වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ ලිට්ල් ස්ටාර් හිමාෂ මනුපි‍්‍රයගේ සොඳුරු මියැසි අසපුවට යමු

දෙරණ ලිට්ල් ස්ටාර් හිමාෂ මනුපි‍්‍රයගේ සොඳුරු මියැසි අසපුවට යමු

සත්සර පවුලක සුන්දර වතගොත

අප තලාහේන ආසිරි පෙදෙසට ළඟා වූවා පමණි. එක දෙක වැටුණු වැහි බිංදු සිරිපොද වැස්සක සිරිය ගත්තේ ඉබේටම ය. සීරුවට ලතාවකට වහින වැහිපොද දෙසම බලාගෙන සිටි මට ඒ වහින වැස්සේ අපූරු රටාවක් මැවී පෙනිණි. අප පැමිණීමට නියමිත නිවෙස අසල රථය නතර නතර කළේ ඒත් සමඟම ය. ඒ කල්පනාවෙන් මිදුණු මම රථයෙන් බැස්සේ නිවෙස දෙසම බලගෙන ය. ඒ කුඩාකල දෙරණ ලිටිල් ස්ටාර් තරගයෙන් රටේම රසිකයන්ගේ හදවත බැඳගත් හිමාෂ මනුපි‍්‍රය පුතු දකින්නට ය.ඉදිරිපස උන්නේ හිමාෂගේ මව නයනි පෙරේරාය.

“දැන් ඉතිං වහින කාළේ”

වැස්සේ නිවෙසට ඇතුළු වන අප හා ඇය කතාබහ කළේ ළඟන්නා සුළු අයුරෙන් පිළි ගනිමිනි. සාලයේ උන්නේ හිමාෂගේ පියාණන් වන ජයන්ත දිසානායක ය. ජනපි‍්‍රය සැක්සෆෝන් වාදකයා ය. ඔහු අත වූයේ සිය දරුවෙක්ට තරම් ආදර කරන සැක්සෆෝනයයි.

අද ප්‍රසංගයක් වගෙයි.”

නිහඬව සිටීම නොකළ යුක්තක් බැවින් මම ඇසීමි.

“ ඔව්. අද ප්‍රසංගයක්. ඉගැන්වීම්වලට අමතරව ප්‍රසංගවලින් අඩුවක් ඇත්තේ නැහැ.”

ඔහු පවසන්නේ හිමාෂට සාලයට පැමිණෙන්නැයි කතා කරන අතරතුර ය. මේ අතර කාමරයෙන් එබී බැලුවේ හිමාෂ ය. එකල කුඩා දරුවෙකු වූ හිමාෂ මෙකල නම් වැඩුණු දරුවෙකි. ඔහු උස ගොස් ය. සිහින් සිරුරකට හිමිකම් කී පුතු තරමක් තර වී ඇත.

හිමාෂ පුතා ඉක්මනටම උස ගිහින්. අඳුන ගන්නත් බැරි තරම්.”

“ එකපාරටම පුතාව දැක්කොත් කිසිම කෙනෙකුට අඳුන ගන්න බැහැ. ඒ මොකද පුංචි කාලයේ එයාට තිබෙන පෙනුම ටිකක් වෙනස් වෙලා. ඒත් බොහෝ අය ටිකක් වෙලා ගියාට පස්සේ නම් පුතාව අඳුන ගන්නවා. එහෙම නැත්නම් පුතාව අඳුන ගන්න අනෙක් කාරණය වෙන්නේ පුතාගේ තාත්තා. ”

හිමාෂගේ අම්මා පිළිතුරු බැන්දා ය. නාලන්දා විද්‍යාලයට පාසල යන පුංචි හිමාෂ ඉගෙන ගන්නේ හත්වැනි ශ්‍රේණියේ ය.

“මේ දවස්වල වැඩිපුරම කරන්නේ මොනවද ?”

“ පාසල් කටයුතුවලට මුල්තැන දීලා සංගීත කටයුතුවලත් නියැළිලා ඉන්නවා. ආරධනා ලැබුණම ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. හැම කටයුත්තකටම මගේ ළඟින්ම ඉන්නේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නාගෙන් ලැබෙන සහයෝගය මට හරියට වටිනවා.”

තරමක් නිහඬව සිටිය හිමාෂ පුතා කතාව ආරම්භ කළේ එසේ කියමිනි.

“ ප්‍රසංගවලට වැඩිපුරම සහභාගි වෙන්නේ සති අන්තයේ දවස්වල තමයි. ඒ සතියේ දවස්වල ඒවාට සහභාගි වුණොත් පුතාට පාසල් යන්න කරදර නිසා. නැත්නම් නිවාඩු කාලයේදි නම් ප්‍රසංගවලට සහභාගි වෙනවා. පවුලේ අපි සියලුදෙනාම එකතුවෙලා ප්‍රසංගයක් කරනවා. මේ වනවිට ඒ වගේ ප්‍රසංග කිහිපයක්ම විදේශ රටවල පවත්වලා තියෙනවා. ඉදිරියේදි පුතාගේ ගීත කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. පුතා ගී ගැයූ ‘කාල’ කියන චිත්‍රපටය ඉදිරි කාලයේ දි තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපටයේ සංගීතය කළේ දර්ශන රුවන් දිසානායකයි.”

ජයන්ත හිමාෂගේ සිත වැඩිපුරම යොමුකර ඇත්තේ අධ්‍යාපනය දෙසට ය. මේ දවස්වල ඔහු විභාගයකටත් සූදානම් වූයේ කඩිනමින් ය.

“ මොකක්ද ඒ විභාගය ? විභාගයට උදව් කළේ කවුද?”

“ මම පියානෝ පන්ති යනවනේ. ඒකේ තිබුණු ග්‍රේට් 1 විභාගයටයි මුහුණ දුන්නේ. ප්‍රායෝගික පරීක්ෂණයට නම් තව කාලයක් තියෙනවා. සංගීත කටයුතුවලට අම්මාගෙන්, තාත්ගෙන් උදව් ලැබුණත් මම පියානෝ පන්ති යන්නේ වෙනත් ටීචර් කෙනෙකුගෙන්. විභාගයට මාව සූදානම් කළේ අම්මා තමයි. ”

කුඩාකල කටකාර හිමාෂ වෙනුවට අහිංසක හිමාෂ කෙනෙක් අප අසල ලැඟුම් ගත් සෙයකි. ඔහුගේ කතාව අපට ඇසෙන නෑසෙන තරම් ය.

“මෙහෙම හිටියට හිමාෂගේ දඟ වැඩ නම් බොහොම ඇති ”

“ වෙනදා තරම් දඟ නොතිබුණත් හිමාෂ ටිකක් විතර තරහ ගන්නවා. අයියාගෙයි, මල්ලිගෙයි රණ්ඩු ගොඩයි. ඒකට අපි හොඳ බෙහෙතක් අරන් තියලා තියෙනවා. රණ්ඩු කරන විටම අපි පෙන්නන්නේ ඒක තමයි. වේවැලට ටිකක් හිමාෂ බයයි. එහෙත් ගොඩක් තරහ ගියොත් හිමාෂ කරන්නේ වේවැල හෙමිහිට කඩලා දමන එකයි. ඒකට අපි කරන්නේ ගමේ යන විට වේවැල්දෙණියෙන් වේවැල් කිහිපයක්ම මිලදී ගන්න එකයි.”

නයනි කතාවට ගෙදර හැමෝටම සිනා ගියේ නිතැතිනි. හිමාෂගේ මුවඟේ වූ සිනහව කිව්වේ ඒ කතාව සැබෑවක් බවයි.

“ලොකු වෙලා හිමාෂ කවුරු වෙන්නද කැමැති?”

“හොඳට සංගීතය ඉගෙන ගෙන ලෝකයම දන්න සංගීතඥයෙක් වෙන්නයි මම කැමැති. ”

රටක් දන්න හිමාෂ පුතුගේ අනාගත පැතුම මා සමඟ කියා පෑවේ ය. මේ චූටි පුතුගේ අනාගත පැතුම ඉටු කරන්නට මෙන් හේ කුඩාකල පටන්ම ඊට පුරුදු පුහුණු වෙයි. මේ වනවිට හිමාෂට ගී ගයන්නට අමතරව ගිටාර් එක, කී බෝඩ් එක, පියානෝ එක වාදනය කළ හැකිය. ඔහුගේ අයියා තනුර මධුගීත් ද සංගීතයට පි‍්‍රය දරුවෙකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන තනුර තබ්ලාවට පෙම් බැන්ද හපනෙකි.

“සංගීතයටම ප්‍රිය සියලුදෙනාම බොහෝ කාර්යබහුල ජීවිතයක් ද ගත කරන්නේ?”

“ ඇත්තටම ඔව්. මම උගන් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ. ජයන්ත නාලන්දා විද්‍යාලයේ. ඔහු උගැන්වීමට අමතරව ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් සමඟ සිටින නිසා බොහොම කාර්යබහුල කෙනෙක් වෙලා. මේ නිසා පාසල් ගිහින් ආවට පස්සේ නිවෙසේ සියලුම වැඩ කරන්නේ මම තමයි. අස්පස් කරන කටයුතුවලදි ඉඳලා උයන කටයුතු කරන්නෙත් මගේ අත් දෙකෙන්. ඒ අතර මට පොල් ටිකක් ගාලා දෙන්න හිමාෂ අමතක කරන්නේ නැහැ.

චූටි පුතා වැඩිපුරම කන්න කැමැති ෆයිඩ් රයිස්. දැන් එයා මහත නිසා ඒ වගේ කෑම පාලනය කරලයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදර උයන්නේ ජයන්ත කෑම කන මෙනු එකටයි. මේ දෙන්නා පුංචි වුණත් ඒ කෑමවලට හුරුවෙන්නත් ඕන නේ. එහෙම වුණත් කොළ වර්ග කන්න හිමාෂ කැමැතිම නැහැ. මම බලෙන්ම වගේ තමයි මේ දෙන්නාට කොළ කවන්නේ. ඒත් හිමාෂ කොළ බැඳලා කන්න කැමැතියි.”

හිමාෂ වැඩි කැමැත්තක් දක්වන්නේ රතු පැහැයට නිසා තමන්ගේ ඇඳුම් පැලඳුම් තෝරා ගන්නේද ඒ අනුවය. රතු පැහැති ටී - ෂර්ට් එකටත්, ඩෙනිමත් ඔහුගේ පි‍්‍රයතම ඇඳුම් අතර වෙයි.

“විවේකය ගත කරන්න කැමැති කොහෙද?”

“ සතිවේ දවස්වල නම් ඉඳලා හිටලා විවේකයක් ලැබුණාම ම කරන්නේ කාටුන් බලන එකයි. කාටුන්වලට මම වඩාත් කැමැතියි. නැත්නම් මිලේනියම් පාක් එකට යන්නත් මම කැමැතියි. ඒ වගේම අපේ ගමේ යන්නත් බොහොම ආසයි. ”

කෑගල්ල ප්‍රදේශයේ පිහිටි හිමාෂගේ ගමට යන්නට පවුලේ සියල්ලන්ම කැමැතිය. අනිවාර්යයෙන්ම නිවාඩුවට ගමට යන හිමාෂ පුතු ඇළේ දොළේ පිහිනන්නට පි‍්‍රය කරයි.

“ගමේ නෑදෑයන් ඉන්න නිසා ඒ අයත් එක්ක එකතු වෙලා කි‍්‍රකට් සෙල්ලම් කරන්න හිමාෂ බොහොම රුසියා. ඇළට දොළට කැමැති වුණත් පුතාව අපි පීනන්න වැඩිය යවන්නේ නැහැ. ස්වීමින් ක්ලාස් යනවා වුණත් එයාට තවම වතුර හරියටම හුරු නැහැ.”

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතන ජයන්තගේ ඒ වදනෙන් පැවසෙන්නේ පුත්තු දෙදෙනාට තිබෙන ආදරයයි.

“රූපවාහානි වැඩසටහන්වලට පෙනී සිටින්නෙ නැද්ද?”

“ සී.එස්.එන් එකේ කෙරෙන ‘පුංචි කුක්’ කියන වැඩසටහන පුතා දොන් ෂර්මන් එක්ක මෙහෙයනවා. ආරාධනා ලැබෙන වැඩසටහන්වලට සහභාගි වෙනවා. ඊට අමතරව දැන්වීම්වලට ආරාධනා ලැබෙනවා. ලොකු පොඩි කා අතරත් ජනපි‍්‍රය ඇස්ට‍්‍රා දැන්වීමේ ගීතය ගයන්නේ හිමාෂ තමයි.”

නයනිගේ ස්වරය ගලා යයි. ඒ අතර ඇසෙන්නේ හිමාෂගේ ස්වරයයි.

“දඩි බිඩි දඩි බිඩි දඩි බිඩි දඩි බිඩි
දඩි බිඩි ගාලා ලොකු වෙන්න
චුට්ටෙක් චුට්ටෙක් චුට්ටෙක් ඉන්නේ
දඩි බිඩි ගාලා ලොකු වෙන්න”

මීළඟට හිමාෂ ආදරය කරන මයිකල් ජැක්සන්ගේ නර්තනයකි. ඒ නර්තනය අවසානයේ මම මෙසේ විමසුවෙමි.

“පුතාට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවද?”

“ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ කිසිම එකකට යන්න බැරි වුණේ අධ්‍යාපන කටයුතු නිසා. ඒත් ප්‍රධාන චරිතයක් නම් තවමත් ලැබිලා නැහැ. පුතා බොහොම කැමැත්තෙන් ඉන්නේ රඟපාන්න. ”

අම්මාගේ කතාව අවසානයේ හිමාෂ පුතු ඇගේ ඔඩොක්කුවට පනින්නේ රහසක් කියන්නටය. අනතුරුව පියානෝව අසල නතර වන ඔහු පියානෝව වාදනය කරන්නේ කන්කළු ස්වරයක් අප සවනත රදවමිනි.

‘හිමාෂ පුතේ ඔබට පැහැබර හෙට දිනයකට අපේ සුබ පැතුම් !’

සමු ගන්නට මත්තෙන් අපි ඔහුට එසේ සුබ පැතුවෙමු.