වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙනිසන් කුරේ ආයෙත් අධ්‍යක්ෂණයක එයා තමයි මෙයා

ටෙනිසන් කුරේ ආයෙත් අධ්‍යක්ෂණයක එයා තමයි මෙයා

හරිත වර්ණ තුරුපෙළ සිනාසෙන්නේ උදෑසන හිරුගේ රශ්මියෙන් තුටුවන්නා සේය. හිරුත් සමඟම අවදි වූ රොමා පාර දිගේ ඇවිද යන්නේ නවාතැන් ගන්නට තැනක් සොයමිනි. ප්‍රධාන පාරෙන් ගුරු පාරක් දිගේ ඇවිද ගිය ඔහු නිවෙස් කිහිපයකටම පිවිසිය ද කිසිම මෙහෙකාරකමක් නොලැබුණේ මන්දැයි සිතන්නට විය. හේ තව දුරක් ඇවිද ගියේ සිතේ උපන්න ශෝකය සඟවමිනි.

අත් කපන ලැබූ බැනියමක් ඇඳ කොට කලිසමකින් සැරැසී සිටි මේ තරුණයා සිය උත්සාහය අත්හැරීයේ නැත. ඉදිරියට ඇවිද ගිය ඔහු එක් නිවෙසක් අසල නතර වූයේ බලාපොරොත්තු රැසක් හදවත රදවමිනි. ඔහු කිහිපවිටක්ම ගේට්ටුවට තට්ටු කළේ ය. ගේට්ටුව අසලට පැමිණියේ මැදිවියේ පසුවන කාන්තාවකි. ඔසරියකින් සැරැසී උන් ඇය ගේට්ටුව අසල උන් තරුණයා දෙස බැලුවේ පුදුමයෙනි. ඇය අසලම සිටියේ මැදිවියේ පුරුෂයෙකි. ඔහු එක්වරම කාන්තාව දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් මුවඟට නඟාගෙන ය. ඒහෙත් ඒ ඇසිල්ලේම දෙදෙනාගේම නෙත් නතර වූයේ තරුණයා අසලය. ඇය ගේට්ටුව ඇරියේ විගසිනි.

“ අනේ මහත්තයා මෙහේවත් ගෙදර වැඩට කවුරුවත් ගන්නේ නැද්ද ? ”

තරුණයාගේ බැගෑපත් බව මේ දෙමහල්ලන්ගේ සිත සංවේදී කරන්නට සමත් විය.

“ ඔය ළමයට වැඩක් පළක් කරන්න පුළුවන්ද ? ”

ගෙහිමි කාන්තාව යැයි සිතිය හැකි ඇය තරුණයාගෙන් විමසුවාය.

“ අනේ ඔව් ඕනම වැඩක් කරන්න මට පුළුවන්. ”

තරුණයා පැවසුවේ යටහත් පහත්ව ය.

“ එහෙනම් එමු. ”

ඔවුන් දෙදෙනාට පිටු පසින් ගමන් ආරම්භ කළ රොමාගේ නෙත ඇදී ගියේ අවට පරිසරය දෙසට ය. සුන්දර ලෙස සැකසුණු පරිසරය කාගේ වුවද සිත් ඇද ගනියි. එකම මට්ටමට කපා ඔප දමන ලද ගෙමිදුලේ තණ බිස්ස මත පා තබා ඇවිදින්නට සිතෙයි. ඒ අදහස සෙමෙන් යටපත් කරගත් හේ පියැගැටපෙළ ඇවිද ගියේ බොහොම සෙමිනි. පියගැටපෙළ අවසන් වන්නේ තවත් මිදුලකට ය. එහි එක්යායක් සරසන බෝගන්විලා මල්වල පැහැය නිවෙසට රැගෙන එන්නේ අමුතුම සුන්දරත්වයකි. තවත් පසෙක පිහිටා ඇති ඔන්චිල්ලාව ලතාවකට මෙන් සෙමෙන් පැද්දෙයි. යන ගමන නවතා ඔහු සුන්දර ගෙමිදුල දෙස බලා සිටියේය.

මද දුරක් ගිය හාමිනේ හා ආපසු හැරී බැලුවේ නිවෙසට පැමිණි අමුත්තා ඔවුන් පසුපස පැමිණෙන්නේ ද යන අදහසෙනි. ඔහු නැවතී බලා සිටින අයුරු ඔවුන් දුටුවේ එවිට ය. කකුලේ කොරයත්, අතේ ඇති සොත්තියත් නොවන්නේ නම් ඔහු අපූරු තරුණයෙකි.

“ රොමා........”

හාමිනේගේ ස්වරය රොමාගේ දැහැන බිඳ දැමීමට සමත් විය. ඔහු හාමිනේත්, ඇගේ සැමියා දෙසත් බැලුවේ සිනහ මුසු මුහුණෙනි.

“ මේ අයවත් මාව වැඩට ගන්න කැමැති වුණ එකම මදි ද ? ”

රොමා තමාටම කොඳුරා ගත්තේ ය. මධ්‍යම පන්තිකයන් වූ ඔවුන් හිත හොඳ මිනිසුන් වන්නට ඇතැයි සිතූ හේ නිශ්ශබ්දවම මේ දෙදෙනා පසුපස ගමන් කරන්නට විය.

“රොමාට අර කාමරේ අද ඉඳලා නවතින්න පුළුවන්. ”

හාමිනේගේ ස්වරය කරුණාබර ය. හාමිනේගේ සැමියා පැමිණ දොර හැර දුන්නෙන් රොමා කාමරයට පිවිසියේ එහි වූ නැවුම් සුවඳ විඳීමිනි. කාමරයේ කිසිම අපිරිසුදු බවක් පෙනෙන්නට නොවේ. සියල්ල පිළිවෙළට තබා ඇත. ඔහු ඇඳේ වාඩි වූයේ එහි වූ රෝස පැහැති කොට්ටඋරය දැමූ කොට්ටය අතට ගනිමිනි. ඒ කොට්ටය නැහැයට අල්ලා බැලූ ඔහු එහි වූ සුවඳ විඳ ගත්තේ සන්තෝෂයෙනි. යහනට දමා ඇති කොළ පැහැති රෙද්ද අලුත්ම අලුත් ය. එක් පැත්තක තබා ඇති අල්මාරියත්, මේසයත්, පුටුවත් කාමරයට රැගෙන ආවේ පිරුණු බවකි.

“ මම හිතුවටත් වඩා කොයිතම් අපූරු නවාතැනක් ද ? ”

කිසිවකුත් නොමැති වගදත් රොමා තමාට සිතු සේ කතාබහ කළේ තනිවම ය. එක්වරම ඇසුණේ රථයක් නතර කරන හඬකි.

“ අම්මා......... අම්මා........ ”

යුවතියකගේ ස්වරයකි. ඇය කතා කරන්නේ සිය මවටය. මේ දෙපළට දියණියක් ද සිටින වග දැන් ඔහුට සක් සුදක් සේ පැහැදිලි ය. ඇය කුමන විලාසයක එකියක් වනු ඇත්දැයි රොමාට සිතුණේ ඉබේම ය. නිවෙසේ අයිතිකරුවන් යහපත් වුවද මැය කරදරකාරියක වුවහොත් මෙහි රැකියාව කර හමාරය.

ඉමේෂා අද වේලාසනම පැමිණියේ පසුගිය දින කිහිපයේම එක දිගට වැඩ කිරීම නිසා ඇති වී තිබෙන තෙහෙට්ටුව මදක් මඟ හරවා ගැනීමට අවශ්‍ය හෙයිනි. ඊට හොඳම ඔසුව හැම තිස්සේම තමා ප්‍රිය කරන ඔන්චිල්ලාවට වී මදක් කාලය ගත කිරීම ය.

සිය ඇඳුම උනාදමා තමාට කවදත් සැහැල්ලු ඇඳුම වූ ගවුමකින් සැරසුණු ඇය ගෙවත්තේ ඇවිද්දේ ලතාවකට ය. නිල් තණ පලස නිසා දෙපාවලට දැනෙන්නේ සුවදායක බවකි. ඒ සුවදායක හැඟීමෙන් මඬන ලද සිත වරෙක ඇයට ගෙනාවේ සැනසීමකි.

එහෙත් හිටිවනම ඒ සැනසීම ශෝකයක් බවට පත් වන්නේ සැනෙකිනි. වරින්වර මුසුප්පු වන සිත ඉමේෂාට ගෙන දෙන්නේ මහත් කදරයකි. එහෙත් ඉන් ඈත්විය හැකි මඟක් ඇයට නොපෙනෙයි. ඔහුට මෙතරම් තමා ආදරය කළේ දැයි ඇයට තවමත් පුදුම ය. ඒ ආදරය තමා රවටා යනතුරුම නොදැනෙන්නට තරම් ආදරයෙන් අන්ධව සිටියා නොවේ දැයි සිහිපත් වනවිට ඇයගේ නෙතඟට නැගෙන්නේ කඳුළකි.

“ මම මොකට ද ඒ වගේ කෙනෙක් නිසා අඬන්නේ ”

ඉමේෂා නෙතේ නැඟුණු කඳුළු පිටි අල්ලෙන් පිසදා ගත්තේ වටපිට බලමිනි. මන්ද ඇගේ මව හෝ පියා දුටුවහොත් වන්නේ කරදරයකි. ඕ ඔන්චිල්ලාවේ වාඩි වූවා නොව ඉබේම ඉන්ද වුණා ය. එහි ඉඳගෙන පැද්දෙන ගමන් ඇගේ නෙත ගැටුණේ පේර ගසයි. පේර ගස ගෙඩිවලින් පිරී පවතියි. ඒ අසල තණ පලස මත වාඩි වී සිටින්නේ තරුණයෙකි. අන් තරුණයන්ට වඩා වෙනස් වූ මොහු කොණ්ඩය වවා ඇත.

“ දැන් ඉතිං ජුලියට තනියම වැඩවලට කරදර වෙන්න ඕන නැහැ. රොමාත් ඉන්න නිසා ටිකක් විවේකයක් ලැබෙන්නේ නැතැයි. ”

සැනෙන් ඇගේ මතකයට පැමිණියේ අම්මාගේ වදනයි. මේ අලුතෙන් වැඩට පැමිණි රොමා වන්නට ඇත. පෙනුමෙන් නම් අහිංසකයකුගේ විලාසයක් ගෙන ඇත. එහෙත් කිසිවකුත් අද විශ්වාස කරන්නට නොහැකිය. අලුත් වැඩකාරයා ගැන විමසිල්ලෙන් සිටීමට සිදුවෙයි.

“රොමා .......... ”

ඉමේෂා උස් හඬින් කතා කළා ය. බයාදු ලෙස ඇය දෙස බැලූ ඔහු පිම්මේ දුවගෙන ආවේ

“ ඇයි පුංචි නෝනා..... ” යැයි පවසමිනි.

“ මට අර ගහෙන් පේර ගෙඩියක් කඩලා දියන්. ”

ඇය අණ කළාය. ඔහු කරමින් සිටිය වැඩකටයුත්ත නවත්වා පේර කැඩීමට දුව ගියේ ඉක්මනිනි.

ඉමේෂාට මේ අලුත් වැඩකාරයා පිළිබඳ උපන්නේ අනුකම්පාවකි. ඔහු තමාට පැවරෙන කුමන තරමේ වගකීමක් වුවද කිරීමට සැරසෙන්නේ ‘බැහැ’ නොකියමිනි. ඇයව රැකියාවට රැගෙන යෑමේ වගකීම ඔහුට බාරකාර අලුත්ම කටයුත්ත විය. අතක් සොත්ති වුවද ඔහුට රථය මනා ලෙස හැසිරවීමට හැකිබව ඔප්පුකර පෙන්වූයේ ය.

රෝමා මැදිව සිටියේ උභතෝකෝටික ප්‍රශ්නයකට ය. පුංචි නෝනා තමාට ආදරය කරන්නට පෙලඹී සිටියි. දඟකාර ඇය තමාට සිතුණ දෙයක් කරන්නේ කිසිවකුගේත් ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව ය. මේ බව හාමිනේ දන්නේ නම් කුමකින් කුමක් වේද? එහෙත් එකම සිතුවිල්ලේ සිටින්නටද රොමාට නොහැකිය. තමාගේ සිත ද මේ දඟකාරිය වෙත ඇදෙන්නේ තමන්ටත් හොරා ය.

ඉමේෂා දුව වෙනදා මෙන් නොව දැන් සිටින්නේ සතුටෙනි. එහෙත් මෙලෙස එක්වරම ඇය සතුටු වීමට හේතු වූ කාරණය කුමක් දැයි හාමිනේ සිටියේ දැඩි විමසිල්ලෙනි. රොමාත් සමඟ දුවගේ තියෙන පයුරු පාසානම කුමක්දැයි දින ගණනක්ම ඇය කල්පනා කළාය. “ ඔවුන් දෙදෙනාම පෙම්වතුන්ද?” ඒ සිතුවිල්ල හාමිනේගේ සිත ගිනි අවුළන සුළු විය. මෙය ඇසිය හැක්කේ රොමාගෙනි. දිනක් හාමිනේ රොමා සොයා ගියේ එය ස්ථිරකර දැන ගැනීමට ය.

“ රොමා උඹගෙයි අපේ දුගෙයි තියෙන හිතවත්කම මොන වගේ එකක්ද ? ඇත්ත කියපන්. ” හාමිනේ ඇසුවේ තර්ජනාත්මක ස්වරයෙනි.

“ ලොකු නෝනා ඒක ඇත්තක්. මම මේ සම්බන්ධය පටන් ගත්තේ පුංචි නෝනාගෙන් බේරෙන්න බැරිම නිසයි . ඒ වුණත් මම පුංචි නෝනට බොහොම ආදරෙයි.”

“ ආ...... උඹ නෑදෑකම් ඇති කරගන්නත් හිතුවද? වහාම මෙහෙන් පලයන්. ” ඇය කිව්වේ රොමාට කිසිවක් කියන්නට ඉඩ නොතබාය.

රොමාගේත්, ඉමේෂාගේත් ආදර කතාවට කුමක් වේවිද? මේ පිළිබඳ දැන ගැනීමට නම් ටෙනිසන් කුරේ අධ්‍යක්ෂණය කරන, රාජ් රණසිංහ නිෂ්පාදනය කරන ‘එයා තමයි මෙයා ’ හෝම් චිත්‍රපටය නරඹන්න. රාජ් රණසිංහ වසර තිස් අටකට පමණ පසු හෝම් චිත්‍රපට නිෂ්පාදනය කරන්නට යොමුවී ඇත්තේ චිත්‍රපට ක්ෂේත්‍රයේ තියෙන අර්බුදය නිසාත්, එමෙන්ම ශාලාවේ චිත්‍රපටයක් නැරැඹීමට දිග කාලපරාසයක් බලාගෙන සිටීමට සිනමා රසිකයන්ට සිදුවීමත් යන කාරණා පෙරදැරිව ය.

අධ්‍යක්ෂණය - ටෙනිසන් කුරේ

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

සහය අධ්‍යක්ෂණය - ගයාන් මහගලගේ

කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන්

වේශ නිරූපණය - සනෙර දිනේෂ්

සංස්කරණය - භාතිය දුනුසිංහ

නිෂ්පාදන කළමනාකරණය - යූ. ඩබ්. ප්‍රේමරත්න

සංගීතය - සෝමපාල රත්නායක

සටන් අධ්‍යක්ෂණය - රවී චන්ද්‍රසිරි පන්නල

නළු නිළියෝ - ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ, අනුර බණ්ඩාර රාජගුරු, මානෙල් වානගුරු, කුසුම් පෙරේරා, මාර්ක් සැම්සන්, දමිතා සළුවඩන, ඉමේෂා දිසානායක, සිල්වියා හියුස්, ලක්මිණි කරුණාආරච්චි, ශ්‍රීමාලි රාමනායක, හෂිනි ප්‍රනාන්දු

නිෂ්පාදනය - රාජ් රණසිංහ