වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මට තාත්තා වගේ වෙන්න බැහැ

මට තාත්තා වගේ වෙන්න බැහැ

ගයත්‍රි කේමදාස

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මඟින් මෙහෙයවන සිනමා රසවින්දන වැඩසටහනේ ප්‍රථම බ්‍රහස්පතින්දා සංවාද කවයේ අද වෙන්වන්නේ සංගීතවේදි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වෙනුවෙනි. ඒ වෙනුවෙන් වූ සංවාද කවය අද (01) පස්වරු 4.00ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

දේශීය සංගීත ක්ෂේත්‍රයේ සළකුණක් බඳු වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් අපටම අනන්‍ය වූ සංගීත ශෙලියක් බිහි කිරීමට කැප වූ අපූරු සංගීත නිර්මාණකරුවෙකි. නව සංගීත මානයක් සොයා ගිය ඔහු සිම්ෆනි, ඔපෙරා ඔස්සේ දේශීය සංගීත කලාවට නව රිද්මයක් මුසු කළ සොඳුරු කලාකරුවෙකි. ප්‍රේමසිරි කේමදාසයන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ 'රොඩී කෙල්ල' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමිනි. සිංහල සිනමාව වෙනුවෙන් සිනමාරූපි සංගීතයක් නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමී වූ ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'ගොළු හදවත', 'නිධානය' වැනි චිත්‍රපට සේම ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ 'බඹරු ඇවිත්' වැනි නිර්මාණයන් ශ්‍රී ලාංකේය රසික රසිකාවන් ආකර්ශනය කර ගත්තේ යුග යුග ගණනාවක් පුරා එහි රස නොනසාය.

සිනමාව පමණක් නොව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සහ වේදිකාවේද ඒ පෙළහැර එසේම විය. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ 'දඬුබස්නාමානය', 'වෙද හාමිනේ', 'අකාල සන්ධ්‍යා' සේම ධර්මසේන පතිරාජයන්ගේ 'ඇල්ල ලඟ වළව්ව', 'පුර සක්මන' ටෙලි නාට්‍ය වෙනුවෙන් කළ සංගීත නිර්මාණ ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත්තේය. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මෝරා’ සහ ‘අත්’ වේදිකා නාට්‍ය සේම ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘මකරාක්ෂයා’, ‘ධවලභීෂණ’ වේදිකා නාට්‍ය තුළින්ද ඔහු අපූරු සංගීත රටා මැව්වේය.

දේශීය සංගීතඥයන් අතර ඔපෙරාව ප්‍රගුණ කරමින් ඔහු නිර්මාණය කළ මානස විල දොරමඬලාව, අග්නි සහ සොඳුරු වර්ණදාසි වැනි අගනා නිර්මාණ දේශීය නිර්මාණ අතරට එක් කළේය. බුදුන් වහන්සේගේ පිරිනිවන් අවස්ථාව පාදක කොට ඔහු නිර්මාණය කළ 'පිරිනිවන් මංගල්‍ය' කැන්ටාටාව මෙතෙක් බිහි වූ එකම බෞද්ධ කැන්ටාටාවද වන්නේය.

ආචාර්ය කේමදාසයන් හෙවත් කේමදාස මාස්ටර් මනුෂ්‍යත්වයෙන් පිරි අපූරුතම මිනිසෙක් බවට පත් වන්නේ අඩු ආදායම් ලාභී දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් 1992 වසරේදී කේමදාස පදනම පිහිට වීමෙනි. ඒ ඔස්සේ එතුමා දුප්පත් දරුවන්ට නොමිලයේ සංගීත අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කළේය. 2008 වසරේදී සංගීත ක්ෂේත්‍රයේ නව මං විවර කරමින් ඉතා විශාල වූ මෙහෙවරක නියැළුනු මේ මහා ගාන්ධර්වයා දැයෙන් සමු ගත්තේය. එය එසේ සිදු වී ලබන 24 වැනිදාට සත් වසරකි. ආචාර්ය කේමදාසයන්ගේ සංගීත කටයුතු ඉදිරියට ගෙන යාමේ වගකිම දන්නට ඔහු තම දෑසවන් දියණියන් දෙදෙනෙකු ක්ෂේත්‍රයට දායාද කළේය. එම වගකීම උර දරමින් අනූපා සහ ගයත්‍රි දියණියන් තම සංගීත දැනුම් සම්භාරයද සමඟින් යුතුකම් ඉටුකරති.

අද සංගීතයට පෙම් බඳින සැමට විශේෂිත දිනයකි. ශ්‍රී ලංකා පදනමේ ඩ්ජිටල් ෆිල්ම් ඇකඩමියේ සංවාද කවය වෙන් වී තිබෙන්නේ සංගීතය වෙනුවෙනි. එනම් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, ඔහුගේ නිර්මාණ පිළිබඳ සොඳුරු සංවාදයකටය. මෙම අවස්ථාවට කේමදාසයන් සමඟින් එම නිර්මාණ කාර්යයන්හිදි කටයුතු කළ සහෘදයන් රැසක් සම්බන්ධවීමට නියමිතය. අද ඒ පිළිබඳ අපත් සමඟ කතා කරන්නේ කණිටු දියණිය ගයත්‍රි කේමදාස.

අද සුවිශේෂි දවසක්?

ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මඟින් සංවිධානය කෙරෙන මෙම සංවාදයට තාත්තා සමඟ කටයුතු කළ සහෘදයන් රැසක් සහභාගි වීමට නියමිතයි. එහිදී තාත්තාගේ මතකයන් සිහිපත් කරනවා සේම නිර්මාණ රස විඳින්නත් කටයුතු කර තිබෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව විසින් මෙම සුවිශේෂ අවස්ථාව සංවිධානය කෙරෙනවා. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රථමයෙන් ස්තූති කර සිටිනවා.

මෙම සොඳුරු සංවාදයට එක්වන විශේෂ පිරිවර?

රඹුකන සිද්ධාර්ථ හිමි ප්‍රධානව ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, ටී. එම් ජයරත්න, නිලේන්ද්‍ර දේශප්‍රිය, ටී අර්ජුන්, ආචාර්ය අජන්තා රණසිංහ, නිහාරි සෝමසිරි, සුමුදු පතිරාජ, චූලා කාරියවසම්, සාගර විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන, රංජිත් පෙරේරා, සුවිනීතා සුබසිංහ, නවීන් ගුණරත්න, ධර්මසිරි වික්‍රමරත්න, සුදත් මහදිවුල්වැව මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතයි. තාත්තා සමඟ සංගීත නිර්මාණකරණයේදී සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය වලදී විවිධ අංශ වලින් කටයුතු කළ සහ එවකට මංජරියේ මෙන්ම පදනමේ කටයුතු කළ අයත් මෙහිදී තාත්තා සමඟින් වූ මතක සිහිපත් කරන්න සූදානම්.

මෙම සංවාද කවය වෙන් වෙන්නේ?

තාත්තාගේ සංගීතයට ආදරය කරන තාත්තාගේ නිර්මාණ අගය කරන හැමෝටම මෙම අවස්ථාව විවෘතයි. අද (ඔක්තෝබර් 01) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මෙම සංවාද කවය පස්වරු 4.00ට ආරම්භ කරන්න නියමිතයි. නොමිලයේ පැවැත්වෙන මෙම සංවාද කවය වෙනුවෙන් සහභාගි වන්නට ඔබ සැමට ආරාධනා කරනවා.

ආචාර්ය කේමදාසයන් මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ සුසමාදර්ශී වෙනසක් ඇති කළ සංගීතඥයෙක්. ඒ වෙනස, ඒ සංගීත ආර දිගටම රැක ගැනීමට මෙන්ම වර්ධනය කර ගැනීමට ඔබේ දායකත්වය ලැබෙන්නේ කෙසේද?

අපි දෙදෙනා විතරක් නෙවෙයි තවත් අය ඒ කාර්යයට බැඳි සිටිනවා. ඒ වුණත් බොහෝ දෙනෙක් කරන්නේ තාත්තාව කොපි කරන එකයි. ඔවුන් තාත්තාගේ නිර්මාණ කොපි කරන්න උත්සාහ කර එක තමයි දකින්න ලැබෙන්නේ. ඒ වුණත් අපේ තාත්තාගේ විශේෂත්වය වුණේ කිසිවෙකුත් කොපි නොකිරීමයි. තාත්තා වෙන කෙනෙක් කොපි කළා නම් තාත්තා කේමදාස වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් තාත්තා වගේ වෙන්න හදනවා. අපූරු නිර්මාණ බිහි නොවන්නත් ඒක හේතුවක්.

වර්තමානයේ මව්පිය පරපුරේ දායාද දරුවන්ට උරුමයි?

බොහොමයක් ළමයි කරන්නේ මා පිය පරපුරේ නිර්මාණම ඉදිරියට ගෙන යන එකයි. අපි පෙර පරපුරේ නිර්මාණ රැක ගත යුතුයි. නමුත් ඒ මතම යැපුනොත් ඉදිරියක් නැහැ. තාත්තා නිර්මාණ කෙතරම් සුවිශේෂි පුද්ගලයෙක් වුණත් මම තාත්තා වෙන්න හදන්නේ නැහැ. තාත්තා හැමදාම කිව්වේ, බිතොවන් කියන්නේ එක්කෙනෙත්. මොසාට් කියලා හිටියෙත් එක්කෙනෙක් කියලයි. ඒ වගේම කේමදාස කියන්නෙත් එක්කෙනෙක්. ඒ නම තුළ ජීවත් වෙන්නේ එක් පුද්ගලයෙක්. ඒක අනුකරණය කරන්න ගියොත් අනාගතයක් නැහැ. අපි අපටම විශේෂ අනන්‍යතාවයක් ගොඩනඟා ගත යුතුයි.

විදෙස් රටක ජීවත් වෙමින් ඔබ එම අනන්‍යතාවය මෙරටදී ගොඩනඟා ගන්නේ කෙසේද?

දැනට මම එංගලන්තයේ වගේම අමෙරිකාවෙත් සංගීත කටයුතු වල නියැළිලා සිටිනවා. ශ්‍රී ලංකාවේදී අපි ගිය වසරේ කලාගාරිත රංග ප්‍රසංගයක් කළා. ඒක ලංකාවේ ප්‍රථම වරට පැවැත්වූ ප්‍රසංගයක්. මෙතෙක් ලංකාවේ කලා ලෝලීන් එවැනි කලාගාරිත ප්‍රසංගයක අත්දැකීම් ලබා තිබුණේ නැහැ. කලාගාරයක් ඇතුළත කෙරෙන ගීතය, ඔපෙරාව, කවිය මේ සියල්ල එකතුව කළ නිර්මාණ අත්දැකීමක් විඳගන්න මෙහිදි අවස්ථාව ලැබුණා. ඉංග්‍රීසියෙන් ගැලරි පෆෝමන්ස් නම් වූ එයට සිංහල වචනයක් තිබුණේ නැහැ. කේමදාස පදනමේ සිටින දිනූෂ නදීක තමයි මේ නම යෝජනා කළේ. අපි දැකලා තිබුණ දේවල් අපේ අත්දැකීම් හඳුන්වා දෙන්න තමයි එය සංවිධානය කළේ.

ඊට අමතරව පදනම හරහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කලාකරුවන් දෙනකු ගෙන්වා මෙරටදී වැඩමුළුවක් කළා. කලාගාරිත රංග ප්‍රසංගයට විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් සමඟ මෙම කලාකරුවන් දෙදෙනා සම්බන්ධ වුණා. ලබන මාසයේදි තාත්තා සිහිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදීත්, රුහුණු විශ්වවිද්‍යාලයේදීත් ඉන් පසුව ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වලත් පවත්වන්න සූදානම් වෙනවා.

විදෙස් රටවලදී ඔබේ අත්දැකීම් මෙරට සමඟ බෙදා ගන්නේ කෙසේද?

ලංකාවේදී මම කරන සංගීත කටයුතු සමඟ සම්බන්ධ කර ගත්නේ මෙරට සංගීතයට උනන්දු දක්ෂ දරුවන්. කලාගාරිත රංග ප්‍රසංගයට මම දායක කර ගත්තේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින්. ලබන ජනවාරි මාසයේ පටන් අපි පංති පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. සෑම මසකටම වරක් වැඩමුළු පවත්වන්ත් කටයුතු යොදන්න සූදානමින් සිටින්නේ. කොළඹ ආශ්‍රිතව පළමුව මෙම කටයුත්ත ආරම්භ කළත් පසුව දිවයින පුරා එය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

දැන් අපට තියෙන තාක්ෂණය හරිම දියුණුයි. තාත්තා හැමදාම කිව්වේ අපි සිංදුවක හිරවෙලා සිටින ගතියක් තිබෙනවා කියලයි. විදෙස් රටවල් සමඟින් සැසඳීමේදී සංගීත නාදයක් රසවිඳ ඔපෙරාවක් රසවිඳින්න වගේම පර්යේෂණාත්මකය නිර්මාණ කෙරෙනවාද කියන එක ගැටළුවක්. කොහොම වුණත් පිටරට කෙරෙන දේවල් ඒ විදියටම කළ යුතු වෙන්නේ නැහැ. අපි වැඩ කළ යුත්තේ අපේම අනන්‍යතාවයක් සමඟින්. අපි ගොඩක් කැමැති ගීතයක් රස විඳලා මොහොතක විතරක් ජීවත් වෙන්න. එයින් එහා හිතන්න නැඹුරුව අඩුයි. නමුත් එතැනින් එහාට ගොස් සංගීත රසයක් විඳින්න හුරුපුරුදු වූ පිරිසක් තාත්තා වටා රැස් වෙලා හිටියා.

කේමදාස පදනමේ වර්තමාන ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කෙසේද?

අපේ අම්මා සමඟින් අක්කයි මමයි වර්තමානයේ පදනම භාරව කටයුතු කරනවා. පදනමෙන් විවිධ වැඩමුළු සංවිධානය කෙරෙනවා. අමෙරිකාවෙන් පැමිණි කලාකරුවන් දෙදෙනා සේම ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියෙක් අපේ වැඩමුළුවලට සම්බන්ධ වෙනවා. ලබන මාසයේදීත් ඒ වෙනුවෙන් ඔහු මෙරටට එන්න සූදානම්. ඒ වගේම ඉදිරියේදීත් මෙරට වැඩමුළුවක් සඳහා තවත් අමෙරිකානු කලාකරුවන් දෙදෙනෙක් සම්බන්ධ වෙන්න සූදානම්. ජනවාරි මාසයේ සිට මසකට වරක් වැඩමුළුවක් පවත්වන්න අපි සූදානම්.

පදනමට නව සාමාජිකයන් බඳවා ගන්න වසර අවසානයේදී දැනුම් දෙනවා. www.pemasisrikemadasa.lk  වෙබ් අඩවිය ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ අපි එය දැනුම් දෙනවා.

කේමදාස මාස්ටර්ගේ සංගීත නිර්මාණ සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන්නත් ඔබ පියවර අරගෙන ඇති?

ලංකාවේ බොහෝ දෙනෙක් වෙනත් නිර්මාණකරුවෙකුගේ නිර්මාණ අවසරයෙන් තොරව භාවිතය සොරකමක් ලෙස හිතන්නේ නැහැ. මගේ මොබයිල් ෆෝන් එකේ තියෙන්නෙත් අපේ තාත්තා කළ අපූරු සංගීත නිර්මාණයක්. නමුත් එම ආයනතය තාත්තාගේ නිර්මාණය රින්ග් ටෝන් වෙනුවෙන් ඇතුළත් කරලා තියෙන්නේ අපෙන් අවසර අරගෙන නෙවෙයි. බොහෝ දෙනෙක් විමසන්නේ එය සොරකමක්ද කියලයි. ඒක අහන්න දෙයන් නැහැ. ඒක සොරකමක් තමයි. ගීතයක අයිතියක් තියෙන්නේ එය නිර්මාණය කරන සංගීතඥයාට සහ ගී පද රචකයාට. ඒ දෙදෙනාගෙන් අනුමැතිය නැතිව එය භාවිතය සොරකමක්. ඒක හරියට අපි කඩයකට ගිහින් බඩුවක් අරගෙන එළියට ගිහින් ඒක සොරකමක්ද කියලා අහනවා වගෙයි. එය කලාකරුවන් කලාකරුවන්ටම කරන ලොකු අසාධාරණයක්. අපේ අම්මා තාත්තාගේ නිර්මාණ සම්බන්ධයෙන් විමසිලිමත් වෙනවා.