වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගෙන් වාර්තා නිර්මාණ පෙළක්

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගෙන් වාර්තා නිර්මාණ පෙළක්

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නිර්මාණය කළ 'සෙනෙහසින් ලංකාවේ' වාර්තා නිර්මාණ පෙළ ඔබ හමුවට පැමිණීමට සූදානම්ය. ශ්‍රී ලංකාව සතු සුන්දර දසුන්, සතුන්ගේ ක්‍රියකාරකම්, ආහාර පද්ධති, වාසස්ථාන, මිනිස් සහ සත්ව සංස්කෘතියේ ඉතා සියුම් සිද්ධි මේ වාර්තා නිර්මාණ සඳහා පාදක කරගෙන ඇත. මෙහි පළමුවැන්න සුන්දර සමනලයන්ගේ අපූර්ව ලෝකයයි. ශ්‍රී ලංකාව ඇතුළත සියලුම සමනල කලාප ආවරණය කරමින්, ඒ සියලුම සමනල වර්ගවල ඉංග්‍රීසි මෙන්ම සිංහල නම් ද සොයාගෙන ඇති අතර මේ නිර්මාණයේ ඒ සියල්ල ඇතුළත්ය.

'සෙනෙහසින් ලංකාවේ' වාර්තා නිර්මාණයේ අධ්‍යක්ෂණය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සිදු කරන ලද අතර පිටපත රචනා කර ඇත්තේ චම්මි ඉරේෂාය. සංස්කරණය ප්‍රියන්ත ගුරුගේ විසිනි. රඝු ක්‍රියේෂන්ස් ආයතනයේ නිෂ්පාදනයක් වන මෙහි පර්යේෂණ උපදෙස් පරිසර විද්‍යාඥ රජික ගමගේ ගෙනි. සම්බන්ධීකරණය සෝමසිරි ගමගේ ගෙනි.

අරකාවිල පදනමෙන් සංස්කෘතික කණ්ඩායමක්

අරකාවිල නර්තන හා නාට්‍ය පදනම ආරම්භ කිරීමට නියමිත දෙස් විදෙස් සංචාර සඳහා වන සංස්කෘතික කණ්ඩායමක් බඳවා ගැනීමට අවශ්‍ය සිසු - සිසුවියන් අයැදුම්පත් මේ දිනවල බාර ගැනේ. ඔබ වයස 20 - 30 අතර වයසේ පසුවන අයකු නම් එමෙන්ම බෙර වාදනය, නර්තනය, නිවේදනය යන අංශවලින් එකකට හෝ ඔබ දක්ෂතා දක්වන්නේ නම් විස්තර රැගත් අයැදුම්පතක් කළමනාකර අධ්‍යක්ෂ, අරකාවිල නර්තන හා නාට්‍ය පදනම, අරකාවිල, හඳපාන්ගොඩ යන ලිපිනයට එවිය හැකිය.

නැතිනම් 0771112944 හා 0112759721 යන දුරකථන අංකවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය. මේ කණ්ඩායමට සම්බන්ධ වන අයට තිස් දහසක පමණ මුදලක් ගෙවීමට ද නියමිතය.