|
අර්ජුන්ගෙන් පිළිතුරු
ප්‍රශ්නය - සුරංගනී, සුභද්‍රා, දස්කම වැනි චිත්‍රපටවල රඟපෑ දිස්නා රංජනී දැන් කෝ? පී. ඒ. ජයන්ත - මුල්ලේරියාව නව නගරය අර්ජුන් -ඇය ඉන්පසු රඟපෑවේ නැහැ. ඇය ගැන තොරතුරක් දන්නා අයෙක් සිටී නම් සරසවියට දන්වන්න. ප්‍රශ්නය - දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ නවකතා කොපමණ ගණනක් චිත්‍රපටවලට නඟා ඇද්ද? එච්. ඉන්ද්‍රපාල - මුංහේන අර්ජුන් - චිත්‍රපට තුනයි. ජීවන කඳුළු, රන්මිණිමුතු, හිතවතිය. ප්‍රශ්නය - කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා කවුරුද? තිලකරත්න විල්වල - කෑගල්ල අර්ජුන් - නාරායන අයියර්. ප්‍රශ්නය - ආර්. මුත්තුසාමි මහතා ප්‍රථම වරට සංගීතය සැපයූ චිත්‍රපටය කුමක්ද? විජයානන්ද පොඩි නිළමේ - නුගේගොඩ අර්ජුන් - රම්‍යලතා. ප්‍රශ්නය - සිනමාවට ජීවය දුන් නිළි රැජන මාලිනී ෆොන්සේකාට පසුගිය වසරේ උපහාර උළෙලක් පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත් වුණේ ඇයි? අතුල රම්‍යසිරි - පානදුර අර්ජුන් - අනේ ඒකට වෙච්ච දේ අපි නම් මුකුත්ම දන්නේ නැහැ. ප්‍රශ්නය - හින්දි සිනමාවේත් දමිල සිනමාවේත් මුල්ම චිත්‍රපට ඔවුන් සංරක්ෂණය කර ඇතැයි මා සිතනවා. නමුත් අපේ සිංහල සිනමාවේ මුල්ම චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ නිසියාකාරව පිටපතක්වත් නැති බව මා විශ්වාස කරනවා? සරත් රණසිංහ - කපුගොඩ, මාළිඳ අර්ජුන් - ඉන්දියාවෙත් මුල්ම හින්දි කතානාද චිත්‍රපටයේ පිටපත් ඉතුරු වෙලා නැහැ. අපේ කඩවුණු පොරොන්දුවේ කෑලි හරි තිබෙනවා.
ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 |