වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මෙරට මැලේවරුන් ගැන ලියැවුණු අගනා කෘතියක්

මෙරට මැලේවරුන් ගැන ලියැවුණු අගනා කෘතියක්

එඩ්වඩ් චන්ද්‍රසිරි මා හඳුනාගෙන දැන් දශක දෙකකට අධිකය. ඒ කාලයේ නාට්‍ය සංවිධායකවරයකු වූ එඩ්වඩ් 'මල නොතලා රොන් ගන්නා බඹරකු' ගේ විලාසයෙන් එකල නාට්‍ය සංවිධානය කළේය. එයින් එහා එඩ්වඩ් වඩාත් ජනප්‍රිය වුණේ එක එක්කෙනාට කාඩ් ගැසීම නිසාය. නැත්නම් හිනා යන කතා කියන නිසාය. ඒ කතා ඔහු ලියන්නට ද දන්නේය. ඇතැම් කතා නිසා ඇස් රතුවන අවස්ථා ද විණි. මේ කතා එක්කොට සිනා සයුර නමින් පොත් තුනක් ද ඔහු පළ කළේය. මෙහි තුන්වැන්න එළි දුටුවේ නොබෝදාය. ඒ කතා එකතුවට නම් කිතිකවා ගෙනවත් හිනා නොයෑම වෙනම කතාවකි. එහෙත් ඒ සමඟම ඔහු අගනා තවත් කෘතියක් එළිදක්වා සිනා සයුර තුන්වැන්නේ පව් මඟ හරවා ගත් බව මගේ විශ්වාසයයි. මේ අලුත් ග්‍රන්ථය නම් මැලේවරුන්ගේ අභිමානයයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන පැරැණි ජන කොට්ඨාසයක් වන මැලේවරුන්ගේ ඉතිහාසය ද, අනන්‍යතාව ද එඩ්වඩ් චන්ද්‍රසිරි 'මැලේවරුන්ගේ අභිමානය' ග්‍රන්ථය හරහා හෙළිදරව් කර ඇත්තේය. පසුගිය සතියේ 'එඩිටර්ස් කට්' ලිපියේ මම යාපනයේ උපන් පිරිස සිංහල සිනමාවට දැක් වූ දායකත්වය පිළිබඳව ද සඳහන් කළෙමි. එඩ්වඩ්ගේ 'මැලේවරුන්ගේ අභිමානය' ග්‍රන්ථය කියැ වූ පසු ලාංකික සිනමාවේ ඉතිහාසය පිළිබඳව ද තවදුරටත් සිතා බලන්නට එය කදිම පොටක් පාදා ඇති වග පැහැදිලිය.

ලංකාවේ කලා ඉතිහාසය විමසා බලද්දී එය පෝෂණය කිරීම සඳහා විවිධ රටවල්, විවිධ සංස්කෘතින්ගෙන් ලද ප්‍රභේද ඉමහත් බැව් පැහැදිලිව පෙනෙන්නකි. අද තරම් ලෝකය සමීප නොවූ එකල පවා ලාංකික කලා නිර්මාණයන්ගේ සම්භවය විමසා බැලීමේදී ලෝකයේ විවිධ කලා සම්ප්‍රදායන්ගේ ගති ලක්ෂණ එයට මුසු වී ඇති අන්දම මුළු මහත් ඉතිහාසය හරහා සාක්කි සපයාදීමට තරම් ප්‍රමාණවත්ය.

විසිවන සියවසේදී සිංහල සිනමාව ලෙස අප විසින් ආඩම්බරයෙන් සඳහන් කරන දේශීය සිනමාව බිහි කිරීමේ සහ පෝෂණය සඳහා ඇප කැප වූයේ සියයට සියයක්ම සිංහලයන් නොවේ. ශ්‍රී ලංකාවේ වෙසන විවිධ ජන කොටස් පිළිබඳ මීට වසර පහකට පමණ පෙර කියවන්නට ලැබුණු නුවන් ගන්කන්ද රචනා කරනු ලැබූ 'අප නොදන්නා ලාංකිකයෝ' ග්‍රන්ථය මෙහිදි මගේ සිහියට එයි. අප කුඩා කල ශ්‍රී ලංකාවේ ජන කොට්ඨාස හඳුනාගෙන සිටින්නේ ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන වර්ග හතරෙනි. සෙසු යනුවෙන් කුඩා ඉඩක් එහි සඳහන්ව ඇත. මේ කුඩා ඉඩ අපේ සිනමාවට නැතහොත් අපේ කලාවන්ට කෙතරම් දායකත්වයක් සපයා ඇත් ද යන්න පිළිබඳ හොඳ විමර්ශනයකට මැලේවරුන්ගේ අභිමානය මඟපාදන්නකි. එඩ්වඩ් චන්ද්‍රසිරි මැලේවරුන්ගේ අභිමානය ඉස්මතු කරමින් පුළුල් මාවතකට සැපයුම් මාර්ගයක් සකසා ඇත්තේය.

අපේ මුල්ම චිත්‍රපටය වන 'රාජකීය වික්‍රමය' සඳහා නිෂ්පාදනයෙන් දායක වන ටී. ඒ. ජේ. නූර්බායි බෝරා ජාතිකයෙකු වන්නා සේම මුල්ම කථානාද චිත්‍රපටය වන 'කඩවුණු පොරොන්දුව' සඳහා වන නිෂ්පාදකයා එස්. එම්. නායගම් ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. දෙවැනි කථානාද චිත්‍රපටය වන 'අශෝකමාලා' නිෂ්පාදකවරයා මෙන්ම ලංකාවේ පුරෝගාමී සිනමා සමාගම වන සිලෝන් තියටර්ස් සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් එම්. ගාඩිනර් අයත් වන්නේ යාපනයේ දෙමළ ප්‍රජාවටය. අපේ ප්‍රථම විකට නිළිය ලෙස කිරුළ පලඳිනුයේ ජෙමිනි කාන්තාය. සිංහල සිනමාවට එදා මෙදාතුර නැතුවම බැරි විකට යුවළ වූයේ මනප්පුවා සහ ජොසී බබා යන යුවළය.

අද පවා මේ විකට නළු - නිළි යුවළ අලුත් අලුත් නම් අර ගනිමින් සිංහල සිනමාවේ රැඳී සිටිි. ඒ කඩවුණු පොරොන්දුවේ සිට ඇරැඹි ආයා, අප්පු හෙවත් ජොසී බබා, මනප්පු යුවළගේ අසීමිත ජනප්‍රියත්වයයි. එදා ජොසී බබා ලෙස චරිත නිරුපණය කළේ ජෙමිනි කාන්තා සිංහල සිනමාවේ මුල්ම හාස්‍ය රංග ශිල්පිනිය ලෙසට එඩ්ව්ඩ් අනාවරණය කරන්නේය. ඇගේ සැබෑ නම ඤෙයි නෝනා යොහානා බක්ස් යන්නය. ඇය 1925 වසරේදී මාතලේ මීවත්කුඹුර ගම්මානයේදී උපත ලද මැලේ ජාතික කාන්තාවකි.

ඇය මුල්ම කතානාද චිත්‍රපටයට රුක්මණී දේවිය මෙන්ම නිළියක් හා ගායිකාවක් ලෙස දායක වී සිටින්නීය. එඩී ජයමාන්න සමඟ 'මෝනාගේ ආලේ ගේ මැද සාලේ' ගීතය ගායනා කරන්නේ ද ජෙමිනි කාන්තාය. ජෙමිනි කාන්තා ග්‍රැමෆෝන් තැටි ගීත සඳහා ද දායක වී සිටියාය. 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ රංගනයට හා ගායනයට පිවිසෙන අපේ මුල්ම නිළි රැජන රුක්මණී ද සිංහල කාන්තාවක් නොවේ. එහෙත් කිසි කලෙක රුක්මණී හා ජෙමිනි කාන්තාට ආදරය කළ රසිකයෝ ඔවුන් ජාති බේදයෙන් තොරව රස වින්දාහ. අගය කළහ. ආදරය කළහ.

එබඳුම තවත් මැලේ ජාතික නිළියක් වන්නේ චන්ද්‍රකලාය. 'ධීවරයෝ' චිත්‍රපටයේ 'වැල්ල සිඹින රැල්ල' ගීතයට රඟමින් පිවිසෙන චන්ද්‍රකලා මාතෘභූමි චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයට පිවිසෙන්නීය. වහල් දූපත චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයකින් පිදුම් ලබන ඇය ඒ සම්මානය දිනාගත් මුල්ම මැලේ ජාතික කාන්තාව වන්නීය. චන්ද්‍රකලාගේ සැබෑ නම සිත්ති හරිරා තාජුදීන්ය. කෙසේ වෙතත් සිනමා රංගනයට පිවිසි මැලේ ජාතික කාන්තාවන් අතර ඉහළින්ම සැලකිය යුතු වන්නේ ෆරීනා ලායි බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇය චරිතාංග රංගනයේ යෙදුණු 'සරුංගලය', 'උතුමාණෙනි', 'තවලම', 'පොඩි මල්ලි', 'සැනකෙළිය', 'මල් කැකුළු' ඇතුළු චිත්‍රපට ෆරීනා විසින් ලාංකික සිනමාවේ තැබූ සලකුණ පිළිබඳව හොඳම නිදර්ශන සපයයි. ඩේන් එන්සි ෆරීනා හාති නම් වූ ඇය සිනමා රංගනයට පිවිසෙන්නේ නර්තන ශිල්පිනියක් හැටියටය. එහෙත් ඇය නර්තනයට පමණක් සීමා නොවී විශිෂ්ට ගණයේ නිළියක ලෙස අපේ සිනමාවේ සලකුණු තැබුවාය. එහෙයින්ම ඇය සරසවිය, ජනාධිපති හා ඕ. සී. අයි. සී. යන සම්මාන උලෙළ ත්‍රිත්වයෙන්ම ඇගේ රංගනයට බුහුමන් ලැබිණි. කෙසේ වෙතත් මැලේ ජාතික රංගන ශිල්පීන්ගේ පරම්පරාව සිනමාවට පමණක් සීමා වූවා පමණක් නොවේ. ඔවුන් ටවර්හෝල් රංගනයට ද දායක වී ඇති බව එඩ්වඩ් චන්ද්‍රසිරි පෙන්වා දෙයි. 'රේඛාව' චිත්‍රපටයේ රඟපෑ නෝනා සුබෙයිදා (ඇය විවාහ වූයේ ඩොමී ජයවර්ධන සමඟය), ටී. එච්. සෙරිෆ් හෙවත් සරලා බායි මේ අතර කැපී පෙනෙති.

සිංහල චිත්‍රපට ගීත ගායන ඉතිහාසයේ කිසි කලෙකත් අමතක නොවන ගායකයෙකු වූයේ තුවාන් හරූන් කුමාර් ලන්ත්‍රා හෙවත් හරූන් ලන්ත්‍රාය. මුලින්ම හරූන් ලන්ත්‍රා ගුවන් විදුලියට ගැයූ ගීතය වූයේ 'ලොවේ සෑමදා තණ්හා' ගීතයයි. හරූන් ලන්ත්‍රා තරම් සිංහල සිනමාවේ ජනප්‍රිය වූ වෙනත් මැලේ ජාතික ගායකයෙකු නැති තරම්ය. ප්‍රේම තරගය ඔහුගේ මුල්ම චිත්‍රපටයයි. සදාකාලික ජනප්‍රිය 'සුළං කුරුල්ලෝ' ගීතය ඊට අපූරු උදාහරණයකි. එය ගායනා කරන ලද්දේ 'සැනසුම කොතැනද' උදෙසාය. හරූන් ලන්ත්‍රා සිංහල බසින් මෙන්ම හින්දි සහ දෙමළ බසින් ද ගීත ගායනා කළේය. එමෙන්ම හරූන් ලන්ත්‍රා මෙන්ම චිත්‍රපට ගායනයට හා රංගනයට පිවිසි ජී. එස්. බී. රාණි පෙරේරා මැලේ ජාතික කාන්තාවකි. ඤෙයි සීනර් බංශජයා ජී. එස්. බී යන අකුරු කිහිපයේ අර්ථය බව බොහෝ දෙනා දන්නේ නැත. 'අශෝකා' චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පිවිසෙන ඇය 'සුන්දර බිරිඳ', 'සුනීතා' ඇතුළු චිත්‍රපට රාශියක ගී ගැයුවා පමණක් නොව පසු කලෙක අලුත් පරම්පරාවකට අතහිත දෙන්නට ද කටයුතු කළාය.(රාණි පෙරේරා මිය යන විට බෞද්ධ උපාසිකාවක් වූවාය). එපමණක් නොව වර්තමාන පරම්පරාවේ චිත්‍රපට ගායනයට දායකව සිටින ටෝනි හසන් අයත් වනුයේ ද මැලේ ජාතික කලාකරුවන් ගණයටය. වර්තමාන පරම්පරාවේ අතිශය ජනප්‍රිය ගායිකාවන් වන උමාරා සහ උමාරියා සිංහවංශ දෙසොහොයුරියන් ද මැලේ ජාතිකයන් ලෙස සිංහල සිනමාව නියෝජනය කරති.

සංගීත අධ්‍යක්ෂ ටී. එෆ්. ලතීෆ්, ස්ටැන්ලි ඕමාර්, සම්මානනීය සංස්කරණ ශිල්පී එම්. එස්. අලිමාන් එබඳුම සිංහල සිනමාව ඔපවත් කරන්නට දායක වූවෝ අතර සිටිති.

මේ සෑම ශිල්පියෙකුම දායක වූයේ සිංහල සිනමාවටය. මේ ලිපිය ආරම්භයේදීම ලාංකික සිනමාව ආරම්භ කරන්නට හා පෝෂණය කරන්නට වෙර දැරූ සිංහල නොවන ශිල්පීන් පිළිබඳ පූර්විකාවක යෙදුණෙමි. අදට ද සිංහල චිත්‍රපටයක් නරඹන විට එහි නාමාවලියෙහි කී දෙනෙකු සිංහල නොවන ජාතීන්ට අයත් දැයි අප විමසා බලා ඇත්ද? කලකට ඉහත චිත්‍රපට නරඹද්දී ලෙනින් මොරායස්, වී. වාමදේවන්, ලුවී වැන්ඩස්ට්‍රාටන්, එම්. කේ. රොක්සාමි, ශෂී විජේන්ද්‍ර, මොහාන් නියාස්. ඒ. තිරනාවුකරසු. වී. සිවදාසන්, මොහිදින් බෙග් , මේබල් බ්ලයිත් මේ ආදී වූ අති විශේෂ නාමාවලියක් දෙස බලමින් අපි ඔවුන්ගේ නිර්මාණ රස වින්දෙමු. එයට හේතුව නම් මේ සියල්ලන්ම අඩු වැඩි වශයෙන් සිංහල සිනමාව පෝෂණය කළ හෙයිනි. ඒ සියල්ලන්ම රූපයෙන් කතා කරන භාෂාවකට අයත් එකම ජාතියකට බැඳී ඇති බව එහිදී හැම විටම සිහියට නැඟෙණු නියතය.