වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




හෙටින් පස්සේ වෙන දේ ගැන මං හිතලා නැහැ

හෙටින් පස්සේ වෙන දේ ගැන මං හිතලා නැහැ

අද දීගෙක යන ඉෂාරා සඳමිණි කියන පෙම් කතාව

ඉෂාරා සඳමිණි ඔන්න අද කසාද බඳිනවා. දැනගන්න කැමැති ඇති නේද ඇයගේ අත ගන්න කෙනාගේ වාස දේසෙ එහෙම? ආරංචියේ හැටියට නම් ඔහු රංගන ශිල්පියෙක්ලු. ඉෂාරා තමන්ගේ පෙම්වතා අද ඉඳන් ආදරණිය ස්වාමි පුරුෂයා ගැන මංගල දිනයේ මෙන්න මෙහෙමයි කතා කළේ. ඇය ඔහු පිළිබඳ මුලින්ම හෙළි කළේ සරසවිය හරහා කියලත් කියන්න ඕනෑ.

* ඉෂාරා පසුගිය දිනවල බොහොමත්ම කාර්යබහුල වෙලා ඉන්න ඇති?

ඔව්. පසුගිය සෙනසුරාදා වෙන කොට ෂූටිං ඔක්කොම ඉවර කළා. මේ වෙනකම් එහෙට මෙහෙට දුව දුව වැඩ. අද වෙඩින් එක හින්දා ලස්සනට ඉන්න ඕනෑ හින්දා පෙම්වතා කිව්වා රිලැක්ස් එකේ ඉන්න කියලා. ඒත් මගේ ෂූටිං සහ ඉගෙනුම් කටයුතු හින්දා එහෙම ඉන්නත් බැරි වුණා.

* හරි, ඒ ගැන තව වැඩි විස්තර දෙවනුව කතා කරන්න ඉඩ දීලා ඔබේ මහත්තයාගේ නම එහෙම පවසන්නකො?

එයා අනුර පතිරණ.

* ඔහුගේ ගෙවල්?

නුවර.

* අනුර නළුවෙක් නේද?

ඔව්. රෝයි ද සිල්වා මහත්මයාගේ සර් ලාස්ට් චාන්ස් චිත්‍රපටය මතකද. එහි ප්‍රධාන චරිත දෙකෙන් එකක් රඟපෑවේ ඔහු.

* දැන් රඟපාන්නේ නැහැ?

ඔහු එහි රඟපාලා සිංගප්පූරුවට ගියා. ළඟදී තමයි ලංකාවට ආවේ. එහෙම්මම ඔහු රංගනයෙන් ඈත් වෙලා. දැන් ඔහු නීතිඥවරයෙක්.

* කොහොමද ඔබට ඔහුව මුණ ගැහෙන්නේ?

මං ස්වර්ණවාහිනියේ නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරනවා. මාත් සමඟ සේවය කරනවා ධම්මික යටිකිඳ කියලා යාළුවෙක්. අනුර ඔහුව හොඳින් හඳුනනවා. දිනක් ධම්මිකව මුණ ගැහෙන්න අනුර ඇවිත් හිටියා. එදා ඔහු මාවත් දැක්කා. එදා තමයි අපගේ පළමු හමුවීම සිදු වුණේ.

* මොනවද එදා කතා කළේ?

වැඩිය මුකුත් කතා කළේ නැහැ. ඒත් ඔහු මගේ දුරකථන අංකය ඉල්ල ගත්තා.

ඊට පස්සේ දිගට හරහට දෙන්නා මල් කඩන්නට ඇති නේද?

අපොයි නැහැ. හැබැයි අනුර මට කෝල් කළා. ටිකෙන් ටික ඔහු මට ගොඩක් ළන් වුණා.

* ඔහු ද පළමුව ආදරය ප්‍රකාශ කළේ?

නැතුව, නැතුව. ඒකනෙ සම්ප්‍රදාය.

* ඔබ මොන වගේ ප්‍රතිචාරයක්ද එයට දැක් වූයේ?

මං ටිකක් ගණන් ඉස්සුවා. කොහොමත් ගැහැනු ළමයි එහෙමනෙ.

* ගෙදරින් ඔබ දෙපොළට ආශිර්වාද කළාද?

ඔව්. දෙපාර්ශවයේ උතුම් ආශිර්වාදය මැදයි අපි විවාහ වන්නේ.

* ඇයි ඔබගේ සිත අනුර ළඟ නතර වුණේ?

මං විවිධ ක්ෂේත්‍රවල නියැළෙන කෙනෙක්. ඔහුත් එහෙමයි. ඒ වගේම මං කරන වැඩ ගැන අනුර හොඳටම තේරුම් අරගෙන ඉන්නේ. ඔහුටත් ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

* ඔහු ආයෙත් රඟපානවාට ඔබ කැමැතිද?

අනේ ඔව්. කිසිම ප්‍රශ්නයක් නැහැ.

* ඔහු පෙම්වතාගේ චරිතයක් එහෙම කළොත් ඔබට ඉරිසියා හිතේවි?

අපොයි නැහැ. මමත් ඉතින් පෙම් චරිත කරලා තියෙනවනේ. මං දන්නවා කොච්චර ආදර චරිතයක් වුණත් ඒ කරන්නේ කැමරාව ඉස්සරහ බොරුවක් කියලා.

* එතකොට ඔබ මින් ඉදිරියට පෙම් චරිත කරන එක සීමා වේවිද?

කවදාවත් නැහැ.

* දෙන්නා කසාද බැඳලා කොහෙද පදිංචි වෙන්න හිතාගෙන ඉන්නේ?

අදින් පසුව සිදුවෙන දේවල් ගැන මං තවම හිතලා නැහැ. ඉදිරියේදී ඒ ගැන හිතලා බලනවා.

* කවදද ආයේ ඔබගේ රූගත කිරීම් ආරම්භ වන්නේ?

මං බැලුවේ කසාදෙන් පස්සේ මාස දෙකක් විතර විවේක ගන්න. ඒත් ෂූටිංවලදී එහෙම කරන්න බැහැනෙ. කතා කළොත් ඉඳහිට දිනයක ෂූටිං යනවා.

* අනුර ඔබගේ ටෙලි නාට්‍ය නරඹනවාද?

එයා ගොඩක් කාර්යබහුල කෙනෙක්. උතුම් පැතුම් නාට්‍යයේ කොටස් කිහිපයක් නම් බලලා තිබුණා.

* මොන වගේ ප්‍රතිචාරයක් ද ඔහු ඔබේ රංගනයට ලබා දෙන්නේ?

රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට මං වැඩ කරනවනේ. ඔහු හැකි සෑම අවස්ථාවකදීම මාව උනන්දු කරනවා. මාව දිරිමත් කරනවා. මට ඒ ඇති.

* විවාහයෙන් පසුව ඔබ සුපුරුදු සැහැල්ලුකමින් ජීවත් වන්නට හිතාගෙන ඉන්නවාද?

සැහැල්ලුවෙන් ඉන්න ආසයි. නමුත් එහෙම බැහනෙ. විවාහයෙන් පසුව වගකීම් ගොඩක් මට පැවරෙනවා ගෘහනියක් විදිහට කරන්න. ඒවා මං මඟ හරින්නේ නැහැ. එහෙම වුණයි කියලා බරපතළ විදිහට හරි සීරියස්ලි ජීවත් වන්නේ නැහැ.

* කලාකාරිනියක් වීම ගැන අද ඔබ සතුටින්ද ඉන්නේ?

සත්තකින්ම ඔව්. අද මාව බලන්න මෙච්චර පිරිසක් ඇවිල්ලා ඉන්නේ මං කලාකාරිනියක් හින්දා. ඒ වගේම මගේ විවාහය ගැන සරසවිය පත්තරේ යන්නෙත් මං කලාකාරිනියක් නිසානේ. ඇත්තටම සතුටුයි.

* ඔබ උඩරට විදිහට ද පළමු දින හැඩවෙන්න ප්‍රිය කළේ.

මං හිතාගෙන හිටියා කාලයක් තිස්සේ මං මනාලියක් වන දවසට උඩරට විදිහට අඳින්න. දෙවැනි ගමනට සැරැසෙන්නේ බටහිර විදිහට. හෝම් කමිං එකට ඉන්දියන් විදිහට හැඩ වෙනවා.