ළමයින්ගේ ඝෝෂාව වැඩිවුණේ එන්න එන්නම.

“ නිළියට ඉන්න මියුරිගේ අක්කා තාම අඳීනවා. මොකක් හරි කරන්න. ”

එක් තුරුතුමියක් තවත් ගුරුතුමියකගේ කනට කරලා කිව්වේ මේ අතර. හනිකට එතැනට ආව එක් ගුරුතුමියක් අවුරුදු දහයක තරම් චූටි කෙල්ලක්ව වේදිකාව මත තිබ්බේ උස්සලා. මුළු ශාලාව ම මීයට පිම්බ වගේ. එක්වරම සංගීතය වැයුණේ තාලයට. ඒ තාලයට මේ පුංචි කෙල්ල නැටුවේ බොහොම උද්දාමයෙන්. කාලය ගෙවිලා ගියා. ඔන්න දැන් වේදිකාවට නිළිය එන්න සූදානම්. ඒ ඇසිල්ලේදියි මියුරි වේදිකාවෙන් බිමට බැස්සේ. ඒ බැස්සුවත් මියුරිගේ හිතේ තිබුණේ තව තවත් නටන්න ඇත්නම් කියලා. මේ විතරක් නොවෙයි ප්‍රසංගය අවසානේ ඈට අපූරු සම්මානයකුත් හිමිවුණා පළමු වරට. ඒ හොඳම නිළිය සම්මානය.

“ අනපේක්ෂිත විදියට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කිරීමේ හැකියාවට වගේම මගේ නර්තන රංගන දක්ෂතාවලටයි මට මේ සම්මානය හිමිවුණේ. හෝලි රොසරී කියන මුල්ම පාසලේ දී ලැබුව මේ සම්මානයයි මගේ නර්තනයේ හා රංගනයේ හැරවුම් ලක්ෂය වුණේ. පාසලේ තිබෙන ලී කෙළි, කළගෙඩි ඇතුළු හැම නැටුමක ම මා සිටියා. මගේ නැටුම් ගුරුවරයා වුණේ පණීභාරත නැටුම් ආචාර්ය වරයාගේ සොහොයුරා වුණු ජයන්ත අල්ගමයි. ඒ වනවිට පස්වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්ත මාව කැඳවන අල්ගම මාස්ටර් පද දෙක තුනක් නටා පෙන්වන්නේ එය මට ද කරන්න කියන ගමන්. ඒ පද ටික නිවැරැදිව නටා පෙන්නුවට පස්සේ මට ලොකු වගකීමක් පැවරුණා. ඒ අනෙක් ළමයින්ටත් නැටුම් පුරුදු කිරීමයි. ඊළඟ සතියේ අපේ පංතියට එන අල්ගම මාස්ටර් අප සැමගේ දක්ෂතා පිරික්සලා බලලා මට ප්‍රශංසා කරන්නත් අමතක කළේ නැහැ.

මේ විදියටයි කුඩා කාලයේ දී ම මා පුංචි නැටුම් ටීචර් කෙනෙක් වුණේ. මෙහෙම කියන විට ‘රේඛාව’ චිත්‍රපටයේ රඟපෑව, කුඩා අවධියේම මිය ගිය මර්ට්ල් ප්‍රනාන්දු ඒ කාලයේ මගෙන් නැටුම් ඉගෙන ගත් සමකාලීන මිතුරියක්. මාව මේ කටයුතුවලට එක්ක ගෙන ගිහින් උනන්දු කළේ මගේ අම්මා. අද මට වසර පනහක් තරම් කාලයක් මේ ක්ෂේත්‍රයේ හක්කලං කරන්න ලැබෙන්න එක් අයෙක් වුණේ මගේ අම්මා. ඇගේ සහයෝගය නොවෙන්න මා අද මෙතැන නැහැ. ඒ අතීතය සිහිපත් කරමින්, මට මේ සිදු කරන්නට යන උපහාරය කරන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තු හා ටවර්හෝල් රඟහල පදනම මගින්. ඔවුන්ට ඒ පිළිබඳ මා ස්තූතිවන්ත විය යුතුයි. ඒ වසර පනහක අතීතයක් දෙස නැවත හැරිලා බලන්නට උත්සාහ වීම ගැනයි. ඒතරමට මා වටිනා කෙනෙක් වීමයි. එදාට මට ආදාරය කරන හැමෝටම පැමිණෙන්නැයි කියලා ආරාධනා කරන්නත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ”

පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වන මියුරි හෝලි රොසරීයෙන් පස්සේ පාසල් යන්නේ මියුසියස් බාලිකා විද්‍යාලයට. ඇය දක්ෂකම වගේම දඟකාරතමත්, කටකාරකමත් උපතින්ම උරුම කරගෙන සිටි යුවතියක්. ඒ යුවතියට සී.ටී. ප්‍රනාන්දු, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ක්‍රිස්ටිද මෙල්, සිඩ්නි ආටිගල, කියන ප්‍රමුඛ පෙළේ ගුවන් විදුලි ගායක ගායිකාවන් ගී ගයන ‘මාසික රැඟුම්’ කියන සංගීත සංදර්ශනවල නැටුම් ඉදිරිපත් කරන්න ලැබෙන්නේ අහම්බයෙන්. ඒ අහම්බයයි ඇයව නර්තන ශිල්පිනියක් ලෙස කලා ලොවට අරගෙන එන්නේ.

“ අවුරුදු දාහතරේදි නර්තන ශිල්පිනියක් වන මට ‘මේ පංති ගෝට්ටිය’ කියන අලුත් වේදිකා නාට්‍යයට රංගනයෙන් සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ නාට්‍යයේ ආනන්ද වීරකෝන්, ත්‍රේසා වීරසිංහ, චිත්‍රා වාගිස්ට, ලොයිඩ් වාගිස්ට, විනී රංවල කියන ජනප්‍රිය සිනමා නළු නිළියෝ රඟපෑවා. ඔවුන් හා කරට කර රඟපෑමේ අවස්ථාව මට උදාවුණා. එහි ආනන්ද වීරකෝන් දොස්තර වරයෙක්ගේ චරිතය රඟපාන විට මා රඟපෑවේ ඔහුගේ සහය හෙදියගේ චරිතයයි. ඉන්පසුව ලැබුණු ‘පෙම් හටන’ වේදිකා නාට්‍යයේ දී මට රඟපාන්නට සිදුවුණේ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ රඟපා ඉතා ජනප්‍රියව සිටි ශාන්ති අබේසේකර සමඟයි. ඒ නිසාම මට පුවත්පත් හා සඟරාවල මුල්පිට සරසන්නට ද ආරාධනා ලැබුණා. ඒ පළ වූ එක්තරා සඟරාවක මාව නම් කරලා තිබුණේ ‘දහවෙනි තරුව’ නමින්. මේ නිසාම පාසලේ දි විවිධ අඩත්තේට්ටම්වලට ලක්වන්නටත් මට සිදු වෙන්නේ නිතැතින්මයි.”

මේ කාලයේ මියුරිට ඉංග්‍රීසි කියා දෙන්නට එන්නේ අයියාගේ යහළුවෙක් වූ එස්.ඒ.පී සමරසිංහ. ඔහුගේ සිතේ මේ දඟකාර යුවතිය ගැන ආදරයක් මෝදු වන්නේ ඉබේටම. ඒ සිතුවිල්ල ඔහුට වචනයට නගන්නට සිද්ධ වෙන්නේ තමන්ගේ සිත ගත්ත ප්‍රේමණිය තමන්ට අහිමි වේය කියන බියෙන්. මියුරිගේ සිතේ ඔහු ගැන කැමැත්තක් තිබුණත් ඈ නොවෙයි එකපාරටම ඒක පෙන්නුවේ. සතියකට පස්සේ ඇගෙන් ලැබුණු පිළිතුරත් එක්ක සමරසිංහගේ මියුරිට තිබෙන ආදරේ දෙගුණ වුණා. ඉක්මනින් ම විවාහ විය යුතුයි කියලා දෙන්නාම තීරණයකට ආවේ ඊට පස්සේ. ඒ අනුව ඔවුන් විවාහ වුණේ 1959 දෙසැම්බර් 30වැනිදා. බොහොම සාමකාමීව ගෙවුණු පවුල් ජීවිතයේදි වසර කිහිපයකට පස්සේ දරුවන් සිව් දෙනෙකුට මේ දෙපළගේ කැදැල්ලේ දොර අරුණා. ඒ වගේම මියුරිගේ කලාවට තිබුණු අසාව එන්න එන්නම වර්ධනය වුණේ සමරසිංහටවත් නොදැනීම.

“ මේ වනවිට මගේ වයස අවුරුදු විසිහතරක්. මගේ රංගනයේ දෙවැනි උත්පත්තිය ආරම්භ වෙන්නේ මේ කාලයේදියි. හරියටම ඒ 1966 වසරේ වැලිකල රත්නගේ ‘අලුත් දවසක්’ වේදිකා නාට්‍යයෙන්. මගේ පළමු මිතුරිය වුණූ මර්සිත් සමඟ මා මෙහි ප්‍රධාන චරිතයකට පණ පෙව්වා. ඒ වගේම මගේ තිබුණූ කාර්යශූර බවට පැහැදුණු දයානන්ද ගුණවර්ධන මහත්තයා මට සිංහල සංස්කෘතික ආයතනයේ සමාජිකත්වය ලබා දුන්නා. අද වගේ නොවෙයි එදා එහි සාමාජිකත්වය ලබා දෙන්නේ පස්මහ බැලුම් බලලා. ඊළඟට විධායක සභාවටත්, නැටුම් අනුමණ්ඩල ලේඛිකාවක් විදියට පත්වන මා ඒ

අනුමණ්ඩලය බොහෝ දියුණු කළා. ඉන් පස්සේ සංගීත අනුමණුඩලයටත් ආදී විදියට සිංහල සංස්කෘතික ආයතනයේ විවිධ වෙනස්කම් රාශියක් සිදු කළා. එහි ළමයි සමඟ පැමිණෙන මව්වරුන්ට කියැවීමට පුස්තකාලයක් ඇති කළා. ඒ විදියට සිංහල සංස්කෘතික ආයතනය මගේ කලා ජීවිතයේ එක්තරා අඩිතාලමක් වුණා. මේ අඩිතාලම දමන්න මූලික වුණේ මගේ සැමියා බව ද කිව යුතුමයි. ඔහුගේ පූර්ණ ආශිර්වාදය යටතේ මා මගේ කලා කටයුතු කරගෙන ගියා. අදටත් මා සිංහල සංස්කෘතික ආයතනයේ විනය පාලක මණ්ඩලයේ සමාජිකාවක්.”

රංගනයෙන් සෑහිමකට පත්නොවන මියුරිගේ ඊළඟ ප්‍රයත්නය වුණේ නාට්‍ය නිෂ්පාදනයට පිවිසීම. ඒ සඳහා ඈ අත්පොත් තියන්නේ ‘ලෝක දෙකක් අතර’ කෙටි නාට්‍යය ලියා, නිෂ්පාදනය කිරීමෙන්. 1972 වසරේ තිබුණු ‘නව මඟක යන්නෝ’ කෙටි නාට්‍ය උලෙළෙට ඉදිරිපත් කරන මේ නාට්‍යයේ හොඳම නිළිය ලෙස සම්මාන ලබන්නට තරම් මියුරි වාසනාවන්තියක් වුණා. ඉන් ධෛර්යවත් වන ඕ ‘පරසක්වල පැයක්’ වේදිකා නාට්‍යයත් ලියා අධ්‍යක්ෂණය කරනවා. එහිදි එයට ලැබෙන්නේ හොඳම නිළිය වගේම තවත් සම්මාන රැසක්. එහි හොඳම නිළිය ලෙස සම්මාන ලබන්නේ ඇගේ ලොකුදුව සුජීවා. ‘හිම කුරුල්ලෝ’, ‘අම්මයි පුතයි’, ‘පාරා’ නවසිය අනූනවය, සපතේරු හාමිනේ, ‘ඇනා කැරනිනා, ආදී නාට්‍ය රැසක් ම අධ්‍යක්ෂණ කර නිෂ්පාදනය කරන්නේ මියුරිමයි.

“1976 වසරේ ‘පාරා’ වේදිකා නාට්‍යයේ විශිෂ්ටතම චරිත නිරූපණය වෙනුවෙන් හා 1981 වසරේ ‘නවසිය අනූනවය’ වේදිකා නාට්‍ය යේ හොඳම නිළිය විදියට ලැබෙන ජනාධිපති සම්මානත්, කෙම්මුර ටෙලි නාට්‍යයේ හොඳම සහය නිළිය ලෙස ලබාගත් සිනෙසිත් සම්මානයත් ජීවිතයේ මා ලැබූ ඇගයීම් කිහිපයක් පමණයි. පුංචි තිරයට මගේ ආගමනය සිද්ධ වෙන්නේ බන්දුල විතානගේ ගේ ‘එරබදු මල්’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු මගේ ඒ ගමන ඉරට හඬන මල්, ඉසුරු සොයා, ඉරපායා, නෑදෑයෝ, බුමුතුරුණූ, මඩොල් දූව, අඹ යහළුවෝ, සඳගල තැන්න, සුද්දිලාගේ කතාව ඇතුළු නාට්‍ය තුන්සියයක් දක්වා දිවෙනවා. ඒ වගේම මේ වනවිට චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකට මගේ රංගන දායකත්වය ලැබිලා තියෙනවා. යුගාන්තය, යහළු යෙහෙළි, විරාගය, අඳුරෙන් එළියට, ආදර හසුන, යසඉසුරු, යුවතිපති, අන්තිම රැය කියන්නේ ඉන් කිහිපයක්. ”

මේ බොහෝ නිර්මාණවලදි ඇය පණ දුන්නේ අම්මාගේ චරිතයට. එහෙම වුණත් ඇයව ප්‍රේක්ෂකයන්ට මතක සිටින චරිතයක් බවට පත් වෙන්නේ නිතැතින්මයි. ඇය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ හදවත ලැගුම් ගත් සුන්දර නිළියක්.

“ මම මෙතෙක් රඟපෑ චරිත අතරින් වැඩිපුර ම රඟපාලා තියෙන්නේ අම්මාගේ චරිතයයි. ඒ චරිත එකින් එකට වෙනස් වූ නිසයි මාව ප්‍රේක්ෂකයන්ට තවමත් මතක ඇති චරිතයක් වී ඇත්තේ. මුලින්ම මා අදාළ පිටපත මුල ඉඳලා අගටම කියවනවා. ඊළඟට අධ්‍යක්ෂවරයා සමඟ කරන කතාබහෙන් පස්සේයි මා විසින් ම ඒ චරිත ප්‍රති නිර්මාණය කරනු ලබන්නේ. එහිදි ඉබේම ඒ චරිත මගේ මනසේ මැවෙනවා. මේ විදියට මට අම්මාගේ චරිතය ම ලැබෙන්න ඇත්තේ කියලා මා සිතන්නේ මා රඟපෑ නවසිය අනූ නවයේ අසූවක් වයස කාන්තාවගේ චරිතය නිසයි.”

මේ සුන්දර නිළිය දරුවන් සිව් දෙනෙකුගේ අම්මා කෙනෙක් වුණත් රඟපෑමට ඒක බලපෑමක් වුණේ නැති තරම්. දරුවන් හදාවඩා ගන්නට ඈට පිරිවරක් ම සිටියා. විශේෂයෙන් ම අම්මා ඇයව ඒ වගකීමෙන් නිදහස් කළා. සමරසිංහගෙන් ලැබුණු උදව්වත් ඒ වගේමයි. නව යොවුන් වියේදීම විවාහ වෙලා බොහොම ආදරයෙන් සිටි දෙන්නා දෙමහල්ලන්ගේ ජීවිතයටත් දවසක් කණකොකා හැඬුවා.

“ මට අවුරුදු තිස්නවයේදියි සමරසිංහ අපි සියල්ලන්ම තනි කරලා යන්නේ. එදා 1978 නොවැම්බර් 28 වැනිදා බව මට හොඳට ම මතකයි. ඊට මාසයකට කලින් මට දැඩි සේ ආදරය කළ අම්මාත් අපව අතහැර යනවා. ඒ දෙන්නාගේ හුස්ම යන්නේ මගේ වම් අත හා දකුණු අත උඩයි. එතකොට දරුවන් පුංචියි. මොන දේ වුණත් ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන්න මම හිත හදා ගත්තා. ”

ටික කාලයක් කලාවෙන් ඈත්වෙලා සිටිය මයුරි නැවතත් කලාවට පිවිසියා. එතැන් පටන් ඈ තම දුක තුනීකර ගත්තේ කලා කටයුතුවල නියැළිලා. හරියට කලාවත්, මයුරිත් කියන්නේ ගහයි, පොත්තයි වගේ. කලා දිවියට අඩ සියවසක් උදා වෙනවා කියන්නේ මේ ආව ගමන ලෙහෙසි පහසු ගමනක් නොවෙයි.

“අඩ සියවසට අයත් වෙන්නේ එදා පටන් අද දක්වාම අඛණ්ඩව ආව මගේ රංගන ගමනයි. එය කොතැනකවත් නැවතුණේ නැහැ. දවසින් දවස මා ඉදිරියට ම ගියා මිසක් ආපස්සට අවේ නැහැ. ඒ ගමන මම තවමත් යන්නේ ඉදිරියටමයි. මොනවා වුණත් ඒ අතීතය දෙස හැරිලා බලද්දී මට දැනෙන්නේ සතුටක්. නිළියක්, අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදිකාවක්, පිටපත් රචිකාවත්, සංවිධායකවරියක් කියන මේ සෑම අංශයකම සැරිසැරුවේ කොහොමද කියලා හිතෙන විට මට මා ගැන ම ඇති වෙන්නේ පුදුමයක්. ඒ ගමනේ සන්දිස්ථායක් විදියටයි මා මේ වසර පනහ සලකන්නේ. මින් පස්සේ රඟපෑමට පමණක් සහභාගි වෙමින් අනෙක් භූමිකාවලින් සමු ගන්න මා අදහස් කළා. මේ වනවිට මා තුන් මුනුබුරන් බලන්නට තරම් වාසනාවන්ත මිත්තණියක්. ඉදිරියේදි නිදහස් ජීවිතයක් ගත කරමින්, අධ්‍යාත්මික ජීවිතයකට වැඩි නැඹුරුතාවක් දක්වන්නයි මා සිතාගෙන සිටින්නේ. අවසාන වතාවට මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න උදව් කළ, රංගනය පුහුණු කළ මගේ ගුරුවරුන් ඇතුළු සියලු දෙනාවම මා මතකයට නගන්නේ බැති සිතෙන්.”

ඈ තවමත් එදා මෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනා සිටින්නියක්. ඒ විතරක් නොවෙයි සිතෙන් තවමත් තරුණ, රුවෙන් තවමත් සුන්දර කාන්තාවක්. කවදත් නොසිදෙන උල්පතක් වූ මුවඟේ සිනාව ඇගේ සුන්දරත්වය තවත් ඔප් නංවනවා කිව්වොත් වරදක් නොවෙයි. ඒ නිසා මියුරි සමරසිංහ ආදරය කරන ඔබ හැමෝටම අප ආරාධනා කරනවා. ඒ ඈ වෙනුවෙන් පැවැත්වෙන ‘මියුරි සමරසිංහ රංගාභිනන්දන උලෙළ’ට ඔබත් එන්න ටවර් එකට. ඔබේ පැමිණීම ඇයට සතුටක් ගෙන එන වග අප දන්නවා.