වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ට්‍රැජඩි නම් ප්‍රබුද්ධ

ට්‍රැජඩි නම් ප්‍රබුද්ධ

මකරට තැනූ චාමික හත්ලහවත්ත

2014 වසරේ සම්මා 09ක් හිමිකර ගත් චාමික හත්ලහවත්තගේ ‘මකරට’වේදිකා නාට්‍යය හෙට (22 වැනිදා) පස්වරු 3.30ට හා 6.30ට මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගතවෙයි. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසත්, පිළියන්දල කලාපයේ නාට්‍ය හා රංගකලා ගුරු උපදේශකවරයෙකු ලෙසත්, අධ්‍යක්වරයෙකු, රංගන ශිල්පියෙකු, ඇතුළු භූමිකා රැසකම සැරිසරන චාමික හත්ලහවත්ත ‘මකරට’ වේදිකා නාට්‍යය හා නාට්‍ය කලාව පිළිබඳ සරසවිය සමඟ යෙදුණු කතාබහකි.

* ඔබ ප්‍රේක්ෂකයාට නිර්මාණ රැගෙන පැමිණෙන්නේ ඒ නිර්මාණ අතර යම් කාලපරාසයක් තබමින්. මේ සඳහා විශේෂ හේතුවක් තිබේ ද ?

නිර්මාණයක් වේදිකාවට රුගෙන ඒමෙන් මා කරන්නේ කාලයක පටන් මගේ සිතේ රැව් දුන්න, පෙරැළි කළ සමාජ කාරණා මටම ආවේණික ආකෘතියක් මගින් ඉදිරිපත් කිරීමයි. ඒ ඉදිරිපත් කිරීමේදී යම් කාල රාමුවකට කොටු නොවී ඊට උපරිම සාධාරණය ඉටු කරමින් නිර්මාණය ඉදිරිපත් කිරීමට යම් කාලයක් ගත වෙනවා. මේ නිසාම දෝ සාමාන්‍යයෙන් මම වේදිකා නාට්‍යයක් කරන්නට වසර හතරක වගේ කාලයක් ගන්නවා. ‘හරි අපූරු දවසක් ’කියන වේදිකා නාට්‍යය කරලා වසර හතරකට පස්සෙයි මම ‘මකරට’ වේදිකා ගත කරන්නේ. එහිදි මා මගේ නිර්මාණය උපරිමයෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ ගන්නවා. එහි සියලුම අංශ උපරිමයෙන් නිෂ්පාදනය කළා. මේ නිසාම දෝ මට සම්මානත් ලැබුණා.

* ඇත්තටම මේ රට ‘මකරට’ක් ද ? යන අදහසත් ඔබේ නාට්‍යය නිර්මාණය ඔස්සේ අර්ථ ගැන්වෙන්නක්.

‘මකරට’ කියන නාට්‍යයේ නමත් සමඟ විවිධ අයට විවිධ අර්ථ ගැන්විය හැකියි. මේ රටේ නම මකරට ද?, මම කතා කරන රටේ නම මකරට ද? සියල්ල මකරට ද ? නැත්නම් රට මකලා දානවද ? කියන බොහෝ අර්ථ සාහිත්‍ය වශයෙන් මෙහි ගැබ්ව තිබෙන්නට පුළුවන්. එහෙම වුණත් නාට්‍යයකින් නිශ්චිත අර්ථයක් දිය නොහැකියි.

* ඔබගේ වේදිකා නාට්‍යයේ යටි පෙළෙන් දිව යන්නේ ගැඹුරු දේශපාලන කියැවීමක් බවයි මට නම් හැගෙන්නේ ?

සෑම කලා කෘතියක්ම දේශපාලන ව්‍යාපෘතියක්නේ නේද? අපි කතා කරන, අඳීන - පලඳීන, කන - බොන සෑම දෙයකම දේශපාලනය නම් තියෙන්නේ කලා කෘතියක දේශපාලනය නැති වෙන්නේ නැහැ නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ නිර්මාණයක් ඔස්සේ එළි දැක්විය යුත්තේ පවතින දේශපාලන තත්ත්වය නොවන බවයි. ඉන් එළි දැක්විය යුත්තේ සමස්තයයි. මා එසේ පවසන්නේ ඉදිරිපත් වන සමහර නාට්‍ය රස විඳීය හැක්කේ ඒ කාලයට පමණක් වීම නිසයි. නමුත් මගේ නාට්‍ය නිර්මාණය වුණෙත් ඔය කියන කාලයේ වුණත් ඒවා අදටත් ගැළපෙන ගුණයන්ගෙන් යුක්තයි. මොකද අදටත් බොහෝ ප්‍රේක්ෂකයන් විමසන කාරණයක් වන්නේ ඔබගේ නාට්‍ය වෙනස් කළා ද එහෙම නොවුණත් ඒක අදටත් ගැළපෙනවා යන්නයි. එතනදි මා පවසන්නේ එදා සිට අද දක්වා මේ සිදු වෙමින් පවතින, සිදුවුණු බොහෝ දේ නැවත නැවත සිදු වෙමින් පවතින බවයි. ඒ වගේම මා නම් සිතන්නේ කලා කරුවන් විදියට එක් පැත්තක් ගත යුතු නොමැති බවයි. කලාකරුවන් විදියට අපට තිබිය යුත්තේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්. කලාකරුවෙක් දේශපාලන මතවාදයකට අනුව නිර්මාණ කිරීම කියන කාරණයට නිර්මාණකරුවෙක් විදියට මා විරුද්ධයි. මා විශ්වාස කරන්නේ කලා නිර්මාණයක් ඔස්සේ ජනතාවගේ මතවාදයක් ගොඩනැගීම කළ යුතුය කියන කාරණයටයි.

* සර්ව කාලීන නිර්මාණයක් පිළිබඳ ද ඔබ ඔය පවසන්නේ ?

මගේ නාට්‍යය නැරැඹූ සමහර අය කියූ දෙයක් මගේ මතකයට නැගෙනවා. ඒ කියන්නේ තව ටිකක් මේ නාට්‍යයේ වදින්න තිබුණ නම් හොඳයි කියන මතයයි. ඔවුන් අදහස් කළේ තිබෙන තත්ත්වයට වදින්න නිර්මාණය ඉදිරිපත් විය යුතුය යන්න නම් එය මා විශ්වාස නොකරන දෙයක්. එහෙම වුණා නම් අද වනවිට මේ නිර්මාණය නොගැළපෙන්න තිබුණා. සර්වකාලීන නොවෙන්න තිබුණා. ඒ නිසා නිතරම නිර්මාණයක් සර්වකාලීන විය යුතුයි. අපේ පූර්ව නාට්‍යකරුවන්ගේ නිර්මාණ අදටත් අපි රස විඳීනවා. එසේ රස විඳීන්නට හැකියාව ලැබී ඇත්තේ ඒ නිර්මාණවල තිබුණු සර්වකාලීන ගුණය නිසයි.

* එහෙත් බොහෝ නාට්‍යකරුවන්ගේ නිර්මාණවල තිබෙන දේශපාලන කාරණා නිසා ඒ නාට්‍ය ප්‍රතික්ෂේප වන බවත්, සමහර දෙබස් කපා හැරෙන බවක් වැනි දේත් සිදු වෙනවා ද?

ඉස්සර නම් එහෙම නාට්‍ය තහනම් වන කාලයක් තිබුණා. දැන් එහෙම වන බවක් අපට අසන්නට ලැබිලා නැහැ. ඒකට හේතුව විදියට මා දකින්නේ කලාව මේ වනවිට ප්‍රබල ජන මතයක් හදන්න පුළුවන් තැනක නෙවෙයි තිබෙන්නේ. අද අපේ නිර්මාණ නරඹන්නට එන්නේ යම් පිරිසක් පමණයි. ඒ පිරිස සියල්ලන්ගෙන්ම සියයට තිහක පිරිසක් විය හැකියි. මේ අය අතරින් සියයට හැටක්, හැත්තෑවක් පමණ නරඹන්නේ සරල හාස්‍ය නාට්‍යයයි. ඔවුන්ට උවමනා ඒ වෙලාවේ සිනහ වෙන්නයි. ඒ නිසා අපේ වගේ නාට්‍ය නරඹන්නට සොයාගෙන එන පිරිස සිටින්නේ බොහොම අඩුවෙන්. මෙහෙම කියන විට මගේ මතකයට නැගෙන්නේ රජයේ ස්ථානයක මකරට වේදිකා ගත කිරීමට ගොස් සිදුවුණු අකරතැබ්බයයි. ඔවුන්ට ඉහළින් අණ ලැබී තිබුණේ ඒ ආයතනවල මකරට වේදිකා ගත කිරීම නොකළ යුතු බවයි. ඒ ආණ්ඩු විරෝධී නාට්‍යයක් වන නිසා කියලා අහන්නට ලැබුණා. එහිදි ඒ වගේ උදාවූ අවස්ථා කිහිපයක් ප්‍රතික්ෂේප වී තිබුණා.

* එහෙත් ඒ කියූ අය ඊට පෙර නාට්‍යය නරඹන්නට නොමැති වගත් සක්සුදක් සේ පැහැදිලයි.

ඔව්. ඔවුන් එහෙම කළත් නාට්‍යය කිසිම දිනෙක නරඹලා නොතිබුණු බව නම් මට හොඳටම විශ්වාසයි. මොකද නාට්‍යය නැරැඹුවා නම් ඔය චෝදනාව මට නොනගන බව දන්නා නිසයි මා එලෙස පවසන්නේ. එහෙම කරන අනෙක් කාරණය ලෙස මා දකින්නේ ඒ අදහස ප්‍රචාරය වීම නාට්‍ය ව්‍යාපාරයේ එක් විධික්‍රමයක්. ඒක මට නැඟූ අසාධාරණ චෝදනාවක්. මන්ද මම සමස්තයයි විග්‍රහ කරන්නේ.

* මේ කියැවීම ඔබ ඉදිරිපත් කරන්නේ වෙනස්ම ආකෘතියකින් ?

මගේ දර්ශනපති උපාධිය කරන සමයේ මා කෝලම් පිළිබඳ හැදෑරුවා. විදේශ රටවල තිබෙන වෙස් මුහුණු පිළිබඳ පවා මා හැදෑරුවා. විශේෂයෙන්ම ලංකාවේ බිහිවුණු රංග ශෛලිය පිළිබඳයි මා ඒ නිබන්ධනය කරලා අවසාන කළේ. එහිදි කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් මතයි ‘මකරට’ නිෂ්පාදනය වෙන්නේ. ඒක මට විශාල අභියෝගයක් වුණා. කෝලම් නාට්‍යකරුවා නිතරම කළේ තම නිර්මාණ හරහා ඒ තිබෙන සමාජය සදය උපහාසටය ලක් කිරීමයි. ඒ තිබෙන සරල බව ඇතුළේ ගැඹුරකට යන්න මා උත්සාහ කළා. මගේ දේශපාලන කියැවීම මා ඒ ඇතුළේ ඉදිරිපත් කළා. කෝලම් කියන දේ නාට්‍යකරුවෝ තම නාට්‍ය නිර්මාණවලට ආකෘතියක් විදියට යොදාගෙන තිබුණේ නැහැ. ඒ ඔස්සේ කෝලම්වල සරල බවත්, එහි රසයත්, හාස්‍යයත් තියාගෙන සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට වගේම විදග්ද ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන ගැටලුව මා ඉදිරියේ තිබුණා. ඒ අභියෝගය සියයට සියයක් නොවුණත් බොහෝ දුරට සාර්ථකත්වයක් දකින්නට හැකි වූ බවයි මා සිතන්නේ. මේ කොහොම වුණත් ලංකාවේ කමඩිවලට නොසලකා හැරීමක් තියෙනවා නේ. එදා සිට අද දක්වාම ට්‍රැජඩි තමා ප්‍රබුද්ධ කියන හැඟීමක් තිබෙනවා. මේ මොන මතයක් තිබුණත් මම නාට්‍ය කරනවා. මගේ නාට්‍ය මම ඇදගෙන දුවනවා. මේ වනවිට කොළඹ වගේම පිට පළාත්වලත් නාට්‍යය වේදිකා ගතවුණා. ඒ සඳහා හොඳ ප්‍රතිචාරත් ලැබුණා.

* වර්තමානයේ සිටින බොහෝ දෙනෙක් පවසන්නේ නිර්මාණයක් එවේලෙහිම නරඹා රස විඳීය හැකි සරල දෙයක් විය යුතු බවයි. ඒ සරල බවට වඩා ගිය ගැඹුරු බවක් ඔබගේ නාට්‍යයේ තිබෙනවා. ?

මම ‘මකරට’ කලා කෘතිය ගැඹුරුම කළේ නැහැ. එහෙම ගැඹුරකින් කළා නම් කිසිම කෙනෙකු එය නරඹන එකක් නැහැ. ඒ නිසා මකරට මා නිර්මාණය කළේ සරලවයි. ඒහෙත් නාට්‍යයක් කියන දේ එක්වරක් නරඹලා එක්වරම රස විඳීන්නට නොහැකි දෙයක් බවයි මගේ මතය වන්නේ. ඒක නැවත නැවතත් කියවිය යුතුයි. කියවා කතිකාවතක් ගොඩනැගිය යුතුයි. ඒ හරහායි බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කළ හැක්කේ. මේ කියන තත්ත්වය නිර්මාණය විය යුත්තේ නාට්‍ය නිර්මාණවලට පමණක් නොවෙයි. ඊට අනෙකුත් කලා නිර්මාණත් ඇතුළත් විය යුතුයි. එනමුත් වර්තමානයේ බිහිවන කවිය, ගීතය අදී නිර්මාණ පවා සරල බවකින් බිහිවන බවක් අපට පෙනෙනවා. ඒක වෙනස් විය යුතු කාරණයක්.

* වර්තමානය වැනි තරගකාරී ලෝකයක වේදිකා නාට්‍යයක් දිගින් දිගටම පවත්වා ගෙන යෑම සුළුපටු දෙයක් නෙවෙයි ?

දිගින් දිගටම මෙහි නියැළීම භාරධුර වගකීමක් වුණත් එහි නියැළීම අපට ලැබෙන හොද අධ්‍යයනයක් යැයි අප සිතනවා. වේදිකා නාට්‍යයක් කියන්නේ සජීව මාධ්‍යයක්. එය පවත්වා ගෙන යෑම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අපේ නාට්‍ය නැවත නැවතත් පුහුණුවීම් කළ යුතුයි. මේ අභියෝගය භාර ගන්න කවුද කැමැති වන්නේ. ඒ නිසා තමයි බොහෝ ප්‍රවීණ නාට්‍යකරුවන් වේදිකාවෙන් සමුගෙන තිබෙන්නේ. එහි තවමත් නියැළිලා ඉන්න ජයලත් මනෝරත්න, කේ. බී. හේරත් වගේ ප්‍රවීණ නාට්‍යකරුවන්ට අප ස්තූතිවන්ත විය යුතුයි. ඒත් අපට ඒ වයසට යනවිට නිර්මාණවල නියැළෙන්නට තරම් ශක්තියක් තියෙනවද කියලා මට තිබෙන්නේ බයක්. අනෙක් කාරණය වන්නේ එකම වර්ගයේ නාට්‍ය කරමින් ඉන්නේ නැතිව පර්යේෂණ නාට්‍යවලට අප යා යුතුයි යන්නයි. ලෝක නාට්‍ය කලාවත් සමඟ යන නිර්මාණ කළ යුතුයි යන්නයි. මගේ මෙතෙක් නාට්‍ය නිර්මාණ සියල්ලම එසේ පර්යේෂණවල ප්‍රතිඵලයක් මත බිහිවුණු නිර්මාණයි. මේ වනවිට නමක් නොතිබුණත් මා ඉදිරියේ දී කරන්නට ඉන්න නිර්මාණයත් එවැන්නක්. එහි සනත් විමලසිරි, සරත් කරුණාරත්න, තෙරුණි ආශංසා, උමයංගනා වික්‍රමසිංහ, අමිල සදරුවන් යන අයත් සමඟ මේ දවස්වල පුහුණුවීම්වල නියැළෙනවා. මේ සියලු කටයුතුවලට උදව් වන බිරිය ඇතුළු පවුලේ සියලු දෙනාමත් මතක් කරන්නට මෙය අවස්ථාවක් කරගන්නත් මම කැමැතියි.

* මකරටත් සමඟ ජයලත් මනෝරත්න, ජගත් චමිලත් රංගනයේ යෙදෙනවා ?

මුලින්ම මේ චරිතය රගපෑවේ ජයලත් මනෝරත්න නාට්‍ය වේදියා. ඔහුත් සමඟ වැඩකරන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක් ලෙසයි සලකන්නේ. ඇත්තම ඔහු අපටත් වඩා තරුණයෙක්. ඔහුත් සමඟ ගත කරන කාලය බොහොම සුන්දරයි. ඉතිං කාලයක් ගියාට පස්සේ මේ කටයුත්තේ නියැළීමට තිබෙන අපහසු බව ඔහු සදහන් කළා. ඒ සඳහා ජගත් චමිල ආදේශ කර ගත්තා. ඔහුත් මේ චරිතයට බොහෝ කැපවීම් කරමින් රඟපානවා.