වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

මහරජ ගැමුණු නරඹා එළාරට පෙම් බැඳීම

'මහරජ ගැමුණු' කෘතිය දෙතුන් වරක් කියවා රස උල්පතක ඓතිහාසික අපේ ජීවිතවලම අභිමානය පානය කරමින්, වසර ගණනාවක් ඔහුව දකින්නට අපි පෙරුම් පිරුවෙමු. ඒ අපේම පෙර ආත්මයක් යැයි සිතා අප ජීවත් වූ නිසාය. 'මහරජ ගැමුණු' කෘතිය තුළින් හමු වූ 'ගාමිණී අභය' වීරයා සහෘද සැමගේ හදවත් තුළ සැඟව සිටි ඒ වීරයාවම අවදි කළේය. ඒ නිසා එකී ඉතිහාසයේ වර්තමාන උරුමකරුවෝ අප යැයි කියා අපි සතුටු වූවෙමු.

පිරූ පාරමිතාව යථාර්ථයක් කරමින් ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ශ්‍රේෂ්ඨ අපූරු කලාකරුවාගේ නාමයට පින් අයිති වන්නට 'මහරජ ගැමුණු' සිනමාපටයක් ලෙස එළිදකී. ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ කන කොකා හඬලන මෙම කාල වකවානුවේදී එහි මළගම සරසන්නට තවත් එක් මල් වඩමක් නොවී මියදෙන සිනමා දේහයට ජීවන හුස්මක් වන්නට 'මහරජ ගැමුණු' සිනමා සිතුවමට හැකියාව ලැබී ඇත. සිනමාපටය පිළිබඳ ප්‍රේක්ෂක අපට ඇත්තේ හද පිනා ගිය සන්තෘෂ්ටියකි.

එහෙත් ඒ සොම්නස යන්තම් හෝ දොම්නසක් වන්නේ නම් ඒ එක් කාරණයක් නිසාය. 'මහරජ ගැමුණු' නවකථාව තුළ මුණගැසුණු 'ගාමිණී අභය' වීරයා චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයාට හමු නොවීමයි. සිංහලකමින් ආඪ්‍ය වූ බුදු දහමින් සුපෝෂණය වූ වීරයා සිනමාපටය තුළ ප්‍රේක්ෂකයාට හමු නොවෙයි. ඒ චරිතයේ හඬ පාලනය නළුවා අතින් ගිලිහී යයි. ඇතැම් සංවේදී පමණක් නොව අධිසංවේදී සිද්ධි අවස්ථා පවා ප්‍රේක්ෂකයාට වඩාත් පෘථුල භාව සංස්පර්ශයක් කරා ගෙන යන්නට නළුවාට පවතින්නේ නොහැකියාවකි. ඒ නිසාම පාඨක හදවත් තුළ ජීවමාන වූ 'ගාමිණී අභය' වීරයා ප්‍රේක්ෂක හදවත් තුළ ඒ අයුරින්ම ලැගුම් නොගනී.

නමුත් මධ්‍යස්ථ පේ‍්‍රක්ෂකයෙක් වශයෙන් 'එළාර' චරිතය පිළිබඳ ඇති වන්නේ ප්‍රේමයකි. ඔහු සැබෑවටම කෙතරම් සූක්ෂ්ම හා උපායශිලී ත්‍රස්තවාදියෙකු ද යන්න කෘතිය තුළින් මනාව කියවා ගත හැකිය. නමුත් මේ චරිතයට චිත්‍රපටයේ දී පණ පොවන නළුවා එයට දිය හැකි උපරිම සාධාරණය සිදු කර ඇත. රංගනයේදී ඔහුගේ භාව ප්‍රකාශය උපරිමය. 'ගාමිණී' චරිතය අභිබවා ගොස් 'එළාර' චරිතය වීරයා වන අවස්ථාව ද අතරින් පතරය.

'මහරජ ගැමුණු' යනු ලාංකිය සිනමාව තුළ පෙරළියක් කිරීමට සමත් වූ සිනමා සිතුවමක් බව කිවමනාය.
 

- තරිඳු වීරහැන්නදිගේ

දක්ෂ රඟපෑම

පබෝදා සංදීපනීගේ දක්ෂ රඟපෑම නොතිබුණේ නම් ගින්දරී නිකම්ම නිකන් වැස්සට තෙමී නිවුණු අලු ගොඩකි.
 

සුනිල් චන්ද්‍රසේකර - යාගොඩමුල්ල,
කොටුගොඩ

සිනහව අතරින්

සිනහව අතරින් චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය හා රඟපෑම යන කලා කෞශල්‍යයන් ගණනාවකින්ම තම කුසලතාවය ප්‍රකට කරමින් සනත් ගුණතිලක සිනමාවට මහඟු මෙහෙයක් ඉටු කරයි.

පවුල් ජීවිතයට මහඟු ආදර්ශයක් ලබා දෙන මෙම නිර්මාණයේ නිරෝෂා විරාජිනියගේ ගායනය හා සංගීතය පුන පුනා වර්ණා කළ හැකිය. සියලු දෙනාගේ රඟපෑම් විශිෂ්ටයි. පසුතල දර්ශන, කැමරාකරණය හා කාර්මික අංශය හුඟක් හොඳයි.
 

ඩඩ්ලි ගෝමස් - මොරටුව, කටුබැද්ද

ආසිරි පතමි

සමනලී ෆොන්සේකා, ඔබේ රංගනයේ වෙනස්ම ආකර්ෂණීය බවක් දැනෙනවා. ඔබේ ඒ හැසිරීම් රටාව තුළ බටහිරට නැඹුරු ගතියක් පෙන්වනවා. කොහොම නමුත් අන් අයට වඩා වෙනස් ගතියක් ඔබ තුළින් අප දකිනවා. ඔබේ ඒ අපූරු රංගනයට අප කැමැතියි. ඔබේ කලා දිවියට ආසිරි පතමි මෙසේ.
 

සුසිලා පතිරාජ - පුබුදුගම, උස්වැටකෙයියාව

විජය මතකය

නළුවෙක් වෙන්න සිතිලා මුල් වතාවට
කුලුඳුල් රැඟුම හන්තානේ කතාවට
සදාකල්ම ඔය රුව හිමි කලාවට
තිබේ මතක අප දිවි ඇති තුරාවට
 

සමන් ගාලල්ගේ - කැටපල, ගණේගොඩ

නන්දන වින්දන යළිත්

මීට දශක ගණනාවකට ඉහතදී ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කළ නන්දන වින්දන වැඩසටහන යළි ප්‍රදර්ශනය කරවන්න.
 

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන් - වෙන්නප්පුව

කරුණාරත්න අබේසේකර සූරීන්ට

ගුවන් විදුලියේ කටහඬ රැව් දුන්නා
ළමා පිටියෙ නවකයන්ට තැන දුන්නා
කවියන් අතර ඉහළම තැනකට ආවා
කරු අයියාට ආදර නම පට බැඳුණා
 

පී. ධම්මික දුමේන්ද්‍ර - පාමංකඩ

‘රන් මසු උයන’

කාලෙකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමඳව දිනාගත් ඩග්ලස් රණසිංහයන්ගේ ටෙලියක් වූ 'රන්මසු උයන' යළි ප්‍රදර්ශනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. අද දිනටත් ඔබින කාලෝචිත තේමාවක් රැගත් එබඳු ටෙලි නාට්‍ය රසිකයන්ගේ මතකයෙන් ගිලිහී නොයයි.
 

චන්ද්‍රකාන්ති ධර්මරත්න - කැලණිය

සනත් ගුණතිලකට

එකමත් එක රටක චිත්‍රපටයෙන් නිෂ්පාදනයට එක් වී රඟපෑමත් කළ ඔබ මා එදා දුටුවට වඩා අද දකින 'සිනහව අතරින්' ඔබ අධ්‍යක්ෂණය කරමින් රඟපෑ භික්ෂූ චරිතය මැනවින් රසිකයින් හට මහත් ආස්වාදයක් වෙනු ඇත. ඔබට ජය ශ්‍රී.
 

ඊ. දයානන්ද ද සිල්වා - සීනිගම, හික්කඩුව

S.M.S.

මහේෂි අක්කා පිනි මුතු වැස්ස ටෙලි නාට්‍යයේ ලස්සනට රඟපානවා.
 

ශානුක රුක්ෂාන් - ගිරිඋල්ල

ස්වර්ණවාහිනියේ මායා පටල නාට්‍යයේ මංජුලා කුමාරිගේ රංගනය තාත්විකයි. ඒ වගේම මංජුලා අක්කේ ඔයාගේ සිනහව හරිම සුන්දරයි. මම දුටු සොඳුරු නිළිය ඔබයි.
 

දිල් - මාතර

දෙරණ නාළිකාවේ විකාශය වූ සඳඑළිය වගේ ටෙලි නාට්‍යයේ අවසානය හොඳයි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ - ගඩලාදෙණිය

ටී. වී. දෙරණේ 'ලිට්ල් ස්ටාර්ස්' ඉදිරිපත් කරන මාධව විජේසිංහගේ නිවේදනය අති විශිෂ්ටයි. ඔහුගේ නිවේදන කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා.
 

ආර්. ඩී.කෞෂල්‍යා සන්දීපනී - කුලියාපිටිය, බෝධිමුල්ල

නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළ 'ඉඩ දෙන්න' ටෙලි නාට්‍යය උතුරත් දකුණත් එකට ඒකාබද්ධ කිරීම සාර්ථක නිර්මාණයක්.
 

පී. ඩී. හර්ෂ විරාජ් - මාකඳුර

සිනහව අතරින් චිත්‍රපටයේ නිරෝෂා විරාජිනිගේ ගීතය අති විශිෂ්ටයි. නිරෝෂා ඔබේ මධුර හඬ අද අපට නැතුවම බැරි හඬක් වෙලා. මා ඔබට සුබපතනවා.
 

එස්. වීරසිංහ - අනුරාධපුර

විපුල් ධර්මප්‍රිය ජයසේකර වියෝ වී මේ මස 25 වෙනිදාට වසරකි. ඔහු අප අතරින් හදිසියේ නික්ම ගිය ද සදා අමරණීය නිවේදකයෙකි.
 

ජෙසිකා - මීගමුව

සිරස 'ඩාන්සින් ස්ටාර්ස්' තරගයේදී සිය විශිෂ්ට නර්තනයෙන් අපව රසවත් කළ වජිර සම්පත් ඔබ අවසාන තිදෙනා අතරට යෑමේ වරම අහිමිව සමු ගත්ත ද, ඔබේ දක්ෂතාව මත අනාගතේ හොඳ තැනකට එන්න පුළුවන් බව අපේ විශ්වාසයයි. ඔබට සුබ අනාගතයක්.
 

හර්ෂනාථ බණ්ඩාර - නිකවැරටිය

ඕෂධී හේවාමද්දුම අක්කි ඔයා දිගටම රඟපානවා නම් ගොඩක් ආසයි. ඔයාට මගෙන් සුබපැතුම්.
 

ශාමලී - මල්වාන

කසුන් කල්හාර අයියේ. ඔයාගේ සිංදු හරිම ලස්සනයි. ප්‍රේමණීයයි. තාත්ත්විකයි. මමත් මගේ අයියත් ගොඩක් ආස කරන චරිතයක් තමා අයියේ ඔයා. අද ලංකාවේ සිටින ගායකයන් අතරින් ඉදිරියෙන්ම ඉන්න ගායකයෙක් තමයි ඔයා. ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා.
 

තාරුකා සෙව්වන්දි, තරිමාදු සම්පත් - මාවතගම

මම දැකපු ලස්සනම නිළිය තමයි සන්ධ්‍යා කුමාරි.
 

අමන්ත පෙරේරා - කඳාන

ළමා ගී තරු වැඩිහිටි ගී ගැයීම ළමා ගීත කලාව තවත් පිරිහීමට හේතු වෙයි.


මනෝජ් වින්දන - කොට්ටාව

පැරැණි ගීත අලුත් ගායකයන් ගැයුවට කමක් නැහැ, විකෘති නොකර.
 

ෆාතිමා - වැලිගම

ප්‍රතිචාර සඳහා අලුත් දුරකතන අංකයක්
0773042834
ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනය විවෘතය.