වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සරත් රූපසිංහගේ මරණෙට හිටියේ මාලිනියි - ටෝනියි විතරයි

සරත් රූපසිංහගේ මරණෙට හිටියේ මාලිනියි - ටෝනියි විතරයි

බිරිය මානෙල් රූපසිංහ

හැත්තෑව අසූව දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය සටහන් කළ කාල පරිච්ඡේයක් විය. ජනප්‍රිය රැල්ලේ වාණිජ චිත්‍රපට රැසක් එවක බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූයේ සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී යමිනි. මෙවන් වකවානුවක චිත්‍රපට නිෂ්පාදනයට එක් වූ අයිය මලෝ දෙපලක් වූයේ සරත් රූපසිංහ හා නීල් රූපසිංහ සොහොයුරන්ය.

එදා මේ දෙපළ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බැබළ වූයේ ජනකාන්ත චිත්‍රපට රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරමිනි. හතර දෙනාම සූරයෝ, ලස්සන කෙල්ල, ආදරේ හිතෙනවා දැක්කම, යකඩයා, ආවා සොයා ආදරේ, දැන් මතකද, හොඳම වෙලාව, එදත් සූරයා අදත් සූරයා, හිත මිතුරා, සංඛපාලි ඒ අතරින් කීපයකි. එදා ජනප්‍රිය සිනමාවේ අංක එකේ චිත්‍රපට නිෂ්පාදකයකු වූ සරත් රූපසිංහ කලා දිවියෙන් සමුගෙන ඉකුත් විසි වෙනිදාට වසර පහක් සපිරිණි.

එදා ජනප්‍රිය සිනමාවේ කැපී පෙනුණු චිත්‍රපට නිෂ්පාදකයකු වූ සරත් රූපසිහගේ පවුලේ වත්මන් තොරතුරු සොයා ගෙන අපි පිය මැන්නේ එතුමන් පදිංචිව සිටි අංක 376, හැඳල පාර, වත්තල ලිපිනය සඳහන් නිවහන වෙතය. සරත් රූපසිංහයන්ගේ බිරිය මානෙල් රූපසිංහ මහත්මිය අපව පිළි ගත්තේ ඉතා ළෙන්ගතු සිනහවකින් යුතුවය. මේ කතාබහ එතුමිය සමඟය.

* සරත් රූපසිංහ ජීවන රඟමඬලෙන් සමුගෙන පස් වසරක් ගෙවී ගිහින්?

ඉකුත් විසි වෙනිදාට වසර පහක් සපිරුණා. මට නම් එයාව නැති වුණේ අද ඊයේ වගේ. මේ වසර පහ පුරාවට මම එයා වෙනුවෙන් කළේ පින් දහම් වැඩ.

* මෙවර මොන වගේ පින්කමක් ද සංවිධානය කළේ?

එයා නැති වුණු මැයි විසි වෙනිදා ගෙදරට සංඝයා වහන්සේලා වැඩම කරවා වරු පිරිතක් කියෙව්වා. සංඝයා වහන්සේලා දහ නමකට සාංඝික දානයක් පිරිනැමුවා. හැඳල පන්සලේ තමයි මේ ගමන දානය සූදානම් කළේ.

* සරත් රූපසිංහයන් වෙනුවෙන් මෙවැනි පින්කමක් හැරෙන්න වෙන යම් ආකාරයේ කටයුතුත් සිද්ධ කරනවාද?

හැම වසරකම මොන ආකාරයේ පිංකමකට සහභාගි වුණත් මම එයා වෙනුවෙන් සිහිපත් කරලා පින්දහම් කටයුතු සිද්ධ කරනවා. අපේ පවුලේ වගේම නෑදෑ පවුල්වලත් කෙරෙන පින්කම්වලදී එයාව සිහිපත් කරනවා. මේ කොයි පින්කමටත් අපේ පවුල්වල කවුරුත් එකතු වීම සුවිශේෂ දෙයක්.

* වයසට නොයන සිනමාවක් අපට උරුම කළ චිත්‍රපට නිෂ්පාදකයකු වු ඔබේ ස්වාමියා පිළිබඳ අනුස්මරණීය උළෙලක් පිළිබඳ ඔබේ අදහසක් නැද්ද?

මහත්තයා නිෂ්පාදනය කළ චිත්‍රපටවත් අද අපි ළඟ නැහැ. එහෙම තිබුණා නම් අඩුම තරමේ එයාගේ ගුණානුුස්මරණය සිහිපත් කරලා චිත්‍රපට උළෙලක් පවත්වන්නත් තිබුණා.

* චිත්‍රපට නිෂ්පාදනයෙන් සිංහල සිනමාවේ අත්පොත් තැබූ ඔබේ ස්වාමියා අවසන් වරට අධ්‍යක්ෂණයටත් පිවිසුණා?

එදත් සූරයා අදත් සූරයා තමයි එයාගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය. ඊට පස්සේ හොඳම වෙලාව, ආවා සොයා ආදරේ, හිත මිතුරා, සංඛපාලි. සංඛපාලි එයාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වගේම එයාගේ මුල්ම වර්ණ චිත්‍රපට නිෂ්පාදනයත් වුණා. ඇන්ටන් ග්‍රෙගරි සමඟ සම අධ්‍යක්ෂණයෙන් තමයි සරත් චිත්‍රපට අධ්‍යක්ෂණයට මුල පිරුවේ.

* ඔබ හිතන්නේ සරත් චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹවීම කොයි ආකාරයෙන් සිද්ධ වුණා කියලද?

කුඩා කාලෙයේ පටන් එයා තුළ සිනමාවට ඇල්මක් තිබුණා. එයාගේ වත්තල තිබුණ සමුද්‍රා සිනමා ශාලාවේ තිරගත වුණු අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ දින පනහක් පිරීම නිමිත්තෙන් ගෙදර පාටියක් තිබුණා. ඒ පාටියේදී තමයි එයාට චිත්‍රපට නිෂ්පාදනය ගැන අදහසක් ඇති වෙලා තියෙන්නේ. සරත්ගේ මල්ලී නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ, දැන් මතකද චිත්‍රපට තිරගත වීම තුළ එයාට තව තවත් මේ චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහි ඇල්මක් දැඩිව ඇති කළා. කොහොමත් එයාගේ සමීපතම මිතුරෙක් වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ඇසුර, ඔහුගේ පෙළඹවීමත් සරත්ව සිනමාව කෙරෙහි දැඩි බැඳීමක් එක් කළා කියලා මම විශ්වාස කරනවා.

* මම හිතන්නේ ඔබත් සරත්ගේ සිනමා නිෂ්පාදනයන්හි කොටස්කාරියක් වුණා?

ඔව්. මම බොහොම ආශාවෙන් තමයි එයාගෙ චිත්‍රපටවල ඇඳුම් නිර්මාණය කළේ. කොණ්ඩ මෝස්තර එක් කළේ. එයා කරපු චිත්‍රපටවල කොස්ටියුම් පැත්ත හැඩ කළේ මම. ඇඳුම් මහන්න මම චිත්‍රපටවලට රෙදි ගෙනාවේ සිංගප්පූරුවෙන්. එයා කරපු සංඛපාලි ඇරෙන්න අනික් චිත්‍රපට සියල්ල කළු සුදු. මම කළ ඇඳුම් නිර්මාණ, විලාසිතා, කොණ්ඩා මෝස්තරවල විචිත්‍රවත් බව දකින්න තිබුණේ වර්ණ චිත්‍රපට වුණා නම්. මම සරත්ගේ මල්ලි නීල් රූපසිංහගේ චිත්‍රපටවලත් ඇඳුම් නිර්මාණ, කොණ්ඩා මෝස්තර කළා. එක සැරයක් මම නීල්ගේ ලස්සන කෙල්ල චිත්‍රපටයේ ෂූටින් කළ ත්‍රිකුණාමලයට ගිහින් ගීතා කුමාරසිංහට හෙයා ස්ටයිල් එකක් දැම්මා මට අද වගේ මතකයි.

* එදා චිත්‍රපට නිෂ්පාදනයට සරත්ට මුදල් යෙදවීමට ආදායම් මාර්ග වූයේ?

එයාගේ වත්තල සමුද්‍රා හෝල් එක, ගුවන් යානා ටිකට්, බතික් ආයතන යන මේවා තමයි එයගේ මූලික ව්‍යාපාර වුණේ.

* එදා නිෂ්පාදනය කළ චිත්‍රපට සියල්ලෙන්ම ලාභ ලැබුවාද?

ඔව්. පාඩු වුණේ නැහැ. ලාභ ආවා. කොහොමත් මහත්තයාගේ පොඩි වැඩ නැහැ. එදා එයාගේ චිත්‍රපටයක ප්‍රිමියර් එක හරියට මඟුල් ගෙයක් වගේ. පොඩි ලෙවල් එකේ වැඩ එයාගේ කොහෙත්ම තිබුණේ නැහැ.

* එදා නළු නිළියන්ගෙන් පිරී ගිය නිවහනක් වුණා නේද, ඔබ පදිංචි මේ නිවස?

කියලත් අහනවා. නළුවො නිළියෝ මෙහෙ හැමදාම. ඒ අය වෙනුවෙන් මම කරපු සංග්‍රහ කටයුතු, මේව මතක් වෙනකොට මට අද පුදුමයි. සමහර නළු නිළියෝ මාත් එක්කත් හරිම එකතුයි මමත් චිත්‍රපටවල වැඩ කරන නිසා.

* සරත් රූපසිංහ එදා වෙස්සන්තර වගේ කියලත් කලාකරුවන් අතර රාවයක් තිබුණා නේද?

එයා මහා පුදුම මිනිහෙක්. කවුරු හරි මුදල් ඉල්ලගෙන ආවොත් බෑ නොකියා දීලා දානවා. එයාගෙන් අත මාරු අරගන්න ආපු නළුවෝ නම් ඉහේ කෙස් ගාණටත් ඇති. මටත් හොරෙන් හෙමින් අරගෙන මාරු වෙලා ගිය අයත් ඔය අතර ඕනෑ තරම්. හැබැයි කවදාවත් මට කලාකාරයෝ ගැන වචනයකින්වත් වරදක් කියලා නැහැ.

* සරත්ගේ වියදම් කිරීම්වලට සීමා තිබුණේ නැහැ?

සීමාවක් අහලකවත් නැහැ. මම තමයි මගේ උත්සාහයෙන් මේ ගෙවල් දොරවල් වුණත් හදා ගත්තේ. එයා රුපියල් පන්සීයක් දෙන්න ඕනෑ තැනට දාහක් දුන්නා. නළුවගේ ගාණ පනස් දාහ නම් එයා ලක්ෂයක් දුන්නා.

* ඩී. කීරගලආරච්චි නොමියන මිනිසුන් චිත්‍රපටයේ තිර පිටපත ලිව්වේ සරත් රූපසිංහට කියන්නේ ඇත්තද?

ඔව්. ඒක අපි සතුව තිබුණු තිර පිටපතක්. ගාමිණී ෆොන්සේකා මහතාගේ ඉල්ලීමකට තිබුණ හිතවත්කමට තමයි බර්නාඩ් ගුණසේකර මහතාට අපි මේ පිටපත දෙන්නේ.

* සරත් හදිසියේ ජීවිතයෙන් සමු ගන්නේ?

අවුරුදු හැට නමයෙදි තමයි එයා නැති වුණේ. අපි දෙන්නා 1964 දී විවාහ වුණා. අවුරුදු පහළොවේදී තමයි එයා මට විවාහ යෝජනාවක් ගෙනාවේ.

* ආවා සොයා ආදරේ චිත්‍රපටය දින දහනමයකින් සම්පූර්ණ කොට වාර්තාවකුත් තැබූ චිත්‍රපටයක් නේද?

ප්‍රදර්ශනය අතිනුත් අති සාර්ථක චිත්‍රපටයක් ලෙස අපේ නිෂ්පාදිත චිත්‍රපට ගොන්න ඉදිරියෙන් හිටියා.

* අද මේ නිෂ්පාදිත චිත්‍රපට කෝ?

ඒ කාලෙම මහත්තයා ඒවා විකුණලා දැම්මා. සංඛපාලි චිත්‍රපටය අපි ළඟ තිබුණා. ඒකත් විනාශ වෙලා ගියා. එදා සංඛපාලි ප්‍රින්ට් කළේ හොංකොංවල ලැබ් එකක.

* නිෂ්පාපදනය කළ හැම චිත්‍රපටයක්ම සාර්ථක ලෙස ප්‍රදර්ශනය වන්නට එදා හේතු වුණේ මොන වගේ කාරණාද?

ලෙනින් මොරායස් තමයි එදා මහත්තයාගේ බොහෝ චිත්‍රපටවල අධ්‍යක්ෂක, කැමරා අධ්‍යක්ෂක වුණේ. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ වගේ එදා තිරයේ දැවැන්තයෝ කවුරුත් අපේ චිත්‍රපටවල රඟපෑවා. ඒ කාලේ කොහොමත් චිත්‍රපට නළු නිළියන්ට පුදුම ආකර්ෂණයක් තිබුණු යුගයක්.

* මීට වසර පහකට ඉහත 2010 මැයි 20 වැනි දින සිහිපත් කළොත්?

කියන්න කනගාටුයි. මහත්තයාගෙන් හැදුණු වැඩුණු ණය තුරුස් ඉල්ල ගත්තු එයාගේ චිත්‍රපටවල රඟපාපු නළු නිළියන්ගෙන් මහත්තයාගේ අවමඟුලට සහභාගි වුණේ මාලිනී ෆොන්සේකාත්, ටෝනි රණසිංහ මහත්තයාත් විතරයි. කීප දෙනෙක් අවමඟුල් කටයුතු ඉවර වෙලා සති කීපයක් ගියහම ඇවිත් ගියා. එච්චරයි. එදා මහත්තයාගේ මරණෙන් පස්සේ අපේ ගෙදරට ආව ගියේ අපේ දුක සැප බෙදා ගන්න ආව ගියේ රටේ සාමාන්‍ය මිනිස්සුත්, දේශපාලඥයොත් විතරයි. නළු නිළියෝ කලා ක්ෂේත්‍රයේ උදවිය හරිම අඩුයි.

* අදටත් ස්වාමියා නැතැයි කියා ඔබට කලා ක්ෂේත්‍රයේ උදවියගෙන් පිළිගැනීමක් නැද්ද?

සමහරු නම් අදටත් කොහේදි හරි හමු වුණොත් කතාබහ කරනවා. ඒ ඇරෙන්න එදා මහත්තයා හිටිය කාලේ වගේ සුහදත්වයක් නම් අප අතර නැහැ.

* දැන් දරුවෝ එහෙම කොහොමද?

ලොකු දුව වෛජයන්ති හිරෝමි කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. දෙවැනි දුව උර්සුලා ශලිනි. එංගලන්තයේ පදිංචි වෙලා ඉන්නේ. පුතා උදේ සංඛ රූපසිංහ මාත් එක්ක මේ රටේ පදිංචි වෙලා ඉන්නවා.

* පවුලේ දරුවෝ කවුරුවත් තාත්තාගේ ව්‍යාපාර ඉදිරියට කරන්න හිතුවේ නැද්ද?

කොහෙත්ම නැහැ. පුතාත්, දුවල දෙන්නත් දැන් විවාහකයි. පුතා නම් ව්‍යාපාර වගයක් කරගෙන යනවා. කලාවට සම්බන්ධ නැති එයා හැඳල පෙරහැරේ බස්්නායක නිලමෙටත් දැන් මීට වසර කීපයක පටන් සහභාගි වෙනවා.

* අතීත මතක සැමවරුම් අතර ඔබ අද හුදකලා වෙලාද?

සරත් අද ජීවතුන් අතර හිටියා නම් මේ අපි දෙන්නා ගෙවා දමන විවාහ ජීවිතයේ පනස් වෙනි අවුරුද්ද. එයා කවදාවත් කාගෙවත් ශ්‍රමය අඩු මුදලට සූර ගත්තේ නැහැ. නළු නිළියන්ට වුණත් ඉස්තරම් විදියට මුදල් ගෙව්වා. අනිත් අයටත් එහෙමයි.

කාටවත් ඒ පැත්තෙන් මහත්තයාට දොස් කියන්න බැහැ. ඒත් මට කනගාටු සිනමා ක්ෂේත්‍රයේ උන්නතියට මෙතරම් සේවාවක් කළ මගේ මහත්තයා ගැන අද කවුරුවත් කතා නොකරන එක. එදා අපේ මහත්තයා වගේ නිෂ්පාදකයෝ සිංහල සිනමාවට නාවා නම්, අපේ සිනමාවට අත්වන ඉරණම කොයි වගේ වෙයිද කියලත් මට වෙලාවකට හිතෙනවා.