වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




විකෘති ලොව ප්‍රකෘතිය දුටු දිරිය මව

විකෘති ලොව ප්‍රකෘතිය දුටු දිරිය මව

සිංහල වේදිකාවේ සෝමලතා සුබසිංහ ලබාගන්නා වූ ස්ථානය කුමක්දැයි තර්ක කරන්නට මා උත්සාහ ගන්නේ නැත. ඒ වේදිකාව නම් විෂයයෙහි මගේ ඇති ඇල්ම අඩු නිසාය. එහෙත් මෙරට තරුණ පරම්පරාවේ ජීවිත වෙනස් කරලීමෙහි සමත් වූ එහෙයින්ම අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යුතු නාට්‍ය කාරිණියකයන් අතර ඇය ඉහළින්ම තබන්නට මම කැමැත්තෙමි. ගුරුවරියක ලෙස ඇය දුටු දරුවන්ගේ ජීවිතය යළි ප්‍රතිනිර්මාණය කිරීමෙන් නොනැවතී, මව් පියන් හමුවේ පවසා ගත නොහැකි වූ ඔවුන්ගේ සිතුවිලි ඇය කදිමට කියාපාන්නට වේදිකාව භාවිත කළාය.

සෝමලතා සුබසිංහ, රංගන ශිල්පිනියකි. පිටපත් රචිකාවකි. නාට්‍ය වේදිනියකි. ගුරුවරයකි. 1936 පෙබරවාරි 02 වැනිදා වේයන්ගොඩ විගඩ නම් ගම්මානයේ විදුහල්පතිවරයකුව සිටි දොන් ජග්ලිස් සුබසිංහ සහ ගුරුවරියක වූ ඇගිදහාමි අමරසිංහ දම්පතින්ට දාව එක සොහොයුරෙකුට බාල වූ හා සොහොයුරියකට වැඩිමල්ව උපත ලද ඇය දිවුලපිටිය විදුහලින්, කොළඹ මියුසියස් හා බෞද්ධ කාන්තා විද්‍යාලයන්ගෙන් ද අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව සිය ගණනක් නොවීය. ඇය වේදිකාවේද අති විශාල නාට්‍ය රාශිකට දායක නොවූවාය. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන්ද ඇයගේ භූමිකාවෝ අල්පය. එහෙත් මේ තෙවැදෑරුම් රංගනයන් සියල්ලන්ගේම සෝමලතා සුබසිංහ නම් රංගවේදිනිය සිය මුද්‍රා සටහන් තැබුවාය. එපමණක් නොව අන් කවර වේදිකා නිළියකටත් වඩා පරම්පරාවක් ගොඩ නැගුවාය. වර්තමාන රංග ක්ෂේත්‍රයේ මහත් ඉහළින් තැබිය හැකි ඇයගේම වැඩිමහල් දියණිය ආචාර්ය කෞශල්‍යා ප්‍රනාන්දු මෙන්ම ඇය හැදූ චාන්දනී සෙනෙවිරත්න මෙහිලා තැබිය හැකි හොඳම උදාහරණයන්ය.

මෙයින් දශක තුනකට පමණ පෙර උසස් පෙළ විෂයන් සඳහා පෙනී සිටි සිසුන් එක්තරා සංක්‍රාන්ති සමයක් පසු කළාදැයි අතීතාවර්ජනයකදී මට නිතරම සිහියට නැගෙන්නකි. අද මෙන් උසස් පෙළ විභාගයෙන් පසු කරන්නට බාහිර වෘත්තීය පාඨමාලාවන් එවකට සුලබ නොවීය. අද මෙන් ලෝකය සමඟ ගණුදෙනු කිරීමට ඇති අවස්ථා හා ඉඩකඩ ද සීමාසහිත විය. මේ නිසා උසස් පෙළ හැදෑරූ බොහෝ දෙනා එයින් පසු නිශ්චිත ඉලක්කයක් නැති නන්නත්තාර සමයක් විය. (අද එය මුළුමනින්ම වෙනස්ව ඇතැයි යන්න මෙහි අදහස නොවේ) එමෙන්ම උසස් පෙළ හැදෑරූ බොහෝ සිසුන් සිය විෂය ධාරාව ලෙස තෝරා ගත්තේ විද්‍යා විෂයයන් ය. ඒ බහුතරය මාපියන්ගේ කැමැත්ත මත සිදු වූවකි. අනිත් අතට එකල කලා විෂයන් හැදෑරීමෙන් දස දහස් ගණන් රැකියා වියුක්තිකයන්ගේ ගොඩට තම දරුවාත් එක්වී සිටිතැයි අහේතුක බියක් ඔවුන් සතුවිය. කොහොමටත් කලා විෂයයන් සඳහා තෝරා ගැණුනු බහුතරය ද ඒ සඳහා ඇති ඇල්මකින් එයට එක්වූවන් නොව, සාමාන්‍ය පෙළ යාන්තමින් ගොඩ දා ගත් අනුහසින් උසස් පෙළ හදාරන්නට තේරුණු පිරිස විය. ඒ කාලයේ වාණිජ විෂයන් හැදෑරීමද එක්තරා මදිකමක් ලෙස සැළකූහ. කලා විෂයයන් කෙරෙහි වූ අවතක්සේරුව හේතුවෙන් අනාගතය අවිනිශ්චිත කරගත් නිර්මාණශීලි තරුණ පරම්පරාවක් විය. මේ අතර තරගකාරි විභාග ඔවුන්ගේ දවස සහමුලින්ම අයහපත් කළේය. හැම මාපියන්ගේම සිහිනය වූයේ තම දරුවන් ඉහළ ස්ථාවරයේ රැඳී සිටීමය. එමෙන්ම තමනට දකින්නට බැරි සිහිනය දරුවන් ලවා හෝ දැක ගැනීමේ ආත්මාර්ථය ද ඒ තුළ නැතුවා නොවීය. එබැවින් තම පුතු හා දියණිය දොස්්තර කෙනෙකු හෝ ඉංජිනේරුවකු විනා එයින් බාහිර කිසිවකු නොවිය යුතු යැයි ඔවුහු සිතූහ.

විභාගයට වාඩි වීමේ සිට අවසානය දක්වා මේ පීඩනයෙන් මිදෙන්නට දරුවනට නොහැකි විය. සෝමලතා සුබසිංහ නම් විශිෂ්ට ගුරුවරිය සිය අත්දැකීම් ඔස්සේ මව්පියන් හා දූදරුවන් අතර ඇති සිහින සැබෑ කර ගැනීමේ අරගලය හොඳින් දැන සිටියාය. ඇය එය කරළියට නැංවූවාය. මේ රටේ දූදරුවන් වෙනුවෙන් වැඩිහිටියන් අතින් තැණුන විශිෂ්ටතම නිර්මාණය විකෘති හැර අන් කවරෙක්ද? 1982 දී විකෘති මුල් වේදිකා ගත කිරීමේ සිට එය පාසල් සිසුන් අතර පමණක් නොව මාපියන් අතර ද මහත් ආන්දෝලනයට ලක් විය. බොහෝ සිසුනට එය ස්වයං ආත්ම කථනයක් වූ අතර මව්පියන් බහුතරයකට එය විශාල පාඩමක් විය. විකෘති නාට්‍ය ලද උත්තේජනය නිසාම සිය විෂය ධාරාව වෙනස් කර ගැනීමට සමත් වූ සිසුන් විශාල පිරිසක් සිටියහ. එපමණක් නොව උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැන්මේදී විකෘති ගෙනා මතවාදය ඉතා හොඳින් බලපෑම් කළ වග අනතුරුව විද්‍යාමාන විය. සෝමලතා සුබසිංහ විශිෂ්ට ඝනයේ අනාගතවාදිනියකු වූයේ ඇය තෝරා ගත් නළු නිළියන් පිරික්සීමේදීය. මේ බහුතරය පාසල් සිසුන්මය. ඇයගේ ගුරු ජීවිතයේ විශාල මෙහෙය වූයේ බම්බලපිටියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සිටියදීය. . එහි නාට්‍ය හා රංග කලාව විෂයයක් කොට සිය දැරියනට ඉගැන්වූ ඇය තරගකාරි පාසල් විෂය ධාරාවෙන් විඳිවමින් සිටි දරුවනට එයින් මිදී ජය ගත හැකි පුළුල් ලෝකයක් ඇතැයි උගැන්වූවාය. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ ඇය විසින් බිහි කරන ලද පසුකලක නිකම් නිළි පරම්පරාවක් නොවීය. ඔවුහු සැබැවින්ම රංගනවේදිනියන් වූහ. මේ විශිෂ්ට රංගවේදිනියන් බහුතරය පාසලේ සිටි දඟකාරකම සිසුවියන් පිරිසක් බැව් පවසන්නේ මේ කෘතහස්ත ගුරුවරියට උපහාරයක් ලෙසටය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඇය ජීවන වෘත්තිය ලෙස තෝරා ගනු ලබනුයේ ගුරු වෘත්තියයි. ඇයගේ පළමු පත්වීම ඇය ලබනුයේ ඈ ඉගැනීම ලැබූ බෞද්ධ කාන්තා විද්‍යාලයටය. ඇයගේ ජීවන සහකරු බවට පත්වූ මෙරට විශිෂ්ටතම පරිපාලන නිලධාරියකු වූ ලයනල් ප්‍රනාන්දු මහතානන් ඇයට හමුවනුයේ විශ්ව විද්‍යාලයේ දීමය. රාජ්‍ය තාන්ත්‍රිකයකු, පරිපාලන නිලධාරියකු, තානාපති නිලධාරියකු ආදි වශයෙන් ලයනල් ප්‍රනාන්දු මහතානන් සිය වෘත්තීය ජීවිතය හොබවද්දී ඒ සියල්ලට සරිලන භාර්යා භූමිකාව හොබවන්නට සෝමලතා සුබසිංහ මහත්මිය සමත්වූවාය. එපමණක් නොව ඇය කෞශල්‍යා සහ ශ්‍යාමලිකා දියණියනට දයාබර මවද වූවාය. ඕ වේදිකාවට පිවිසෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ කලුහාමිනේ ලෙස රඟපාමිනි. ලයනල් ප්‍රනාන්දු හෙවත් අපේ ලයනල් සර් එයට පෙර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ වැදි නායකයාව සිටියේය. ලයනල් - සෝමලතා විවාහය අරගල මැදින් ප්‍රේමයේ මල් පුබුදා ගැන්මක් විය. එමෙන්ම සෝමලතා සුබසිංහ නම් නාට්‍යවේදිනිය පසුපස සිටි දැවැන්ත හස්තය වූයේද ලයනල් සර්ය.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය සමුදායෙන් බිහිවුවද, ඇය එයම ගුරුතන්හිලා කටයුතු නොකළාය. පසුකලෙක මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ කදා වළලු, මහාසාර, වෙස්සන්තර වැනි නාට්‍ය උදෙසා ඇය දායක වූයේ එහි රංග වින්‍යාසය නිර්මාණයෙනි. වසන්ත කුමාර හා කේ. එස්. ප්‍රනාන්දු ආදි නර්තනවේදීන් ළඟ නර්තනයද ආනන්ද සමරකෝන්, අමරදේව, ආදීන් වෙතින් සංගීතයද ඇය හැදෑරුවාය.

දයානන්ද ගුණවර්ධනගේ නරිබෑණා, සිදත් ශ්‍රී නන්දලෝචනගේ අත්තක මල් පරවී ගියා, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පබාවති, ගුණසේන ගලප්පත්තිගේ මූදුපුත්තු, ලියතඹරා, ධම්ම ජාගොඩගේ වෙස්මුහුණු, හෙන්රි ජයසේනගේ දිරිය මව, රංජිත් ධර්මකීර්තිගේ හිරු නැති ලොව, චෙරි උයන, අංගාරා ගඟ ගලා බසී ආදී වූ නාට්‍ය රාශියක සෝමලතා සුබසිංහ සිය රංගන මුද්‍රාව තැබුවාය. මූදු පුත්තු, සරාද දිරිය මව ද, චෙරි උයනේ රැකිවෙස්තයා ආර්යාව ද, බර්නාඩ්ගේ සිපිරිගෙයි හි බර්නාඩ්ද ඇයයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය ඒකකයට අනුබද්ධිතව 1973 දී ප්‍රාථමික සෞන්දර්ය අධ්‍යාපන විෂය මාලාව නිර්දේශ කිරීමට පුරෝගාමීන් අතර ඇය සිටි බැව් බොහෝ දෙනා අතර රහසකි. අද මෙරට බොහෝ පාසල් සිසුන්ගේ ආදරණීය විෂයයක් ව පවතින නාට්‍ය හා රංග කලා විෂය මෙරට පාසල් පද්ධතියට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන එක් තැනැත්තියක් ඇයයි. එය න්‍යායික පුස්තකයට සීමා නොකළ ගුරුතුමිය එය ප්‍රායෝගික පරිවර්තනයක් කරන්නට මුල පිරුණේ ළමා හා යොවුන් රංග පීඨය පිහිටුවාලමිනි. දශක ගණනාවක් මුළුල්ලේ ඇයගේ අත්දැකීම් එහිලා මහෝපකාරී වූ විය. එයින් බිහි වුණු නළු නිළියන් අද ක්ෂේත්‍රයේ සිය කීර්තිය විහිදුවාලති. පුංචි අපට දැන් තේරෙයි, තොප්පි වෙලෙන්දා, ගමරාළ දිව්‍යලෝකෙ ගිය හැටි, හිම කුමාරිය ඇතුළු නාට්‍ය රාශියක් බිහි කරන ලද්දේ එමගිනි. විකෘති මෙයට සඳ කිඳුරු, මූදු පුත්තු නව නිෂ්පාදනය මෙන්ම ඇන්ටිගනි ද ඇය ලාංකික වේදිකාවට තිළිණ කළාය. ගුවන්විදුලි ශිල්පිනියක ලෙසද සෝමලතා සුබසිංහ විශිෂ්ට මෙහෙවරක යෙදුණාය.

ඇය ගේ මුල්ම සිනමා දායකත්වය ලැබුණේ මෙරිල් ඇල්බට්ගේ දහකින් එකෙන් චිත්‍රපටයටය. ඉන් පසු ඇය තිලක හා තිලකා, මඩොල්දූව, වසන්තයේ දවසක්, සිරිබෝ අය්යා, මහගදර, මුහුදු ලිහිණි, පරසතුරෝ, අරුණට පෙර, රැජණ, විරාගය, ගුරු ගෙදර, මේ මගේ සඳයි ද ඇය දායක වූ චිත්‍රපට අතර වෙයි. ඇය විසින් නිරූපණය කරන ලද මහගෙදර චිත්‍රපටයේ මවගේ චරිතය ලාංකික සිනමාවේ එක් සුවිශේෂ රංගනයක් ලෙස සැළකිය යුතු වෙයි.

ඇය ටෙලිවිෂනයට එක්වූයේ බර්ට්‍රම් නිහාල්ගේ ගම් පෙරළිය සමඟය. එතැන් පටන් ඇල්ල ලඟ වලව්ව, සුබ අනාගතයක් ඇතුළු ටෙලිවිෂන් නිර්මාණ රාශියකට දායක වූවාය.

මේ විශිෂ්ට රංගනවේදිනිය පසුගිය සිකුරාදා අපහැර ගියාය. පසුගිය වසර කිහිපයක්ම ඇය සිටියේ රෝගී තත්ත්වයෙනි. සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇයගේ මෙහෙවර අගය කරමින් ආචාර්ය උපාධියක් පිරිනැමුණේ ඒ අතරය. පමා වී හෝ ඇයගේ මෙහෙවර අගය කර තිබිණ. බොහෝ රංගවේදීන් සිය ජීවිතය සමග රංගනය නිම කරති. එහෙත් සෝමලතා සුබසිංහ නම් රංගවේදිනිය එයින් රංගනය නිම නොකරන්නීය. ඇය විසින් ගුරු මුෂ්ටි නොසඟවා බිහි කරන ලද රංගන පරම්පරාව ඇයගේ ලද දායාදය ඉදිරියට ගෙන යන්නීය. ඇය විසින් විකෘති නාට්‍ය හරහා හෙළිදරව් කරන ලද 'යෞවන ඛේදවාචකය' හරහා අලුතින් ඇස් ලබන්නට දිරි දුන් පරම්පරාවක් අපේ රටේ ඇත. මේ ලියුම්කරුද අයත්වන්නේ ඒ පරම්පරාවටය. ඒ පරම්පරාව සදාකල් සෝමලතා සුබසිංහ නම් නාට්‍යවේදිනිය, විශිෂ්ට ගුරුවරිය සිහිපත් කරනු ඇත.