වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




නතාෂාගේ විවාහයට කිලෝ පහළොවක් බර මිලියනයක් වටිනා සාරියක්

නතාෂාගේ විවාහයට කිලෝ පහළොවක් බර මිලියනයක් වටිනා සාරියක්

සුළඟක් වී මම යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද මං අල්ලන්නේ...

ඈ එලෙස ගැයුවේ මීට වසර කිහිපයකට ඉහත කුඩා දැරියකව සිටිද්දී යි. දැන් ඕ හය හතර තේරෙන වැඩුණු යුවතියක්. මීට දින කිහිපයකට ඉහත යළිත් ඇය මේ ගීතය මියුරු ස්වරයෙන් ගැයුවේ සිය ජීවිතයේ සොඳුරුම මොහොත උදා වූ දිනයේ. ඒ පැමිණි සිටි සියල්ලන්ගෙන්ම සමුගන්නට පෙර යි. ඇය අසලම සිටියේ සිව් වසරකටත් වඩා ආදරය කළ ඇගේ පෙම්බරයා. ප්‍රිහාන් මඬුප්පුලි. ගීතය ගයා ඈ ඉඟිල ගියේ කිරුළපන ඉඳලා වැඩි ඈතක නම් නොවෙයි. ඒ නාවලට.

‘නතාෂා - ප්‍රිහාන්’

පසුගිය දිනවල කලා පවුලේ යුගදිවි ගමන් අරැඹූ නැවුම්ව යුවළ. මේ යුවළගේ නැවුම් ජීවිතයේ තතු දැනගනු රිසියෙන් අපි ඔවුන් සොයා ගියා. මීට වසර නවයකට පමණ පෙර මට හමුවූණු කුඩා දැරිය දැන් රෝස කුසුමක් මෙන් වූ සුන්දර තරුණියක්. ඕ සිනහවක් පෑවේ පෙරදාටත් වඩා සුන්දර ලෙසින්.

“ගොඩක් කාලයකට පස්සේ”

ඇයම කතාබහට මුල පිරුවේ අපේ ඒ සුන්දර හමුවීම පිළිබඳද සිහිපත් කරමින්. ඒ වචන පෙළෙන් පුදුමයට පත්වූ මා දෙදෙනාගෙන්ම ඔවුන්ගේ සොඳුරු නැවුම් ජීවිතය පිළිබඳ විමසුවා.

“කොහොමද අලුත් ජීවිතේ ?”

“අලුත් ජීවිතේ මේ දවස්වල නම් බොහොම සුන්දරව ගෙවෙනවා. මම හිතන්නේ ඉස්සරහට ජීවිතේ මීටත් වඩා හොඳ වේවි කියලා.” නතාෂා පිළිතුරු බැන්ඳා.

“ඒ මුල්ම හමුවීම සිදුවුණේ කොහොමද?”

“ගීතයක් ගයන්න ආරාධනා කරන්නයි මුලින්ම ප්‍රිහාන් මාව මුණ ගැහෙන්නේ. ඒ ගීතය ගැයුවේ නොමැති වුණත් ප්‍රියාන්ගේ ‘යායට පායනා’ ගීතයට මම සහභාගි වුණා. ඒ සමඟ ඇතිවුණු හිතවත්කම කොයිතරම් දුරදිග ගියාද කිව්වොත් එයා අම්මිත් සමඟ වගේම පවුලේ අනෙක් හැමෝමත් සමඟම හිතවත් වුණා. නිතරම අපේ ගෙදර ආවා ගියා. මගේ හොඳම යාළුවා බවට පත්වුණා විතරක් නොවෙයි ජීවිතේ හැමදේම බෙදා ගන්න ළඟම හිතවතා බවටත් පත්වුණා.” ඈ ප්‍රිහාන් දෙස හෙලන්නේ ආදරණීය බැල්මක්.

“මේ තරම් හිතවත්කම් පාන්නේ ආදරයක් නිසා කියලා නිකමටවත් ඔබට හිතුණේ නැද්ද?”

“ප්‍රිහාන් කියන්නේ බොහොම ආදරණීය කෙනෙක්. විපතක් වුණත් කිව්වොත් ඉක්මනින්ම දුවගෙන එන අපූරු සමීපතමයෙක්. ඒ අතර මම දැනගෙන සිටියා ඔහුගේ සිතේ මා ගැන අදහසක් තියෙනවා කියලා. ඒත් ඒ ගැන මම අවධානයට යොමු නොකළේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. දැන් මම නීතිඥවරියක්.” මේ වනවිට නම් නතාෂගේ සියලු පැතුම් ඉටු වෙලා.

“ආදරෙයි කිව්ව ඒ සුන්දර මොහොත මතකද?”

“මට නතාෂා ගැන ආදරයක් ඇතිවූණේ ගීතය කියන්න ආරාධනා කරන්න ආව වෙලාවෙමයි. ඒ කියන්නේ 2008 වසරේදි. ඒත් ඒ ගැන මුලින්ම ඇයට නොකිව්වත් අවුරුදු තුනක් විතර එයාගේ ළඟින්ම ඉඳලා 2011 වසරේ ජනවාරි පළමු වැනිදා මම නතාෂාට ආදරය ප්‍රකාශ කළා.” ප්‍රිහාන් ඒ සොඳුරු මොහොත මතකයට නැඟුවා. නතාෂාටත් ඒ සොඳුරු දවස ප්‍රිහාන්ට තරම්ම මතකයි.

“එදා පවුලේ හමෝමත් එක්කම විනෝද වෙන්න ප්‍රිහානුත් ඇවිත් සිටියා. ඒ විනෝද වන අතරතුරදිමයි මට ප්‍රිහාන් ආදරෙයි කියලා කිව්වේ. ඒ වෙලාවේ ඒ වගේ දෙයක් මම ඔහුගෙන් බලාපොරොත්තු නොවුණ නිසා එකපාරටම මට හිතා ගන්න බැරිව ගියා. පස්සේ නිවී සැනසිල්ලේ කල්පනා කරන විට තමයි මට වැටහුණේ ඔහු ගැන තවත් හිතන්න දෙයක් නෑ නේද කියලා. මොකද මම ඒ වනවිටත් එයා ගැන දැන ගෙන සිටිය නිසයි. වැඩිකල් නොගොසින්ම මම එයාට කැමැත්ත දුන්නා.”

ඔබ ප්‍රිහාන්ගේ අගය කරන ගතිගුණ මොනවද?”

“ ඔහුව දන්න බොහොම දෙනෙක් දන්න දෙයක් තමයි ප්‍රිහාන් කියන්නේ උදව්වක් උවමනා කෙනෙකුට උදව්වක් කරන්න දෙවරක් හිතන්නේ නැති කෙනෙක්. විශේෂයෙන්ම ඔහුට තියෙන ඉවසීම, නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව මම බොහොම අගය කරනවා. මා ගැන නිතරම සොයන, මට අවශ්‍ය දේවල් හැම දෙයක්ම ලබාදෙන, මාව තේරුම් ගත්ත, අවශ්‍ය අවස්ථාවලදි මාව ධෛර්යවත් කරන කෙනෙකු මගේ සැමියා ලෙස ලැබීම ගැන මට තිබෙන්නේ සතුටක්.” ඈ සෙනෙහෙවන්තකම පාමින් ප්‍රිහාන්ගේ උරහිසේ එල්ලෙයි.

“මම හිතන්නේ අවුරුදු තුනකට පස්සේ නතාෂා මට කැමැත්ත දුන්න එක හොඳයි. මුල් කාලයේ ඉඳලා තිබුණු කැමැත්ත ඒ විදියටම අවුරුදු තුනකින් තිබීමෙන් කියන්නේ මම ඇයට ආදරය කළේ ලස්සනට නොවෙයි කියලා. මොකද එහෙම වුණා නම් මම මේ වනතුරු ඇයත් සමඟ රැඳීලා ඉන්නේ නැහැ නේ. ඇයටත් ඒක තේරුම් යන්න ඇති නේ. ඒ අතර කාලයේ ඇගේ ලස්සනට වඩා ලස්සන හදවතක් තියෙන බව මට හැඟී ගිය කාරණයක්. ඒ වගේම ඈ සංවේදී කෙනෙක්. ගයන්න, රඟපාන්න, නිවේදනයට ඈ දක්ෂයි. මේ වගේ ගුණාංගවලින් සපිරුනු කෙනෙක් මගේ බිරින්දෑ කර ගැනීමට ලැබීම ගැන මා ඉන්නේ සතුටෙන්. එවැනි කෙනෙක් ලබාදීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. කාලයක පටන් මගේ සිතේ තිබුණු දෙයක් ඉෂ්ට වුණූ මේ දවසයි මගේ ජීවිතයේ සතුටුම දවස වන්නේ.” ප්‍රිහාන් සිය බිරිය ගැන පවසන්නේ ආඩම්බරයෙන්.

“විවාහයෙන් පස්සේ අලුත් කැදැල්ලක නවාතැන් ගන්නද ඔබ සිතාගෙන ඉන්නේ?”

“අපි අපේ මව්පියන් එක්කත් බොහොම ළඟයි. ඒ නිසා ටික කාලයක් ඒ අයත් එක්ක ඉන්න තීරණය කළා. මගේ අම්මිවත් බලා ගනිමින්. අනික් එක ප්‍රිහාන්ගේ අම්මා, තාත්තා කියන්නේ මගේ අම්මා, තාත්තා වගේ. ඔවුන් නිතරම මට සලකන්නේ එයාලගේම දුවෙකුට හා සමානවයි. මේ ගෙදරත් දැන් මට මගේ ගෙදරමයි. ඊට පස්සේ අපේම කියලා කැඳැල්ලකට යන්න හිතාගෙන ඉන්නවා.” නතාෂා ඔවුන්ගේ අනාගතය පිළිබඳ අදහස හෙළි කළා. ඒ අතරම ප්‍රිහාන් තවත් යමක් මතකයට නැඟුවා.

“ මේ වෙලාවේ නතාෂාගේ අම්මි ගැන මතක් නොකළොත් අඩුවක් විදියටයි මම දකින්නේ. පුංචි කාලයේ ඉඳලාම එයාව හදා වඩා ගනිමින් මේ තැනට ගෙනාවේ ඇගේ අම්මි. නතාෂා මා ළඟට ආවත් ඇයව අපි තනි කරන්නේ නැහැ. මේ සියලු යුතුකම් ඉටු කරමින් පසුව අපි අපේම ජීවිතයක් ගොඩනගා ගත යුතුයි. අපි තරුණ කාලය දක්වා මව්පියන් සමඟ සිටියා. අපි දෙන්නාගේ ජීවිත හදා ගන්න නම් දෙදෙනාම එකට විසිය යුතුයි. විවාහයෙන් පස්සේ ඔවුන් ගැන බලමින් අපේම ජීවිතයක් ගොඩනගා ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“යුවතියක්ව ගෙවුණු ජීවිතය වෙනසක් කරමින් නතාෂාට වගකීම් රැසක් පැවරිලා.”

“ඒ පිළිබඳ හොඳ අවබෝධයෙන් මා ඉන්නේ. ජීවිතයේ ඕනෑම දෙයක් ඉගෙන ගන්නේ අත්දැකීම් මගින්. කලින් ඔය උයන පිහන දේවල් නොකළත් දැන් දැන් ඒවා කරන්න මම පුරුදු පුහුණු වෙනවා. බිරියක් විදියට මගෙන් වෙන්න ඕන යුතුකම් මම ඉෂ්ට කරනවා. එයින් අදහස් කරන්නේ මම සාම්ප්‍රදායික බිරියක් වෙනවා කියලා නොවෙයි. ප්‍රිහාන්ගේ අම්මාට, තාත්තාට ලේලියකගෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරමින් හොඳට ඉන්න මා බලාපොරොත්තු වෙනවා.” ඈ කතාව අවසන් වනවිටම ප්‍රිහාන් කතාව ආරම්භ කළා.

“ උයන පිහන දේ විතරක් නොවෙයි අනෙක් හැම වැඩකටයුත්තක්ම වුණත් නතාෂාට හොඳට කරන්න පුළුවන්. ඒ නිසා මම බලාපොරොත්තු වුණාටත් වඩා දේවල් ඇය කරනවා.”

“ඉදිරියේ දී අපට ඔබව දකින්න ලැබෙන්නේ කලාකාරිනියක් ලෙසින්ද? නැතිනම් නීතිඥවරියක් ලෙසින්ද?”

“පසුගිය කාලයේ මට නිර්මාණවලට බොහෝදෙනෙකුගෙන් ආරාධනා ලැබුණා. ඒ සියල්ලටම නැවතීමේ තිත තියන්න වුණේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. පූර්ණකාලිනව වෘත්තියක් විදියට මම ඉගෙන ගත්ත දේයි කරගෙන යන්න බලාපොරොත්තු වන්නේ. දැනටමත් ඒ කටයුතුවලට මා සහභාගි වෙලා තියෙනවා. උසාවි යනවාට වඩා මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ආයතනයකට සම්බන්ධ වී කටයුතු කිරීමටයි. ඒ අතර කලා කටයුතුත් සමබරව කරගෙන යන්න අදහස් කරගෙන සිටිනවා.”

“කලා කටයුතුවල නියැළෙනවාට ප්‍රිහාන්ගේ අකැමැත්තක් නැද්ද?”

“අනිවාර්යයෙන්ම නතාෂා කලා කටයුතුවල නියැළිය යුතුයි. අපේ විවාහ මංගල උත්සවයෙන් ඒ ගැන මම වඩාත් තේරුම් ගත්තා. ඒ කියන්නේ නතාෂාට ලංකාවේ අය කොයිතරම් ආදරෙයි ද කියලත්. මගේ පෞද්ගලික අදහස වන්නේ ඇය රඟපෑමට වඩා ගායනයෙන් ඉදිරියට යා යුතුයි යන්නයි. ඊට මගේ සම්පූර්ණ සහයෝගය ඇයට ලැබෙනවා.” ගායක යුවළක් ලෙස දෙදෙනොම දිගු ගමනක් ඇරැඹීමට කථිකා කරගත් සෙයකි පෙනෙන්නේ.

“ළඟදීම අප දෙදෙනාම ගයන ‘ඉඳුවර නීල නෙත් පියල්ලේ’ ගීතය රසිකයන් අතරට රැගෙන එන්නත් මේ වනවිට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. අප දෙදෙනාගෙන්ම රසිකයන්ට ලැබෙන මුල්ම තෑග්ග එයයි. ඉදිරියේදි ප්‍රිහාන් ගායකයකුට වඩා ගීත රචකයාත්, ගායකයාත්, සංගීතඥයාත් එක් තැනකට එකතු කරමින් ගීත නිෂ්පාදන කටයුතුවල නියැලේවි.” ඇගේ ඒ අදහසට ප්‍රිහාන්ගේ ද අනුමැතිය හිමිවෙයි.

“අනාගත බලාපොරොත්තු කොහොමද පෙළ ගැසෙන්නේ?”

“ අනාගතය ගැන කතා කළොත් අපි බලාපොරොත්තු හැමදාම ආදරයෙන් ඉන්නයි. ඒ අතර ඇතිවන විවිධ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන එකයි ජීවිතය සාර්ථක වීමේ එකම මග වන්නේ. අපි දෙන්නත් ඒ විදියට කටයුතු කරමින් කිසිම කෙනෙකුට කරදරයක් නොවී බොහොම හොඳට ජීවත් වන්නයි බලාපොරොත්තු වන්නේ. ඊට දෙවියන්ගේ ආශිර්වාදය අපට ලැබේවි. අපි දෙන්නා ආගම් දෙකක වුණත් මම පල්ලියට යනවා වගේම ප්‍රිහාන් පන්සලටත් යනවා. මේ සහයෝගයම අපේ ජීවිතය ලස්සන කරාවි.” පසුගිය දින කිහිපය බොහොම කාර්යබහුලව ගෙවීගියද මේ විවේකීව සිටින මොහොතේ ඒ පිළිබඳ සිහිපත් කරන්නටද නතාෂා පසුබට නොවුණා.

“අපේ විවාහ මංගල්ලයේදි පවුලේ හැමෝම වගේම යහළු යෙහෙළියන්, හිත මිත්‍රාදීන් ආදී සියලු දෙනාම බොහොම සතුටු වුණා. ගොඩක් අය මාව සැරැසුවා. පල්ලියේදි මා විවාහ වුණේ බටහිර මනාලියක් විදියට සැරැසිලයි. වෙඩින් එකේ හැම දෙයක්ම කළේ චම්පි සිරිවර්ධන අතින්. ඇගෙන් මට අපූරු ත්‍යාගයක් ලැබුණා. ඒ මගේ ෆ්‍රී ෂූට් එකේ සාරියයි. මේ සාරිය මිලියනයකට ආසන්න මුදලක් වටින සාරියක්. එහි බර කිලෝ 15ක්. මේ සුන්දර සාරිය ඉන්දියාවේදි තමයි නිර්මාණය වුණේ. ඒකට අල්ලලා තිබෙන ගල්වලටයි මේ තරම් මුදලක් වැය වී තිබුණේ. පෝරුව සෙරමනි එකේ දි මට උදව් වුණේ නීෂා මනහාරියි. දෙවැනි දවසේ ඉන්දියානු විදියටයි මා සැරැසුණේ. ඒ කටයුතුවලට උදව් කළේ රුචිරා ජයරත්නයි. ඉතාම කෙටි කාලයකින් වෙඩින් එක කළත් පුංචි දේ ඉඳලා හැමදේම කර ගන්න හැමෝම අපට උදව් කළා. ඒ සියලු කටයුතුවලට උදව් කළ සියලු දෙනාටම මා ස්තූතිය පළ කරනවා.” නතාෂා ප්‍රිහාන්ට තුරුළු වුණේ එහෙම කියමින්.

ලැබුණු විවේකය බොහොම ප්‍රීතියෙන් හා සුවයෙන් ගත කරන්නට නව යුවළට ඉඩහළ මා සමු ගත්තේ නව දිවියකට සරසවියෙන් සුබ පැතුම් ගෙන එමින්.