වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




විලාසිතා වලින් හැඩවූ ලොව ප්‍රකට කාන් චිත්‍රපට උළෙල

විලාසිතා වලින් හැඩවූ ලොව ප්‍රකට කාන් චිත්‍රපට උළෙල

යුරෝපයේ සුන්දරතම සිනමා උළෙල ලෙසින් ප්‍රකට විශිෂ්ටතම සිනමා නිර්මාණය වෙනුවෙන් පැල්මාදෝ සම්මානය පිරිනැමෙන කාන්ස් චිත්‍රපට උළෙල පසුගියදා උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණා. හොලිවුඩ් තරු මෙන්ම බොලිවුඩ් තරුද බැබළුනු මේ අපූරු සිනමා උළෙලේ විචිත්‍රත්වය විවිධ විලාසිතාවන්ගෙන්ද ඔපවත් වුණා.

කාන් චිත්‍රපට උළෙල ඇත්තටම එක්තරා ආකාරයක මැජික් එකක් වගේ. මෙවර උළෙල බොහෝ සෙයින් වෙනස් වන්නේ එය පවත්වන්නට යෙදුනු ස්ථානයේද සුන්දරත්වය සමඟයි. නිල් පැහැති වෙරළ තීරය වගේම අහසේ රන්වන් පැහැය විශාල රතු පලස මත ඇදෙන තාරකාවන්ට ගෙන ආවේ අමුතුම අලංකාරයක්.

කෑන්ස් චිත්‍රපට උළෙලේ 68 වැන්න ඉකුත් මැයි මැයි 13 වැනිදා ආරම්භ වූ අතර එය මේ මස 24 වැනිදා දක්වා පවත්වන්න නියමිතය. ප්‍රංශයේ කාන්ස් නුවර සුන්දර පසුබිමක පවත්වත්නට යෙෙදුණු මෙවර උළෙල ඉතාම සුවිශේෂ වූ උළෙලක්. එහිදී කාන්තාවන් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම කැමරාව ඉදිරිපස වගේම කැමරාව පසුපස විශේෂ වූ කාන්තා දායකත්වය පිළිබඳව මෙවර කාන් උළෙලේ අවධානය යොමු වෙලා.

ඒ නිසාම 68 වැනි කෑන්ස් සිනමා උළෙලේ සමාරම්භය සනිටුහන් කෙරුණේ ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂිකා එමානුවෙල් බර්ෂොට් අධ්‍යක්ෂණය කළ Standing Tall (ස්ටෑන්ඩින්ග් ටෝල්) චිත්‍රපටය යි. එහි විශේෂත්වය වන්නේ මෙවර කාන්තාවක විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් ආරම්භක චිත්‍රපටය වන්නේ වසර විසිඅටකට පසුව වීමයි. එසේම එය අධ්‍යක්ෂවරියකගේ චිත්‍රපටයකින් ආරම්භ කළ දෙවන අවස්ථාවද වේ. එසේම මෙවර සිනමා උළෙලේ දැන්වීම් පත්‍රිකාව හැඩ වූයේ ස්වීඩන් ජාතික රංගන ශිල්පිනී ඉන්ග්‍රීස් බර්ග්මාන්ගේ රුවිනි. එම සුවිශේෂ ඡායාරූපය පෝලන්න ජාතික කැමරා ශිල්පී ඩේවිඩ් සොම්යෝරි විසින් ගන්නා ලද්දකි.

ප්‍රංශය ඇතුළුව තායිවානය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, හන්ගේරියාව, චීනය, ජපානය, නෝර්වේ, ඩෙන්මාර්කය සහ මෙක්සිකෝව වැනි රටවල් මෙවර කාන් සිනමා උළෙල නියෝජනය කරයි. විලාසිතාවන් අතර නටාලි පෝට්මන්, ලුපිටා නයොන්ග්, ජේන් ෆොන්ඩ්, කේට් බ්ලාන්ෂේ, කැමිලා ඇලයින්, නයෝමි වොට්ස්, පොපී ඩෙලවින්ග්, සල්මා හයේක්, ඇමී ඇඩම්ස්, රොනී මාරා, එවා ලොන්ගෝරියා වැනි නිළියන්ගේ ඇඳුම් මෝස්තර කැපී පෙනුනා. ලබන 24 වැනිදා 68 වැනි කාන් චිත්‍රපට උළෙල  Ice and the Sky චිත්‍රපටයෙන් සමාප්තියට පත්වන්න නියමිතයි.