|
සල්ලි වියදම් කරලා නිකම් චිත්‍රපට හදලා වැඩක් නැහැ
සරසවිය සම්මාන දිනූ ගඟ අද්දර තැනූ නිෂ්පාදිකා පත්තිනි නිෂ්පාදිකා මිලිනා සුමතිපාල
ඇය ව්‍යාපාරික ලෝකයේ හිණිපෙත්තටම නැගි සාර්ථක කාන්තාවකි. විවිධ බාධක දුක් කම්කටලු මධ්‍යයේ ඒ සියල්ල මැඬ සාර්ථකත්වය කරා යාමේ ධෛර්යය ඈ හට උපතින්ම උරුම වූ දෙයක් බව පැහැදිලිය. ආදරණීය සැමියාගෙන් ලද ආදර්ශය, ආශිර්වාදය ඒ සියල්ලටම වඩා අගනේය. ඕ තෝමෝ දරුවන් සත් දෙනෙකුට මාතාවකි. ඔවුන්ගේද සාර්ථකත්වය දකිමින් ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නීය. එතකුදු ඇය විශ්‍රාම ගෙන නැත. සමාජ මෙහෙවර ජීවිතයේ වගකීමක් ගෙන සිටින්නීය. එපමණක් කොව ඇය කලා රසවතියකි. සිනමාව සමඟ කතාව බොහෝ පැරණිය. නවකතාව ඇය ප්‍රිය කරන්නකි. ඒ ඔස්සේ ඈ කළ කී දේ බොහෝය. මිලිනා සුමතිපාල. සුමතිපාල මාතාව අද තම දිවියේ සුවිශේෂ අවස්ථාවක අතීතය සිහිපත් කරන්නීය. වර්තමානය දකින්නීය. අනාගතය පිළිබඳ සොඳුරු පැතුම් පුරවන්නීය. “මට වයස අවුරුදු දහඅට විතර වෙනකොට ගෙදරින් මට විවාහ යෝජනා ගෙන ආවා. මම කැමැති වුණේ නැහැ. සුමති (අභාවප්‍රාප්ත යූ. ඩබ්ලිව් සුමතිපාල) නෑකමට මගේ මස්සිනා වෙනවා. ඒ කාලේ එයා අපේ ගෙදර එනවා යනවා. ඒත් මට තේරුණේ නැහැ මාව විවාහ කරගන්න අදහසින් එනවා කියලා. යෝජනාව ගෙනාවම මම අකමැති වුණා. මට දැන්ම බදින්න බැහැ. මම මුලින්ම කිව්වා. සුමති ඔයාට ගොඩක් ආදරෙයි. තාත්තා මට ආදරෙන් කිව්වා. ඊට පස්සේ මම කැමැති වුණා. ඇත්ත තමයි සුමති මට ගොඩක් ආදරෙයි. මට කිසිම අඩුවක් කළේ නැහැ. ඔහු මට ජීවිතයට සවියක් වුණා.” ඇය සිය ආදරණීය අතීතය සිහිපත් කළේ මෙලෙසින්. ඇයගේ අතීතය සුන්දරය. සුන්දරය කීවද එය මල් පාවඩ මතින් පැමිණි ගමනක් නොවේ. පොඩි තැනින් ආරම්භ කර වර්තමානයේද සාර්ථක ගමනක යෙදෙන්නකි. “විවාහ වූ දා පටන් සැමියාගේ ව්‍යාපාරික කටයුතු වලට මම දායක වුණා. දරුවන් හදාවඩා ගන්නා අතරම ව්‍යාපාරික කටයුතුවල සාර්ථකත්වය ගැනත් මම හිතුවා.” තම සිත් ගත් නවකතාව රූපයට නැඟීමේ නොතිත් ආශාව ඇය කෙරේ විය. කුඩා වියේ පටන් නවකතා ඇසුරු කළ ඇය සිනමාවටද ආදරය කළාය. ලෙටීෂියා බොතේජු රචනා කළ නවකතාව ඇසුරෙන් සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටය නිෂ්පාදනය ඇය විසින් සිදු කෙරිණි. ලෙටීෂියා - සුමිත්‍රා - මිලිනා ලෙසින් කාන්තාවන් තිදෙනෙකු එක්ව කළ විශිෂ්ට නිර්මාණයක් ලෙස එය ලාංකේය සිනමා ඉතිහාසයට එක් විය. 1981 වසරේදී සරසවිය සම්මාන දහයක් ඇතුළුව සම්මාන විසි එකකින් එය පිදුම් ලැබීය. 1998 වසරේ මිලිනා සුමතිපාල සුමිත්‍රා පීරිස් මිත්‍ර සංයෝගය යළිත් ‘දුවට මවක මිස’ චිත්‍රපටය තිරයට රැගෙන ආහ. ජනාධිපති සම්මාන හතක් ඕ.සී.අයි.සී සම්මාන උළෙලේ සම්මාන දෙකක් එයට හිමි විය. 2008 වසරේදී මිලිනා නිෂ්පාදනයෙන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘උත්පලවණ්ණා’ චිත්‍රපටය සරසවිය සම්මාන හතරකින් සහ ඕ.සී.අයි.සී සම්මාන හතරකින් පිදුම් ලැබීය. නුදුරේදි මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයෙන් එළි දකින ‘පත්තිනි’ සිනමා නිර්මාණයත් ඔබට දකින්නට ලැබෙනු ඇත. “පුංචි කාලයේ සිටම මට චිත්‍රපට බලන්න ලොකු උනන්දුවක් තිබුණා. චිත්‍රපටයක් ආවාම කොහොම හරි බලන්න යනවා. ගඟ අද්දර නවකතාව මම බැලුවේ පාසල් කාලයේදී. ගඟ අද්දර මට ගොඩක් විශේෂ වු නවකතාවක් වුණා. ඒ නිසා ගඟ අද්දර චිත්‍රපටය නිර්මාණය කිරීම මගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් වුණා. ඒ කාලයේ ගෙදර කලාකරුවන්ගෙන් පිරිලා. රුක්මණී දේවි, විජය කුමාරතුංග, ශාන්ති ලේඛා, ටෝනි රණසිංහ නිතරම අපේ ගෙදර ආවා ගියා. මගේ හිතට හරියන කතාවක් මුණ ගැසුනාමයි මම චිත්‍රපටයක් නිර්මාණය කරන්න තීරණය කරන්නේ. සල්ලි වියදම් කරලා නිකම් චිත්‍රපට කරලා වැඩක් නැහැ. කිසිම තේරුමත් නැති දෙයක් කරලා සල්ලි හොයන්න මම කැමැති නැහැ. ඒ වගේම සල්ලි හොයන්න මම කවදාවත් චිත්‍රපට කළේ නැහැ. මේ දක්වා කළ හැම නිර්මාණයකම හොඳ කතාවක් තියෙනවා. රටට හොඳ නිර්මාණ සඳහායි මගේ නිෂ්පාදන දායකත්වය ලැබුණේ” ඇය කළා ක්ෂේත්රයට මෙන්ම ආගමික සහ සමාජ කටයුතු වෙනුවෙන් කැප වී කටයුතු කළාය. ඇයගේ දායකත්වයෙන් කොළඹ ජාතික රෝහලට ස්නායු ඒකකයත් ඉදිකෙරිණි. 1995 වසරේදී සමාජසේවා කටයුතු වෙනුවෙන් ස්වර්ණතිලක සම්මානය ලද ඇය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතීත්වයද හොබවමින් විශාල ආගමික සේවයකද නිරත වීය. “ඉස්සර කොළඹ පාරවල් වෙසක් පෝයටත් අඳුරුයි. පාරවල් එළිය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මට හිතුණා. ගංඟාරාමයේ පොඩි හාමුදුරුවන්ගෙන් අඩුපාඩු ඇහුවාම අෂ්ට ලෝක ධර්මය ගැන කියවෙන තොරණක් හදන්න පුළුවන් නම් හොඳ බව උන්වහන්සේ පැවසුවා. ඒ අනුව එදා පටත් අපේ දායකත්වයෙන් ගංඟාරාම වෙසක් කලාපයේ තොරණ ඉදිකරන්න කටයුතු යොදනවා.” දරු මුනුපුරන්ගේ සාර්ථකත්වය දකිමින් ඇය අද විවේකීව ජීවිතය ගෙවන්නීය. දරුවන්ගේ වගකීම් ඉටු කළ ඇය ආදරණීය මිත්තණිය ලෙසින් මුනුපුරු මිනිබිරියන්ගේ ද කටයුතු සොයා බලන්නීය. සෑම සතියකම ඉරුදින ඇය වඩාත්ම ප්‍රිය කරන සතියේ දිනය යි. “සුමති අපෙන් සමුගත්තේ 1979 වසරේදි ඔහුගේ වියෝවෙන් පසු මං ව්‍යාපාර සාර්ථක කරගන්න දරුවත් උස් මහත් කරන්න මම ගොඩක් කැප වුණා. දරුවන් හැමෝම යහපත් විදියට හැදුනා. හැමෝම මට කීකරුයි. ඒ වගේම එකිනෙකාට ගරු කරන්නත් ඔවුන් පුරුදු පුහුණු වුණා. රණ්ඩු කළොත් මම කරන්නේ ඔවුන්ට කන් දෙක අල්ලගෙන දණ ගහගෙන ඉන්න කියන එක. මට හිතුණාම තමයි දඬුවම ඉවත් කරන්නේ. ලොකු පුතා ජගත් වගේම තිලංගත් අද සාර්ථක වෙලා ඉන්නවා. දියණියන් පස් දෙනාත් සාර්ථක පවුල් ජීවිත ගත කරනවා. හැමෝටම ගෙවල් හදලා විවාහ කරලා දුන්නා. ඒ හැමෝම අද ඉතා සාර්ථක ජීවිත ගත කරනවා මම බලාගෙන ඉන්නේ බොහෝ සතුටින්. මට මුනුපුරන් නව දෙනෙකුයි මිනිබිරියන් දෙළොස් දෙනෙකුයි ඉන්නවා. ඒ හැමෝම වෙනුවෙන් මම මුදල් වෙන් කළා. ඉරිදාට මේ ගෙදර පිරිලා. හැමෝම ඉරිදට මාව බලන්න ගෙදර එනවා. හැමෝම එකතු වෙලා එකට කෑම ගන්නවා. ඒක මට ලොකු සතුටක්. පවුලේ හැමෝම එකතු වුණාම සතුට මේ තරම් කියලා කියන්න බැහැ.” ලබන 25 වැනිදා ඇයට සුවිශේෂ දිනයකි. ඒ ඇයගේ අසූ වැනි ජන්ම දිනය යි. ඒ වෙනුවෙන් සුවිශේෂ උපහාර උත්සවයක් සංවිධානය වන්නේය. එහි විශේෂත්වයකි. දරු මුනුපුරු මිණිබිරියන් සේම මේ සා කලක් සැමියා සමඟින් ගොඩනැංවූ සුමති සමූහ ව්‍යාපරයේ සේවක සේවිකාවන් එහිදි ඇය පුදුම කරවනු ඇත. එය ලබන 25 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පස්වරුවේදී එම සුවිශේෂ අවස්ථාව උදාවනු ඇත. මිලිනා සුමතිපාලගේ ජීවිතය ඇසුරින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස විසින් රචිත ‘මිලිනා’ සහ ඉන්දු පෙරේරා විසින් රචිත ‘දිරිය මාතා’ කෘති දෙකක්ද එහිදී එළිදැක්වීමට නියමිතය. ඊට අමතරව ජනතා සුබ සිද්ධිය උදෙසා සුමති මාතා භාරය පදනමද පිහිටුවීමට කටයුතු යොදා ඇත.
|