වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

මන්සිළුව මඤ්ඤං කළ දේශනය

ඔන්න දවසක්දා ප්‍රියන්ත මන්සිළුට ජනිත් වික්‍රමගේ කෝල් කළාලු.

මචං කොහෙද ඉන්නේ . . .

මන්සිළු ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ තම කාර්යාලයේ.

ටක්ගාලා වරෙන් මචං කොල්ලුපිටියට.

මන්සිළු කාරණවත් අහන්නේ නැතුව පෙට්‍රල් බිව්ව උගුඩුවා වගේ දනිපනි ගාලා ෂෝර්ට් ලීව් එකකුත් දාලා ජනිත් කියපු තැනට ගියාලු. ඔහුව ජනිත් කැඳවාගෙන ගිහින් ඒ ළඟ තිබුණු ශාලාවකට. එතැන සූ ගාලා සෙනඟලු. මන්සිළුව ඇතුළෙ පුටුවක ජනිත් වාඩි කරවලා. එතැන යම් දේශනාවක් ආරම්භ කරන්නට සැරැසෙනවලු. මන්සිළු හිතලා තියෙන්නේ ඒක කලාවට සම්බන්ධ වැඩක් කියලා. නමුත් දේශනාව ආරම්භ වුණාට පසුවයි මන්සිළුට තරු පෙනිලා තියෙන්නේ. ඒක අළෙවිකරණයට සම්බන්ධ සම්මන්ත්‍රණයක්. පැය තුනක් තිස්සේ එය පැවැත්විලා. ඒ අතරතුරදි අඩුම ගානේ වතුර පොදක් බොන්නටවත් මන්සිළුට ඉඩක් ලැබුණෙ නැතිලු. ජනිත් හිතලා තියෙන්නේ මන්සිළුගේ රැකියාව අළෙවිකරණයට සම්බන්ධ එකක් කියලා. ඒකයි ඔහුට එතැනට ජනිත් එන්න කියලා තියෙන්නේ. මන්සිළු පැය තුනක් තිස්සේ ඈනුම් යව යව අර දේශනය අහගනෙ එළියට බැහැලා තියෙන්නේ මොලේ මඤ්ඤං වුණ ගානටලු..


ඩ්‍රයිවර් වෙනුවට ට්‍රම්පට්

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මේ දිනවල ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකේ නම කලු අරලිය 2 හෙවත් මොනර කඩදාසි. මෙන්න මේකෙ පොලිස් දර්ශන බොහොමයක් තියෙනවා. ඒ හින්දා පොලිස් චරිත රඟපාන්නත් සෑහෙන්න පිරිසක් ඕනෑ කරනවා. ඔන්න ඉතින් එහි සහාය අධ්‍යක්ෂ පොලිස් චරිත වෙනුවෙන්ම නවක නළු නිළියන් කිහිප දනෙකුව ගෙන්නුවා. කොහොමත් එවන් වූ චරිතයකට අන්දන්න කලින් ටිකක් හොයලා බලන්න එපායැ. ඒක හින්දා එදා තිබුණු පොලිස් දර්ශනයට ගෙන් වූ දෙතුන් දෙනා සමඟ පෞද්ගලිකව කතාබහ කළා. ඔය අතරේ එම දර්ශනයට වාහනයක් පදවන්න පුළුවන් කෙනෙකුත් අවශ්‍ය වුණා. ක්‍රිෂ්ටි ඒ ගැනත් ඒ අයගෙන් ඇහැව්වා. ඔන්න ඒ පිරිස අතරේ හිටියා ටිකක් අමුතු කෙනෙක්. ක්‍රිෂ්ටි මෙයාගෙන් මෙහෙම ඇහැව්වා.

ඔය ළමයට ඩ්‍රයිවිං පුළුවන්ද?

බැහැ.

එහෙනම් මොනවද කරන්න පුළුවන්?

සර්, මට හොඳට ට්‍රම්පට් ගහන්න පුළුවන්.

මොකක්?

ඔව්, සර් මට ඕන තාලයකට ට්‍රම්පට් එක ගහන්න පුළුවන්. බොරුද බලන්න දෙන්නකෝ සර් මට ට්‍රම්පට් එකක්.

එහෙමද? මං ඔය ළමයට ට්‍රම්පට් ගහන චරිතයක් තිබුණොත් කතා කරන්නම්කෝ. ක්‍රිෂ්ටි එහෙම කිව්වේ බැරිම තැන.

බැලින්නම් ඒ මනුස්සයා කොහෙදෝ බෑන්ඩ් එකක ට්‍රම්පට් ගහන කෙනෙක්.


අහිමි වූ පිය සෙනෙහසට

තැවෙන ආශා . . .

ආශා එදිරිසිංහ සහ ඇගේ පියා අතර තිබූ සම්බන්ධය කෙසේදැයි ආශා ගැන දන්න ක්ෂේත්‍රයේ අපි හැමෝම දන්නවා. ඇය තමන්ගේ පියාට අසීමිතව ආදරේ කළා. කොතරම් කාර්යබහුල වුණත් තාත්තා ගැන හොයලා බැලුවා.

ආශා ටෙලි සිතුවම් නිෂ්පාදනයට යොමු වෙද්දී ඊට නිබඳව දිරිය දුන්නේ ඔහු.

කලා ලොවේ ආශා සැරිසරද්දී තාත්තා ඇයට යෝධ සෙවනැල්ලක් වුණා. ඇගේ පියා හදිසියේම රෝගාතුර වුණේ සිහිනෙකින්වත් නොසිතූ වෙලාවකයි. ඒ සෑම අවස්ථාවකදීම ආශා පියා ගාවින් සෙල වුණේවත් නැහැ. තම රංගන කටයුතු සියල්ල පසෙකලා පියා වෙනුවෙන් කැප වුණා. අඩුම ගානේ ජංගම දුරකතනයවත් ආශා අතට ගත්තේ නැහැ. මොනදේ අහිමි වුණත් ආශා පියාගේ සුවදුක් සොයා බැලුවා. ළඟටම වෙලා හිටියා. ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ දෛවයේ නියමයට අනුව. අපට කළ හැකි කිසි දෙයක් නැහැ. ඒ නියමයට ආශාටත් එකඟ වෙන්න සිදු වුණා. ආශා ඇතුළු පවුලේ සියලු දෙනාව තනි කරමින් ආශාගේ පියා සදාකාලිකවම නික්ම ගියා. මේ පිළිබඳ ආශා ක්ෂේත්‍රයේ කාටවත්ම කිව්වේ නැහැ. පියා පවසා තිබුණු පරිදි එක් දිනක් තුළදී ඔහුගේ අවසන් කටයුතු සිදු වුණා. ආශා තවමත් කාලය ගත කරන්නේ හරිම කම්පනයෙන් යුතුවයි. පියා පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම ඇගේ නෙතෙහි කඳුළු උතුරනවා. ඇගේ පියාට සරසවිය අපි මොක් සුව පතනවා. ඒ වගේම තව නොබෝ දිනකින් ආශා යළිත් ක්ෂේත්‍රයට පැමිණෙනවා යැයි අපිත් එක්ක පැවසුවේ මහත් වූ දොම්නසින්.


සාදයේ දිළිසුණ සාරියේ අලංකාරය

මෙන්න මේක නිළියො දෙන්නෙකුගේ කතාවක්. එක් කෙනක් තමයි තාරුකා වන්නිආරච්චි (නමේ වන්නි කෑල්ලක් තිබුණට මෙයා ඉන්නේ වන්නියේ නම් නෙවෙයි හොඳේ). අනෙක් තැනැත්තිය නිශානි ගමගේ. මේ ඩබල පසුගිය දිනෙක පුංචි උත්සවයකට ඇවිත් හිටියා. ඒ මොකක්ද කියලා කියනවා නම් රයිගම් ටෙලීස් හි නිර්දේශිත නාමයෝජනා එළිදක්වන දින තිබුණු සාදයට. තාරුකා ඇවිත් හිටියේ කලුම කලු පාට ගවුමක් ඇඳලා. මූණෙ මේකප් මුකුත්ම නැහැ. ඇය දැනගෙන ඉඳලා නැතිද කොහෙද තමන් සම්මාන උළෙල සඳහා නිර්දේශ වෙලා ඉන්නවා කියලා. ඒක වෙන්න ඇති අනිත් කට්ටිය සුකුරුත්තම් ඇඳුම් ඇඳගෙන ඉන්න කොට තාරුකා එහෙම ආවේ. ඒකට නිශානි. ඇය එදා හිටියේ දේදුනු පාටැති සාරියකින් සැරසිලා. බැලූ බැල්මට ඒක ඉස්තරම්ම සාරියක් කියලා පේනවා. ඇය හරියට උත්සව සභාවේ මනමාලි වගේ. එයට ප්‍රධානම හේතුව ජීවිතයේ ප්‍රථම වතාවට සම්මාන උළෙලක සම්මානයක් සඳහා ඇයව නිර්දේශ වීම. ඒ පිළිබඳ ඇය මේ වන විටත් මුළු ගමටම කියලලු. ඒ සතුටට තමයි නිශානි අර විදිහට සැරසිලා හිටියේ. කොහොම හරි එදා නිශානි සාරියේ ගෑ වෙයි කියලා බොහොම පරිස්සමින් තමයි කෑම කාලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ දෙන්නම එකම සම්මානෙකට නිර්දේශ වීම.