|
|
මලින් පිරුණු වසරක ප්ලේටොනික ආදරය -In the mood for love
1962 ඈ ඔහුට ඇතුළු වනු පිණිස කුඩා කවුළුවක් හැර දුනි. සුළං රැළි පමණක් කවුළුව හරහා හමා ගියෙන් ඈ ආපසු හැරුණි. ඒ කුඩා කවුළුවද, විසල් දොරටුවක් ද වසා දමමිනි. ප්‍රේමය එතරම් දිග වසන්තයක නොරැදුණ හෙයින් ශෝකයද; පරාජයද ගසක කොළ හැලී යන්නාක් මෙන් ඇතිවී-නැතිවී ගියේය. ඈ සූ ලී සෙන් ය. ඔහු චව් මෝ වෑන් ය. හොංකොං හි කුලී තට්ටු නිවාසයක විසීමට එන මේ දෙදෙන වෙනත් දෙදෙනකු සමඟ විවාහකය. එහෙත් හුදෙකලාවය. සූ ලී සෙන් රූමත්ය. කර පියවූ ගවුමකින් වැසුණු තුණු සිරුර උස්ව බැඳී කොණ්ඩය, පින්තාරු කළ මුහුණ සමඟ පෙනී සිටින්නේ ඇගේ කාන්දම්ගත සිරුරෙන් පිටතට ප්‍රේක්ෂක ඇස නො යවමිනි. ඇගේ සැමියා කාර්යබහුල, මනා පෙනුමකින් යුත් චපලයෙකි. ඔහු වෙනත් බන්ධනයකය.ඒ නොමනා බන්ධනයකි.
චව් මෝ වෑන් මාධ්‍යවේදියෙකි. ඔහුගේ බිරිය සුරූපීය. කාර්යාලගත ඇගේ ජීවිතය වෙනත් අයකු
හා නොමනා බන්ධනයකය. මේ යුගල ද්විත්වයේම ප්‍රමෝදය ඇත්තේ අනෙකා තුළය. හුදෙකලා වූ
යුගලය චව් මෝ වෑන් සහ සූ ලී සෙන්ය. 'ඉන් ද මූඩ් ෆෝ ලව්' මේ හුදෙකලා ගැහැනිය සහ පිරිමියා තුළ ඇතිවන ප්ලේටෝනික ප්‍රේමය ගැන කියයි. ආදරය විෂයෙහි ඔවුනොවුන් හැසිරෙන සියුම් ආකාරය ඔබේ ඇස සිනමාපටයෙන් ඉවතට නොයෙවයි. සූ ලී සෙන් සහ චව් මෝ වෑන් සිනමාපටයේ ඔවුනොවුන් මුණගස්වන, ඔවුනොවුන් නොදකින රූප රාමු මහත් ලලාසයම වඩවයි. එකම කුලී නිවසක වෙසෙන්නට යන මේ යුවළ එකිනෙකා කෙරෙහි නිශ්ශබ්ද ආකර්ශනයකින් පසුවන ආකාරය අපේ ඉවසීම කුඩු කර දමයි. සූ ලී සෙන් තම ස්වාමියා වෙනුවෙන් බලා සිටින්නට තීරණය කරන විට චව් මෝ වෑන් එලෙසම ස්වකීය බිරිය වෙනුවෙන් බලා සිටීමට තීරණය කරයි. පසුබිමින් ඇසෙන්නට සලස්වන ශෝකී ගී රාවය යමක් ඉඟි කරන්නා සේය. ලලිත ගමනින් සූ ලී සෙන් ඇවිද යන විට වාදනය වන චෙලෝව ඇගේ සිරුර තුළ සැඟවී ඉබේ වාදනය වන්නාක් මෙනි. මේ සියුම් චලන, ස්පර්ශ, නෙතඟ බැලුම් සහ ශෝකී කටහඬ සිනමාපටය පුරා දනවන කම්පන බොහෝය. සිප ගැනීමකුදු නොපෙන්වන්නට ප්‍රවේසම් වන බොහෝ දර්ශන ප්‍රේක්ෂකයා අවුළුවයි. 2000 වසරේදී හොංකොං හි තිරගත වූ 'ඉන් ද මූඩ් ෆෝ ලව්' නමින් ඉංග්‍රීසි නමක් යෙදුණ මේ සිනමාපටයේ සැබෑ චීන භාෂා අරුත 'සුපුෂ්පිත අවුරුද්ද' හෝ මලින් පිරුණු වසර නමින් වර නඟා ගත හැකිය. සිනමාපටයේ අධ්‍යක්ෂණය කළේ වෝඑන්ග් කා වයි විසිනි. මෙහි මැගී චෙයුන්ග් සහ ටෝනි ලියුන්ග් ප්‍රධාන චරිත රඟයි. 2000 වසරේ කාන්ස් සිනමා උළෙලේදී පළමු වරට ප්‍රදර්ශනය කරන්නට යෙදුණි. 'ඉන් ද මූඩ් ෆෝ ලව්' නමින් සිනමාපටයට අදාල ප්‍රමුඛ ගීතය පටිගත කරන්නට පෙර සිනමාපටය නම් කර තිබුණේ 'සීක්‍රට්ස්' නමිනි. එහෙත් අධ්‍යක්ෂවරයා පෙර කී ගීතයට වහ වැටීම හේතුවෙන් සිනමාපටයට ගීතයේ නම තැබුණි. අවසන තුන් ඈදුතු සිනමා නිර්මාණයක් බවට පත් විය. දෙවැන්න 'ඩේස් ඔෆ් බීන්ග් වයිල්ඩ්' නමින් 1991 දී නිකුත් වූ අතර තෙවැන්න '2046' නමින් 2004දී නිකුත් විය. මයිකල් ගලාසෝ සහ ශිගේරු උම්බෙයාශි ගේ සංගීතය සිනමාපටය වෙනත් අන්තයකට ගෙන යාමට සමත් විය. අමෙරිකානු ඩොලර් මිලියන 12,854,953ක ආදායමක් ලද මේ සිනමාපටය මිනිත්තු 98ක කාලයක් පුරා ගලා යන්නකි. චවු මෝ වෑන්ගේ බිරියත්, සූ ලී සෑන් ගේ ස්වාමි පුරුෂයාත් අතර අනියම් සබඳතාවක් පවතින බව සැක හැර දැනගත් පසු මේ යුවළ එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් නොබැදී අනෙකෙකුට පෙම් කිරීම තේරුම් ගැනීමට තැත් කරයි. ඒ තම ස්වාමි පුරුෂයා හෝ බිරිය කළ වරදම නොකරන බවට එකිනෙකාට ශපථ වීමෙනි. සූ ලී රාත්‍රී ආහාරයට නූඩ්ල්ස් ගෙන ඒමට අඳුරු පඩිපෙළක් තුළින් ආලෝකමත් පහන් කණුවක් පසු කරමින් බැස යයි. ඈ අත උණුසුම් සුප් බඳුනකි. බැස යන පඩිපෙළ අඳුරුය. දහදිය පිසලමින් ඈ බිම බලා සිටින තැන ආලෝකයය. ආලෝකය ඇති පහන් කණුවේ නිශ්චිත තැනක සියුම්ව ස්පර්ශ කරමින් ඈ උඩු මහළට නඟියි. චව් මෝ වෑන් ආලෝකය ඇති තැනින් අඳුරු පඩිපෙළට බසියි. මේ නිශ්චිත පඩිපෙළ මත එකිනෙකා හමුවන, 'හෙලෝ' කියමින් එකිනෙකා පසු කරන දෙදෙන යළිත් අප තුළ පෙරකී නොඉවසිල්ල ඇති කරයි. සිනමාපටය සියුම්ව අපව වරදට පොළඹවන්නට තැත් කරන්නාක් මෙනි. එහෙත් යුවළ වරදේ නොබැදෙන්නට ශපත කරගෙනය. වැසි වැටෙන රාත්‍රියේද, අඳුරු පඩිපෙළ මාරු වෙන මේ යුවළ අප දවන්නේ මන්දැයි නොදැනෙන තරම්ය. අවසන තේ පානය පිණිස පිටත් වන මේ යුවළ පෙර කී දැවීම සමනය කරන්නාක් මෙනි. ඔහු ඇගෙන් අසන්නේ ඇගේ අත් බෑගය මිලදී ගත් තැනයි. ඈ අසන්නේ ඔහුගේ ටයි පටිය මිලදී තැන ගැනයි. ඒ එකිනෙකා ගැන පාපොච්චාරණය පිණිසය. මේ සිනමාපටයේ නියම පටන් ගැන්මයි. වරදේ බැඳුණු යුවළකගේ නිර්දෝශී සෙසු පාර්ශව දෙක එකට හමු වීම කෙතරම් වේදනාත්මක විය හැකිද? දැන් ඔවුන් රඟන්නේ වරදේ බැඳුණු යුවළ ගේ හැසිරීමයි. 'මම කල්පනා කරන්නෙ කොහොමද ඒක පටන් ගන්න ඇත්තෙ කියලා'
'කවුරු හරි අඩියක් ඉස්සරහට තියෙන්න වෙනවා' ඔහු කියන්නේ සැබෑවකි. නමුත් ඒ කවුරුන් විය හැකිද? ජීවිතයට කෙතරම් සියුම් සබඳකම් ඇති කරනු ලබයිද? වරදට පෙළඹීම කෙලෙසකදැයි දැන ගැනීමට ඔබට වරදට ආසන්නව සිටීමෙන් දැනගත හැකිද? ආදරය සැබෑවටම වරදක්ද? බැදුණු තැන් වලකනු හැකිද? සුසුමක දුරින් ළඟින් හිඳ, ඔවුනොවුන් රවටා ගනිමින්, එහෙත් එකිනෙකා කෙරෙහි නොබැදෙන්නට තතනන මේ යුවළ අපට ශෝකයම ඇති කරයි. සිනමාපටය පුරා ඒකාකාරී රිද්මයකින් ගලා යන චෙලෝ වාදනය තරමටම ප්‍රේමය නොලැබ හුදෙකලාව පසුවන මේ යුවළ ගිනි දල්වයි. 'ඇයි ඔයා මට අද කෝල් නොකළේ?' 'මං හිතුවා ඔයා ඒකට කැමති වෙන එකක් නෑ කියලා' 'එහෙනම් ආයෙ මට කෝල් කරන්න එපා'
මේ නම් රහසිගත ප්‍රමෝදයකි. ආලයෙන් නොවෙළී වෙළීමකි. ඔහු රණශූරයකු පිළිබඳ කොමික් කතා මාලාවක් ලියන්නේ ඒවා කියැවීමට ප්‍රිය ඇගේ උදව්වෙනි. 1960 තරම් කාලයක ස්ත්‍රීයක සහ පුරුෂයකු අතර මිත්‍රත්වයක් නොමනා යැයි පිළිගන්නා හෙයින් ඔහු හෝටල් කාමරයක් වෙන් කරවා ගනී. දිවා-රෑ නොබලමින් ඔවුන් කොමික් කතා මාලාව ලියන්නට පටන් ගනී. එහෙත් ප්‍රේමය ඔබට පාඩුවේ සිටීමට ඉඩ නොදෙයි. කුඩා පැළයක වුව අතු,දළු ලියලමින් පැතිරෙන්නට ගනී. ආදරය හටගත් පසු එහි අවසානයට ක්‍රම දෙකකි. එක්කෝ එකිනෙකාට එකිනෙකා හිමි විය යුතුය. එසේත් නැත්නම් වෙන්විය යුතුය. වව් මෝ වෑන් තෝරා ගන්නේ ඈ කැටුව සිංගප්පූරුවට යාමය. ඈ තෝරා ගන්නේ ඔහුත් සමඟ නොයාමය. සිප ගැනීමකුදු නොලබමින් වෙන්වී යන මේ රහසිගත ප්‍රේමය ඔබව කළඹවන්නේ ඉතා සියුම්වය. ඉසියුම්ව වැයෙන චෙලෝව හෘද නාල සූරන්නාක් බඳුය. ප්‍රේමයට මෙහෙම වෙන්න පුළුවනිදැයි නො අසන්න. මාස 15ක් වැය කරමින් රූගත කළ මේ සිනමාපටය 2000 වසරේ පැවති කාන්ස් සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්න ලදී. එම වසරේදීම හොංකොං සිනමා උළෙලේ හොඳම නළුවා, නිළිය, කලා අධ්‍යක්ෂණය, අංග රචනය, සංස්කරණය ආදී වශයෙන් සම්මාන 05ට හිමිකම් කියනු ලැබීය. යලිත් අර චෙලෝව හද කම්පා කරමින් වැයෙයි. ඔවුන් අසන්නේ මෙවැන්නකි. ඒ සා සොඳුරු මලින් පිරුණු වසරක් කාට නම් නොතිබිය හැකිද?
|



හොංකොං
ඈ පාළු මඟ ඇවිද යමින් කියන්නීය. ඔහු සිගරට්ටුව උරමින් ඇහුම්කම් දෙයි.
සිරුරේ ගැටෙමින්, එක ළඟ අසුන්ගෙන පැද්දෙන කැබ් රථයකය යුවළ. මුදු ලූ අතින් ඔහු ඈ
ස්පර්ශ කරන්නට තැත් කරයි. ඈ ඔහුට ඉඩ නොදෙයි. දෙන්නට එපා කී දුරකතන ඇමතුමේය ඔවුන්
දෙදෙන.