|
‘සුජාත පුත්‍ර’ ළමා දිනය වෙනුවෙන්
ලෝක ළමා දිනය වෙනුවෙන් නිර්මාණය වූ සිනමාපටයක් ලෝක ළමා දිනයදා එනම් අද සිට දින දෙකක් සැවෝයි වැල්ලවවත්ත, එක්සෙල්වර්ලඩ් කොළඹ, සිනෙමැක්ස් ජාඇල, ඇමටිලයිට් මහරගම ඇතුළු සිනමා ශාලා 16 ක තිරගත වේ. සුජාත පුත්‍ර එම සිනමාපටයයි. ශ්‍රීපාලි හෙට්ටිආරච්චි එහි අධ්යක්ෂවරයා වේ. රවීන්ද්‍ර රන්දෙණිය, දිල්හානි ඒකනායක, නයනා කුමාරි, නන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක, කුමාර තිරිමාදුර, ලක්ෂ්මන් අමරසේකර, නිහාල් ප්‍රේමචන්ද්‍ර, උපුල් මාමා සුජාතා පුත්රහි නළු නිළි පිරිවර වේ. සුමුදු නම් වූ දිළිඳු එහෙත් උත්සාහවන්ත දරුවකු වටා සුජාත පුත්‍ර හි කතාව ගෙතී ඇත. නිහාල් ප්‍රේමචන්ද්‍ර මෙහි තිරකතා රචකයා වේ. කැමරා අධ්‍යක්ෂණයෙන්, සංස්කරණයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් සජීව සංකල්ප එක් වී තිබේ. ශ්‍රීපාලි හෙට්ටිආරච්චි සමඟ අමිල රශේන්ද්‍ර සුජාතා පුත්‍ර නිෂ්පාදනය කොට ඇත.
කීර්තිට සුබ පැතුම්
සමස්ත ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ධුරයට පත් කීර්ති පැස්කුවල්ට සරසවියෙන් සුබ පැතුම්
ඇඩ්රස් නැති ගීත අද එළිදකී
ජැක්සන් ඇන්තනීගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය ඇඩ්රස් නෑ සිනමා කෘතියෙහි ගීත ත්‍රිත්වය මේ මස පළවැනිදා එනම් අද සවස වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ පැවැත්වෙන විශේෂ උත්සවයකින් අනතුරුව එළිදැක්වෙයි. ආචාර්ය රෝහණ විරසිංහ සංගීතවත් කොට ඇති මෙම ගීත රචනා කොට ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. නිරෝෂා විරාජිනී, නෙලූ අධිකාරි සහ ගයාන් පෙරේරා ඇඩ්රස් නෑ ගායනයෙන් හැඩගන්වා තිබේ. ඇඩ්රස් නෑ මෙම මස 15 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, සබීතා පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, ධර්මන් ධර්මරාජ්, ශේෂද්රි, අකිල ධනුද්ධර, මාධවී වත්සලා, හේමාල් රණසිංහ, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි, දිනුෂා රාජපතිරණ, කුමාරි මුණසිංහ සමඟ ජැක්සන් ඇන්තනී ඇඩ්රස් නෑ සඳහා රංගනයෙන් එකතු වී තිබේ. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයකි. ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණයෙන් මෙන්ම තිර රචනයෙන් ද ඇඩ්රස් නෑ සඳහා දායක වී ඇත. ජුලියට්ගේ භූමිකාව සහ අබා ජැක්සන් මීට ප්‍රථම නිර්මාණය කොට ඇති සිනමාපටයන් වේ.
සිකුරාට වඩා කොකා වෙනස්
සිකුරු හතේ නිර්මාණය කරමින් සිනමාලෝලීන් අමන්දානන්දයට පත් කළ ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන සුහද කොකා හී විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. සිනමාපටය සඳහා එදින ඉහළ ප්‍රතිචාර ලැබිණ. බොහෝ දෙනෙකු පැවසුවේ සිකුරු හතේ සිනමාපටයට වඩා සුහද කොකා වෙනස්ම වින්දනීය නිර්මාණයක් බවයි. සම්මානනීය සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ ප්රමුඛ ටීවීටී කණ්ඩායම විසින් සුහද කොකා නිෂ්පාදනය කොට තිබේ. විජය නන්දසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි, මිහිර සිරිතිලක, සමන් හේමරත්න, ලලිත් ජනකාන්ත, රත්නා සුමනපාල, ගාමිණී අම්බලන්ගොඩ, සෝමසිරි අලකොලංග, සංජීව දිසානායක, දමිතා සළුවඩන, එස්. අයි. සමරක්කොඩි සමඟ ගිරිරාජ් මෙහි රංගන දායකත්වය සපයති. ප්‍රියන්ත සෙනෙවිරත්න, දමිතා අබේරත්න සහ පියුමි ශානිකා ගරු රංගනයෙන් එකතු වෙති. සුහද කොකාහි කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධගෙනි. රවීන්ද්‍ර ගුරුගේගේ සංස්කරණයකි. නිෂ්පාදන සැලසුම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙන්ය. අංග රචනයෙන් ඉමල් ශානක පීරිස්, කලා අධ්‍යක්ෂණයෙන් සිරිනාථ වික්‍රමසිංහ, සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ එකතු වී තිබේ. මනෝජ් වික්‍රමසිංහ ඇඳුම් නිර්මාණ ශිල්පියාය. සනත් මැදිවක නිෂ්පාදන විධායකවරයාය. රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්යක්ෂවරුන් වේ.
නිර්මාල්ගේ වාර්තාව චිත්‍රපට සංස්ථා සභාපති අතට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ජාතිය සහ රට වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමැති දක්ෂ තරුණ පරපුරට කළ විවෘත ඇරැයුමකට අනුව සිනමා අධ්යක්ෂ නිර්මාල් රාජපක්ෂ විසින් මෙරට සිනමාවට අත්‍යවශ්‍ය සාධකයක් වන ඩිජිටල් වී. එෆ්. එක්ස් තාක්ෂණය ස්ථාපිත කිරීමේ අරමුණින් සැකසූ ව්‍යාපෘති වාර්තාවක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාට පිළිගන්වන ලදී. මේ සඳහා සභාපතිවරයාගෙන් ඉතාමත් සුභවාදී පිළිතුරක් ලැබුණු බව නිර්මාල් අපට දන්වා සිටියේය. එමෙන්ම එම මැදිරියට අවශ්‍ය උපාංග පිළිබඳ දන්වන ලෙසත් ඔහු පවසා තිබේ. මේ එහි වාර්තාව නිර්මාල් විසින් සභාපතිවරයාට ලබා දුන් මොහොතයි.
‘අමරණීය ජෝ’ නොමිලේ
අසහාය රංගර ජෝ අබේවික්රමයන් දැයෙන් සමුගෙන සිව් වසරක් සපිරීම නිමිති කර ගනිමින් 'අමරණීය ජෝ' නමින් ඩී. වී. ඩී තැටියක් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය මඟින් එළිදක්වා තිබේ. ජෝ සමඟ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ පැවැත් වූ රූපවාහිනී සංවාදයන් මෙම තැටියට අන්තර්ගත වේ. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, අධ්යක්ෂ, කටහඬ මාධ්‍ය කේන්ද්‍රය, අංක 55, බුවනෙකබා මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයෙන් හෝ 0773749767 දුරකතන අංකයට ඇමතීමෙන් 'අමරණීය ජෝ' ඩී. වී. ඩී. තැටිය නොමිලයේ ලබා ගත හැකිය. |