වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




පිරිමි උසයි, මං පුංචියි

පිරිමි උසයි, මං පුංචියි

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන නලීන් මාපිටියගේ ඉඩ දෙන්න ටෙලි සිතුවමේ ඇයගේ නම වාසනා.

ඉතින් වාසනා?

මගේ ඇත්ත නම වාසනා නෙවෙයි. ඒක මගේ නාට්‍යයේ නමනෙ.

හරි, ඒක දන්නවා. එහෙනම් ඔයාම කියන්නකො ඔබේ සෑබෑ ජීවිතයේ නම?

ධනංජනී බණ්ඩාර.

නමෙන් කිව්වහැකියි ඔබ කොළඹ කෙනෙක් නෙවෙයි කියලා?

ඔව්. මං දියතලාවේ.

ඔබ කොළඹ එන්නේ?

අධ්‍යාපන කටයුතුවලට.

එතකොට රඟපාන්න අවස්ථාව උදා වුණේ කොහොමද?

මගේ යාළුවෙක් හිටියා රඟපාන්න කැමැති. එයා චන්දන හේවාපතිරණ මහත්මයා ගාව ඉගෙන ගත්තා. මටත් එන්න කිව්වා. ඒ පංතියට ජොලියට වගේ මමත් ගියා. එතෙන්දි රංගනය කියන විෂයයට පුදුමාකාර කැමැත්තක් ඇති වුණා. ඒ වෙනකම් රඟපෑමට කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

මොකක්ද ඔබේ පළමු නිර්මාණය වුණේ?

ආලෝකෝ උදපාදී චිත්‍රපටය.

එයට සම්බන්ධ වීම පිටුපසත් රසවත් කතාවක් තියෙනවා. ඔන්න ඒ චිත්‍රපටයට අලුත් නළු නිළියන් ගන්නවා කියලා ආරංචියක් ආවා. ෆන් එකටයි ඒ ඉන්ටර්විව් එකටත් ගියේ. මාව තේරුණානේ එහි ගැමි දැරියකගේ චරිතයක් සඳහා.

ඊට පසුව ඔබ දායක වූ නිර්මාණ මොනවාද?

රොෂාන් අහංගමගේ හෘද සාක්ෂිය, රෑන අනතුරුව ඉඩ දෙන්න. ඊට අමතරව මොහාන් නියාස් අයියගේ අලුත් චිත්‍රපටයේ මේ දිනවල ෂූටිං.

ඔබ රංගනයට ඇවිත් කොපමණ කල්ද?

අවුරුද්දක් විතර.

කොහොමද ක්ෂේත්‍රය දැනෙන්නේ?

මේක හරි ෆන්.

හරිම සතුටින් වගේ ක්ෂෙත්‍රයේ ඔබ කාලය ගත කරන්නේ?

නැතුව. මේ ජොබ් එක හරිම නිදහස්. කාටවත් යටත් වෙන්න ඕනෑ නැහැ. මිනිස්සුන්ගේ ආදරය ලබන්න පුළුවන්.

ඔබට ඕනෑ වෘත්තීමය නිළියක් වෙන්න?

ඔව්.

සමහරු විනෝදාංශයක් විදිහටත් රඟපානවා?

මමත් දැකලා තියෙනවා එහෙම අය. ඒත් එහෙම නොවී මේ කලාව වෘත්තියක් විදිහට කළා නම් හරි.

ඔබ පරපුරේ බොහෝ නවක නිළියන්ට සැලෝන් වගේ ව්‍යාපාර තියෙනවා?

අනේ මම නම් ආස නැහැ ව්‍යාපාර කරන්න. මදි වුණත් මේ ලැබෙන ආදායම ඇති.

ඔබේ උස කීයද?

හරියටම අඩි පහයි.

තව ටිකක් උස ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

හිතෙනවා, හිතෙනවා. මං මිටි හින්දා බොහෝ චරිත මට ලැබෙන්නේ නැතිව ගිලිහුණා. මොකද මගෙත් එක්ක රඟපාන්න හිටපු කොල්ලො ඔක්කොම උසයි. ඒ හින්දා නාට්‍යවලින් මාව අයින් වුණා.

දෙවියන්ගෙන් වරමක් ලැබුණොත් ඉල්ලන්නේ උස වෙන්න කියලද?

ඔව්. තව අඩි දෙකක් උස වුණා නම් මට ඇති.

ඉඩ දෙන්න නාට්‍යයේ වාසනා කියන්නේ ආදරේ බලෙන් ඉල්ලගෙන කොල්ලගෙ පස්සේ යන තරුණියක්. සැබෑ ජීවිතයේ එහෙම අවස්ථාවකට මුහුණ දුන්නා වගේ තාත්ත්විකව ඔබ එම චරිතය නිරූපණය කරනවා?

මම නම් කවදාවත් නොලැබෙන ආදරයක් පිටුපස යන්නේ නැහැ. එයාට එපා නම් මටත් එපා.

ඔබට පෙම්වතෙක් ඉන්නවාද?

නැහැ.

ක්ෂේත්‍රයට ආවට පස්සේ කී දෙනෙක් ඔබට ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?

ගොඩක් අය ආදරේ කිව්වා. බඳින්නත් බලාගෙන ඉන්නවා දෙතුන් දෙනෙක්.

ඒ එක්කෙනෙකුටවත් ඔබ කැමැත්ත දුන්නේ නැත්තේ ඇයි?

මං හොයන කෙනා ඒ අතරේ නැහැ.

මොන වගේ කෙනෙක්වද ඔයා හොයන්නේ?

මට ගොඩාරියක් ආදරේ ඕනෑ. ඒ හින්දා ඒකෙනා අසීමිතව මට ආදරේ කළ යුතුයි. ඒ වගේම කොච්චර කාර්යබහුල වුණත් ෆෝන් එක ආන්ස්වර් කරලා අඩුම ගණනේ ‘පැටියෝ මං බිසී’ කියලා කියන්න ඕනෑ. ෆෝන් ආන්ස්වර් නොකරන අය මට එපා. මට ජොබ් එක අදාල නැහැ. මේ ක්ෂේත්‍රය හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් වඩාත් හොඳයි.

ඔබ වේදිකා නාට්‍යවලත් ඉන්නවා නේද?

ඔව්. සුකොමල වත තමයි මං ඉන්න එකම වේදිකා නාට්‍ය. ඒක ආනන්ද සේනාරත්නගේ අධ්‍යක්ෂණයක්.

ටෙලි නාට්‍යය ද, වේදිකා නාට්‍ය ද වඩාත් හොඳ?

දෙකම හොඳයි. හැබැයි වේදිකා නාට්‍යවලින් ඉගෙන ගන්න පුළුවන්.

මොනවාද ඔබ වේදිකා නාට්‍ය කරලා ඉගෙන ගත්තු දේවල්?

කටහඬ පාලනය මං දැනගත්තේ වේදිකාවෙන්. එය මට ටෙලි නාට්‍ය රංගනයටත් වැදගත් වුණා.

ධනංජිගේ පාසල මොකක්ද?

දියතලාව ජනානන්ද ජාතික පාසල.

දැනට පදිංචිය?

කොට්ටාව.

කවදද අන්තිමේට ගමේ ගියේ?

ගිය වෙසක් එකට.

කොහොමද ඔබට ගමේ තියෙන පිළිගැනීම?

ගොඩක් හොඳයි. එදාට වැඩිය අද හොඳ පිළිගැනීමක් ගමේ තියෙනවා.

ඔබට කට කතා හැදිලා තියෙනවාද?

ඔව්.

ඒ මොනවාද?

ජනප්‍රිය අයත් එක්ක සබඳකම් තියෙනවා කියලා කතා හැදිලා තියෙනවා.

ඔබට මොකද හිතුණේ?

දුක හිතුණා. නමුත් සද්ද නැතුව හිටියා.

ඇයි ඒ? කට කතා හැදෙනවාට ආසද?

අපොයි නැහැ. ඕනෑවට වඩා දඟලන්න ගියොත් ඔවැනි කතා හැදෙන එක වැඩි වේවි. සද්ද නැතුව ඉන්න එක ඇඟට ගුණයි.

ඔබ හිතනවද ඔබ ලස්සනයි කියලා?

මට ගොඩක් අය කියලා තියෙනවා මං ලස්සනයි කියලා. ලස්සනයි කියන්නේ ලස්සන නිසානෙ.

ලස්සන වෙන්න මොනවද කරන්නේ?

මුකුත් නැහැ.

ඔය බොරු?

නැහැ, නැහැ. ඇත්තම ඇත්ත. මේ මගේ උපන් හැටි. ෆොටෝ ෂූට්වලට විතරක් මේකප් දානවා.

ඔබට ගොඩක් කෙන්ති යනවා වගේ?

ඔව්. මට ඉකක්මනින් කේන්ති යනවා.

එතකොට ළඟපාත ඉන්න අය බැනුම් අහනවා ඇති?

ඉස්සර නම් එහෙම වුණා. ළඟ හිටියේ කවුද, එයාගේ පිටින් කේන්තිය පිට වෙනවා. නමුත් දැන් එහෙම නැහැ. බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නේ.

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ?

සුමුදු වෙල්ලාලගේ අයියා නාට්‍යයකට කතා කළා. ඒ ගැන හිතමින් මේ දිනවල කාලය ගත කරනවා.

කාටද තුති පුදන්න තියෙන්නේ?

අකැමැත්තෙන් හරි මාව රංගනයට එවපු අම්මයි, අයියයි, නංගියි යන පවුලේ අයට සහ මට උදව් කරපු හැමෝටම.