වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ඔය කාගෙවත් නෙවෙයි ‘රාජ මාළිගේ’ මගේ

ඔය කාගෙවත් නෙවෙයි ‘රාජ මාළිගේ’ මගේ

වඩු වැඩෙන් දිවි ගෙවන ගීතයත් මගේ

ජිප්සීස්ලා ඒක කොල්ල කෑවා

රංජිත් පීරිස් චෝදනා නඟයි

රාජ මාළිගේ පරවියා වගේ සිංදුව මගේ. මං තමයි එහි මුල් ගායකයා.

රංජිත් පීරිස් කතාව පටන් ගත්තේ එහෙම. එම ගීතයේ අයිතිය පිළිබඳ නොයෙක් කතන්දර පැතිර යන මේ යුගයේ රංජිත් මේ කියාගෙන එන්නේ තවත් ආන්දෝලනාත්මක කතාවක්. ඒ හින්දම ඔහු ගැන හඳුන්වා දෙන ගමන්ම ඒ පිළිබඳ අප අහන්න හිතුවා.

* ඔබ වෘත්තීමය ගායකයෙක්ද?

ඔව්. ඒ විතරක් නෙවෙයි, මං නළුවෙක්. මැජික් සීයා කිව්වම තමයි හැමෝම දන්නේ.

* මොනවද ඔබ විසින් ගයා ඇති ගීත?

වඩු වැඩෙන් දිවි රකින, අයි ඈම් අ ගෝ ටු බී අ ගොවියා, නැන්දා මා දෙනවා කිව්වා, පරවියා වගේ රාජ මාළිගේ ඉන් කිහිපයක්.

* වඩු වැඩෙන් ගීතය ජිප්සිස්ලගේ නෙවෙයිද?

නැහැ. 1975 ජූනි 20 වැනිදා එම්. කේ. රොක්සාමි මාස්ටර්ගේ නව සංගීත සංයෝජනයට මවිසින් එය ගැයුවා. ඒක මගේ තාත්තා වන රෙජී පීරිස්ගේ සිංදුවක්. මගේ සීයා වන ඩැරල් පීරිස් තමයි වඩු වැඩෙන් රචනා කරලා තියෙන්නේ.

* මං අසා තිබෙන පරිදි වඩු වැඩෙන් ගීය ලියලා තියෙන්නේ හේමසිරි හල්පිට?

ඒක වැරැදි මතයක්. මගේ සීයා තමයි ඒකෙ නියම රචකයා.

* එතකොට එය ජිප්සීස්ලා ගයන්නේ කොහොමද?

මෙහෙමයි, මමයි මල්ලියි අපේ මොරටුවේ ගෙදර බෑන්ඩ් දෙකක් ප්‍රැක්ටිස් කළා. එහෙ ආවා ජීප්සීස්ලාගේ හිටපු කෙනෙක්. ඔහු වඩු වැඩෙන් ගීතය අහලා කැසට් එක අරගෙන ගිහින් සුනිල්ට දීලා. පසුකාලීනව ඒ අය විසින් ගීතය ගැයුවා. එය ඉතාමත් ජනප්‍රිය වුණා.

* ඔබ එය වැලැක්වීමට කටයුතු කළේ නැතිද?

මං නඩුවක් දැම්මා. එතකොට මම සම්බන්ධ වෙලා හිටියා ප්‍රකාශන සහ හිමිකම් සමාගම කියලා සමිතියක. සුනිල් පෙරේරා ඇතුළු ගායක ගායිකාවෝ රැසක් එහි සාමාජිකයෝ. රංබණ්ඩා සෙනෙවිරත්න තමයි ඒ නඩුවට කතා කරන්න හිටියේ. නමුත් අප සංගමයෙම හිටපු වෙනත් නීතීඥ කෙනෙක් මැදිහත් වී ඒ නඩුව නිෂ්ප්‍රභා කළා.

* හේතුව?

එම සමිතිය තිබුණේ ගීතවල අයිතිය පිළිබඳ කතා කරන්න. එවන් වූ සංගමයක සිටින සාමාජිකයන් අතර ගැටුමක් ඇති වුණොත් ඒක හොඳ නැහැනෙ. ඒකයි එහෙම කළේ.

* ඔබ කියනවා රාජ මාළිගේ ගීතය ඔබගේ කියලා?

ඔව්. ඒ සිංදුව මගේ.

* ඒක ගුවන් විදුලි තැටියකට ගයලා තියෙන්නේ ෆ්‍රෙඩී සිල්වානෙ?

ෆ්‍රෙඩී ඔය සිංදුව හොරකම් කළා. ඒක විතරක් නෙවෙයි බාර් බාර් බාර් ගීතයත් එහෙමයි.

* ඔබ දැන් කියාවි රාජ මාළිගේ ගීතය ලිව්වේ සිරිල් ඒ. සීලවිමල නෙවෙයි කියලත්?

හරියට හරි. මං ඔතනටයි එන්න හැදුවේ. ඒක ලිව්වේ ඇලන්සන් මෙන්ඩිස්.

* ෆ්‍රෙඩී සිල්වාගේ දුව කියනවා එය ලිව්වේ සීලවිමල කියලා. ෆ්‍රෙඩීගේ දෙවෙනි කසාදේ පුතු ප්‍රගීත් සඳහන් කළා එම ගීිතයේ පද රචකයා බැසිල් එම්. සිල්වා බවට. ඔබ කියනවා ඇලන්සන් මෙන්ඩිස්ලු. මොකක්ද මේ කතාවල තේරුම?

මේ අහන්න. සීලවිමල නෙවෙයි ඕක ලිව්වේ. බැසිල් ගීතයේ යම් යම් කොටස්වලට වචන දාලා තියෙනවා. නමුත් ඇලන්සන් තමයි එය සම්පූර්ණ කොට තිබෙන්නේ.

* හොඳයි එතකොට කවුද ඔබට ගීතයේ අයිතිය දුන්නේ?

ඇලන්සන්.

* ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්න?

අන්න ඒක තමයි ගැටලුව. මට ඇලන්සන් ලිඛිතව දුන් ලියමන නැති වෙලා. හැබැයි ඒකේ ෆොටෝ කොපි එකක් ඇලන්සන්ගේ පුතා ගාව තියෙනවා. මට ඒ ලියමන ලබා දෙන කොට මොහාන් සමරනායක මහත්තයා ළඟ හිටියා. ඒ ජීවමාන සාක්ෂි ටික විතරයි තියෙන්නේ.

* ඔබ මේ ගීතය ෆ්‍රෙඩීට කලින් පටිගත කළේ නැත්තේ ඇයි?

මං දුප්පත් පොඩි මිනිහෙක්නෙ. මට ඒ කලේ සල්ලි තිබුණේ නැහැ. ඒකයි එය තැටිගත කරන්න ලැබුණේ නැත්තේ.

* නමුත් මිට වසර දහයකට පමණ කලින් ඔබ එය පටිගත කළා?

ඔව්.

* ඇයි එය ගුවන් විදුලි නාළිකාවන්හි ප්‍රචාරණය නොවුණේ?

මං ලබා දුන්නා. ගීතය කවුරුවත් ප්ලේ කළේ නැහැ.

* ඒ වුණාට රෙඩ් ගැයුවට පසු නම් ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවන්වල එය පට්ට ගහනවා නේද?

ඒ රෙඩ්ගේ වාසනාව. ඔහුගේ පින් මහිමයට ගීතය ජනප්‍රිය වුණා.

* එහෙම වෙච්ච එක හොඳද?

මොකෝ නැත්තේ. කොච්චර හොඳද. ෆ්‍රෙඩී සිල්වා ගැයුවත් එය මෙච්චර ජනප්‍රිය වුණේ නැහැ. සතුටුයි ඉතින් එහෙම හරි ගීතය මිනිස්සු අතරට ගියාට.

* ඔබ වසර ගණනක් ගැයුවත් රාජ මාළිගේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ? ඒත් රෙඩ් ගැයුවට පස්සේ රෙඩ් එක්කම එය අතිශය ජනප්‍රිය වුණා. රෙඩ් මුදල් පවා හම්බ කර ගත්තා. නමුත් ඔබ තවමත් එතනමයි?

රෙඩ්ගේ පිනට මං ඉරිසියා කරලා වැඩක් නැහැ. ඔහුට තවත් දිරිය දෙන්න ඕනෑ. මර්සලින් ජයකොඩි පියතුම මට මුණ ගැසුණු දවසක කියලා තියෙනවා කැලෑවල පිපුණ මල්වල අයිතිය කුරුල්ලන්ට කියලා.

* ඒ කියන්නේ ඔබ රෙඩ්ට ගීතය ගයන්න ඉඩ දීලා නිහඬව ඉන්නවා?

ඔව්. එහෙම ඉන්නවා හැර මං වෙන මොනවා කරන්නද?

* ඇයි නීතිය කියලා දෙයක් තියෙන්නේ?

හපොයි, මට ආයෙත් නඩු හබවලට පැටලෙන්න බැහැ.

* රෙඩ් නම් කියන්නේ රාජ මාළිගේ ගීතය එයාගේ සීයගෙලු?

මොන පට්ටපල් බොරුවක් ද ඒක. එහෙම නම් එයාගේ සීයා මං වෙන්න ඕනෑ. එයා නම් තනිකර බොරු කියලා තියෙන්නේ.

* ඔබ ඒ ගැන රෙඩ්ට කිව්වේ නැතිද?

මං මොකටද ඕවා කියන්නේ. දන්න අය ඇත්ත දන්නවා.

* ඔබ බොහොම අසාධාරණකම්වලට ලක් වූ අයකු බව පේනවා?

ඒක හරි. මේකත් එවැනි වැඩක් තමයි. කොහොම නමුත් මට අහිමි වෙච්ච ඒවා එක්ක බලන කොට මේක ඉතා සුළු දෙයක්.

* ඔබගේ ගීත තැටිගත කළොත් නරකද?

අදහස හොඳයි. ඉදිරියේදී ඒ ගැන හිතලා බලනවා.