වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ටයිටස් තොටවත්ත යළිත් රූපවාහිනියට

ටයිටස් තොටවත්ත යළිත් රූපවාහිනියට

‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියමන වෙනස් කළ අපූර්ව මිනිසුන් කලාතුරකින් අපට හමුවෙයි.

ටයිටස් තොටවත්තයන්ද එවන් කෙනෙකි. ප්‍රවීණ සංස්කරණ ශිල්පියකු ලෙසින් රේඛාව ඇතුළු වෘත්තාන්ත චිත්‍රපට 24 ක් පමණ ඔහුගේ අතින් සංස්කරණය විය.

එමෙන්ම කවුද හරි, හාර ලක්‍ෂය, සාගරිකා, සිහසුන, මංගලා, මරුවා සමඟ වාසේ සහ හඳයා චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරමින් ලාංකේය සිනමා රසිකයන් මෙන්ම කුඩා දරුවන් ද ඔහුගේ නිර්මාණවලින් පෝෂණය ලැබීය.

රූපවාහිනී මාධ්‍යය උදෙසා ටයි මහතා ගෙන් සිදු වූ සේවය ඉමහත්ය. ‘රන් කහවනු, පින්මඳ පුතුන්, මුසාවාද (රූකඩ වැඩසටහන) සහ තවත් නිෂ්පාදන රාශියක් ඔහු අතින් නිම විය.

ටයිටස් තොටවත්තයන් වඩාත්ම ළමයින් සඳහා වැඩසටහන් නිර්මාණය කිරීමට රූපවාහිනී මාධ්‍යය යොදා ගනු ලැබීය. ‘දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ඔෂීන්, මල්ගුඩි දවස වැනි හඬ කැවූ වැඩසටහන් මෙමඟින් ලද ප්‍රතිචාර ඉමහත්ය.

ටයිටස් තොටවත්තයන් හඬ කැවීම් සඳහා යොදා ගත් මැදිරිය ‘ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය’ ලෙස පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ටයිටස් තොටවත්තයන්ගේ දයාබර බිරිය සුජාතා තොටවත්ත මැතිනිය ගේ අතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයද ටයි මහාතාගේ හඬ කැවීම් ඒකකයේ සහායකයන් වූ අතුල රන්සිරි ලාල්, සමන් අතාවුද හෙට්ටි ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර මෙහි ප්‍රමුඛ දේශනය හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රුවන් ඒකනායක විසින් පවත්වන ලදී.

ඡායාරූප - මාලන් කරුණාරත්න