|
නාගයා, කිරියා හා සැන්ඩි සමඟ ළඟදීම එන ‘කුසල්’
මේ සරුංගල් කාලේ පාට පාට සරුංගල් අහස පුරා අමුතුම රටා මවමින් පියාසර කරනවා. හරියට මුළු අහසම එයාලගේ කියලා හිතාගෙන වගේ. මම හරි උජාරුවෙන් මගේ සරුංගලෙත් උඩ ඇරියා. සුළඟ එක්ක හරි හරියට හැප්පෙමින් කරණම් ගහමින් එයා ඉහළ අහසට ඉගිළුණේ මගේ හිතේ සතුට දෙගුණ තෙගුණ කරමින්. අම්මා බොහොම අමාරුවෙන් වලව්වේ වැඩ කරලා ගත්ත සල්ලිවලින් මට අරං දීපු සරුංගලේ නිසා මට මේක හරි වටිනවා. මම ඉපදෙන්නත් කලිනුයි මගේ තාත්තා මැරිලා තියෙන්නේ. ඒ ගල්බොරේකට අහු වෙලා. එදා ඉඳන් අම්මා ගොඩක් දුක් විඳිනවා. අපේ අම්මාට මොකක්දෝ ලොකු අසනීපයක් තියෙනවා කියලා මට දැනෙනවා. එයා නිතරම කහිනවා. ඒත් මට තේරෙන්නේ නෑ ඒක මොන ලෙඩක් ද කියලා. අම්මා මට නිතරම කියන්නේ කුසල් පුතා හොඳ ළමයෙක් වෙන්න ඕනේ කියලා. අයුක්තියට, අසාධාරණයට එරෙහි වෙන්න කියලා. අම්මා හරි පව්. මම අම්මාට ගොඩක් ආදරෙයි. මම දන්නවා එයත් මට ගොඩක් ආදරෙයි කියලා. මගේ සරුංගලේ උඩටම ගිහිං. දැන් පුංචි තිතක් වගේ. කල්පනාවෙන් උන්න නිසා මම නූලත් ගොඩක් දීලා සරුංගලේට. එක පාරම සරුංගලේ නූල මගේ අතින් ඇදිලා ගියා. 'දෙවියනේ . . . සරුංගලේ කැඩුණා. ඒක අහසේ ඈතට වේගයෙන් ඇදිලා යනවා. 'අම්මේ . . . සරුංගලේ කඩාගෙන ගියා. මම කෑ ගහගෙන දුවගෙන ආවෙ ගෙදරට. ඒත් අම්මගේ සද්දයක්වත් නෑ. එයා සාලේ මුනින්තලා වැටිලා. කිසිම හැල හොල්මනක් නැහැ. ගෙදර කට්ටියත් පිරිලා. ටික වේලාවක් යන කොට මට තේරුණා සරුංගලේ ගියා වගේ අම්මත් මාව දාලා ගිහිං. දැන් මම තනි වුණ ළමයෙක්. මට කාත් කවුරුත් නෑ. ඒ නිසා අම්මා වගේ මමත් ගියා වලව්වේ වැඩට. වලව්වේ මැණිකේ හරි නපුරී. මහ යක්ෂණියක් වගේ. මට නිතරම බණිනවා. ඒත් මම අම්මා වගේ ඉවසුවා. මම වලව්වේ ගොඩක් වැඩ කළා. දර පැලුවා, ගේ අතු ගෑවා, ඉව්වා. හැම දේම කළා. ඒත් මට හරියට කන්නවත් ලැබුණේ නෑ. මම ගැන අනුකම්පා කළේ වලව්වේ හාමු විතරයි. එයා මට කරුණාවන්තයි. 'කුසල් හොඳ ළමයෙක්, අසරණ ළමයෙක්. ඒ දරුවට ඔහොම බණින්න එපා කියලා නිතරම මැණිකෙට කිව්වා. එතකොට මැණිකේ හාමුට සැර දාලා 'ඔහේ මෙහෙ බින්න බැහැලා ඉන්නේ, අන්න අරහේ තියෙන වැඩක් කරනවා' කියලා බණිනවා. ඉතිං හාමුත් කට පියා ගන්නවා. වලව්වේ මැණිකේගේ ඔළුව උඩිං මැස්සෙක්වත් ගියේ නෑ. ඒ තරමට කට්ටිය එයාට බයයි. දවසක් මට මේ දුක ඉවසගන්න බැරුව ගියා. මම කුස්සියේ තිබුණ වළඳක් වේගයෙන් පොළවේ ගැහුවා. වලව්වේ මැණිකේ හනිකට දුවගෙන ආවා. වළඳේ කෑලි බිම දැකලා මැණිකේගේ ඇස් උඩ ඉන්දුණා. 'ආ . . . වළඳ බින්දා නේද?' නෑ, මැණිකේ මම පොළවේ ගැහුවා කියලා මැණිකෙවත් දොර මුල්ලට තල්ලු කරලා මම එදා වලව්වෙන් පැනලා ආවා. ඒ පිම්මට දුවගෙන ඇවිත් මම නතර වුණේ අම්මාගේ සොහොන ළඟ. මගේ දුක කියන්න අම්මා විතරයි මට හිටියේ. අම්මට මාව පේනවද? මාව ඇහෙනවද? කියලා මම අම්මගෙන් ඇහුවා. මට දැනුණා අම්මා මාව අහගෙන ඉන්නවා වගේ. මගේ දිහා ආදරයෙන් බලාගෙන ඉන්නවා වගේ. එදා මම වලව්වෙන් පැනලා ඇවිත් ජීවිතේ ලොකු පිම්මක් පැන්නා. දැන් මම ඉන්නේ පුනරුත්ථාපන කඳවුරක. කඳවුරේදී කුසල් වටා ගෙතෙන සිදුවීම් රාශියකි. ඒ සියල්ලම සිනහව කැටි කොට ප්‍රේක්ෂක සිත් කුතුහලයෙන් පුරවාලන්ට සමත්ය. කුසල් නිකම්ම දරුවෙක් නොවේ. කුසල් අකුසල් හොඳ හැටි තේරෙන දරුවෙකි. ඒ වගේම අයුක්තියට අසාධාරණයට විරුද්ධයි. එවැනි අසාධාරණ සිදුවීමකට එරෙහි වීම නිසා කුසල් අවසානයේ කඳවුරෙන් ද පැන යයි. ඒ ඔහුගේ ඉරණම් ගමනකි. ඔහුව එහිදී හසු වනුයේ දාමරික කල්ලියකටය. දාමරික කල්ලියේ නායක මාස්ටර් කුසල්ව හොරකමට පුරුදු කරයි. එම කණ්ඩායමේ සිටින දක්ෂතම හොරා කිරියා නැමැති සුරතල් රිළවායි. රිළවා හා සොරකමේ යන කුසල්ගේ අනිත් සගයන් වන්නේ ඉරට්ටා හා කෝට්ටාය. අනාථව සිටි කුසල්ට සොරකම නිසා අවසානයේ සිය අනාගත භාරකරු හමුවෙයි. ඒ ඔහුගේ සීයායි. ඔහු පොහොසතෙකි. සීයාගේ සුරතල් සුනඛයා වන සැන්ඩි ද කුසල්ට එකතුය. කුසල්ට නොදැනෙන්න කුසල් දෙස නිරන්තරව බලා සිටින තවත් විශේෂ සත්ත්වයෙකි. ඒ දුටුවන් විස්මය උපදවන නාගයෙකි. කුසල්ගේ බාධක මැඬ ජිවිතය ජය ගැනීමට සැම විටම ආරක්ෂාව හා උදව් උපකාර කරනුයේ මේ නාගයාය. මෙම චිත්‍රපටය පුරා නාගයා, කිරියා හා සැන්ඩි නම් සතුන් සමග ගෙතී ඇති සිදුවීම් ඉතාම රසබරය. සිනහව කුළුගන්වයි. ළමා මනස ප්‍රීතියෙන් පුරවයි. දාමරික කල්ලිය සමඟ එකතුව අවසානයේ කුසල් තම ජීවිතයේ දුක් කම්කටුලු මඟහැර ඒවා ජය ගන්නේ කෙසේද? සුරතල් සතුන් ඔහුව ඒ අරමුණට රැගෙන යන්නේ කෙසේද? ඒ සියල්ල මේ චිත්‍රපටය පුරා සිනහව මැදින් අපූරු ලෙස ගලා ගෙන යයි. මව් සෙනෙහස, ආගමික පසුබිම, හැදියාව, සදාචාරය හා ළමා පරපුරට ආදර්ශ සැපයීම වැනි කරුණුවලින් සමන්විත කුසල් චිත්‍රපටය අර්ජුන කමලනාත්ගේ අධ්‍යක්ෂණයෙන් නිම වී ළඟදීම දේශීය සිංහල සිනමාවට එක් වෙයි. මෙම චිත්‍රපටයේ සතුන්ගේ ක්‍රියාකාරකම් පෙන්වීම කිසිදු තාක්ෂණික ක්‍රමවේදයක් භාවිත නොකිරීම විශේෂත්වයකි. සියල්ලම ස්වභාවිකව රූගත කළ දර්ශනය. එබැවින් කුසල්ගේ ජීවිතය වටා ගෙතී ඇති ඒ රසබර සිදුවීම් සමුදාය රස විඳින්නට නම් ළඟදීම ඔබ හමුවට එන කුසල් චිත්‍රපටය ඔබ නැරඹිය යුතුමයි.
|