වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




තරු අහස යට පිපිණු හිරු මල
අපේ කාලයේ ලාංකේය තෙස්පියන්වරයාගේ ජ්‍යෙෂ්ඨත්වයේ, ශ්‍රේෂ්ඨත්වය

තරු අහස යට පිපිණු හිරු මල

අපේ සිනමාවේ ‘රජ තුන් කට්ටුව‘ ලෙස සැලකෙන්නේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ යන මහා රංගවේදීන් තිදෙනාය. ඒ අතරින් ගාමිණී සහ ජෝ දැන් කිර්තිශේෂභාවෝපගත පුරාවෘත්තයන් පමණකි. ටෝනි රණසිංහයන් ද වර්තමානයේ සිය රංගන කාර්යයෙන් සපුරා බැහැරව සාහිත්‍යමය කටයුතු සඳහා කාලය මිඩංගු කරමින් ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් හිඳී.

ගාමිණී, ජෝ, ටෝනිගෙන් පසුව එකී රාජවංශය අලුතින් ලියා තබන්නේ නම් රවීන්ද්‍ර රන්දෙණිය යන නාමය එහි ඉහළින්ම සඳහන් විය යුතු යැයි මට සිතේ. ඒ පන්සාළිස් වසක් පුරාවට හෙතෙම ලාංකේය සිනමා රංග භූමිකාවේ පෑ වික්‍රමාන්විතය වෙනුවෙනි.

සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් මා රවි අයියා පිළිබඳ අවසන්වරට ‘සරසවිය’ පුවත්පතට ලිපියක් සකස් කළේ ඉකුත් වසරේ දෙසැම්බර් 25 වැනිදාය. එම ලිපිය මා ආරම්භ කළේ මෙලෙසිනි.

‘තමා නිරූපණය කළ සෑම චරිතයකටම සාධාරණය ඉටු කළ රංගන ශිල්පීන් අපේ සිනමාවේ වෙතොත් ඒ දෑතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. පෙම්වතාගේ චරිතය ඉතා හොඳින් රඟපෑව ද, වීරයාගේ චරිතයේදී අසාර්ථක වූ නළුවන් අප දැක තිබේ. වීරයගේ චරිතය කදිමට නිරූපණය කළ ද, ඇතැමෙකුට දුෂ්ටයාගේ චරිතයට පණ පෙවීමට නොහැකිය. එහෙත් රවීන්ද්‍ර රන්දෙණිය මේ ඕනෑම චරිතයකට ඔට්ටු නළුවකු යැයි මට සිතේ. පෙම්වතා, වීරයා හෝ දුෂ්ටයා කියා ඔහුට වෙනසක් නැත. රඟපෑ සෑම චරිතයකින්ම ඔහු එය අපට සනාථ කොට තිබේ. ඔහුගේ අභිමානවත් රංග පෞරුෂය දේශීය සිනමාවට එක් කළ වටිනාකම් බොහෝය.

මෑත කාලයේ රවි අයියා පිළිබඳ වැඩිපුරම විශේෂාංග ලිපි ලියැවුණේ මා සුරතිනි. කොතරම් කාර්යබහුල දිවියක් ගත කළ ද තමා පිළිබඳ ලිපියක් පළ වූ පසු එය මහත් අභිරුචියෙන් කියවා බලා ඊට වහා ප්‍රතිචාර දැක්වීම රවි අයියාගේ සිරිතය. සිංහල බස පිළිබඳ පෘථුල දැනුමකින් හෙබි කලාකරුවකු වන රවි අයියාගේ සුබවාදී ප්‍රතිචාර සහ අගය කිරීම් මා එලෙස බොහෝ වරක් අත්විඳ ඇත්තෙමි. රවී - ප්‍රීති යුවළගේ හතළිස් වැනි විවාහ සංවත්සරය අලලා ඔවුනට හොර රහසේ මා විශේෂාංග ලිපියක් සම්පාදනය කළේ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්නගේ යෝජනාවක් පරිදිය. එම ලිපිය පුවත්පතෙහි පළවන විට ඔවුන් දෙපළ සිටියේ ඕස්ට්‍රේලියාවේය.

‘අසංක, මම ඔයාගේ ලිපිය කියෙව්වා. නියමයි. ඒක හරියට කවියක් වගේ. ලස්සන වගේම දුර්ලභ ඡායාරූප ටිකකුත් ඔයා ඒ ආ(ර්)ටිකල් එකට දාලා තියෙනවා.’ ලංකාවට පැමිණි විගස රවි අයියා දුරකථනයෙන් මා අමතා සිය කෘතඥතාවය පළකර සිටියේ එලෙසිනි. රවි අයියාගේ හැටි එහෙමය.

‘ලාංකේය සිනමාවේ මගේ කාලයේ තෙස්පියන් රවීන්ද්‍ර රන්දෙණියයි.

වරෙක එක්තරා සංවාදයකදී ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මා සමඟ එලෙස ප්‍රකාශ කළේය. එදා එකී සංවාදයේදී මා මතු නොකළ පැනයක් මේ ලිපිය ලියන්නට පෙරාතුව මා ඔහු වෙත යොමු කළෙමි. ඒ තෙස්පියන්වරයෙක් යනු කවරෙක් ද හා රවීන්ද්‍ර රන්දෙණිය එසේ හඳුන්වන්නේ ඇයිදැයි යනුවෙනි.

ක්‍රි. පූර්ව පස්වැනි සියවසට පෙර ග්‍රීසියේ ඇතැන්ස් නුවර නාට්‍යය ඉතිහාසය උගන්වන කොට ඔය තෙස්පියන් කියන මනුස්සයාවනේ හඳුනා ගන්නේ ලෝකයේ පළමුවැනි නළුවා හැටියට. ඔය ඩිතිරැම්බ කියන යාතු කර්මයේ ඩියෝනිස දෙවියයන්ගේ ගුණ ගායනා කරමින් පණස් දෙනෙක්නේ රඟපෑවේ. කෝරස් එකක්. එතකොට ඒ කෝරස් එකේ හිටපු නායකයා, නායක ගායකයා තමයි තෙස්පියන් කියන්නේ. එයා තමයි ඇවිල්ලා මමයි ඩියෝනිස කියලා ඒ ඩියෝනිස අනුකරණය කළා කියන්නේ මුල් වරට. එතකොට ඔහු තමයි ලෝක ඉතිහාසයේ නමකින් සඳහන් වන පළමු නළුවා කියා සංකල්පයක් තියෙනවා. ඊට පස්සේ ඔය පහළොස් වැනි ශත වර්ෂයේ එළිසබතානු එංගලන්තයේ ශේක්ස්පියර් යුගයේනේ නාට්‍ය කලාව වඩාත් දියුණු වුණේ. අන්න ඒ වේදිකාවේ රඟපාපු දුර්ලභ, ශ්‍රේෂ්ඨ නළුවන් ඉහල, උසස් කුලවතුන් ලෙසයි සැළකුණේ. ඒ එළිසබතානු නළුවන් සිටුවරු වගේ. නයිට්වරු වගේ.

අන්න ඒ කුළ පරම්පරාවල් හඳුන්වන්නට එළිසබතානු රාජ්‍ය භාවිතා කළ නාමයක් තමයි තෙස්පියන් කියන එක. ඔවුන් හැඳින්වූවේ තෙස්පියන්වරු කියලා. ශ්‍රේෂ්ඨ නළුවා, ඒ කියන්නේ විශාල අතීතයක උරුමයක් ඇති ඔය නිකං සිටුවරු, අපේ නිළිමේවරුන් හැඳින්වූවේ. අන්න ඒ වගේ ඉහලම මානයෙන් හැඳින්වූවේ තෙස්පියන්වරුන්ව. වර්තමානයේ ඕනෑම රටක ඉන්න එහෙම දිර්ඝ ඉතිහාසයක් පුරා කීර්තිමත් වූ ඒ රටේ ජනතාවගේ ආදරය දිනාගත්තු නළුවෙක් හඳුන්වන්න තිබෙන යෝග්‍යතම වචනය තෙස්පියන් කියා මම විශ්වාස කරනවා.

ඉතිං ඒකට සුදුසුකම් රැසක් සපුරන්න ඕනෑ. දීර්ඝ කාලයක් තුළ කීර්තිමත් නළුවෙක් වෙන්න ඕනෑ. ජ්‍යෙෂ්ඨත්වයටනේ තෙස්පියන් කියන නාමය යෙදෙන්නේ. එතකොට ප්‍රධාන භූමිකා, එතකොට දුර්ලභ භූමිකා, ඉහළම චරිත මෙන්න මේවා නිරූපණය කරමින් තවමත් අප අතර රැඳෙන මේ මගේ කාලයේ ජ්‍යෙෂ්ඨයා විදිහට තමයි මම රවි අයියා හඳුන්වන්නේ. එතකොට මගේ කාලයේ ජ්‍යෙෂ්ඨයා කියන්නේ ඇන්ටීක් එකකට නෙවෙයි. පුරාවස්තුවකට නෙවෙයි. තවමත් ක්‍රියාන්විතයි කියන එක. ශ්‍රේෂ්ඨසම්පන්න ජ්‍යෙෂ්ඨයකුට විශ්‍රාමයක් නෑ. මගේ දරුවන්ගේ යුගයටත් එයා ජ්‍යෙෂ්ඨයෙක් වෙනවා. එහෙම දුර්ලභ ශක්තියක් හා දුර්ලභ වාසනාවක් හිමි කර ගත් ඓතිහාසික ඥාණයෙන්ම, විෂයබද්ධ ඥාණයෙන්ම සන්නද්ධ ලංකාවේ තෙස්පියන් කියා හඳුන්වන්න පුළුවන් රවි අයියාව. ඔහු තමා ශ්‍රී ලන්කන් තෙස්පියන්.

එය අපූර්ව සංකල්පයකි. ඒ සංකල්පධාරියා ජැක්සන් ඇන්තනිය. එකී විවරණය මෙසේ සටහන් කොට තැබුවේ එය රවි අයියා පිළිබඳ වෙනස්ම ආකරයේ කියවීමක් යැයි මට හැඟී ගිය හෙයිනි.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ‘පරසතු මල්’ චිත්‍රපටයේ ‘බොනී මහත්තයා’ ලෙස නිරූපණය කළ චරිතය ඔහුගේ සිනමා රංගන දිවියේ විශිෂ්ට සළකුණකි. එකී රංගනය වෙනුවෙන් ගාමිණී වසරේ හොඳම නළුවා ලෙස ‘සරසවිය’ සම්මානය හිමි කර ගත්තේය. එම සම්මාන උළෙල නැරැඹීමටත්, එය අවසානයේ රත්මලානේ ගාමිණීගේ නිවසේ පැවැති සාදයට සහභාගි වන්නටත් තවත් ‘බොනී’ කෙනෙක් පැමිණ සිටියේය. හීන්දෑරි, උස, කඩවසම් රූපකායකට හිමිකම් කියූ ඔහු බොනිපස් වෝල්ටර් පෙරේරාය. ඔහු එහි පැමිණීයේ ‘පරසතු මල්’ නිෂ්පාදකවරයා වූ චිත්‍ර බාලසූරිය සමඟිනි. සිය පියාගෙන් ලැබුණු ත්‍යාගයක් වූ සන්බීම් ඇල්පයින් 4 ශ්‍රී 58 මෝටර් රථයේ මුල් හිමිකරුවා වූයේ චිත්‍රය. මේ වාහන ගනුදෙනුව හරහා බොනීගෙත්, චිත්‍රගේත් අතර ගොඩ නැඟී තිබුණේ සමීප මිතුදමකි. බොනී පෙර කී අවස්ථාවට සහභාගි වූයේ චිත්‍රගේ ආරාධනය පරිදිය.

තම නිවසේ පැවැති සාදයට සහභාගි වූ මේ අපූරු කඩවසම් ඉළන්දාරියා ගාමිණීගේ හිතට ඇල්ලුවේය. සාදය නිම වී යන්නට සූදානම් වෙන විට ගාමිණී, බොනී අමතා පැවසුවේ මෙවැන්නකි. ‘මට උඹ කවදාවත් අමතක වෙන එකක් නෑ. හේතුව මම අද සම්මාන ගන්නේ උඹේ නමින් තියෙන චරිතයකට හින්දා’ එවදන් ඇසූ බොනීගේ සිතට දැනුණේ සියුම් ආඩම්බරයකි. එහෙත් මේ අපූරු හාදයා අනාගතයේ දිනෙක රවීන්ද්‍ර රන්දෙණිය නමින් සිංහල සිනමාවේ විශිෂ්ටතමයකු වනු ඇතැයි එදා ගාමිණී නිකමටවත් නොසිතන්නට ඇත.

ඔහු සිප්සතර හැදෑරුවේ දැයට කලාකරුවන් රැසක් දායාද කළ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදු මාතාව ඇසුෙර්ය. ජනප්‍රිය නළු විජය කුමාරණතුංග ඔහුගේ පන්ති සඟයා වූ අතර ප්‍රේමනාත් මොරායස්, ලෙනින් මොරායස්, රෝයි හඳපාන්ගොඩ, රොබින් ප්‍රනාන්දු වැන්නන් එම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් වූහ. ඔවුන් අතරින් අද ජීවතුන් අතර සිටින්නේ රොබින් ප්‍රනාන්දු පමණකි.

බොනිපස් පෙරේරා පාසලේ වඩාත් ප්‍රකටව සිටියේ අධ්‍යාපනයට ලැදි දක්ෂ පාසල් සිසුවකු ලෙසය. සෑම වාර අවසන් විභාගයකදීම මුල් ස්ථාන හිමිකර ගන්නා සිසුන් අතර රැඳෙන්නට ඔහුට හැකියාව ලැබුණේ එකී දස්කම් නිසාවෙනි. ගායනයට මෙන්ම කෙටි කතා රචනයට ද දක්ෂ සිසුවකු ලෙස ද ඔහු නම් දරා සිටියේය.

තම රංගන ප්‍රතිභාව බොනී මුලින්ම විදහා දැක්වූයේ පාසල් වේදිකාවෙනි. සීගිරි කාශ්‍යප රජුගේ චරිතය රඟමින් ඔහු කරළියට පිවිසුණේ වයස අවුරුදු දහයක පුංචි කොලු ගැටයකු ලෙසය. පසු කලෙක රවි අයියා ඒ මතකය අවධි කර තිබුණේ මෙලෙසිනි.

රඟපෑමට එහෙම විශේෂ ආසාවක්. උනන්දුවක් මට තිබුණේ නෑ. මොකද මම අධ්‍යාපන කටයුතුවලටයි මුල් තැන දී තිබුණේ. පාසලේ වේදිකාවේ මම නළුවෙක් වුණේ අහම්බෙන්. පන්ති හතරක ළමයින් අතරින් සීගිරි කාශ්‍යපගේ චරිතයට තෝරා ගත්තේ මාව. රංගනය ගැන පුංචි අවබෝධයක්වත් නොතිබුණාට මම සීගිරි කාශ්‍යප රජු ගැන පතපොත කියවලා සෑහෙන තරමේ දෙයක් දැනගෙන හිටියා. කාශ්‍යප රජ්ජුරුවෝ පුංචි කාලේ මගේ වීරයෙක්. ඉතින් ඒ ඇල්ම නිසාම එදා ඒ චරිතය හොඳින් රඟපාන්නට මට පුළුවන් වුණා කියලා හිතෙනවා.

කෙසේ හෝ බොනිපස් පෙරේරා, රවීන්ද්‍ර රන්දෙණිය නමැති සුපිරි නළුවා බවට පරිවර්ථනය වීමේ අනාගත වාක්‍යය ලියැවෙන්නේ ලයනල් වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලිකාව ඔස්සේය. නමුත් සැබැවින්ම ඔහු ශිල්ප ශාලිකාවට එක්වන්නේ නළුවකු වීමේ අදහසින් නොවේ.

ධම්ම ජාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ශිල්ප ශාලිකාවේ පැවැත්වුණු පාඨමාලාවට මම ඇතුළත් වුණා. ඒත් නළුවකු වෙන්න ඕනෑ කියන සිතිවිල්ල මගේ යටි හිතේවත් තිබුණේ නෑ. අදටත් ඒ පාඨමාලාවේ රිසිට්පත මා ලඟ තියෙනවා. ගාස්තුව රුපියල් දහයයි. පිටපත් රචනය, වේදිකා අලංකරණය සහ අධ්‍යක්ෂණය කියන පාඨමාලාව තමයි මම තෝරා ගත්තේ. හැබැයි මේ සියලු විෂයන්ට පොදු විෂයයක් හැටියට රංගනය ඉගැන්නුවා. දවසට පැය භාගයක් රංගනය පිළිබඳ පංති පැවැත්වුණා. බොහෝ අවස්ථාවල විවිධ චරිත රඟපෑම සඳහා තෝරා ගත්තේ මාව. ළමයි එකසිය ගණනක් සහභාගි වූ ඒ පාඨමාලාවෙන් ඩිප්ලෝමා සහතික ලැබුණේ හතර දෙනකුට පමණයි. ඒ සුමින්ද සිරිසේන, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ලෙස්ලි රාමනායක සහ මම.

ශිල්ප ශාලිකාවෙන් එළිදුටු ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයේ දියෝනිස් ලෙස රඟපාමින් රවී ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූයේය. එදා එම නාට්‍යය නැරැඹීමට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුට හද පත්ලෙන් සුභාශිංසනය පුද කළේ අනාගත මහා නළුවකුගේ ආගමනය එදා සිදු වූ බව ඉවෙන් මෙන් දැනගෙන වෙන්නට ඇත.

රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට පිවිසෙන්නේ මණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ‘කළුදිය දහර’ නමැති ජනප්‍රිය චිත්‍රපටය ඔස්්සේය. එහෙත් ඔහු ප්‍රේක්ෂකයා අතර වඩාත් කතාබහට ලක්වූයේ, ආකර්ෂණයක් හිමිකර ගත්තේ ‘තරංගා’ චිත්‍රපටයෙනි.

‘කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට
මල් මුවරද රස ඉතිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැළ රොනට ඇදෙනවා . . .’

‘තරංගා’ චිත්‍රපටයේ නාන තොටක දිය කෙළිමින් රවි අයියා තවත් පිරිසක් සමඟ එකී ගීය ගයන දර්ශනය සොඳුරු සිහිනයක් මෙන් යාන්තමින් මා මතකයේ රැඳී ඇත. පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතයට එච්. ආර්. ජෝතිපාල ගැයූ ඒ සුමියුරු ගීතයේ ඔහු රඟපෑ සොඳුරු දසුන් පෙළ කෙතරම් චමත්කාරජනකදැයි මේ මොහොතේ පවා මට සිතේ.

‘දෑස නිසා’ චිත්‍රපටයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ කඩවසම් තරුණයා තෝරා ගන්නේ ඔහුගේ බාහිර ස්වරූපය සහමුලින්ම වෙනසකට බඳුන් කළ චරිතයක් සඳහාය. ඒ ‘මාධව‘ නමැති තාපසයාගේ චරිතය වෙනුවෙනි. රංගනයට පිවිසි මුල් වකාවනුවේ වුව ද රවි අයියා එබඳු චරිතයක් රඟපෑම ප්‍රතිික්ෂේප කළේ නැත. යොවුන් නළුවකුගේ ඉදිරි පැවැත්මට අවැසි වීරත්වය, සටන්කාමිත්වය හෝ සුකුමාරත්වය එකී චරිතයේ නොතිබුණ ද, මනා රංග පෞරුෂයක් විශද කිරීමට හැකි පුළුල් වපසරියක් එම චරිතයේ ගැබ්ව තිබිණ. ඔහු එයින් නිසි ඵල නෙළා ගත්තේය.

‘දෑස නිසා’ චිත්‍රපටය රවීන්ද්‍ර රන්දෙණියගේ ජීවිතයට දෙආකාරයකින් වැදගත් වේ. ඔහු ප්‍රථමයෙන් චරිතාංග නිරූපණයට පිවිසෙන්නේ එම චිත්‍රපටයෙන් වීම එක් කරුණකි. තම ජීවන සහකාරිය ප්‍රීති ප්‍රමිලා සෙනෙවිරත්නගේ ආදරණීය දෑස ඔහුට මුණ ගැසෙන්නේ ‘දෑස නිසා’ චිත්‍රපටයෙන් වීම අනෙක් සුවිශේෂ කාරණයයි.

රවීන්ද්‍ර රන්දෙණිය යනු සැමදාමත් සිනමාවේ අභියෝග භාර ගත් නළුවෙකි. සිනමාව නමැති සොඳුරු මායාවේ කටුක යථාර්ථය හේ හොඳින් දැන සිටියේය. මේ නිසාම ඔහු තරුවක් ලෙස බැබලීමට නොව, වඩා උත්සුක වූයේ විවිධ චරිත හරහා සිය රංග ප්‍රතිභාව විදහා දැක්වීමටය. සිය ජීවිත අවදානම පවා නොතකා ඔහු තමාට ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් බාර ගන්නට ඉදිරිපත් වූයේ එබැවිනි.

‘දඩයම’ චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ ජයනාත්ගේ චරිතය රවී අයියාගේ රංගන දිවියේ එවන් අභියෝගාත්මක චරිතයකි. තමා අතින් ගැබ් ගත් කාන්තාවක තම වාහනයට යටකර මරා දමන්නට තරම් සැහැසි වූ ඒ චරිතය රඟපෑමට ඔහු බාර ගත්තේ නළුවකු ලෙසින් ඔහු අතිශය ජනප්‍රිය තලයක සිටියදීය. එතෙක් සිංහල සිනමාවේ අප දැක තිබූ සාම්ප්‍රදායික දුෂ්ටත්වය ඉක්මවා ගිය අසීමිත කෲරත්වයකින් හෙබි එකී චරිතය රඟපෑම තුළින් සිය ජනප්‍රියත්වයට කිසියම් හානියක් සිදු විය හැකි බව නොකතා ඔහු ජයනාත්ගේ චරිතයට පණ පෙව්වේ විශිෂ්ට රංග ප්‍රතිභාවක සදාතනික මතකය ප්‍රේක්ෂක මතකයට තුරුළු කරමිනි.

මම කවදාවත් රංගනය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩ නඟා ගන්නට උත්සාහ කළේ නෑ. මට අවශ්‍ය වුණේ ඒ චරිතයට අදාලව මගේ රංගනය උපරිම අයුරින් සිදු කිරීමයි. ඒ නිසා මම පෙම්වතාගේ, වීරයාගේ චරිත වගේම දුෂ්ට, ප්‍රතිවීර චරිත රඟපාන්නටත් පැකිළුණේ නෑ. ඒ අභියෝගය මා ඉතාමත් ශක්තිමත්ව බාර ගත්තා. මා රඟපෑ බොහෝ දුෂ්ට, ප්‍රතිවීර චරිත ප්‍රේක්‍ෂකයන් හා විචාරකයන් ගේ අවධානයට පාත්‍ර වුණේ ඒ අභියෝගය මා නොබියව බාර ගත් නිසා කියලා මට හිතෙනවා. ‘දඩයම’ චිත්‍රපටයේ මා රඟපෑ චරිතය එහි කූටප්‍රාප්තිය ලෙස මම අදටත් විශ්වාස කරනවා.

වරෙක රවි අයියා ඔහුගේ රංගන දිවියේ නම්‍යශීලිත්වය ප්‍රකාශ කැර තිබුණේ ඒ අයුරිනි. නමට පමණක් ක්‍රියාදාම වූ ඇතැම් චිත්‍රපටවල සුපිරි වීරයන්ට වඩා ත්‍රාසජනක බිහිසුණු අත්දැකීම් බොහොමයක් රවි අයියාගේ සිනමා ජීවිතයේ ඔහු විසින් අත්විඳ තිබේ. ඒ අත්දැකීම් ඇසුරින් “සල රූ ප්‍රති රූ බිහි වූ අයුරූ” යන සිරස යටතේ මා ඔහු පිළිබඳ වරෙක ‘සරසවිය’ට විශේෂාංග ලිපියක් ද සම්පාදනය කළේය. එහි දී “සිරිපාල හා රන්මැණිකා” චිත්‍රපටයේ රූගත කිරීම්වල දී ඔහු මුහුණ පෑ ත්‍රාසජනක අවස්ථාවක් රවි අයියා මා සමඟින් විස්තර කළේ මේ අයුරිනි.

මේ චිත්‍රපටයේ තිබුණ උද්වේගකරම අවස්ථාව තමයි සිරිපාල පොලිසියට හසුවෙන්නට යද්දී කෝච්චි පෙට්ටියේ යට උඩුබැලි අතට එල්ලිලා ගිහින් මැදිරි දෙකක් මැද්දෙන් වහල මතට නැඟිලා ධාවනය වන දුම්රියෙන් බිමට පනින දර්ශනය. පැයට සැතපුම් තිහක පමණ වේගයකින් තමයි දුම්රිය ධාවනය වුණේ. ඒ දර්ශනය සාර්ථකව නිරූපණය කරන්න මට පුළුවන් වුණා.

රවි අයියා තව දුරටත් එම බිහිසුණු අත්දැකීම විස්තර කරන්නේ මෙලෙසිනි.

අමාරුම දේ වුණේ ඇත්තටම කෝච්චියේ යට එල්ලිලා යන එක. එහෙම උඩුබැලි අතට එල්ලිලා යනකොට විශාල රෝද මා දෙපසින් කැරකෙනවා. එතකොට රේල් පීලි දෙක මැද්දෙන් ඉන්නකොට බිමට වැටුණොත් ඊට යාරයක් විතර එහා තිබෙන රෝදයෙන් ජ්‍යාමිතික විදිහටම මාව දෙකඩ වෙනවා. මට මතකයි එක් අවස්ථාවක රෝදයකට මගේ වම් උරහිස යන්තමින් ගෑවුණා. ඒ ඇඳගෙන සිටි කමිසය හරියට පිහියකින් පැළුවා වගේ දෙකඩ වෙලා මගේ හමත් පසාරු කරගෙන ගිහින් තිබුණා. ඊට පස්සෙ තමයි අර පනින දර්ශනය තිබුණේ. ඒකත් කොහොම හරි කළා.

එම ලිපියේ මා ඔහුගේ එබඳු බිහිසුණු අත්දැකීම් කිහිපයක්ම ඔහුගේම වදන්වලින් සටහන් කළෙමි. තාත්ති මට ආදරෙයි, සීතා දේවි, දඩයම, ගෝඩ් කිං, බඹර පැටික්කි චිත්‍රපට රූ ගන්වද්දි සිදු වූ එබඳු ත්‍රාසජනක සිදුවීම් අනාවරණය කරමින් ඔහු පැවසුවේ තමා එදා මෙවැනි දේ කළේ සිනමාව ගැන තිබූ ඇල්මටද නැත්නම් මෝඩකමට ද කියා අදටත් නොදන්නා බවය.

රවි අයියා රංගනයට පිවිසෙන්නේ තමා රඟපාන්නට නියමිතව තිබෙනා චරිතය පිළිබඳ මනාසේ අධ්‍යයනය කොට ඒ පිළිබඳ පූර්ව විශ්වාසකින් යුතුවය. ඔහුගේ රංගන චාරිකාවේ සාර්ථකත්වයට ප්‍රබල හේතු සාධකයක් වූයේ ඒ අමිල විශ්වාසය මත පදනම් වූ අප්‍රමාණ කුසලතාවයයි. එක නළුවකු තුළ තවත් පුද්ගලයන් සිය ගණනක් ජීවමානව සිටිය හැකි බව වඩාත් තීව්‍ර ලෙස සනාථ කළ රංගවේදියා රවීන්ද්‍ර රන්දෙණිය බව මගේ විශ්වාසයයි.

‘තරංගා’ චිත්‍රපටයේ - රවී, ‘ගංගා’ - හෙක්ටර් හාමු, ‘සිරිපාල හා රන්මැණිකා’ - සිරිපාල, ‘සත්වැනි දවස’ – රම්බඩා, ‘දුහුලු මලක්’ - රොහාන්, ‘ආරාධනා’ - සේනක වැනි එකිනෙකට වෙනස් චරිත හරහා ඔහු අපට ගම්‍යමාන කළ සත්‍යය එයයි. ‘ජනේලය’ චිත්‍රපටයේ ඔහුගේ රංගනය මුළුමනින්ම වාචික අභිනයෙන් තොර වූවකි. ‘සිරි මැදුර’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ සතර අභිනයෙන් තොර චරිතයකි. මායා, යසෝමා, අනන්ත රාත්‍රිය, සෙයිලම, සඳකඩ පහන වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තීන් බඳුය. තහනමට ලක් වූ ‘අක්ෂරය’ රවි අයියාගේ රංගන ජීවිතයේ ඉතා උත්කෘෂ්ට චරිත නිරූපණයක් බැව් අවිවාදිතය. එය තමාගේ හොඳම සිනමා රංගනය විය හැකි බව රවි අයියාම ප්‍රකාශ කළ අයුරු මට මතකය. එහෙත් අවාසනාවකට මෙන් කාගේදෝ මෝඩ තීරණයක් නිසා ‘අක්ෂරය’ පොදු ප්‍රේක්‍ෂකයා අතරට ගියේ නැත.

සිනමා ක්ෂේත්‍රයේ කිසියම් ගැටලුවක්, ප්‍රශ්නයක් උද්ගත වූ තැන සිනමා ශිල්පියකුට කිසියම් අසාධාරණයක්, අකටයුත්තක් වූ තැන රවි අයියා ඊට මැද්හත් වූයේ ස්වේච්ඡාවෙනි. ඔහු සිනමාව වෙනුවෙන්, සිනමා ශිල්පීන් වෙනුවෙන් ඇතැමෙකුගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවා සිය යුතුකම් හා වගකීම් ඉටු කරන්නට අමතක කළේ නැත. ඔහු ඒවාට මැදිහත් වූයේ කිසිවකුගෙන් ලකුණු දා ගන්නට හෝ මුදුනා වීමට නොව සිනමාව පිළිබඳ සැබෑ කැක්කුමකින් කටයුතු කළ නිසාවෙනි. හිටපු ජනාධිපතිවරයාගේ කලා කටයුතු හා සිනමාව පිළිබඳ උපදේශකවරයාව සිටියදී ඔහු නිරන්තරයෙන්ම යම්, යම් උදවියගේ දෝෂ දර්ශනයන්ට ලක් වූයේය. එහෙත් ඔහු එම ධුරය දැරුවේ කිසිදු වේතනයක් හෝ දීමනාවක්, වරප්‍රසාදයක් ලබානොගෙනය. ඒ මුදලින් රුපියල් මිලියනයක් ඔහු නළු, නිළි සුබ සාධනය වෙනුවෙන් ‘සිනෙස්ටාර්’ පදනමට පරිත්‍යාග කළ බව බොහෝ දෙනෙකු දන්නේ නැත. එය දැන ගත්තද ඇතැමුන් මුනිවත රැක්කා හැර එකී කාර්යය ඇගයීමට ලක් කළේ නැත.

රවි අයියා අදාළ තනතුරෙන් ලැබෙන වැටුප තැන්පත් කළේ වෙනමම ගිණුමකය. ඒ මුදල් ඔහු වැය කළේ කලාකරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙනි. වරෙක ජනපි‍්‍රය සිනමා නිළි සුමනා අමරසිංහ රෝගාතුර වූ අවස්ථාවේ ඔහු රුපියල් ලක්‍ෂයක මුදලක් ඇයට පරිත්‍යාග කළේය. ඒ බව මට පැවැසුවේ රෝයි - සුමනා යුවළමය. එහෙත් රවි අයියා ඒ පිළිබඳ රටට අඬ බෙර ගහන්න ගියේ නැත. ඒ ඔහුගේ දකුණු අතින් දුන් දේ වම් අතටවත් නොකියන නිසාවෙනි.

සිනමාවේ පොදු කටයුත්තකදී හෝ කලාකරුවකුගේ සුවිශේෂී ආවස්ථාවකදී හෝ එහි මුල් පුටුව හෙබවීමට නිරන්තරයෙන්ම ආරාධනා ලබන්නේ රවි අයියාටය. ඒ සිනමාවේ ප්‍රවීණත්වය මතම ඔහුට ලැබෙන වරදානයක් නොව කාගෙත් හොඳ හිත දිනූ සැබෑ මිනිසකුගේ ආශිර්වාදාත්මක සුබාශිංසනය ඒ සැමගේ දිවිමඟට ශක්තියක් වන බැව් සෙස්සන් සිතන නිසාය.

දේශපාලන වශයෙන් කුමන මතවාදයක් දැරුවද ජනප්‍රිය නළු රන්ජන් රාමනායක රවි අයියාව ආමන්ත්‍රණය කරනුයේ ‘ර්අ ඕධ්ට් ඕ’ යන ගෞරවණීය නාමයෙනි. ඉන්දීය සිනමාවේ සුපිරි නළු අමිතාබ් භච්චන් එරට සිනමාවේ ප්‍රවිණයන් පවා හඳුන්වන්නේ එලෙසය.

මේ මහා රංගවේදියාගේ 70 වැනි උපන් දිනය යෙදී තිබෙන්නේ හෙටය. නමුදු පෙනුමෙන් මෙන්ම ක්‍රියාවෙන් ද හේ තවමත් තරුණයකු බඳුය. රවි අයියාගේ උපන් දිනය නිමිත්තෙන් හෙට සවස් යාමයේ ඔහුගේ නිවසේ පවුලේ සමීපතමයන්, හිතවතුන් සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පි‍්‍රයසාදයක් පැවැත්වීමට නියමිතය.

උදාවන හෙට දිනයේ ආදරණීය රවි අයියාට සුබපතන්නට එක්වන සුවහසක් සොඳුරුතමයන් අතරට සරසවියේ අපද එක්වන්නේ හදපිරි සෙනෙහසිනි.

ආදරණීය රවි අයියේ ඔබට

සුබම සුබ උපන් දිනයක් වේවා.