වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මුහුණ බේරා රැවුලට ගිනි තැබූ නලින් පේ‍්‍රමතිලක

මුහුණ බේරා රැවුලට ගිනි තැබූ නලින් පේ‍්‍රමතිලක

වඩාත් සරලව කියතොත් වේශ නිරූපණ කාර්යයේදී සිදු වන්නේ නළුවාගේ හෝ නිළියගේ බාහිර ස්වරූපය වඩාත් අලංකාර කිරීම හෝ එය අවලස්සන කිරීමය. අදාල චරිතයට තිතටම ගැළපෙන අයුරින් නළු, නිළියන් හැඩ ගැන්වීම දක්ෂ, පරිනත වේශ නිරූපණ ශිල්පියකුට එතරම් අසීරු කාර්යයක් වන්නේ නැත. සෑම වෘත්තීය මට්ටමේ රංගනයකදීම වේශ නිරූපණය යනු අත්‍යාවශ්‍ය සාධකයකි. මේ නිසාවෙන් වේශ නිරූපණ ශිල්පියාගේ වටිනාකම කිසි විටෙකත් අඩු ලංසුවට වැටෙන්නේ නැත.

නලින් ප්‍රේමතිලක මා දකින්නේ වත්මන් වේශ නිරූපණ කලාවට අලුත් හැඩයක් එක් කළ අපූර්වතමයකු හැටියටය. සම්ප්‍රදායේ වහලකු නොවී වඩාත් නිර්මාණශීලී ලෙස එකී විෂය ස්පර්ශ කරනා ඔහු විටෙක ඉන්ද්‍රජාලිකයකු බඳුය. නලින්ගේ 'වැඩ කිඩ' ඒ තරමටම විශ්මයජනකය.

'ගින්දරී - බහු බූතයෝ 02' චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා ද නලින්ය. එහි ඔහුගේ දායකත්වය වඩාත් තීව්‍ර ලෙස කැපී පෙනේ. මේ නලින් සිය විෂය මුල් කොට ගනිමින් අප හා කළ කතාබහකි.

වේශ නිරූපණ ශිල්පියාගේ, නැතිනම් අංග රචනා ශිල්පියාගේ කාර්යභාරය සැකෙවින් විස්තර කළොත්?

අපේ රටේ අංග රචනා ශිල්පියා බොහෝ විට හඳුන්වන්නේ 'මේකප් ආටිස්ට්' යන නමින්. එතකොට අංග රචනා ශිල්පියාට හෝ වේශ නිරූපණ ශිල්පියාට එහෙම භාවිතා කරන්න පුළුවන්. දැන් බියුටිෂියන් කියන්නේ රුපලාවන්‍ය ශිල්පියාට. බියුටි සැලෝන් අපි දැකලා තියෙනවා. නමුත් අංග රචනා සැලෝන් ගැන අපි අහලා නෑනේ. මේකප් සැලෝන් කියලා ජාතියක් නෑනේ. එතකාට වේශ නිරූපණ ශිල්පියා රූපලාවන්‍ය ශිල්පියාගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

පැහැදිලි කිරීමක් කළොත් හොඳයි...?

මේ දෙන්නටම පුළුවන් කෙනෙක් ලස්සන කරන්න. ඒත් වේශ නිරූපණ ශිල්පියාගේ කාර්යය කෙනෙක් ලස්සන කිරීම විතරක් නෙවේ. එහි විවිධ පැතිකඩ තියෙනවා. සමහර විට මිනිහෙක් සතෙක් කරන්න ඕනෑ නම් තරුණයෙක් මහල්ලෙක් කරන්න ඕනෑ නම්, මහල්ලෙක් තරුණ කරන්න ඕනෑ නම්, තුවාලකාරයෙක් කරන්න ඕනෑ නම් එය කළ හැක්කේ වේශ නිරූපණ ශිල්පියාටයි. මේක හරියට මහ මුහුද වගේ ගැඹුරු විෂයයක්.

වේශ නිරූපණය සඳහා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් වගේම පිටපත අධ්‍යයනයත් ඉතා වැදගත්?

පිටපත බැලුවාට පස්සේ මූලිකවම සිදු වෙන්නේ අධ්‍යක්ෂවරයා එක්ක ඒ ගැන සාකච්ඡා කිරීම. අදාල නළු, නිළියන් එක්කත් ඒ ගැන කතා කරනවා. හැබැයි මූලික දේ මේක මේකප් එකක් නෙවෙයි කියලා බලන කෙනාට පේන්න ඕනෑ. කෙනෙක් මහලු කළා වෙන්න පුළුවන්. නමුත් එහෙම කළා කියලා දැනෙනවා නම් ඒක සාර්ථක අංග රචනයක් වෙන්නේ නෑ. පුළුවන් තරම් තාත්ත්විකව ඒ ප්‍රතිරූපය ගොඩ නඟා දීම තමයි අංග රචනා ශිල්පියාගේ කාර්යභාරය.

වර්තමානයේ ඔබේ හැකියාවන් ප්‍රේක්ෂකයා අතරට යන්නේ 'ගින්දරී' චිත්‍රපටයෙන්. කොහොමද ඔබේ ඒ අත්දැකීම්?

උදයකාන්ත වර්ණසූරිය කියන්නේ විවිධ වර්ගයේ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙක්. මේ ඔහුගේ 19 වැනි චිත්‍රපටය. විශේෂයෙන්ම කියන්න ඕනෑ ඔහු ඉතාම සොඳුරු, මිත්‍රශීලී පුද්ගලයෙක්. ඒ නිසා ඔහුත් එක්ක වැඩ කරන්න හරි පහසු වුණා. තිර රචනයේ තිබෙන ඇතැම් දේවල් මේකප්වලින් කරන්න පුළුවන් කියලා සමහර විට ඔහු නොසිතන්නත් ඇති. තාක්ෂණය හා විශේෂ ප්‍රයෝග යොදා එම දර්ශන රූගත කරන්නයි ඒවා සැළසුම් කර තිබුණේ.

නමුත් ඔබ ඒවා වේෂ නිරූපණය මඟින් සිදු කළා?

එක් දර්ශනයක් තිබුණා කොණ්ඩෙ පිළිස්සිලා තැනින් තැන තට්ටය මතු වුණ විදිහට රූගත කරන්න. නමුත් ඉන්න ශිල්පියා කැමැති නෑනේ ඇත්තටම එයාගේ කොණ්ඩෙට ඒ විදිහට කරනවාට. මම තට්ටයක් දාලා ඊට උඩින් කොණ්ඩයක් දාලා ඒක තමයි ගිනි ඇවිලුවේ. අර පිළිස්සුන කොණ්ඩේ ඔහුගේ ඇත්ත කොණ්ඩෙට සමානයි. එකොට බන්ටිගේ තාත්තට දාපු රැවුල ගිනි ගන්නවා. ඇත්තටම ඒ රැවුුලේ දුම පවා දැම්මේ මම. ස්ට්‍රෝ එකක් ආධාරයෙන් තමයි ඒක කළේ.

එතකොට සුරූපී ටිකිරි භයංකාර යක්ෂණියක් කළෙත් ඔබ?

ඔව්. ටිකිරිගේ ඇඟේ කලු ගාලා, ඇගේ රුව විකෘති කරලා ඒ යක්ෂණිය මැව්වේ මම. හැබැයි උදයකාන්ත මහතාට අවශ්‍යය පරිදි ඔහුගේ උපදෙස් මතයි මම එය කළේ. මොකද බහුබූතයෝ 01, යක්ෂණියට සමාන වෙන්නත් එපායැ මේ යකින්නත්. ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පි ඊබට් විජේසිංහ මහත්මයා තමයි ඒ චිත්‍රපටයේ අංග රචනා කටයුතු කරලා තිබුණේ. ඔහු දැන් ජීවතුන් අතර නෑනේ. අර මුල් යක්ෂණියට දත් එහෙම දාලා තිබුණේ ග්‍රැෆික්ස්වලින්. ඒත් මේ යකින්නගේ දත් දැම්මේ මම.

කොටින්ම ඔබ තාක්ෂණය උපයෝගි කර නොගෙනයි යක්ෂණිය නිර්මාණය කළේ?

ඔව්. කොණ්ඩේ, නියපොතු කොළ පාට ඇස්, ඒ භයංකර විලාසය ඇතුළු සියලුම දේවල් අංග රචනය කියන තාක්ෂණයෙන් තමයි කළේ. යකින්න හදලා තියෙන්නේ තනිකරම අංග රචනයෙන්. ග්‍රැෆික්ස් නෙවේ. යකින්න නිර්මාණය කිරීමේදී මගේ අංග රචනය හැර වෙන අබ ඇටයක දෙයක්වත් ඊට ගාව ගත්තේ නෑ.

නමුත් යකින්නගේ ඇතැම් ක්‍රියාකාරකම් සඳහා තාක්ෂණය උපයෝගී කරගෙන තිබුණා?

යකින්න අර ගිනි පිඹින ඒවා, එතකොට ගස් බඩගාන දර්ශනවලට තාක්ෂණය යොදා ගත්තා. ඒක හරි. නමුත් මම කිව්වේ යකින්නගේ බාහිර ස්වරූපය මුළුමනින්ම නිර්මාණය කළේ මම කියලයි.

වෙනත් චිත්‍රපටවලට සාපේක්ෂව බලන කොට 'ගින්දරී'ට සහභාගි වුණ නළු නිළියන්ගෙන් සියයට අනූවක් වගේ වෙස් ගන්වා තිබුණා?

අධ්‍යක්ෂවරයා සහ මම සාකච්ඡා කරලයි එහෙම දේවල් ක්‍රියාවට නැඟුවේ. දැන් ලකී ඩයස්ගේ රැවුල ගිනි ගන්න දර්ශනය ඔබට මතකනේ. ඔහුට වෙන ස්කින් එකක් දාලා ඒ විදිහට රැවුලකුත් හදලයි ඒක ගිනි තිබ්බේ. හැබැයි ප්‍රේක්ෂකයාට හැඟුණේ නෑ ඒ බොරුවක් කියලා. එහෙම හිතුණා නම් ඒ මේකප් එකේ සාර්ථකත්වයකුත් නෑ. මේක ඇත්ත කියලා ඒ වෙලාවටවත් හිතෙන්න ඕනෑ.

'බහු බූතයෝ 01' තිරගත වී වසර දොළහකට පසුව තමයි 'ගින්දරී' තිරගත වෙන්නේ. සෑහෙන කාලෙකට පසුව වුණත් බන්ටි, ලැන්ටි, ටිකිරි මේ හැමෝම අපි එදා විදිහටම දකිනවා?

එදාටත් වඩා ලස්සනයි, තරුණයි මම හිතන්නේ මේ චිත්‍රපටයේ ඔවුන්.

ඒකත් ඔබේ වැඩක්?

ඇත්තටම අවුරුදු දොළහකට කලින් රූපයම අදත් කෙනෙකුට තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් එතනම ඒක අතිශයෝක්තියක්. බොරුවක්. මේ සොබා දහමට අනුව මලක්, ගහක්වත් එහෙම තියෙන්නේ නෑ. මනුෂ්‍යාත් එහෙමයි. සමහරුන්ගේ තට්ටය පෑදිලා. සමහරුන්ගේ හම රැළි වැටිලා. වයසට යන එක අපට වළක්වන්න බෑ.

ඇතැම් විට අධ්‍යක්ෂවරයා නොදකින පැතිකඩ පවා ඔබගේ අවධානයට යොමු වෙනවා?

මම හිතන්නේ වේෂ නිරූපණ ශිල්පියකුට අත්දැකීම් කියන දේ ගොඩක් වටිනවා. ඊට අමතරව ඉගෙන ගැනීම සහ යාවත්කාලීන වීම. ලෝකයේ සියලු විෂයන් ඉදිරියට යමින් පවතිනවා. එදා නොතිබූ දියුණුව, තාක්ෂණය අද අපට ලැබෙනවා. එතකොට අපි ඒවත් එක්ක ඉදිරියට යා යුතුමයි. පළමුවැනි කාරණය තමයි අපි මේක ඉගෙන ගනිමින් අභ්‍යාසයේ යෙදෙන්න ඕනෑ. අපි ඊට ආසා වෙන්න ඕනෑ. ආදරය කරන්න ඕනෑ. ගෞරවය පුදන්න ඕනෑ. එතකොට මේ විෂය තුළ මට ගොඩක් දේවල් පෙනෙනවා.

සාමාන්‍යයෙන් නිර්මාණයකට ඔබ මුල පුරන්නේ කොහොමද?

ඇත්තටම මුලින්ම මම කරන්නේ පිටපත කියවන එකයි. එතෙක් මම නිර්මාණය ගැන කිසිවක් කතා කරන්නේ නෑ. පිටපත කියවලා, ඒ චරිත රඟපාන නළු නිළියන් පිළිබඳ දැනගෙන තමයි මම අධ්‍යක්ෂවරයා හමු වෙන්නේ. ඒ හැම කෙනෙක්ගේම චරිතය මම චිත්‍රයක් හැටියට ඇඳලා අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කරනවා. මෙන්න මෙයා තරුණ වුණාම, එයා වයසට ගියාම ආදී වශයෙන් ඒ චරිතයට අදාල බාහිර ස්වරූපය මම චිත්‍රයක් මඟින් ඉදිරිපත් කරනවා.

ඊළඟ කාර්යය?

ඇත්තෙන්ම ඒ චිත්‍ර පෙන්නුවාම ගොඩක් අධ්‍යක්ෂවරු මා සමඟ එකඟ වෙනවා. ඊළඟට අපි මේකප් ටෙස්ට් එකක් තියනවා. අනිවාර්යයෙන්ම ඒක කරනවා. එහෙම මේකප් ටෙස්ට් එකක් නොතියා මම ටෙලි නාට්‍යයක්වත් කරලා නැහැ. මේකප් ටෙස්ට් එකේදී අපට පුවවන් අවශ්‍ය වෙනස්කම් සිදු කර ඒ පරීක්ෂණය කරන්න. ඒකට කාලය අවශ්‍යයි. මේකප් ටෙස්ට් එක ර්‍ණ. ම් වුණොත් එතනින් තමයි මම මගේ කාර්යය ආරම්භ කරන්නේ.

විෂයානුබද්ධ දැනුමට එහා ගිය පුළුල් සමාජ දැක්මකුත් අවශ්‍යයි වේශ නිරූපණ ශිල්පියකුට?

ඔබ හරියටම හරි. ලෝකය පිළිබඳ දැනුම, සාමාජීය දැනුම, ඒ වගේම පුද්ගල චරිත හා ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳ අවබෝධය මේ සියලු දේවල් අවශ්‍ය වෙනවා හොඳ නිරූපණ ශිල්පියකු බිහි වෙන්න. අංග රචනා ශිල්පියාට තමන්ගේ අනන්‍යතාවයක් තිබිය යුතුයි. ඒ අනන්‍යතාවය ගොඩ නැඟෙනුයේ තමා තුළ තිබෙන අවබෝධය මතයි. මම අංග රචනය තවම ඉගෙන ගනිමින් ඉන්නේ. මැරෙන තුරුම ඉගෙන ගන්නවා. ඒකයි මම කිව්වේ මේක මහා සාගරයක් වගේ කියලා.

මෙතෙක් ඔබ දායක වූ නිර්මාණ පිළිබඳ මතකය අවධි කළොත්?

සුදත් රෝහණගේ 'ස්වයංජාත' ටෙලි නාට්‍යයේ විභූතිරත්න විදිහට මා ජගත් චමිලව වෙස් ගැන් වූ අයුරු කාගේත් ප්‍රශංසාවට ලක් වුණා. එය මට ලොකු පරාසයක් කරා යන්න අවකාශය සැලසූ ටෙලි නාට්‍යයක්. ඒ වගේම ධර්මසේන පතිරාජයන්ගේ 'කම්පිත විල' ටෙලි නාට්‍යයෙත් මම සුවිශේෂ අංග රචනයක් කළා. මහේන්ද්‍ර පෙරේරා අවුරුදු අනූවක පමණ මහල්ලෙකු බවට පත් කළා. ඉදිරියේදී තිරගත වීමට නියමිත 'මායා' චිත්‍රපටයත් සුවිශේෂයි. රන්ජන් රාමනායක ගැහැනියක් විදිහට එහි රඟපාන්නේ. ඒ චිත්‍රපටයේ මම කළේ සුවිශේෂී වගේම ගැඹුරු අංග රචනයක්.

උදයකාන්තගේ නවතම චිත්‍රපටයේ අංග රචනා ශිල්පියාත් ඔබමයි?

ඔව් 'මධුර චාරිකා' චිත්‍රපටය. එය අතිශය කලාත්මක චිත්‍රපටයක්. අධ්‍යක්ෂවරයාට අවශ්‍යය වුණා හේමසිරි අයියාව අවුරුදු තිස්පහක පෙනුමට ගේන්න. ඒ දේ කරන්න පුළුවන් වුණා කියා මට හිතෙනවා. හේමසිරි අයියාගෙනුත් ලොකු සහායක් මට ලැබුණා. නිරන්තරයෙන්ම මම උත්සාහ කරන්නේ මට හැකි උපරිම අයුරින් මගේ කාර්යභාරය ඉටු කරන්නයි. ඒත් ඒක හොඳද නැතිද කියන එක තීරණය කරන්න ඕනෑ ප්‍රේක්ෂකයා සහ විචාරකයායි.