|
‘මට ඔබෙන් ඇස් ඉවතට ගන්න බෑ’The Blower's Daughter
'මට ඔබෙන් ඇස් ඉවතට ගන්න බෑ' ඒ කෙතරම් ආශක්ත වීමක් විය යුතුද? ඔහුට ඇස් ඉවතට ගත නුහුණු තරමට වශීකෘත රුවක් හමුව ඇත. සිහින්ව වැයෙන ගිටාර තත් අතරින් ඩේමියන් රයිස් මෘදුව ගයයි. ඈ එන්නේ මේ ගිටාර තත් ඇතුළතින් විය යුතුය. සංගීතය සිහින් වන තැන නිවිසැනසිල්ලේ හිස එළියට දමමින් ඈ සිනාසෙනවා විය යුතුය. 'කෙටිම කතාවක් ආදරයක් අහිමිව, කීර්තියක් අහිමිව ඇගේ අහසේ වීරයෙක්ව නොපායමින්' ඔහු මේ කිසිත් නැතිව කටහඬක් සමඟ ප්‍රේමයෙන් බැඳී ඇති සැටියකි. නැවතත් ගිටාර තත් තුළින් ජැස්මින් සුවඳ වහනය වන්නට ගනී. ඈ සුවඳ විලවුන් ඉසිනවා වන්නට ඇත. සුළඟ බැහැයි නොකියමින් ඒ සුසුවඳ ?රැගෙන එන්නාක් මෙනි. හමා යාම ඔබට අයිති රාජකාරියකි. මද පවන අප දෙදෙන නිතර අමතක කිරීම වරදකි. මේ ප්‍රකට ගායක ඩේමියන් රයිස් ගයන්නකි. ගීතය නම් කර ඇත්තේ 'බ්ලෝවර්ස් ඩෝටර්' නමිනි. ඩේමියන්ගේ 'ඕ' සංගීත ඇල්බමයේ අන්තර්ගත මේ ගීතය 2004 වසරේ තිරගත වූ මයික් නිකෝල්ස්ගේ 'ක්ලෝසර්' සිනමාපට ට්‍රේලරයට යොදා ගත්තකි. ඉන් පසුව එය 'ක්ලෝසර්' සිනමාපටය සඳහා ද යොදා ගැනිණ. ඩේමියන්ගේ මේ ගීතය පිළිබඳ කතාන්දර රාශියකි. සාමාන්‍යයෙන් තමන්ගේ ගීත පිළිබඳ කතා කිරීමෙන් වැළැකී සිටින හෙතෙම අවශ්‍යයම වුවහොත් කෙටි විස්තරයක් පමණක් සැපයීමේ එකඟතාවයේ දිගටම රැදී සිටි අයෙකි. 'බ්ලෝවර්ස් ඩෝටර්' සම්බන්ධයෙන්ද ඒ ප්‍රතිපත්තිය ඒ ආකාරමය. එහෙත් ඉතාම ආසන්න නිගමන ද්විත්වයකි. පළමු වැන්න මේ ඩේමියන්ගේ සංගීත ගුරුවරයකුගේ දියණියක ගැන බවයි. දෙවැන්න තරමක් කුතුහලය වඩවන සුලුය. එනම් ඩේමියන් වාසය කළ අයර්ලන්තයේ ඔහු සේවය කළ දුරකතන ඇමතුම් ලබා ගන්නා ස්ථානයක කතාන්දරයක් බවයි. 90 දශකයේ හෙතෙම දුරකතන සේවා සපයන තැනක සේවය කරමින් සිට ඇත. නිවෙස්වලට ඇමතුම් ලබා දී විවිධ භාණ්ඩ හා සේවා විකිණීම ඔහුගේ රාජකාරියයි. විශේෂයෙන්ම ජීවිතාරක්ෂණ සේවා සහ උගස් සේවා ලබා දීම ප්රමුඛ රාජකාරියයි. අතිශය නීරස මේ රැකියාවේ නිරත වෙමින් සිටින අතරතුර එක් දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් තරුණියක ගැන මේ ගීතයෙන් කියැවෙයි. රක්ෂණාවරණ විකිණීම පසෙක තබා ඩේමියන් තරුණිය සමඟ ආල කතාවේ යෙදෙමින් අතිශය රසවත් කාලයක් ගත කරමින් සිට ඇත. මේ සබඳකම කෙතරම් දැඩි ද කිවහොත් හේ, තමන්ගේ රාජකාරි කාලය අතරතුර පවා ඇයට ඇමතුම් ලබා දීමට හුරුව සිට ඇත. එහෙත් හදිසියේ ඈ දුරකතනයට පිළිතුරු දීම නැවතුණි. සුළං හැමීම නතර වූයේ ඉන් පසුවය. ගිටාර තත් අතරින් ඈ ගිලිහී වැටෙන්නට ඇත්තේ ඊට පසුවය. ඩේමියන් පහසුවෙන් පසුබසින්නෙක් නොවේ. හේ ඇගේ ලිපිනය සොයාගෙන ඈ ලුහු බඳීන්නට ගියේ බසයකිනි. අවසන ඔහුට හමු වූයේ යාන්තමින් වයස 16ක කුඩා කෙල්ලකි. ඈ තමන්ගේ පාසල් නිවාඩුව අහවර කර යළිත් පාසලට යන අතරතුරය. ඒ ඇගේ නිවාඩු කාලයයි. 'බ්ලෝවර්ස් ඩෝටර්' ඒ කුඩා කෙල්ලගේ ඉමිහිරි කටහඬ නිසා හේතුවෙන් ලියූ ගීතයයි. ඩේමියන් රයිස්ගේ පළමු කේවල ගීතයයි. 2001 දී අයර්ලන්තයේ 'ඩේමියන් රයිස් මියුසික්' ලේබලය යටතේ නිකුත් කළ මේ ගීතය අතිශය ජනප්‍රිය විය. ඉන් පසුව 2002 දී වෝනර් මියුසික් සමාගම විසින් නිකුත් කරන්නට යෙදුණු 'ඕ' නම් ඇල්බමයේද මේ ගීතය අන්තර්ගත කෙරුණි. 'වෙනකෙක් හමුවන තෙක් මගේ මනසෙන් ඔබ ඉවතට නොයයි' අතිශය රොමෑන්තික ගීතයේ අවසන ඔහු කියන්නේ එවැන්නකි. සැබැවින්ම අයකු මනසින් බැහැර නොඋඅතැයි සිතන්නේ තවත් අයකු එතැනට ඇතුළු වන තෙක් නොවේද? ප්‍රේමය විටෙක එයාකාරයෙන් හිස්තැන් පුරවනු ලබයි. තවත් විටෙක විශාල කඩතොලු තබමින් පිළිසකර කළ නුහුණු යමක් පෙන්වා සිටියි. කටහඬක් විෂය කොටගෙන, සුගන්ධයක් විෂය කොටගෙන කෙතරම් නම් බන්ධන ඇති වී ඇතිද? මේ කියන ආකාරයට කටහඬක් මුල් කරගෙන ඇති වුණ බන්ධනයකි. ඒ සා අපූරු බන්ධන සැනින් බිඳී නොයන්නේ නම් මැනවි. ඔහුට කිසි විටෙක ඈ වෙතින් ඇස් ඉවතට ගන්නට නොසිතෙන්නේ නම් මැනැවැයි යළිත් සිතන්නේ ගීතයේ මධුර බව හේතුවෙනි. මේ ප්‍රේමාලාපයක් පමණක් නොවන්නේ එහෙයිනි. 'බ්ලෝවර්ස් ඩෝටර්' යළි, යළිත් විත් හිතේ වදින්නේ එහෙයින්ම විය යුතුය. සංගීතය සහ කටහඬ අතර ඇති සියුම් ඉඩ හැඟීම් ගොන්නකින් පිරී'තිරී යන්නේ එහෙයිනි. ඩේමියන් සතු ශෝකී මෙන්ම ප්‍රේමණීය කටහඬ ඔබව ගින්නකට හෙළන්නේ එහෙයිනි. ඒ ගින්නේ දැවීමේ ආශාව හෝ ජල තටාකයකට පැන එ'ගිනි නිවා ගැනුම ඔබේ රුචිකත්වය පරිදි සිදු කරගත හැකිය. ඉතාම කෙටි පෙම් කතාවක, වීරයකු නැති පෙම් කතාවක සැබෑ අවසානයක් ගැන වේදනාවෙන් කියන 'බ්ලෝවර්ස් ඩෝටර්' මට අමතක නොවන්නේ එ'ගිනි තවම නොනිවුණ බැවිනි. ගින්නක ද යම් රසක් ඇතැයි යළි සිතෙන්නේ එවිටය.
|