වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




නිරූපිකාවන් හැමෝටම රඟපාන්න බෑ

නිරූපිකාවන් හැමෝටම රඟපාන්න බෑ

නිරූපිකාවන් දෙස වපර ඇසින් බලන්නේ මුල් බැස ගත් සමාජ මත නිසයි

මට ලංකාවේ හොඳම නිරූපිකාව වෙන්න ඕනෑ

සකුන්තලා මධුශානි කොළඹ අහස සහ ඉස්සරහට යන්න යන නාට්‍යවලින් නිළියක් විදිහට අපට හමු වුණා. ඒ අතරේ ඇය මෝස්තර නිරූපණයේ ද යෙදෙන්නේ ඒ අංශයෙන් ද ඉදිරියට යන්න හිතාගෙනයි. සකුන්තලා අද F B  පිටුව හැඩ කරන්නට එක් වුණා. බලමු ඇය කියන්නේ මොනවද කියලා.

සකුන්තලගේ Pet Name  එක සකු වෙන්න ඇති?

ඔව්.

මාත් එනමින්ම කතා කරන්නම්?

ok, ok.

ඉතින් සකු, තවම පාසල් ගමන නිමා කළා විතරයි නේද?

මං කලාවට ආවේ පාසල් යන ගමන්ම තමයි.

කොහොමද පාසලෙන් ලැබුණු සහාය?

මම ගොඩක් ඉගෙනුම් කටයුතුවලට මුල් තැන දුන්නා. ඒකයි වැඩිපුර රඟපෑමේ කටයුතුවල නියැළුණේ නැත්තේ. හැබැයි පාසලෙන් මට අනගි සහායක් ලැබුණා සියලු කලා කටයුතුවලට.

මේ වෙලාවේ පාසලත් මතක් කළොත් හොඳයි?

කැස්බෑව ධර්මසේන ආටිගල විද්‍යාලය.

ඔබ ඇයි නිරූපිකාවක් වෙන්නට හිතුවේ?

මට ඕනෑ ලංකාවේ හොඳම නිරූපණ ශිල්පිනිය වෙන්න. ඒක තමයි මගේ එකම හීනය.

පොඩි කාලේ ඉඳලා ඒ හීනය හිතේ තිබුණාද?

ඔව්. මතක ඇති කලේ ඉඳලා මං මෝස්තර නිරූපණයට අදාළ පොත්පත් රූපවාහිනී වැඩසටහන් බැලුවා. අම්මා තමයි මට ඒ සඳහා ගොඩක් උදව් කළේ. මගේ සතුට තමයි ඇයගේත් සතුට.

ඔය අතරේ රංගනයට ආවේ ජනප්‍රිය වන්නද?

අනේ නැහැ. එහෙම ඇහැව්වේ ඇයි. මෝස්තර නිරූපණයේ යෙදුණාමත් ජනප්‍රිය වෙනවනෙ.

නැහැ. ඉතින් මෝස්තර නිරූපිකාවන්ට වැඩියෙන් නිළියෝ ජනප්‍රියයිනේ, ඒකයි?

ඒකත් එහෙමද. හරි මං ඒ ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. මං කලාවට ආසයි. කලාවෙන් ඉදිරියට යන්න මට හැකියාවක් තියෙනවා කියලත් මං දන්නවා. රංගනයට පිවිසුණෙත් ඒකයි. නිරූපිකාවන් හැමෝටම රඟපාන්න බැහැනෙ. කලාවේ ඉඳලත් මගේ හැකියාවන් දියුණු කර ගන්නේ නැත්නම් වැඩක් නැහැනෙ.

ඔබ වඩාත් කැමැති මෝස්තර නිරූපණයට ද රංගනයටද?

අපෝ එහෙම ඒකක් කියන්න බැහැ. මේ අංශ දෙකටම ආසයි. දෙකම එක වගේ කරගෙන යන්නයි හිතාගෙන ඉන්නේ. ඒත් රංගනයට මට ලැබුණු අවස්ථා නම් මදි.

ඒ මොකද?

අනේ මන්දා. මං හිතන්නේ මාව කවුරුවත් අඳුනන්නෙත් නැහැනෙ වැඩිය. අනික නිරූපිකාවන්ට රඟපාන්න බැහැ කියලා මතයකුත් තියෙනවානෙ. ඒක වෙන්න ඇති.

නිරූපිකාවන්ට සමාජයේ ඇති පිළිගැනීම ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තම කතන්දරේ මේකයි. සමාජයේ පිළිගැනීමක් ලබාගන්න නිරූපිකාවක් වෙලා බැහැ. ඒකට වෙන වෘත්තියක් කරන්න ඕනෑ. සමාජයේ මුල් බැසගත් මත තිබෙනවා නිරූපිකාවන් ගැන. ඒවායින් බහුතරයක් ධනාත්මක මත නෙවෙයි. නිරූපිකාවක් දෙස වපර ඇසින් බලන්නේ ඒකයි.

ඔබත් ඒ අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවාද?

ඔව්. හොඳට සිටිනවා නම් මෝස්තර නිරූපණ වෘත්තියට හොඳ ගරුත්වයක් ලබා ගත හැකියි.

ඔබ ඔය නොකියා කියන්නේ මෝස්තර නිරූපිකාවෝ බොහොමයක් නරකයි කියලද?

මට ඒකට කියන්න තියෙන්නේ ඇත්ත දන්න අය ඇත්ත දන්නවා කියන එක.

ඔබ රංගනයට පිවිසුණු ආකාරයත් මතක් කළොත්?

සහාය අධ්‍යක්ෂවරයකුගේ මාර්ගයෙනුයි මට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ. කොළඹ අහස තමයි මගේ පළමු නාට්‍යය. ඊට පස්සේ ඉස්සරහට යන්න රඟපෑවා. තවත් නාට්‍ය කිහිපයක්ම තියෙනවා ඉදිරියේදී විකාශය වන්නට.

ඒ අතරේ මියුසික් වීඩියීවකත් රඟපෑවලු නේද?

ඔව්. ඒක තමයි සමන් ද සිල්වා මහත්මයාගේ සුරූපී විරූපී.

සකු, කැමැතිම නළු නිළි දෙපළ කවුද?

වර්තමානයේ ඉන්න නළු නිළියන්ට වඩා මං කැමැතියි ඉස්සර නළු නිළියන්ට. ඒ අතරින් විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ වගේ අයව මං අගය කරනවා.

රංගනයේදී ඔබ කාව හරි අනුකරණය කරනවාද?

අනේ නැහැ.

සකු, වැඩියෙන් දුකට පත් වූ දවස මතකද?

මං එහෙම දුකට පත් වෙන කෙනෙක් නෙවෙයි. දුක්වන අවස්ථාවන්වලදී ඒ අදාළ සිද්ධිය අම්මට කියනවා. එතකොට ඇය මගේ හිත හදනවා.

සකු, ජීවිතයේ කරගත්තු ලොකුම මෝඩකම මොකක්ද?

මගේ හිත හොඳ වැඩියි කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඒ හිත හොඳ වැඩිකමට මං අනුන්ට උදව් කරන්න පෙලඹෙනවා. ඒ බොහෝ අවස්ථාවලදී අන්තිමේට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි. අනුන් හට ඕනෑවට වඩා උදව් කිරීමයි මං කරන එකම මෝඩ වැඩේ. කොච්චර පාඩම් ඉගෙන ගත්තත් ඒක අතහැරෙන්නෙත් නැහැ.

ඔබ මෙතෙක් වෙලා කතා කර කර හිටියට කිව්වේ නැහැනෙ තවමත් ඔබ මොස්තර නිරූපණය ඉගෙන ගන්නේ කා ළඟද කියලා?

රොසෑන් ඩයස් මහත්මිය ළඟ. ඇය මට ගොඩ ක් උදව් කරනවා.

මෝස්තර නිරූපණයේ යෙදෙන විට වෙච්ච අමතක නොවන අත්දැකීමක් කියමුද බලන්න?

ඔන්න දවසක් මට ඉවෙන්ට් එකකට යන්න ටිකක් ලේට් වුණා. මං එතනට ගිය වෙලාවෙ ඊඳලා දඩි බිඩි ගාලා ලැහැස්ති වුණා ඉවෙන්ට් එකට. ඇඳුම් ඇඳගෙන හයිහිල්ස් පලඳලා මං ඇවිදින්න හදපුවාම මට ලොකු වෙනසක් දැනුණා. බැලින්නම් කලබලේට මං හයි හීල්ස් කකුල් දෙකට මාරු කරගෙන දාලා. එච්චරට කලබලේ. අනික ඒ හයිහීල්ස් දෙකම එක වගේ. පසුව හීන් සිරුවේ හරි කකුලට හරි හයිහීල් එක දා ගත්තා.

සකු, සාමාන්‍ය ජීවිතයේදී විලාසිතා කරනවාද?

ඔව්.

කොට ඇඳුම් පවා අඳිනවාද?

මට ගැලපෙන කොට ඇඳුම් අඳිනවා.

අම්මා මුකුත් කියන්නේ නැහැ?

අම්මා දන්නවා මං නොගැලපෙන දේවල් කරන්නේ නැහැ කියලා.

සකුගේ ගෙවල් කොහේද?

පිළියන්දල.

උපන් දිනයත් කියමු?

1997 දෙසැම්බර් 10.

ඔබ ගැන ඔබ කෙටියෙන් හඳුන්වන්න බලන්න?

වෘත්තියට අවංක කෙනෙක්.

ඉදිරි බලාපොරොත්තු?

මේ දවස්වල බෙස්ට් මොඩ්ලර් ඔෆ් ද වර්ල්ඩ් ඉවෙන්ට් එකට සහභාගි වන්නට සූදානම් වෙනවා. එයින් එක අංශයකින් හරි ජයග්‍රහණය ලබන්න තමයි එකම පැතුම.