වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




බැසිල් ද සේරම් ගේ අවමඟුල අතරේ චන්දි රසිකාට පහර දීලා

බැසිල් ද සේරම් ගේ අවමඟුල අතරේ චන්දි රසිකාට පහර දීලා

සිනමා නිළි චන්දි රසිකාට කිසියම් පිරිසක් විසින් පහරදී ඇති බවට සරසවියට වාර්තා වුණා. ඇය අපට දුරකතන ඇමතුමක් දුන්නේද ඒ ගැන කියන්න. චන්දි කතා කළේ හැඬූ කඳුළින්.

චන්දි, මොකද මේ?

මට ලොකු අසාධාරණයක් වුණා. අසාධාරණයකටත් වඩා ඒක අවනම්බුවක්.

මුලසිට පවසන්න ඔබට සිදුවූ දේ?

බැසිල් ද සේරම් කියන රංගන ශිල්පියාව දන්නවා ඇතිනේ. ඔහු තමයි ලංකාවෙ හිටපු උසම නළුවා. බැසිල් අයියා විවාහවෙලා ඉන්නේ මගෙ අක්කත් එක්ක. ඒ කසාදෙට අවුරුදු තිස්පහක් වෙනවා. ඔවුන් දෙදෙනාම හිටියේ අපේ ගෙදර. කාලයක් තිස්සෙ බැසිල් අයියට රැකියාවක් තිබ්බෙ නැහැ. කාලෙන් කාලෙට ඔහු සිනමා ශාලාවල වැඩ කළා. නමුත් ප්‍රමාණවත් ආදායමක් ලැබුණේ නැහැ.

ඔබේ අක්කට රැකියාවක් තිබුණේ නැතිද?

නැහැ. ඇයද කාලයක් තිස්සේ අසනීපවයි සිටින්නේ. අක්කගෙ බරත් මගෙ කර පිටයි තියෙන්නෙ.

බැසිල්ගෙ ඥාතීන් කවුරුවත් හිටියේ නැතිද ඔහු ගැන සොයලා බලන්න?

මොකද නැත්තේ. ඕනතරම් නෑයො ඉන්නවා. ඔහු ඔහුට අයිතිව තිබුණ ඉඩම් සමීපතමයකුට දුන්නා. ඒ වෙනුවෙන් බැසිල් අයියට ලැබුණෙ ඉතාම සුළු මුදලක්. ලෙඩවෙලා ඉන්න කාලෙත් ඔහු ගැන ඔහුගෙ ඥාතීන් සොයා බැලුවෙ බොහොම අඩුවෙන්. ගංවතුර ආධාර දෙනවා වගේ ඉඳහිට ඇවිත් සොච්චමක් දීලා යනවා.

ඔබ අතේ මුදල් තිබුණද ඔබ ඇතුළු තිදෙනෙකු නඩත්තු කරන්න?

මට එහෙම ලොකු ආදායමක් තිබුණෙ නැහැ. ඇගේ වෛරය චිත්‍රපටය වෙනුවෙන් නඩු කියලා මගෙ මුළු සේසතම මට අහිමි වුණා. ඒත් මං කාවවත් මගෙ ගෙදරන් එලෙව්වෙ නැහැ. බැසිල් අයියට වුණත් අන්තිම මොහොත වෙනකනුත් සැලකුවෙ මං.

බැසිල්ගෙ අවසාන මොහොත ඔබට මතකද?

ඔව් හොඳට මතකයි. ඔහු අවසාන කාලයේ ග්ලුකොමා රෝගයෙන් පෙලුණා. පෙනීමත් අඩු වුණා. ඇවිදගන්නත් වාරු නැහැ. ඔහුට එක පාරටම හාර්ට් ඇටෑක් එකක් ආවා. ඒ මෙහොතෙත් මගෙ පිළිසරණට කවුරුවත්ම ළඟපාතක හිටියෙ නැහැ. ත්‍රීවිල් එකක් අරගෙන ඔහුව ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එහිදියි ඔහුව නැතිවුණේ.

මියයනවිට ඔහුගේ වයස කීයද?

අවුරුදු හැත්තෑ අටක්.

ඊට පස්සෙ මොකද වුණේ.

බැසිල් අයියගෙ මලගෙදරදි තමයි මේ හැමදෙයක්ම සිද්ධවුණේ.

විස්තර කරන්න බලන්න?

බැසිල් අයියා තමන්ගෙ අන්තිම කැමති පත්‍රයේ ලියලා තියෙන්නෙ මිය ගියාට පසු ශරීරය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන්න කියලා. ඒ ලියකියවිලි ඔක්කොම මංගාව තියෙනවා. නමුත් වෙන පිරිසක් ඇවිත් බැසිල්ගෙ බොඩි එක බලෙන් ගෙනිච්චා. මං වලක්වන්න හැදුවා. ඒත් බැරිවුණා. ඔහුගේ නීත්‍යානුකූල බිරියගෙන්වත් ඇසුවෙ නැහැ. බැසිල්ගේ නෑයො මට පහර දුන්නා. කුණුහරුපෙන් බැන්නා. හොඳටම මට අපහාස කළා. මේ සියල්ල කළේ මලගෙදර ඇවිත් හිටිය දෙනෝදාහක් ඉදිරියේ.

කවුරුවත් ඔබව ගලවාගන්නට ඉදිරිපත් වුණේ නැතිද?

නැහැ. කිසිම කෙනෙක් ආවෙ නැහැ. හැමකෙනෙක්ම තුෂ්නිම්භූතව බලාගෙන හිටියා. මට පයිනුත් ගැහැව්වා. එහෙම වුණත් කිසිවෙකුත් මාව අල්ලගන්නවත් ආවෙ නැහැ. අප රටේ කලසංගම් නම් කීයක් කියලා තියෙනවද. මේ වෙනකම් එවැනි එකකින් මට කතාකරලා ඇහැව්වෙ නැහැ මං යහතින් ඉන්නවද කියලාවත්. මං ලංකාවෙ සම්මානනීය නිළියක්. ඒ වගේම මුලු රටේම සාම විනිසුරු කෙනෙක්. එහෙවු තැනැත්තියකට ලැබුණු සැලකුම් ගැන කියන්න වචන නැහැ. ශාරීරික වධහිංසාවලට වැඩිය මට මානසිකව ලැබුණු පීඩනය අපමණයි. මං තවමත් විඳවනවා. දෙනෝදාහක් මැද පාපාරවල් කාලා, අහන්න පුළුවන් උපරිම නින්දා අපහාස ලබලා අද වන විට මං මානසිකව හොඳටම විඳවනවා. වෙලාවකට මට කතාකරන්නත් බැහැ. වචන පිටවෙන්නෙ නැහැ. බැසිල් අයියගේ මලගෙදර ඉන්න ඕන නිසා මං එදින ඉස්පිරිතාලෙවත් හිටියෙ නැහැ. වෛද්‍යවරු කිව්වා මට රෝහල් ගතවෙන්න කියලා. ඒත් මං එහෙම කළේ නැහැ.

මෙච්චර දේවල් වෙනකම් ඔබේ ඥාතීන් කොහෙද හිටියෙ?

එයාලා ඒ වන විටත් මග හිටියෙ. ඒ අය එන්නට කලින් මට මේ දේවල් සිද්ධ වුණේ. ඥාතීන් එද්දි වෙන්න ඕන සියල්ල වෙලා ඉවරයි.

මේ පිළිබඳ ඔබ පොලිසිය දැනුවත් කළේ නැතිද?

මං නාරාහේන්පිට පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා. නමුත් තවම කිසිම ප්‍රතිචාරයක නැහැ. මං මේ වනවිටත් දැඩි කම්පනයෙන් ඉන්නෙ. කාගෙන්වත් මට සාධාරණයක් වෙන පාටක් පේන්න නැහැ. උඩ ඉන්න දෙවියන්ට විතරයි දැන් මට මේ ගැන කියන්න තියෙන්නෙ.

ඔබෙ අක්කා බැසිල්ව කසාද බැන්දෙ විරෝධතා මධ්‍යයේද?

ඔව්. අක්කා බැසිල් අයියට වැඩිය හුඟක් බාලයි. අක්කයි බැසිල් අයියගෙයි සම්බන්දෙට අපේ අම්මා විරුද්ධ වුණා. නමුත් මං අම්මට වැඳලා කිව්වා මේ කසාදය කරලා දෙමු නැතිනම් අක්කගෙ ජීවිතයට හානිවේවි කියලා. ඒ කීමටයි අම්මා එකඟ වුණේ. අවුරුදු තිස්පහකට පෙර දෙන්නා කසාද බැන්දා නීත්‍යානුකූලව. කවුරු කොහොම කිව්වත් අවුරුදු තිස්පහක් පරණ ඔවුන්ගේ කසාද සහතිකය අදටත් අපේ ගෙදර තියනවා.

චන්දි මුහුණ පෑ සිදුවීම් අප සටහන් කළේ කිසිවකුත් අපහසුතාවයට පත් නොකිරීමට බව අප වගකීමෙන් සඳහන් කරමු. මේපිළිබඳ යම් පාර්ශ්වයකට අදහස් දැක්වීමට ඇත්නම් ඒ සඳහාද විවෘතව පවතින බවද කියන්න කැමැත්තෙමු.