වර්ෂ 2015 ක්වූ ජූනි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සදහටම සමුගත් රේඛාවේ තෙවැනි ඇස විලී බ්ලේක්

සදහටම සමුගත් රේඛාවේ තෙවැනි ඇස විලී බ්ලේක්

එම්. ඩී. මහින්දපාල විසිනි

ශ්‍රී ලාංකේය සිනමා වංශ කථාවේ අතිශයින් වැදගත් කඩඉමක් සනිටුහන් කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' චිත්‍රපටය සඳහා කේන්ද්‍රීය දායකත්වයක් ලබා දුන් හෙළ සිනමාවේ තවත් පුරෝගාමී චරිතයක් අපෙන් සදහටම සමුගත් පුවත පසුගියදා අසන්නට ලැබිණ. ඔහු මෙරට සිනමා ඡායාරූප ශිල්ප භාවිතයේ විප්ලවීය වෙනසක් ඇති කළ විලියම් බ්ලේක්ය. විලියම් ඇලෙක්සැන්ඩර් බ්ලේක්ය.

40 දශකයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි සමයේ පටන් ඡායාරූප ශිල්පයටත්, සිනමාකරණයටත් ඇල්මක් දැක් වූ බ්ලේක් වැඩි උද්යෝගයෙන් කටයුතු කළේ වනජීවී ඡායාරූපකරණ ක්ෂේත්‍රයේයි. ඉතා සීමිත සම්පත් සහිතව වුව ද තරුණ බ්ලේක් මෙකී කටයුත්තට අවතීර්ණ වූයේ මෙරට ස්වභාවික සෞන්දර්යට මෙන්ම වනගත ජීවිතය කෙරෙහි ද ඔහු තුළ වූ දැඩි ඇල්ම නිසාවෙනි. වරක් තම යහළුවකුගෙන් ඉල්ලා ගත් මි. මී. 16 චලන කැමරාවක් ද අතැතිව, තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ බෝට්ටුවක නැඟී මහියංගනයේ සිට ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟ ඔස්සේ තමා තමන් කළ අයුරු ඔහු විස්තර කළේය. එකල සිටි තවත් අති දක්ෂ වනජීවී නිශ්චල ඡායාරූප ශිල්පියෙකු වූ එරික් ශෝන් මෙකී ගමනේදී ඔහුගේ ප්‍රධානතම සගයා විය. මෙකී සංචාරයේදී බ්ලේක් විසින් රූගත කරන ලද ස්වභාවික දර්ශන ඇතුළත් පටල පට එකල රජයේ චිත්‍රපට අංශයට කැමරා ශිල්පීන් බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් සමත්වීමට ඔහුට උපකාර වූ බැව් වරක් බ්ලේක් අප හා පැවසීය.

එවකට රජයේ චිත්‍රපට අංශය බාර වූ විදේශීය උපදේශකයින් යටතේ සිනමා ඡායාරූප ශිල්පය පිළිබඳව වැඩිදුරටත් කරුණු කාරණා හැදෑරීමට ඔහුට එමඟින් අවකාශ සැලසිණ.

තමාගේ ජීවිතයේ අතිශයින් වැදගත් සිදුවීම, එකල වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස රජයේ චිත්‍රපට අංශයට එකතු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මුණ ගැසීම බව ඔහු අවධාරණය කළේය. ලෙස්ටර් එකල රජයේ චිත්‍රපට ආයතනයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිතානා්‍ය ජාතික රැල්ෆ් කීන්ගේ සහායකයා විය. කීන්ගේ චිත්‍රපටවල සිනමා ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ වින්සන්ට් පෙරේරාගේ සහාය කැමරා ශිල්පියා වූයේ බ්ලේක්ය.

බ්ලේක් හා ලෙස්ටර් ගේ මිතුරුදම ඇරැඹියේ මෙම වකවානුවේදීයි. වාර්තා චිත්‍රපට තැනීම අතහැර වෘත්තාන්ත සිනමාවට එක්වීමේ අභිලාශයෙන් ලෙස්ටර් රජයේ චිත්‍රපට ආයතනයෙන් ඉවත්වීමට තීරණය කළේ මෙකී අවධියේදීයි. 'රේඛාව' චිත්‍රපටයේ සිනමා ඡායාරූප ශිල්පියා ලෙස තමා මුලින් තෝරාගෙන සිටියේ වින්සන්ට් පෙරේරා වුව ද, ඔහු රජයේ රැකියාව අතහැර පැමිණීමට අකැමැති වූ බැවින් ලෙස්්ටර්ගේ දෙවැනි තෝරා ගැනීම වූයේ බ්ලේක්ය. ඒ වන විට බ්ලේක්ගේ දක්ෂතා මැනවින් වටහාගෙන සිටීම මෙකී තීරණය ගැනීමට ලෙස්ටර් පෙළඹ වූ ප්‍රධානතම සාධකය විය.

'රේඛාව' නිර්මාණය කිරීම සඳහා ලෙස්ටර්, ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් ත්‍රිත්වය, රජයේ සේවයට ආයුබෝවන් කීම බොහෝ දෙනා අසා ඇති හෙළ සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වූයේ එයාකාරයෙනි.

එකල රැකියාවක් වශයෙන් රජයේ සේවයේ කටයුතු කිරීම, පෞද්ගලික අංශයේ සේවය කිරීමට වඩා බෙහෙවින්ම ආරක්ෂාකාරී විය. එහෙත් එකී අවදානමට මුහුණදීමට මෙකී තරුණ පිරිස ගත් තීරණය මෙරට සිනමාවේ අතිශයින් වැදගත් සිදුවීමකි.

'රේඛාව' චිත්‍රපටය මුළුමනින්ම පාහේ රූගත කෙරුණේ එළිමහනේ ස්වාභාවික පසුතලයන්හිදීයි. රජයේ චිත්‍රපට ආයතනයේ කැමරා ශිල්පියෙකු ලෙස එළිමහනේ රූගත කිරීම සඳහා මනා පුහුණුවක් හා නිපුනතාවයක් බ්ලේක් සතුවීම ලෙස්ටර්ගේ ව්‍යායාමය සාර්ථක කරලීය.

ලෙස්ටර්, ටයිටස් හා බ්ලේක් ඇතුළු කණ්ඩායම රේඛාව රූගත කිරීම සඳහා මාස 3 කට ආසන්න කාලයක් වයඹ පළෘතේ ගිරිඋල්ල ප්‍රදේශයට ආසන්න කුඩා ගම්මානයකට ඇතුළු වූහ.

චිත්‍රපටය මුළුමනින්ම පාහේ එළිමහනේ රූගත කිරීමට ලෙස්ටර් තීරණය කළේ එයට පෙර රැල්ෆ් කීන් හා සමඟ චිත්‍රපට කිහිපයකටම සම්බන්ධවීමෙන් ලැබූ අත්දැකීම් නිසාවෙනි. මේ අතර රැල්ෆ් කීන් නිර්මාණය කළ 'නෙළුම් ගම' නම් වූ වාර්තා චිිත්‍රපටය ප්‍රධාන තැනක් ගනී. 'නෙළුම් ගම' එළිමහනේ කළ චිත්‍රපටයක් පමණක් නොව, එහි කිසියම් කථාවක් හා චරිත කිහිපයක් ද විය. එකී චරිත රඟදක්වනු ලැබූයේ වෘත්තීය නළු නිළියන් විසින් නොවේ. 'නෙළුම් ගමේ' හී ප්‍රධාන චරිතයක් රඟපෑවේ එකල රජයේ චිත්‍රපට අංශයේ කනිෂ්ඨ සේවකයකු වූ සීඩින් සිංඤෝ මහතායි.

සාමාන්‍යයෙන් මෙකල සිංහල චිත්‍රපට රූගත වූයේ චිත්‍රාගාර තුළයි. ඒ වන විට මෙරට චිත්‍රාගාර පහසුකම් බහුල නොවූ බැවින්, බොහෝ චිත්‍රපට රූගත කිරීම සඳහා දකුණු ඉන්දියානු චිත්‍රාගාර කරා යාමට සිදු විය. රූගත කරද්දීම දෙබස් පටිගත කිරිමක් සිදු නොවීය. එබැවින් ඒවාට පසුව දෙබස් කැවීම සිදු විය. මෙයට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින්, රූගත කිරීම මෙන්ම දෙබස් පටිගත කිරීම ද එක විට සිදු කිරීම රජයේ චිත්‍රපට ආයතනයේදී භාවිත වූ ක්‍රමවේදයයි. මෙකී ශිල්ප ක්‍රමවේදය ප්‍රගුණ කොට තිබූ ලෙස්ටර් ඇතුළු කණ්ඩායම 'රේඛාව' රූගත කිරීම සඳහා පිටව ගියේ එකදු කෘත්‍රිම ලාම්පුවක් හෝ රහිතවයි. අනෙක් අතින් අද මෙන් එකල විදුලි ජනක යන්ත්‍ර වැනි උපකරණ ද කිසිවක් නොවීය. විදුලි ලාම්පු අයත් වූයේ චිත්‍රගාරවලටයි. තමනට කිසිදු කෘත්‍රිම ලාම්පුවක් ලබාදීම එකල චිත්‍රාගාර විසින් ප්‍රතික්ෂේප කරන ලද බව බ්ලේක් වරක් පැවසීය. මේ හේතුව නිසා ගෙවල් ඇතුළත දර්ශන රූගත කිරීම ගැටලුකාරී විය. ඇතැම් විට පොල් අතු සෙවිලි කළ ගෙවල්වල වහලය පවා ගලවා දමා ඒ වෙනුවට සුදු රෙදි අතුරා ආලෝකය ලබා ගැනීමෙන් ඇතුළත රූගත කිරීම් සිදු විය.

'රේඛාව' චිත්‍රපටයේ එන එක් ජවනිකාවකදී අඳභාවයට පත් වූ දැරිවිය පරීක්ෂා කිරීමට ගමේ වෙද මහතකු නිවසට පැමිණේ. නිවස තුළ රූගත කිරීමට ප්‍රමාණවත් ආලෝක තත්ත්වයක් නොමැතිවීම නිසා එකී දර්ශනය වෙනස් කිරීමට තමා තීරණය කළ බව වරක් ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවැසීය. එහිදී ඔහු කළේ වෙද මහතාගේ මුවට දෙබස් ඛණ්ඩයක් දීමයි.

'ආ ගනින්කෝ ඔය කෙල්ලව එළියට. ගේ ඇතුළේ එච්චර එළියක් නැහැනේ' යැයි වෙද මහතා කීවේ ඒ අනුවයි.

මුළුමනින්ම මෙරට ස්වාභාවික එළිමහන් පසුතලවල රූගත කළ 'රේඛාව' ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකික සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් විය. ලෙස්ටර් ඇතුළු කණ්ඩායමේ මෙකී උත්සාහය එකළ සිනමා ක්ෂේත්‍රයේ සිටි බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් විය. චිත්‍රපටයක් සම්පූර්ණයෙන්ම එළිමහනේ රූගත කළ හැකි යැයි කිසිවෙකු විශ්වාස නොකළහ. ඇත්තෙන්ම චිත්‍රපටය රූගත කරන සමයේ චිත්‍රපට කණ්ඩායමේ සියලු දෙනා ගමේම මිනිසුන් ලෙස ජීවත් වූ බැව් ද කියවේ. චිත්‍රපටය සඳහා අලුත්වැඩියා කරනු ලැබූ ඇරිෆ්ලෙක්ස් කැමරාවක් හා එහි හඬ නිකුත් නොවන සේ සකස් කළ ආවරණයක් ද (Blimp) මිලට ගැනීමට සිදු වූ බැව් කියැවේ.

සිනමාකරණය නම් වූ විෂයය පිළිබඳ හැදෑරීමට කිසිදු ආයතනයක් මෙරට නොතිබුණ ද, රජයේ චිත්‍රපට ආයතනයේදී දෙස් විදෙස් ශිල්පීන් ඇසුරේ ලත් අත්දැකීම්, බටහිර චිත්‍රපට නැරැඹීම හා පත පොත ඇසුරු කිරීම හරහා මෙකී විෂයය හැදෑරීමට ඔවුහු උත්සාහ කළහ.

මුල් යුගයේදී රජයේ චිත්‍රපට ආයතනයේ උපදේශකයින් ලෙස සේවය කළ ඉතාලියානු ජාතිකයින් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින්ද විසින් එකී ආයතනයේ ස්ථාපිත කොට තිබූ වාර්තා චිත්‍රපට සම්ප්‍රදායය, කිසියම් ආකාරයකින් ඉතාලියානු නව තාත්විකවාදී ලකුණු මෙන්ම බ්‍රිතාන්‍ය සම්භාව්‍ය වාර්තා චිත්‍රපටකරණයේ ද සංකලනයක් විය. ලෙස්ටර්, බ්ලේක් ඇතුළු පිරිස විසින් 'රේඛාව' චිත්‍රපටය තුළට මෙන්ම ඉන් පසු නිපද වූ 'ගම්පෙරළිය' වැනි චිත්‍රපට තුළට ද ඇතුළු කළේ එකී සම්ප්‍රදායයන්ගේ ආභාසය විය හැකියි. එකල මෙරටදී රූගත කළ 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' නම් වූ බටහිර චිත්‍රපටය රූගත කිරීමට පැමිණි සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන් 'රේඛාව' රූගත කිරීම් නැරැඹීමට පැමිණීමෙන් පසුව බ්ලේක් එකී චිත්‍රපටයේ ඇතැම් ජවනිකා සඳහා අතිරේක කැමරා ශිල්පියෙකු ලෙස තෝරා ගැනීමත් සුවිශේෂී සිදුවීමක් සේ සැලකිය හැකියි. පසු කලෙක තමා රුගත කළ 'සංදේශය' චිත්‍රපටයේදී එකී අත්දැකීම් අතිශයින් ප්‍රයෝජනවත් වූ බව ඔහු වරක් කියා සිටියේය.

'රේඛාව' මුළුමනින්ම එළිමහනේ රූගත කළ ද ඉන් පසු ලෙස්ටර්, බ්ලේක් සුසංයෝජනයෙන් නිර්මාණය වූ 'සංදේශය' ඇතුළත දර්ශන බහුලව යොදාගත් චිත්‍රපටයක් විය. 'සංදේශය' හි දර්ශන බහුතරයක් ලාම්පු භාවිත කොට ආලෝකකරණය කිරීමට සිදු විය. මෙහිදී තමාට සහාය වූයේ මෙකල බොම්බායේ කැමරාකරණය පිළිබඳ පුහුණුවක් ලබා පැමිණි සුමිත්ත අමරසිංහයි. සුමිත්ත, එකළ රජයේ චිත්‍රපට ආයතනයේ සේවය සඳහා එක් වී සිටි තරුණ කැමරා ශිල්පියෙකි. මෙරට චිත්‍රාගාර නිෂ්පාදනයක් වූ බැවින් 'සංදේශය' සඳහා ආලෝකකරණ උපකරණ ලබා ගැනීමේ ගැටලුවක් ද ඇති නොවීය. එහෙත් ඉන් පසු ලෙස්ටර්, බ්ලේක් එක්ව නිර්මාණය කළ 'ගම්පෙරළිය' සඳහා එකදු හෝ චිත්‍රාගාර ලාම්පුවක් ලබා ගැනීම දුෂ්කර විය.

'ගම්පෙරළිය' සඳහා තෝරා ගත් බලපිටිය මහකප්පින වලව්ව තුළ කෙරුණු රූගත කිරීම් සඳහා තමන්ට සොයා ගත හැකි වුයේ එකම එක කිලෝවොට් 2 ක චිත්‍රාගාර ලාම්පුවක් පමණක් බැව් බ්ලේක් වරක් ප්‍රකාශ කළේය.

රජයේ චිත්‍රපට ආයතනයේදී පුවෘත්ති හා වාර්තා චිත්‍රපට රූගත කිරීමේ දී භාවිත කළ Photo Floods ලාම්පු කිහිපයක් මෙහිදී තමා යොදාගත් බැව් ඔහු කීවේය. Photo Floods බල්බ හතරක් හෝ හයක් බැගින් සවි කළ ලී රඳවන කිහිපයක් තනාගත් ඔහු ඒවා යොදා ගනිමින් 'ගම්පෙරළිය' රූගත කළේය. මෙකල භාවිතයට පැමිණි තරමක් වැඩි සංවේදිතාවයකින් යුත් Kodak Double ය පටලපටය ඔවුනට මහත් වූ අස්වැසිල්ලක් විය. 'ගම්පෙරළිය' චිත්‍රපටයේ සිනමා ඡායාරූපකරණය එතෙක් මෙරට චිත්‍රපටයක නොදුටු නවමු ලක්ෂණ පිළිබිඹු කළ ශෛලියක් බැව් පැහැදිලිය. විශේෂයෙන්ම ඇතුළත හා පිටත වස්තූන් එකම රූප රාමුවේ ඇතුළත් දර්ශන රූගත කිරීමේදී වෙනස් කිසිදු චිත්‍රපටයක නොදුටු අන්දමේ රූපමාලාවක් ගොඩ නැඟීමට බ්ලේක් සමත් විය.

මින් අනතුරුව ලෙස්ටර්, බ්ලේක් සුසංයෝජනය ඇසුරේ බිහි වූ චිත්‍රපට රැසකි. ඒ අතර 'දෙලොවක් අතර', 'යුගාන්තය', 'බැද්දේගම' The God King 'ලොකු දුව' (සුමිත්‍රා පීරිස්) වැනි චිත්‍රපට ද වේ.

දොලොවක් අතර චිත්‍රපටයේ එන රාත්‍රී ජවනිකාවක නිස්සංක හා චිත්‍රා හිරිපොද වැටෙද්දී වාහනයක ගමන් ගන්නා ජවනිකාවේ එන එක් රූප රමුවක් තවමත් මා මතකයේ රැඳී ඇත.

වින්ඩ්ස්ක්‍රීනය හරහා ජල බිඳු ඇද හැලේ. පසුබිමින් 'ගයන ගැයුම්' ගීතයේ අනුවාදනය ඇසේ. වීදුරුව හරහා පෙනෙන බොඳ වූ ආලෝක ධාරා සලිත වේ.

එය නම් සිනමා ඡායාරූපකරණය හරහා නිර්මාණය වූ අපූර්වතම අවස්ථාවක් යැයි මට සිතේ.

තමා රූගත කළ සෑම චිත්‍රපටයක් හරහාම මෙරට සිනමා ඡායාරූපකරණය තුළ කිසියම් අපූර්වතම රූප භාවිතයන් හඳුන්වා දීමට ඔහුට හැකි විය. මුල් යුගයේ මෙරට චිත්‍රපට තුළ දැකිය හැකි වූ දකුණු ඉන්දීය ඡායාරූපමය ගුණාංග මඟහරවා ගනිමින් කිසියම් අපූර්වතම රූප මාලාවක් ගොඩනැඟීම ඔහු විසින් ඉටු කළ පුරෝගාමී මෙහෙවරක් සේ සැලකිය හැකියි.

පසු කලෙක 'වනරජා' නමින් වූ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බ්ලේක්, දයානන්ද ගුණවර්ධනගේ 'බක්මහ දීගේ' නම් වූ ප්‍රථම ශ්‍රී ලාංකේය සංගීතාත්මක (Musical) චිත්‍රපටය රූගත කළේය. හෙතෙම තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ 'වනසරණ' ටෙලි වෘතාන්තයේ ද කැමරා ශිල්පියායි. දිගු කලක් කැනඩාවේ සිය දියණියන් ද සමඟ ජීවත් වුවද ඉඳහිට මෙරටට පැමිණෙන ඔහු කාටත් හොරා වනගත වන බව දැන සිටියේ සිය හිත මිත්‍ර ලෙස්ටර් ඇතුළු ස්වල්ප දෙනෙකු පමණි. මෙරට පරිසරයට හා ස්වාභාවික සෞන්දර්යයට ඔහු තුළ වූ ඇල්ම කිසි දිනෙක අඩු නොවීය.

සිංහල සිනමාවට ඔහු විසින් ඉටු කළ යුග මෙහෙවර වෙනුවෙන් 2002 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන ස්වර්ණ සිංහ සම්මානය ඔහු වෙත පිරිනමනු ලැබීය.

'ලෙස්ටර් වැනි අධ්‍යක්ෂවරයෙකු මට හමු නොවී නම්, 60 දශකය එළඹීමට ද ප්‍රථම මා මෙරට හැරදමා විදේශගත වීමට පෙළඹෙනු නොඅනුමානය. ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී කනගාටුවීමට හෝ පසුතැවීමට හෝ කිසිවක් මට නැත. සිනමාවේ රුඳී සිටීමෙන් මා බොහෝ දෙනා දැන හඳුනා ගත් අතර සිනමා කැමරා ශිල්පියෙකු ලෙස ගත කළ ජීවිතයෙන් මම උපරිම තෘප්තියක් ලැබුවෙමි. මගේ ජීවිතය නැවත ආරම්භ කළ හැකි නම් එවරත් එය ආරම්භ විය යුත්තේ සිනමාවෙන්ම බැව් මම සිතමි'.
 

විලී බ්ලේක්

(2002 වසරේදී විලියම් බ්ලේක් සමඟ මේ ලියුම්කරු කළ සංවාදයක් ඇසුරෙන් සකස් විය)