වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සති අන්තය වඩා කාර්යබහුලයි

අපේ සති අන්තය වඩා කාර්යබහුලයි

ජගත්-ප්‍රසංගිකාගේ නිවෙසට යමු

මහරගම ගම්මාන පාරේ සැතපුම් භාගයක් පමණ ගිය තැන හමුවන ගුරුපාරේ අපි ඇවිද යමින් සිටියෙමු. ගුරුපාරට පිවිසෙනවාත් සමඟම අපගේ සවනත ගැටුණේ පියානෝ හඬකි. ඒ මියුරු ස්වරයට ඇහුම්කන් දෙමින්ම ඔහුගේ නිවෙස සොයා ගිය අපට දකින්නට ලැබුණේ ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින කුඩා ළමුන් කිහිපදෙනෙකි. අප දුටු විගසම ඔවුන්ගේ සෙල්ලම නැවතුණේ ඉබේමය.

“තාත්තේ.........”

පුතුගේ ආමන්ත්‍රණයත් සමඟම වැයෙන පියානෝ හඬ නැවතිණි. ඉදිරිපස දොරෙන් මතුවූයේ ඔහු ය. ජගත් වික්‍රමසිංහ ය. කවදත් ඔබ ආදරය කරන ඔහුගේ මියුරු ස්වරය නම් කිසි දිනෙක අපට අමතක නොවේ.

“ එන්න...... එන්න......”

ඒ අමතක නොවන මියුරු ස්වරය මෙන්ම සිනහවද සමඟින් ඔහු අප ඇමතුවේ ය.

“කිසිම සද්ද බද්දයක් නැතිවම ඔබ මොනවද මේ දවස්වල කරන්නේ ? ”

පසුගිය කාලයේ ගුරු උපහාරයකින් පිදුම් ලැබූ මේ සොඳුරු ගුරුතුමාගෙන් මම විමසීමි.

“ සුපුරුදු විදියට සංගීත චාරිකාවත්, ජීවන චාරිකාවත් සමබර කරගෙන ජීවිතය අරගෙන යනවා. ඒ අතර සංගීතයට වැඩි නැඹුරුවක් ලබාදෙමින්, සංගීතයේ නව පර්යේෂණ කටයුතුවල නියැළෙමින් තරුණ පිරිසක් සමඟ අලුත් වැඩ කිහිපයක් කරගෙන යනවා. තරුණ පිරිසක් කියලා සඳහන් කරද්දි ඉන් එක් පිරිසක් වෙන්නෙ ළමයි. ‘සිසුමිණි පවුර’ කියලා අලුත් ළමයි සිය ගණනක් එක්ක නිර්මාණ රැසකට මුල පිරුවා. ඒ කටයුත්ත ආරම්භ කළේ ගාල්ලෙන්. එතැනදි දක්ෂතා රැසක් තියෙන ළමයින් අපට මුණ ගැසුණා. ඔවුන්ට ජාතික තලයට පැමිණීමට අවස්ථාව සලසා දෙන්නයි අප මේ කටයුතු සංවිධානය කරන්නේ. ඒ කටයුත්තට මමත් සමඟ ජගත් ගාමිණී මාවතගම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒත් සමඟම අලුත් තරුණ පිරිසක් සමඟ ගීත කිහිපයක් එළි දැක්වුවා. ඉදිරියේදිත් ඒ කටයුතු දිගටම සිදුවේවි.”

අලුත් පරම්පරාවකට ඉදිරි මඟ කියා දීමට තනන ගුරු පියෙකුගේ භූමිකාවට පණදෙන ජගත් වික්‍රමසිංහ නවකයන්ට අත දෙන්නෙකි.

“ඒ වගේ කී දෙනකුට ඔබ අතහිත දුන්න ද?”

ඒ වගේ දහස් ගණනකට උදව් කරලා තිබෙන බව ඇත්තයි. මේ ළඟදි ඒ වගේ අලුත් නිර්මාණකරුවන් කිහිපදෙනෙකුටම මා සහය වුණා. පුණ්‍යා ඒකනායක ලියූ ‘අරුන්දතී ගීතයත්, අතුල ජයදේව ලියූ ගීත තුනකුත්, ඉයන් ලිංතොට, ශ්‍රියානි පෙරේරා වගේ ගේය පද රචක රචිකාවන්ගේ ගීතත් ගැයුවා. ඔවුන් බොහොම දක්ෂ නිර්මාණකරුවන් බව මට නොබියව පැවසිය හැකියි. ඒ අතරම මගේ ගෝලයෙක් වුණු තිළිණ රුහුනගේ සංගීතවත් කළ, රචිතා වාකිෂ්ට ලියූ ‘නුඹ මගෙමද’ කියන ගීතය රූප රචනාවත් සමඟ එළි දැක්වුණා. ඒත් සමඟම ඔවුන් මට ගුරු උපහාරයකුත් කළා. ”

මේ ඔහු ළඟදි කළ නිර්මාණ කිහිපයක් පමණි. එදිනම ජගත් වික්‍රමසිංහගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්ද උත්සවාකාරයෙන් විවෘත විය. මේ අතරම චිත්‍රපටවලටද ඔහු සංගීතයෙන් සහය වන්නටද අමතක නොකරයි. ඔහුගේ මේ සියලු කටයුතුවලට සහය වෙමින් සෙවනැල්ල මෙන් සිටින්නී ඇයයි. ඒ ජගත්ගේ බිරිය ගයානි ප්‍රසංගිකා කොහොනය. ඇය මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ දරුවන් රැසකට ශිල්පය ලබාදෙන ගුරුවරියකි.

“ඇයගෙන් ඔබගේ කටයුතුවලට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?”

“ සාමාන්‍යයෙන් මම අවදි වෙන්නේ උදේ පහටයි. එතැන් පටන් දවසේ වැඩ කටයුතු අවසන් වනවිට සමහර විට පාන්දර එක, දෙකත් වෙනවා. පාන්දර හතරට නිදා ගත්තත් අනිවාර්යයෙන්ම උදේ පහට නම් අවදි විය යුතුමයි. මොකද නිවෙසේ වැඩ කරන්න වෙන කවුරුත් නැති නිසා මගේ සහයෝගය ගයානිට බොහොම වැදගත්. ඇගේ අත් දෙකෙන් තමයි නිවෙසේ සියලු කටයුතු කෙරෙන්නේ. විවාහයට පෙරදි අම්මාගෙන් සිදුවුණු සියලු කටයුතු විවාහ වුණු දා පටන් සිදු කරන්නේ ඇයයි. මගේ වගේම දරුවන්ගේ කටයුතුත් බොහොම උනන්දුවෙන් ඈ සොයා බලනවා. සමහර විට පුතාත් මගේ කටයුතුවලට සහයෝගය ලබා දෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අපේම සහයෝගයෙන් බෙදාහදා ගෙන නිවෙසේ සියලු කටයුතු වගේම අපේම කටයුතුත් කර ගන්නවා.”

සහයෝගයෙන් සියලු වැඩකටයුතු සිදු කෙරෙන අතරතුරම ජගත් සංගීත කටයුතුවලටද මුල්තැන ලබාදෙයි. ගීතවලට සංගීතය නිර්මාණය කිරීම්, ගීත පටිගත කිරීම්, තැටිවලට නගා සංරක්ෂණය කිරීම් ආදී බොහෝ කටයුතු අතර ඔහුගේ දවස ගෙවී යන්නේ ඉබේමය. ඒ ඇසිල්ලේ ඔහුට අවශ්‍ය දේ ගැන සිතමින්ද, දරුවන් පිළිබඳ සිතමින්ද ගයානි තම දවස සැළසුම් කර ගන්නේ නියම ගෘහිණියකගේ භූමිකාව සිහිපත් කරමිනි.

“මේ සියලු කටයුතුවල නියැළීමට තරම් කාලය කළමනාකරණය කරගන්නේ කොහොම ද?”

අප අසලට පැමිණි ගයානි ද මම කතාබහට හවුල් කර ගතිමි.

“උදේ හතර වන විට මම අවදි වෙනවා. දරුවන් උදෙන්ම පාසල් යන නිසා ඒ අයට කෑම හදන වැඩ කටයුතු කරන්නේ මමම තමයි. උයන පිහන කටයුතු කෙරෙන අතරතුර හරියටම පහටයි ජගත් අවදි වන්නේ. ඔහුත් නිවෙසේ කටයුතුවලට මට උපරිම සහයෝගයක් ලබා දෙනවා. මම උයන නිසා දරුවන් සූදානම් කරන කටයුතු සොයලා බලන්නේ ඔහු තමයි. ඊට පස්සේ හතට විතර ජගත් මාව ඉස්කෝලෙට අරගෙන යනවා. හවසට දරුවන්ගේ පන්ති තියෙනවා නම් ඒ අයව දෙන්නත් සමඟම පන්තිවලට එක්ක ගෙන යනවා. සමහර වෙලාවට ජගත්ට වැඩක් වැටුණොත් මම පුතාලව පන්තිවලට අරගෙන යනවා. මට වැඩක් තිබුණොත් ජගත් තමයි පුතාලව පන්තිවලට අරගෙන යන්නේ. ඒ විදියට අපි දෙන්නාම යෙදෙන වැඩ බෙදාගෙනයි කරන්නේ. ”

ජගත් හා ගයානි මේ සියලු කැප කිරීම් කරන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ බලාපොරොත්තුව පෙරදැරිවය. පුතෙකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ මව්පිය යුවළක් වූ ඔවුන්ගේ ලොකුපුතා තිදස් වික්‍රමසිංහය. ඔහු ඉගෙන ගන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ 8 පන්තියේය. විශාඛා විද්‍යාලයේ ඉගෙන ගන්නා දූවරුන් දෙදෙනාගෙන් ලොකු දුව සිරිනි සුහංසාය. ඇය ඉගෙන ගන්නේ 6 පන්තියේ ය. අසිනි ආශ්චර්යා චූටි දුවයි. ඕ ඉගෙන ගන්නේ 3 පන්තියේයි. අධ්‍යාපනයට මෙන්ම ගයන්නටද ඔවුන් දක්ෂ දරුවන්ය.

“ඔවුන් ඔබ වගේ සංගීත අංශයට යොමු කරන්නද කල්පනා කරන්නේ?”

අනෙක් මව්පියන්ගේ මෙන් ඔවුන්ගේ අදහස දැනගනු රිසිව මගේ පැනය යොමු කළේ ජගත් වික්‍රමසිංහටය.

“ අනේ නැහැ. මුලින්ම අපි ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. අපේ හීන ඔවුන් මගින් ඉටුකර ගන්නට ඕනකමක් අපට නැහැ. ඒ නිසා ඒ අයගේ කැමැත්තටයි මූලිකත්වය හිමිවන්නේ. එහෙම වුණත් හොඳ රස වින්දනයක් ඔවුන්ට ලබා දෙන්නටත් අපි අමතක කරන්නේ නැහැ. ඒ නිසාදෝ හොඳ නිර්මාණයක් තෝරාගෙන රස විඳීමේ හැකියාව තුන්දෙනාටම තියෙනවා. පුතාට සංගීත භාණ්ඩ කිහිපයක් ප්ලේ කරන්න පුළුවන්. තුන්දෙනාටම ගයන්නත් පුළුවන්. එහෙම වුණා කියලා සංගීතයෙන්ම ඔවුන් ඉදිරියට යා යුතු නැහැ.”

ඔවුන් දෙදෙනාම දරන්නේ එකම මතයකි. මේ විදියට සිතන පතන බොහොම කාර්බහුල ජීවිතයක් ගත කරන දෙන්න දෙමහල්ලන්ට නිවාඩුවක් නොමැති තරම්ය.

“සති අන්තයේ දවස් දෙක බොහොම විවේකීව ද ගත කරන්නේ?”

සති අන්තය සියල්ලන්ටම නිවාඩු දිනයක් නොවේදැයි මගේ මතකයට පිවිසියේ සැනෙනි.

“ සෙනසුරාදා, ඉරිදා කියන්නේ සතියේ දවස්වලට වඩා කලබලකාරී දවස් දෙකක්. සෙනසුරාදාට ජගත්ගේ සංගීතය පන්තිය පැවැත්වෙන දවසයි. ගෙදරම පන්ති පැවැත්වෙන නිසා මටත් රාජකාරී බහුලයි. නිවාඩු දවස කියලා එදාට මට නිකම්ම ඉන්න බැහැ. වෙනදා වගේම උදෙන්ම නැඟිටලා උයලා පිහලා ගෙදර අස්පස් කරලා ජගත්ගේ වැඩවලට උදව් වෙනවා. නැතිනම් පාසලේ ළමයින්ට සැකසිය යුතු පාඩම් මාලා සකසනවා. රාත්‍රියට තමයි ටිකක් හෝ විවේකයක් ලැබෙන්නේ. ඉරිදට දහම් පාසල්. මේ අතර ජගත්ට විවිධ උත්සවවලට ලැබෙන ආරාධනා, හිතමිතුරු අයගෙන් සාදවලට ලැබෙන ආරාධනා වගේ දේවල්වලටත් කාලය වෙන් කළ යුතුයි. ඒවාට ඔහු සහභාගි වන්නේ මමත් සමඟින්මයි. ඉඳලා හිටලා ලැබෙන විවේකය අපි වෙන් කරලා තියෙන්නේ දරුවන් කැමැති තැනක් නරඹන්න යන්නයි. නැතිනම් නෑදෑයන්ගේ දුක සැප බලන්නයි.”

ගයානි උයන්න පිහන්න හපනියකි. මාතලේ ඇහැලේපොළ කොහොන අධිකාරම් වලව්වේ උපන් ඈ නිතරම නිවෙසේ දී සකසන්නේ සිය සැමියාගේ රුචිකත්වයට සරිලන කෑමය.

දරුවන් ඒ කෑම කන්න කැමැතිද?”

මා විමසන්නට යෙදුණේ අද පුංචි දරුවන් වඩාත් කැමැති වන්නේ නවීන පන්නයේ ආහාර ගැනීමට බැවිනි.

“ ජගත් නම් වඩාත්ම කැමැති ගමේ කෑමවලටයි. ඒ කෑම වර්ග සොයා ගැනීමට බොහොම පහසු වන්නේ අපට ආසන්නයේ පිහිටලා තිබෙන මහරගම පොළ නිසයි. ඒ ගමේ කෑමම තමයි මම දරුවන්ටත් දෙන්නේ. ඔවුන් ඒවා කන්න තරමක් අකැමැති වුණත් ඒ ආහාරවලට හුරුවිය යුතුයි. ඒ අතරතුර ඔවුන් කන්න කැමැති කෑම අරන් දෙන්නටත් අපි අමතක කරන්නේ නැහැ.”

ගයානි පවසන්නේ ඔවුන් ආසන්නයේම සෙල්ලමේ නිරත වී සිටින දරුවන් දෙස බලමිනි. ඒ කතාබහේ යෙදී සිටින අතර අප අසලට පැමිණෙන්නේ පොඩ්ඩීය.

“ මෙන්න බලන්න අම්මේ මම චිත්‍රයක් ඇන්දා. ලස්සනද කියන්න.”

ඇය විමසන්නේ අප වෙතට ඈ අඳීන ලද සිතුවම පාමිනි. ඒ අතර ලොක්කී ජිම්නාස්ටික් ඉරියව්වකය. ඈ පාසලේ ජිම්නාස්ටික් කණ්ඩායමේ ශිෂ්‍යාවකි. පුතා අත ඇත්තේ සර්පිනාවයි. ඔහු ඉන් ගීතයක් මිහිරි ලෙස වයයි.

‘සොඳුරු කැදැල්ලක්’

සමුගන්නට මත්තෙන් මගේ සිතට නැගුණේ එවන් හැඟුමකි.