|
|
අර්ජුන්ගෙන් පිළිතුරු
ප්‍රශ්නය - 'වනසරා' චිත්‍රපටයේ රඟපෑ රෝයි හඳපාන්ගොඩ මහතා ඒ අවධියේම විදේශ ගත වූ බව දැනගන්නට ලැබුණා. ඔහු නැවත මෙහි පැමිණියේ නැද්ද ජානක ඉලුක්කුඹුර - කඩවත අර්ජුන් - ඔහු දැනට කැනඩාවේ ජීවත් වෙනවා. ප්‍රශ්නය - ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නවකතාවක් අනුව සිංහල චිත්‍රපටයක් නිපදවා ඇත. ඒ ගැන විස්තර දැන ගැනීමට කැමැත්තෙමි. ආර්. ඒ. අමරසිංහ - පෙතියාගොඩ, කැලණිය අර්ජුන් - මාහේනේ රීරි යකා නම් චිත්‍රපටයයි. කිත්සිරි නිහාල් ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. 1971 දෙසැම්බර් 22 වැනි දින තිරගත වුණි. මෙහි වොලී නානායක්කාර, මාලිනී ෆොන්සේකා, පියදාස ගුණසේකර, විජේරත්න වරකාගොඩ රංගනයෙන් දායක වෙති. ප්‍රශ්නය - සිනමාවේ පතාක යෝධයෙක් වූ ගාමිණී ෆොන්සේකා භික්ෂුවකගේ චරිතය නිරූපණය කළාද? ඒ චිත්‍රපටය කුමක්ද? දයානන්ද ද සිල්වා - සීනිගම, හික්කඩුව අර්ජුන් - වෙද හාමුදුරුවෝ චිත්‍රපටයේ භික්ෂුවකගේ ප්‍රධාන චරිතය රඟපාන්න හිටියත් එම චිත්‍රපටය සම්පූර්ණයෙන් නිම වූයේ නැහැ. ප්‍රශ්නය - ඇල්ප්‍රඩ් හිච්කොක් නම් බටහිර සිනමා තරුව ගැන විස්තරයක් කරන්න? අයිලීන් සෝවිස් - වැලිසර, රාගම අර්ජුන් - ලෝක සිනමාවේ බිහි වූ ශ්‍රේෂ්ටතම සිනමාකරුවෙක් ලෙස සැලකෙන ඇල්ප්‍රඩ් හිච්කොක් උපන්නේ 1899 අගෝස්තු 13 වැනිදාය. මිය ගියේ 1980 අප්‍රේල් 29 වැනිදාය. ලෝක සිනමාවේ ත්‍රාසජනක සිනමාවේ දැවැන්තයා ලෙස සැලකෙන ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ශ්‍රීමත් හිච්කොක් නිහඬ සිනමා යුගයේ සිනමාකරණයට පිවිසෙනුයේ මුලින්ම නාමාවලි සකසන්නෙක් හැටියටයි. පසුව කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ හිච්කොක් 1922 වසරේදී නොම්බර 13 චිත්‍රපටය නිර්මාණය කිරීමට සැරසුණත් එය සම්පූර්ණ වූයේ නැත. ඔහුගේ මුල්ම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1925 දී ද ප්ලේෂල් ගාඩ්න් චිත්‍රපටයයි. කෙසේ වෙතත් හිච්කොක් පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙන්නේ ඔහුගේ මෙන්ම බ්‍රිතාන්‍ය සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වන බ්ලැක් මේල් චිත්‍රපටය සමඟයි. ඉන් පසු ඔහු තැනූ ද 39 ස්ටෙප්, ද ලේඩි වැනිෂස්, රෙබෙකා නොටෝරියස්, ස්ට්‍රේන්සස් ඔෆ් අ ට්‍රේන්, වර්ටිගෝ සයිකෝ, රෙයා වින්ඩෝ ආදී වූ සම්පූර්ණ චිත්‍රපට ලෝක සිනමාවේ විශිෂ්ට සිනමා සලකුණු ලෙස හඳුන්වනවා. ඒ වගේම ඔහුගේ සිනමාවේ මෙන්ම ජීවිතයේ ද සහකාරිය වූ ඇල්මා රෙවිල් සමඟ තිිබූ විශිෂ්ට විවාහ ජීවිතයත් අදටත් සිනමා ලෝලීන් අතර කතාබහට හේතු වෙනවා. ඇය හා ඔහු අතර බැඳීම සංසාරයේ පතාගෙන ආවා වැනි යැයි විටක මට හිතෙනවා. ඇල්මා ඔහුට වඩා බාල වන්නේ හරියටම එක දවසකටයි. ප්‍රශ්නය - රූපයට දෙබසක් තරගයට හා පාඨක තරගයේ ජයග්‍රාහකයන්ට එම ත්‍යාගයන් කලට වෙලාවට නොලැබෙන්නේ මන්ද? චන්ද්‍ර කාන්ති ධර්මරත්න - කැලණිය, ප්‍රේමසිරි නාරසිංහ - වල්පල, මාතර අර්ජුන් - සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත ඔබේ ත්‍යාගයන් ලැබෙන්නට සලස්වයි. කෙසේ වෙතත් ආදරණීය කතාවක් ආශ්‍රයෙන් පැවැත් වූ තරගයේ ජයග්‍රාහකයන්ට එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ආසන්නයේ උත්සවයක් සහිතව ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත වෙනවා ඇති. ප්‍රශ්නය - ප්‍රවීණ ගායක සරත් සන්දනායක චිත්‍රපටවලට ගීත ගයා තිබේද? ඔහුගේ මව වන වසන්තා සන්දනායක චිත්‍රපටවලට ගීත ගයා තිබේද? විජය ඉලංගකෝන් - පල්ලේවල, ගම්පොල අර්ජුන් - ඔව්. ඔහු මාතෘභූමි, බඩුත් එක්ක හොරු, වහල් දූපත ඇතුළු චිත්‍රපට කිහිපයක ගීත ගායනා කළා. වහල් දූපතට මානෙල් පෙරේරා ලියූ ගීතයක් වන 'මද සීත නළ රැල්ල' ඔහු ගැයූ ඉතා ජනප්‍රිය ගීතයක්. නමුත් ඔහුගේ මව වන වසන්තා සන්දනායක නම් චිත්‍රපටවල පසුබිම් ගායනා කළැයි දැනගන්නට ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නය - රංගන ශිල්පී විශ්වනාත් මිගෙල් ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍යය ශිල්පී වික්ටර් මිගෙල්ගේ පුත්‍රයෙක්ද? එච්. ඉන්ද්‍රපාල - සංඝමිත්තා මාවත, මුංහේන අර්ජුන් - ඔව්. |


