වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ළා සඳ පාමුලට මොකද වුණේ

ළා සඳ පාමුලට මොකද වුණේ

පසුගිය දිනවල නදී චන්ද්‍රසේකරගේ ළා සඳ පාමුල ටෙලි නාට්‍යය විකාශය ජාතික රූපවාහිනිය මගින් අත්හිටවූ බව වාර්තා විය. මෙය බොහොමයක් අන්තර්ජාල වෙබ් අඩවි හරහා පළ වූ ප්‍රවෘත්තියකි. මේ නාට්‍යයට සිදුවූයේ කුමක්ද?

නාට්‍යය ගුණාත්මක නැහැලු

නදී චන්ද්‍රසේකර

ළා සඳ පාමුළ නාට්‍යයෙහි විකාශය වුණේ කොටස් 32 යි. එහෙම තියෙද්දි එකපාරටම ඒක නැවැත්තුවා. හරියට බෙල්ල කැපුවා වගේ වැඩක් කළේ. ළා සඳ පාමුළ නාට්‍ය මේ තත්ත්වය යටතේ මට සම්මාන උළෙලකටවත් යොමු කරන්න බැහැ. මොකද බාගෙට විකාශය වුණු නාට්‍ය සම්මාන උළෙලවලට බාර ගන්නෙ නැහැනෙ. මට වුණේ ලොකු අසාධාරණයක්. මං ඉතාම වගකීමෙන් කියනවා මට මේ දේ කළේ ජාතික රූපවාහිනයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා. ඔහු මට ලියුමක් එවලා තියෙනවා. මුලදි ඔවුන් කිව්වා ළා සඳ පාමුළ නාට්‍ය විකාශය ඇරැඹියේ පසුගිය රජය සමයේ කියලා. ඒ හින්දලු නැවැත්තුවෙ. පසුව සඳහන් කළා නාට්‍යයේ ගුණාත්මක භාවයක් නැහැ කියලා. ඒ හින්දා අනුග්‍රාහකයොත් නැතිලු. මං ගිවිසුම ගැහැව්වෙ ජාතික රූපවාහිනියත් එක්ක.

 නාලිකාව තමයි අනුග්‍රාහකයො හොයන්න ඕන. ඒ අයට තම වගකීම හරියට කරගන්න බැරිවුණාට මං මක් කරන්නද. සෝමෙ අයියත් කලාකරුවෙක්. ඔහු දන්නවා තමන්ගෙ නිර්මාණයකට මෙවැනි තත්ත්වයක් උදා වුණොත් මොකද වෙන්නෙ කියලා. ඒවා දැන දැනත් මෙලෙස අමානුෂිකව මට සැලකීම ගැන මට හරි දුකයි. මං මේ නාට්‍ය කළේ මගෙ ගෙදරත් උගස් කරලා. ආර්ථික වශයෙනුත් මාව වැටිලා තියෙන්නෙ. ළා සඳ පාමුල විකාශය නොවුණානම් මට කමක් නැහැ. ඒත් කොටස් විසි අටක් විකාශය වූවාට පසුව මෙවන් තත්ත්වයකට නාට්‍යය ලක්වීම ඇත්තටම දුකක්. මට දැන් කියන්න තියෙන්නෙ එකම දෙයයි. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මැතිතුමන්ලාගෙන් මං ඉතාම ගෞරවාන්විතව ඉල්ලනවා මට සිදුවූ මේ අසාධාරණයට යම් සහනයක් ලබා දෙන්න කියලා. මට ඉතිරි කොටස් 28 විකාශය වූවානම් හොඳටම ඇති.


රූපවාහිනියේ අනාගතය ගැන තීරණයක්

ආචාර්ය සෝමරත්න දිසානායක

ජාතික රූපවාහිනිය මගෙ අතට පත්වෙද්දි ඉන් මහජනයා ඉවත්වෙලා රේටින්ග්ස්වලින් එය හත්වැනි තැනට පත්වෙලයි තිබුණෙ. ගුණාත්මක භාවයෙන් අඩු නිර්මාණ රූපවාහිනිය එහෙම් පිටින්ම වැහිලා. බහුතරයක් ටෙලිනාට්‍ය විකාශ කරලා තියෙන්නෙ දේශපාලන උවමනාවන් මත. දේශපාලකයන්ගෙ ලියුම්වලට, ලිංගික අල්ලස්වලට විකාශයන අයිතිය ලබාදුන් එවැනි වැඩසටහන් නිසා ප්‍රේක්ෂකයන්ට ජාතික නාළිකාව එපා වුණා. අනික ඒවාට වෙළෙඳ දැන්වීම් පවා නැහැ. මේ තත්ත්වය මත ජාතික රූපවාහිනිය එන්න එන්න ආගාධයට යන බව මට පෙනුණා.

ඒහින්දා මට සිදුවුණා රූපවාහිනියට ගෝචර නොවන වැඩසටහන් නවත්වන්න. නදීගේ පමණක් නොව තවත් නිර්මාණ කිහිපයක්ම නවත්වලා ගුණාත්මක නිර්මාණ විකාශය කිරීම ආරම්භ කළා. මේ හින්දා බොහෝ දෙනෙකු මාත් එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නෙ කියලා මං දන්නවා. ඒත් මං කාගෙවත් එක්ක තියන පෞද්ගලික තරහට නොවෙයි එහෙම කළේ. හුදෙක්ම ජාතික නාලිකාවේ අනාගත පැවැත්ම යහපත් වෙන්න ඕන. මේ හැම තීරණයක්ම ආයතනය වෙනුවෙන් ගත්තේ ඒ නිසයි. ජාතික නාලිකාව ප්‍රමිතියේ සලකුණ විය යුතුයි. මින් ඉදිරියට කිසිම දැනහැඳුනුම්කමක් මත නිර්මාණ ජාතික නාළිකාවෙන් විකාශය නොවන වග වගකීමෙන් යුතුව කියන්න ඕන.