වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කම්මුල් පාරකින් ඇරැඹුණු අපේ සිනමාවේ ප්‍රථම විවාහය

කම්මුල් පාරකින් ඇරැඹුණු අපේ සිනමාවේ ප්‍රථම විවාහය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෘතාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නට ප්‍රථම මෙරට සිනමාවේ රජ කළ පතාක යෝධයින් තිදෙනෙකු වූහ. ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, ශාන්ති කුමාර් සෙනෙවිරත්න සහ සිරිසේන විමලවීරය. මේ අතරින් විමලවීර මට විශේෂයි. පෙරදා පැවසුවා වගේ විමලවීර සිනමාපට හැදුවේ දේශීයත්වය විදහාපාමින්. ඔය කාලයේ තමයි චිත්‍රපට කලාව කර්මාන්තයක් වශයෙන් පටන් ගත්තේ. ඒ වුණත් බහුතරයක් චිත්‍රපට හැදුවේ චිත්‍රපටයක් කරන්න තියෙන ආසාවට. අනික් රටවල විශේෂයෙන් ඉන්දියාවේ චිත්‍රපට කොපි කරමින් මෙරට නිර්මාණකරුවන් චිත්‍රපට හැදුවා කිව්වොත් මම වැරැදි නැහැ. ක්‍රම ක්‍රමයෙන් චිත්‍රපට සඳහා වැය කරන මුදල් ප්‍රමාණය වැඩි වුණා. චිත්‍රපට සමාගම්වල තරගකාරිත්වයත් එක්ක චිත්‍රපට වැඩි ප්‍රමාණයක් හැදුණා. මාලන් බ්‍රැන්ඩෝ, රාජ් කපූර්, නර්ගීස්, සොෆියා ලොරේන් ආදී විදෙස් තරු මෙරට වසා ගත් යුගය ක්‍රම ක්‍රමයෙන් වියැකී යන්න පටන් ගත්තා. චිත්‍රපටයකින් ජීවත් වුණේ එහි නිෂ්පාදන කණ්ඩායමේ උදවිය පමණක් නෙවෙයි. චිත්‍රපට ශාලා හිමිකරුවෝ, චිත්‍රපටයේ පෝස්ටර් ගහන අය, චිත්‍රපට ශාලාවේ ඉදිරිපස කඩල, අච්චාරු විකුණන කොලුවෝ පවා ජීවත් වුණා. හොඳ චිත්‍රපටයක් හැදෙද්දී, ඒවා නරඹන්න සෙනඟ එනකොට ඔය කාගෙ කාගෙත් අතමිට සරු වුණා. සිංහල සිනමාවේ තරු යුගලයන් බිහි වුණේත් මේ අවධියේමයි.

ගාමිණී - ජීවරාණි

ගාමිණී - මාලිනී

විජය - මාලිනී

විජය - සබීතා

රවීන්ද්‍ර රූපසේන - ලීනා

රන්ජන් - දිල්හානි

සනත් - සබීතා

කමල් - සංගීතා

යනාදී වශයෙන් ඔවුන්ව හඳුන්වා දෙන්න පුළුවනි. ඔහොම කතා කරගෙන එන විට ඔබ අසාවි සිංහල සිනමාවේ ප්‍රථම තරු යුගල කවුද කියලා. මගේ මතයට අනුව සුජාතා චිත්‍රපටයේ රඟපෑ ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරිඩා ජයලත් තමයි පළමු තරු යුවල. ඒ සුජාතා චිත්‍රපටයේ. ඉන් අනතුරුවයි කොල්ලා කෙල්ල කියන සංකල්පය ජනතාව අතරට ආවේ. සිංහල සිනමාවේ පළමු කොල්ලා ප්‍රේම් ජයන්ත්. දෙවැනියා ස්ටැන්ලි පෙරේරා. ඊට කලින් එඩී, බී. ඒ. ඩබ්ලිව්. ආදීන් රඟපෑවට තරු සංකල්පය තිබුණේ නැති හින්දා ප්‍රේම් ජයන්ත්ට කලින් කොල්ලෙකු බිහි වුණේ නැහැ. මා ඊළඟට කතා කරන්නේ අප රටෙහි සිදු වූ කුලුඳුල් නළු නිළි විවාහය ගැන. ඔන්න අහගන්නකෝ ඒ ගැන. ප්‍රේම් ජයන්ත් එක්ක පුදුම ලේලි චිත්‍රපටයේ රඟපෑවා නිළියක්. ඇය නන්දා ලීලානායක. නන්දා නිළියක් හැටියට පාවිච්චි කළේ ශ්‍යාමලී කියන නම. පුදුම ලේලි චිත්‍රපටයේ තියෙනවා දර්ශනයක් ශ්‍යාමලී විසින් ප්‍රේම් ජයන්ත්ට ගහන. දෙන්නා සැදී පැහැදී හිටියාලු දර්ශනය තාත්ත්විකව කරන්න. රිහසල් තුන් හතර පාරක් තිබුණාට ඒ අවස්ථාවන්වලදී ගහලා නැහැ. නමුත් ටේක් එකේදී හොඳටම ප්‍රේම්ගේ කම්මුලට ගහන්න ශ්‍යාමලී සැදී පැහැදී හිටියලු. කිව්වත් වගේ අධ්‍යක්ෂ ඇක්ෂන් කිව්ව ගමන් ශ්‍යාමලී අත පුරවලා ගැහැව්වලු ප්‍රේම්ට. පහර කොච්චර සැරද කියනවා නම් ශ්‍යාමලීගේ ඇඟිලි පහ ප්‍රේම්ගේ මුහුණේ හිටලා. ප්‍රේම් වහ වහා මේකප් ආර්ටිස් ඉන්නා කාමරයට දුවලා ගියාලු. ශ්‍යාමලීත් හරිම අප්සට් එකෙන් පස්සෙන් දුවගෙන ඇවිල්ලා. කම්මුල අතගගා ඉන්න ප්‍රේම්ගෙන් ඇහැව්වලු ගොඩක් රිදුන ද කියලා. ඇය ප්‍රේම්ගේ කම්මුලත් ටිකක් අත ගාලා. ඔන්න ඔහොම ළං වුණු දෙන්නගෙ ඒ සබඳකම ආදරයකට පෙරලුණාලු. ඒක කෙලවර වුණේ විවාහයෙන්. ඒ කාලයේ පුවත්පත්වල සඳහන් වුණේ කම්මුල් පහරකින් පටන් ගත්තු ආදරය කියලා. කෙසේ වෙතත් මේ විවාහය කිසිදු පලුද්දක් නැතිව ජීවිත කාලය පුරාවට තිබුණා. ඔවුන් දෙපොළට පුතකු හිටියා. ඔහු ජගත් රොහාන්. සබීතා චිත්‍රපටයේ සබීතාගේ පෙම්වතා වුණේ ඔහු.

මං ඊළඟට එන්නේ තංගල්ලේ සිරිසේන විමලවීර ගැන කියන්න. විලවීර හොඳ ටීටර්කාරයෙක්. ගමේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණා ඔහුගේ ටීටර්වලට. ඔහු එහෙන් මෙහෙන් සල්ලි එකතු කරලයි චිත්‍රපට කළේ. සිනමා කර්මාන්තය වෙනස් කිරීමට විමලවීරට දැඩි උනන්දුවක් තිබුණා. ඒක ඒ කාලේ හැටියට හොඳ උත්සාහයක්. නමුත් ඒ වෑයම සර්ව සාර්ථක නැහැ. ඔහුගේ හොඳ සිනමා කෘතියක් ලෙස පොඩි පුතා හඳුන්වා දෙන්න පුළුවන්. මං මේ වෙලාවේ මට මෙහෙම දෙයක් කියන්න වෙනවා. පොඩි පුතා කියලා කියන්නේ එක්තරා ආකාරයකින් අපරාධයක් කළ චිත්‍රපටයක්. එයට ප්‍රධාන හේතුව මෙන්න මේකයි. අපේ සිනමා ඉතිහාසයේ අසහාය හඬ වන ජෝතිපාලයන්ගේ ආගමනය සිදු වන්න තිබුණේ මේ පොඩි පුතා චිත්‍රපටයෙන්. අවාසනාවට ඒක එහෙම වුණේ නැහැ. පසුකාලීනව ජෝති මගේ හොඳම මිතුරෙකු වුණානේ. අනතුරුව ඔහු මට ඒ පිළිබඳ විස්තර කළා. ජෝතිපාල පොඩි පුතා සඳහා තනිවම ගීතයක් ගයලා. එදා ඔහු ගෙදර ඇවිල්ලා තියෙන්නේ ෆුල් ජොලියේ. යාළුවෝ සෙට් එකටම කිව්වලු චිත්‍රපටයකට ගීතයක් ගැයුවා කියලා. පුළුවන් හැටියට ඒ අයට ජෝති පුංචි පාටියකුත් දීලා. පොඩි පුතා චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම් වන බව ජෝතිට ආරංචි වුණාලුු. නමුත් මංගල දර්ශනයට ආරාධනාවක් ඔහුට ඇවිත් නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණායින් පසුව ජෝති යාළුවො සමඟ චිත්‍රපටය නරඹන්න ගිහින්. නාමාවලියේ ජෝතිගේ නම පේන්නවත් තිබිලා නැහැ. චිත්‍රපටය අවසන් වන තෙක් බැලුවත් ජෝතිගේ ගීතයක් චිත්‍රපටයේ නැහැලු. ඒක යම් යම් හේතූන් මත අයින් කරලා. එදා තරම් ජෝතිට ලැජ්ජා හිතුණේ නැතිලු කවදාවත්. ඔහු මට කිව්වා මේ සිදුවීම වෙන කෙනකුට වුණා නම් සිය දිවි නසා ගන්නවලු. හැබැයි ජෝති එදා අධිෂ්ඨාන කරගෙන තියෙනවා කවදා හරි ලංකාවේ ජනප්‍රිය ගායකයා වෙන්න. ජෝතිපාල ඊටත් පසුව චිත්‍රපට ගීතයක් ගැයුවා ජී. එස්. බී. රාණි පෙරේරාත් එක්ක. ඒ අවස්ථාවත් ඔහුට ගිලිහී ගියා. ඒ ජෝතිගේ හඬට පටිගත කරන උපකරණ දෙදරුවා යන්න පවසමින්. මට නම් ඒ කතාව හරිම විහිළුවක්. මොකද යුග ගීයකදී එක් අයකුගේ හඬට පමණක් යන්ත්‍රය දෙදරන්න විදිහක් නැහැනෙ. දෙදරණවා නම් හඬවල් දෙකටම දෙදරන්න එපායැ.

කොහොමෙන් කොහොම හරි විමලවීර පොඩි පුතා චිත්‍රපටය කළා. ජෝතිට එන්න නොහැකි වුණත් පොඩි පුතා හරහා සැහෙන්න පිරිසක් හඳුන්වා දුන්නා. ඒ මෑතකදී අප අතරින් වියෝ වූ සිසිර සේනාරත්නයන් සහ හරුන් ලන්ත්‍රා විශේෂයි. ඔවුන් එදා ඉඳලා අද දක්වාම අතිශය ජනප්‍රිය තරු. ඒ වගේම ආනන්ද වීරකෝන්, ප්‍රේම කාන්ති පොඩි පුතා හරහා සිනමාවට පිවිසුණා. ආනන්ද වඩාත් ජනප්‍රිය වුණේ රේඛාව චිත්‍රපටයෙන්. එහි ඕලු නෙලුම් ගීතයට රඟපාන්නේ ඔහු. එකල ඉන්දියාවේ හිටියා සී. එච්. ආත්මා කියලා ගායකයෙක්. ඔහු වගේම රුවැති ගායකයෙක් ද පොඩි පුතා හරහා කලඑළියට ආවා. ඒ පී. බී. වික්‍රමසිංහ. නමුත් ඔහුට අනිත් අය තරම් වැඩිදුර යන්න ලැබුණේ නැහැ. පී. බී. ට තිබුණේ ඉතා ගැඹුරු හඬක්. එවන් වූ හඬක් අකාලයේ ක්ෂේත්‍රයෙන් ඉවත් වීම දැඩි පාඩුවක් හැටියටයි මං දකින්නේ.

අර්නස්ට් වඩුගේගේ අතීතයෙන් මීබිඳු සටහන් කරන්නේ