වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




පළමු රූප රාමුවේ පටන් අවසන් රූප රාමුව දක්වා කලා අධ්‍යක්ෂවරයාගේ සම්බන්ධීකරණය අවැසියි

පළමු රූප රාමුවේ පටන් අවසන් රූප රාමුව දක්වා කලා අධ්‍යක්ෂවරයාගේ සම්බන්ධීකරණය අවැසියි

- කේ. ඒ. මිල්ටන් පෙරේරා

සිනමා නිර්මාණයක තිරයෙන් පිටුපස ප්‍රධාන ශිල්පීන් කිහිප දෙනකුම සිටී. ඔවුන්ගෙන් කලා අධ්‍යක්ෂවරයාත් කෙනෙකි. එහෙත් ඔහු කාර්මික ශිල්පියකු නොවේ. ස්වශක්තිය සිනමා නිර්මාණයකට සපයන ඔහුව සම්මාන පිදීමෙන් පවා ඇගයීමකට ලක් කරයි. මෙවන් කලා අධ්‍යක්ෂවරු අපේ සිනමාවෙත් බහුලව සිටිති. දර්ශන තලයට උචිත නැති විදුලි පහන් කණුවක් කණාටු ගසක් බවට පරිවර්තනය කළ ප්‍රාතිහාර්යජනක කලා අධ්‍යක්ෂවරයකු මෙවර BEHIND THE SCREEN (තිරයෙන් පිටුපස ශිල්පීන් හඳුන්වා දෙන ලිපි මාලාව) තුළින් එකතු වෙයි. ඔහු සම්මානලාභී කලා අධ්‍යක්ෂ කේ. ඒ. මිල්ටන් පෙරේරාය.

ඔබේ ජීවන ගමනේ ඇරඹුම පිළිබඳව පැවසුවොත්?

මම ගායක මිල්ටන් පෙරේරා නොවෙයි. කලා අධ්‍යක්ෂ මිල්ටන් පෙරේරා. නමේ මුලට යෙදිලා තිනෙ අක්ෂර දෙකෙන් කියන්නේ කනේවල ආචාරිගේ කියලා. උපන්නේ 1943 ජූලි 06 වැනිදා. ඒ අනුව බලන විට 72 කණුවත් පහු කරපු කෙනෙක්. පියා කේ. ඒ. වික්ටර් පෙරේරා. මව සී. ඩබ්ලිව්. ඇඩ්ලින් නෝනා. පවුලේ සාමාජික සහෝදර සහෝදරියන් සංඛ්‍යාව හයයි. තිදෙනෙක් පිරිමි. ඉගෙන ගත්තේ කළුතර ඉංග්‍රීසි ඥානෝදය හා කළුතර විද්‍යාලවලින්.

ඔබ කලා කටයුතුවලට අවතීර්ණ වූ අතීතය ගැන කීවොත්?

පාසල් කාලයේ සාහිත්‍යයට හා චිත්‍ර ශිල්පයට ඇලුම් කළා. චිත්‍ර කලාව හෙන්රි තෙන්නකෝන්ගෙන් ප්‍රගුණ කළා. ඔහු තමා පසු කාලයක සිනාවයි ඉනාවයි චිත්‍රපට කතාව හා දෙබස් ලිව්වේ. චිත්‍ර ශිල්පීය දැනුම වර්ධනය වූවාට පස්සේ චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක් පාසලේම පැවැත්වූවා. ජීවිත වෘත්තීය හැටියටත් චිත්‍ර ශිල්පය තෝරා ගත් නිසා තෝමස් තිලකරත්නගේ ටීටූ ආයතනයෙත්, ආරියාපාල සේනාධීරගේ ටී. සී. ඊ. ඒ. ආයතනයෙත් සේවය කළා. උපාලි වනසිංහ සමඟත් වැඩ කොට තිබෙනවා. ඔහු නාට්‍යකරුවකු වගේම දස්කොන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා.

ඔබ කලා කටයුතුවලින් ඔබ්බට ගොස් වේදිකාවට පා තැබුවා?

කළුතර කෝඩුකාරයෝ නාට්‍ය සංගමය ඉදිරිපත් කළ ගස් යට වැහි නාට්‍ය නරඹන්න සතිස්චන්ද්‍ර එදිරිසිංහ පැමිණියා. එවකට ඔහු ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල නාට්‍ය විචාරකයා. බෙනට් සෙට්ටිනායක අධ්‍යක්ෂණය කළ ගස් යට වැහි නාට්‍යයේ ප්‍රමුඛ නිර්මාණකරුවෙක් වූ මාව ඔහු හඳුනා ගැනීම මගේ කලා දිවියේ කඩඉමක්. සතිස්චන්ද්‍ර නිර්මාණය කරන ලද හොටබරි යුද්ධය හා තහංචි යන වේදිකා නාට්‍ය ද්විත්වය සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසු 1973 ඔහුගේම මාතර ආච්චි චිත්‍රපටයෙත් රඟපෑවා. පසුව සමකාලීන මිතුරෙකු වූ සරත් ගුණරත්න මාව තිස්ස අබේසේකරට හඳුන්වා දුන්නා. ඔහුගේ රත්තරන් හා යෝකෝර් යන වාර්තා චිත්‍රපට සඳහා සම්බන්ධවීමට ලැබීම ජීවිතයේ ලද ස්වර්ණමය පියවරක්.

ඔබ කලා අධ්‍යක්ෂවරයකු ලෙස පෙරට පැමිණීම පිළිබඳව පැහැදිලි කරන්න?

තිස්ස අබේසේකර කරුමක්කාරයෝ වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹුවා. මෙහි නිෂ්පාදන සම්බන්ධීකරණය සිදු කළේ සෝමසිරි දෙහිපිටිය. තිස්ස කරුමක්කාරයෝ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා හැටියට වැඩ කරන්න මට අවස්ථාව ලබා දුන්නා. එය ඔහු ගන්නා ලද දැඩි එඩිතර තිරණයක්.

කලා අධ්‍යක්ෂවරයාගෙන් සමස්ත සිනමා නිර්මාණයට ලැබෙන දායකත්වය?

චිත්‍රපටයක මූලික ක්‍රියාවලිය ඇරඹෙන්නේ දර්ශන තල සොයා යාමෙන්. මේ ගමනට කලා අධ්‍යක්ෂවරයා යා යුතුයි. රූප මඟින් කරන කාර්යයක් බැවින් එකිනෙක රූප රාමුවට අදාළ වන දර්ශන තල නිර්මාණය, ජවනිකාවල පසුතලයේ තිබිය යුතු භාණ්ඩ හා එම භාණ්ඩ කුමන ස්ථානවල තැබිය යුතුද යනාදිය තිරණය කිරීම කලා අධ්‍යක්ෂවරයාගේ වගකීමක්. ඇත්තම කියනවා නම් චිත්‍රපටයේ පළමු රූප රාමුවේ පටන් අවසන් රූප රාමුව දක්වා කලා අධ්‍යක්ෂවරයාගේ සම්බන්ධීකරණය අවැසියි.

ඔබට කලා අධ්‍යක්ෂණය ගැන මූලික පළපුරුද්දක් නැතිව කරුමක්කාරයෝ චිත්‍රපටයේ එම කාර්ය භාර ගැනීමේ රහස කියන්න?

කලා අධ්‍යක්ෂණය කියන්නේ දෘශ්‍ය මාධ්‍යයක පසුබිම සැකසීම. මෙය චිත්‍ර ශිල්පය හදාරා ඇත්තකුට අසීරු කාර්යයක් නොවෙයි. වර්ණ හා හැඩතල පිළිබඳ මනා වැටහීමක් ඇතොත් එහි සාර්ථකත්වය ස්ථිරයි. ඕනෑම වස්තුවක දිගක්, පළලක් හා ගැඹුරක් දැකිය හැකි ඇසක් ඇත්තේ චිත්‍ර ශිල්පියකුට පමණයි. කලා අධ්‍යක්ෂවරයා සිනමා කෘතියක හෝ ටෙලි වෘත්තාන්තයක සමස්ත හැඩ ගැස්වීම පිළිබඳ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන්නෙක්. හෙතෙම එම කෘතියන්හී භාවිත කරන දෘශ්‍යාංග නිර්මාණාත්මකව රචනා කිරීමේ ප්‍රධානතම ශිල්පියා. පූර්ව නිෂ්පාදන කාලයේ සිට අධ්‍යක්ෂවරයා හා කැමරා ශිල්පියා අතර හිඳිමින් එම කෘතියේ සෞන්දර්යාත්මක අවස්ථා මෙන්ම දෘශ්‍ය ශෛලිය මැනවින් හඳුනාගෙන සෙසු ශිල්පීන් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පුළුවන්කම සාර්ථකත්වයේ රහසයි.

ඔබ මේ වන විට කලා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පිළිබඳව පැවසුවොත්?

තිස්ස අබේසේකරගේ මහගෙදර හා විරාගය යන චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය කළා. විරාගය චිත්‍රපටයට සරසවිය හා ස්වර්ණ සංඛ සම්මාන ලැබුවා. සරත් ගුණරත්නගේ වත්සලා අක්කා හා චිට්ටි තවත් චිත්‍රපට දෙකක්. ඩී බී. නිහාල්සිංහගේ කෙළිමඬල චිත්‍රපටයෙනුත් පෙර කී සම්මාන දෙක දිනුවා. සරසවිය සම්මානය පමණක් ලැබුණු චිත්‍රපටය එච්. ඩී. ප්‍රේමරත්නගේ සෙයිලම, ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක චිත්‍රපටයට සරසවිය වගේම ජනාධිපති සම්මානයත් ලැබුණා. තරණය, බවකර්ම, වීසිදැල, පුරහඳ කළුවර, පුරසක්මන, ඉරැස්මා මම කලා අධ්‍යක්ෂණය කළ සෙසු චිත්‍රපට. සඳ දඩයම හා එළිවෙන දවස තවම ප්‍රදර්ශනය කර නැහැ.

ඔබ විදේශීය චිත්‍රපටවලත් කලා අධ්‍යක්ෂණය කළා?

ක්‍රේන්ස් බ්ලූ ඕවර් රිවර් (ගඟට උඩින් කොක්කු ගියා) නවසිලන්ත චිත්‍රපටයක්. එහි අධ්‍යක්ෂවරයා බැරි බාක්ලේ. මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූප ගත කළ මේ චිත්‍රපටයේ සෝමලතා සුබසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති, දෙනවක හාමිනේ, උපාලි අත්තනායක, නීල් අලස් රඟපෑවා. ප්‍රධාන කලා අධ්‍යක්ෂවරයා මම. මැනිගා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ රාම් යදීකාට සහාය වුණා. ඉන්ඩියානා ජෝන්ස් මගේ සහාය දායකත්වය ලැබූ තවත් විදෙස් චිත්‍රපටයක්.

ඔබ මාතර ආච්චි චිත්‍රපටයෙන් අනතුරුවත් ශ්‍රව්‍ය දෘශ්‍ය රංගනයේ යෙදුණ බව අප දන්නවා?

කරුමක්කාරයෝ හා සංකාරා චිත්‍රපටවල රඟපෑවා. දෙවන චිත්‍රපටයේ ලොකු හාමුදුරුවන්ගේ භූමිකාවට සරසවිය කුසලතා සම්මානය හිමි කර දුන්නා. පළඟු මැණිකේ, සංසාරේ පිය සටහන්, තක්සලාව රඟපාන ලද ටෙලි නාට්‍ය.

ඔබ චිත්‍රපටවල වගේම ටෙලි නාට්‍ය සඳහා කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා?

මම පළමුවෙන්ම කලා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය කඩුල්ල. එය යුග කිහිපයක කතාවක්. එතැනින් මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, මිහිකතගේ දරුවෝ, සංගිලි පාලම, වන්නිහාමිලාගේ කතාව, පිටගම්කාරයෝ, සිසිල ඉම, අතුරු පාර, නන්නාඳුනන්නී, සකිසඳ එලියස්, නිරානන්දය, වනස්පති, මිරිදිය සුවඳ, ලේළි, නාමල් ගොල්ල, අකරරුදාව, මඩොල් දූව, රම්‍ය සුරම්‍ය, දෙයියෝ සාක්කි, බට්ටි, බයිසිකලය, සංසාරේ පිය සටහන් යන නිර්මාණවලට එකතු වුණා. මින් කඩුල්ල, පිටගම්කායෝ, වනස්පති, සිසිල ඉම යන ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණ සම්මානයට බඳුන් වුණා.

මෙවර බිහයින්ඩ් ද ස්කී‍්‍රන් වසන්නට පෙර ඔබ ගැන වත්මන් වගතුග කියන්න?

මගේ ඇස් පෙනීමේ දුර්වලතාවය නිසා දැන් මම වැඩ භාර ගන්නේ නැහැ. බිරිඳ පී. ඒ. පියසීලි සමඟ සතුටින් දකුණු කළුතර, දූව පන්සල පාරේ පදිංචිව සිටිනවා. අපිට දරු මල්ලන් නැහැ. අපේ තනි නොතනියට බිරිදගේ සොහොයුරියක් හා ඇග් සැමියා, දරුවන් සිටිනවා. දුරකථන අංකය 072-6191134.