වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




අන්දන්න බැරි සරත් බොයිලේරුවෙන් අඳී

අන්දන්න බැරි සරත් බොයිලේරුවෙන් අඳී

සම්මානනීය අධ්‍යක්ෂ සරත් ධර්මසිරි උන්නැහේව ලෙහෙසියෙන් කෙනෙකුට අන්දවන්න බැහැ. මොකද වයස සහ අත්දැකීම් එක්ක මිනිහෙක් හැරෙද්දී සරත් දන්නවා මොකාටද මේ එන්න හදන්නේ කියලා. එහෙම ඉන්නේ නැතුවත් බැහැනෙ ෆීල්ඩ් එකේ ඉන්න අයගේ හැටියට. හරිම අවධානයෙන් ඉන්න ඕනෑ. නැත්නම් ළඟින් ගියොත් ඇහැක් නෙවෙයි මුළු ශරීරයම නැහැ. මං මුලින් එහෙම කිව්වට අපේ සරත් ගොයියව කෙනෙක් ඇන්දුවා. ෆීල්ඩ් එකේ කෙනෙක් කළා නම් දුකක් නැහැ කියන්නකො. කොහෙද යන බුවෙක් තමයි මේ අසමජ්ජාති වැඩේ කළේ. සරත් දවසක් ආනමඩුව පැත්තේ තිබුණ ටෙලියක් ඉවර වෙලා පහුවෙනිදා කළ යුතු වැඩ ගැන කල්පනා කර කර හිටියා. ඔහුට එකපාරටම මතක් වුණා හෙට තියෙන කඩේ සීන්වලට බොයිලේරුවක් ඕනෑ කියලා. ටක් ගාලා කතා කළා ආර්ට් ඇසිස්ටන් කෙනෙකුට. කිව්වා බොයිලේරුවක් ඕනෑ කියලා. ටික වෙලාවකින් අර ආර්ට් කොළුවා කියනවා බොයිලේරු නැහැලු. සරත්ට තේරුණාලු මේකා මේ කම්මැළිකමට එහෙම කියන්නේ කියලා. වෑන් එක අරගෙන කොළුවත් එක්ක සරත් නැගලා දැන් බොයිලේරු හොයන්න පිටත් වුණාලු. ඒ අතරෙ සරත්ට අර කොළුවා පාපොච්ඡාරණයක යෙදෙනවලු තමන් කළ බොරුව ගැන.

'හිතුවා මදි මාව අන්දන්න' කිය කියා සරත් ගොයියා දැන් ඉදිරිය බල බලා යනවලු. ඔන්න ඔහොම යද්දී පාළු පාරක් ළඟ වයසක බුවෙක් ඉන්නවලු. තමන්ගේ වතගොත පවසලා අර මිනිහාගෙන් සරත් ඇහැව්වලු බොයිලේරු ගැන.

“බොයිලේරු දෙන්නම්කො එකට දෙකක්. හැබැයි හැතැප්ම දොළහක් විතර යන්න වෙනවා මං දන්න බොයිලේරු ගෙදරට.”

වෙලාවෙ හැටියට හැතැප්ම සීයක් ගියත් කමක් නැහැ කියලා හිතලා සරත් අර මිනිහවත් නංගගෙන මිනිහා කියපු තැනට ගියාලු. වාහනය නවත්තපු ගමන් අර මිනිහා බැහැලා 'අන්න අර ගෙදරින් අහන්න බොයිලේරු ගැන, මං යනවා' කියලා යන්න ගිහිල්ලා. මිනිහා පෙන්නපු ගෙදර ඇති බොයිලේරුවක් නැතිලු. ඒ මනුස්සයට එන්න බස් එකක් නැති නිසයි බොරුවක් කියලා සරත්ව රවට්ටලා වෑන් එකේ ඇවිත් තියෙන්නේ.