වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ ගීතවල සම්පූර්ණ අයිතිය මගේ

තාත්තාගේ ගීතවල සම්පූර්ණ අයිතිය මගේ

ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ප්‍රගීත් සිල්වා (ෆ්‍රෙඩී ජූනියර්) අවධාරණය කරයි

‘රාජ මාළිගේ’ ලිව්වේ ‘සිරිල් ඒ. සීලවිමල’ නොවේ

සිංහල සිනමාවේ ‘විකට රජා’ ජනප්‍රිය නළු ෆ්‍රෙඩී සිල්වාය. හාස්‍ය මුසු වූ රංගනයත්, උපහාසය මුසු වූ ගායනයත් ඔස්සේ ෆ්‍රෙඩී මුළු රටක් තම වසඟයට ගත් අපූර්ව කලාකරුවෙකි. සිනහවෙන් අප කුල්මත් කළ මේ රසවතා සිය දිවියේ අවසන් කාලය ගත කළේ දැඩි සිත් වේදනාවෙන් හා කළකිරීමෙන් යුතුවය. ඒ කලා දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේ ද ඔහුට මුහුණපෑමට සිදු වු නොයෙක් අකටයුතුකම් හා නොපනත්කම් නිසාවෙනි.

මා මේ ඔබට පවසන්නට යන්නේ ඒ අමිහිරි, අසුන්දර කතා පුවතම නොවේ. ඉන් ඔබ්බට ගිය සුවිශේෂී වූ කාරණාවකි. නිසැකයෙන්ම මෙය ඔබට විස්මය දනවන කතා ප්‍රවෘත්තියක් වන වග නම් මට විශ්වාසය. එය එසේ වන්නේ මා මේ කතාබහට එක්කර ගන්නා පුද්ගලයා ෆ්‍රෙඩී සිල්වාගේ පුතණුවකු වීම නිසාවෙනි. ෆ්‍රෙඩීගේ බාල පුතණුවන් වන ප්‍රගීත් සිල්වා අප නොදත් කරුණු රැසක් මෙසේ මුල්වරට මාධ්‍යයට හෙළි කරනුයේ සත්‍යය කිසිදා වසන් කළ නොහැකි වග අපට පසක් කර දෙමින්ය.

* ෆ්‍රෙඩී සිල්වාට තවත් පුතෙක් ඉන්න බව බොහෝ අය දැනගෙන හිටියේ නෑ?

ලෝකේ නොදන්න දේවල්, සැඟවුණු දේවල් කොච්චර තියෙනවද? ඒත් සත්‍යය කවදාවත් වසන් කරන්න බෑ. මම තමයි ෆ්‍රෙඩී සිල්වාගේ බාල පුතා. හුඟක් අය ෆ්‍රෙඩී සිල්වාගේ දරුවෝ හැටියට දැනගෙන හිටියේ ජනේශ් අයියයි, චාන්දනී අක්කයි විතරයි. ඒ තාත්තාගේ පළමුවැනි කසාදේ දරුවෝ. මමයි, අක්කයි දෙවැනි කසාදේ. මගේ මව චින්තා හේරත් එක්ක තාත්තා නීත්‍යානුකූලව විවාහ වී සිටියා.

* කොහොමද තාත්තා ගැන පුංචි කාලේ ඔබේ මතකය?

මට අවුරුදු හතරක්, පහක් වෙන කොට තමයි තාත්තා පවුලෙන් අයින් වෙන්නේ. ඊට පස්සේ අම්මයි, අක්කයි, මමයි මහර, කඩවත ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වුණේ. ඒත් තාත්තා අපිව බලන්න එහෙ ආවා ගියා. එයා පිටරට සංචාරයක් ගියොත් එහෙම අනිවාර්යයෙන්ම අක්කටයි, මටයි සෙල්ලම් බඩු, ටොෆි, චොක්ලට් ගොඩක් අරගෙන එනවා.

* අම්මයි, තාත්තයි අතරේ අමනාපයක් තිබුණේ නෑ?

මට ඒගොල්ලන්ගේ ප්‍රශ්න එච්චර ලොකුවට තේරුණේ නෑ අයියා. මමත් පුංචියිනේ. හැබැයි අම්මා නඩත්තු නඩුවක් දැම්මා ගම්පහ උසාවියේ. ඊට පස්සේ තාත්තා මාව ගන්නවා එයා ළඟට. තාත්තා එතකොට පදිංචි රාවතාවත්තේනේ. මාව එක් කර ගෙන ගිහින් මොරටුවේ වේල්ස් කුමාර විදුහලට දැම්මා.

* එතන ඉඳන් ජීවිතේ ගෙවෙන්නේ තාත්තා එක්ක?

ඔව්. එතකොට තාත්තා මානෙල් චන්ද්‍රලතා ඇන්ටිත් එක්ක තමයි ජීවත් වුණේ. එයා නිළියක් කළේත් තාත්තානේ. ඒ වෙන කොට තාත්තා හරිම කාර්යබහුල ජීවිතයක් ගත කළේ. හැබැයි ගෙදර ඉන්න වෙලාවට අපිත් එක්කමයි හිටියේ.

* අම්මා නැති අඩුව තාත්තාගෙන් පිරිමැහුණා?

ඇත්තටම අම්මා නැති අඩුව මට නොදැනුණාම නෙවෙයි. ඒත් තාත්තාගේ සෙනෙහස නිසා මට ජීවිතේ අසරණකමක් දැනුණේ නෑ. ‘අමුතු ඇඳුම් ඇඳ හඬවන’, ‘මමයි මොට්ටපාල’, ‘හඳමාමා උඩින් යතේ’ වගේ සිංදු කිය කියා තාත්තා මාව හුරතල් කළා මට තාම මතකයි. මම සෙල්ලම් කරන්නේ තාත්තාගේ බඩ උඩ. එයා දවස් දෙකක් ගෙදර නාවොත් මට උණ හැදෙනවා හොඳටම.

* එක්තරා අවස්ථාවක තාත්තා ඔබව රඟපෑමටත් යොමු කරනවා?

රෝයි ද සිල්වා අංකල් තාත්තාත් එක්ක එකම කාලේ සිනමාවට ආපු යාළුවා. රෝයි අංකල් ‘හොටෙල් ඩි කලබල’ ටෙලි නාට්‍යය කරද්දී තාත්තා එයාට කියලා මට කැරැක්ටර් එකක් හදලා දෙනවා. ටෙනී අංකල් මගේ තාත්තා හැටියට ඒකේ ඇක්ට් කරන්නේ. රුවන්ති මංගලා තමයි මගේ අම්මා වුණේ.

* ෆ්‍රෙඩී සිල්වා ඔහුගේ ‘ලේ උරුමය’ එතනදි සනාථ කළේ හරි අපූරු විදිහට?

තාත්තා ‘ෆ්‍රෙඩී ජූනියර්’ කියලා මගේ නම ටෙලි නාට්‍යයට දාන්න කියලා රෝයි අංකල්ට කියනවා. නාමාවලියේ ෆ්‍රෙඩී ජූනියර් කියලා තමයි මගේ නම යන්නේ. එතකොට මගේ වයස අවුරුදු දාහතරක් විතර ඇති. ස්කෝලේ නවයේ වසරේ.

* ඒත් ප්‍රගීත්ගේ මුල්ම රංගනය නෙවෙයිනේ ඒ?

‘පුදුමයි ඒත් ඇත්තයි’ චිත්‍රපටයේ තාත්තාගේ ළමා කාලයේ පොඩි චරිතයක් රඟපෑවා මම. අක්කත් රඟපෑවා. සත්තු වත්තේ තමයි ඒ දර්ශන රූගත කළේ. එතකොට මට වයස අවුරුදු අටක් විතර ඇති. ඒ තමයි මුල්ම රඟපෑම. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ හේමසිරි සෙල්ලප්පෙරුම. නිෂ්පාදනය ප්‍රීතිරාජ් වීරරත්න.

* සිනමාවේ ‘විකට රජා’ සැබෑ ජීවිතයේදී මොන වගේ කෙනෙක් හැටියට ද ඔබට දැනුණේ, හැඟුණේ?

තාත්තා චිත්‍රපටවල දාන කොමඩි කෑලි ගෙදරදි දැම්මේ නෑ. එයාට ටිකක් ඉක්මනට කේන්ති යනවා. හැබැයි මට කවදාවත් ගහලා එහෙම නෑ. බනිනකොට නම් හොඳටම බනිනවා. ගෙදර ඉන්න කොට ඔය පූසන්ට, බල්ලන්ට කවි ලියනවා. රෑට ලියලා උදේට කුස්සියේ එල්ලලා තියෙනවා. හරි සරල දේවල් ඉතින්. තාත්තා කිසි දෙයක් වැඩිය බරපතලෙට ගන්න කෙනෙක් නෙවේ.

* සැහැල්ලුවෙන් ජීවත් වුණ කෙනෙක්?

ඔව්, හරි සැහැල්ලුවෙන් වගේම සරලව ජීවත් වුණා. මට නම් තාත්තා ගැන හිතුණේ එහෙමයි. ඒ නිසාම එයා හිතුවේ නෑ අන්තිම කාලේ එයාට එහෙම වෙයි කියලා. පහු පහු වෙනකොට තාත්තාගේ තිබුණ සම්බන්ධතා ගොඩක් බිඳ වැටුණා. ඒ පාළුව, තනිකම මකා ගන්න එයා කළේ චිත්‍රපට නරඹන්න යන එක.

* කොහෙද ගියේ?

‘මැජෙස්ටික්’ එකට තමයි වැඩිපුර ගියේ. එතකොට ගෙදර ‘Super Cub 70’ ස්කූටරයක් තිබුණා. මම තමයි එක් කරගෙන යන්නේ. දෙතුන් වතාවක් තාත්තව මම එහෙම එක් කරගෙන ගිහින් තියෙනවා. තාත්තා ගොඩක් කාර්යබහුල ජීවිතයක්නේ ගත කළේ. රටේ කලබල තිබුණ කාලේ ප්‍රසංග එහෙම නැතිව ගියා. ෆිල්ම්ස් නැතිව ගියා. ඒ හුදෙකලාව තාත්තට දරා ගන්න බැරි වුණා.

* එතකොට තාත්තාගේ පෞද්ගලික ජිවිතයේත් නොයෙක් ප්‍රශ්න උද්ගත වෙලා?

ඒ වෙනකොට රාවතාවත්තේ ගෙදර ජීවත් වුණේ මමයි, තාත්තයි විතරයි. මානෙල් ඇන්ටිත් තාත්තව දාලා ගිහින්. ඊට පස්සේ තමයි තාත්තා අසනීප වුණේ. එයා ගෙදර ඉන්න කොට එක පාරටම වැටුණා දවසක් කලන්තේ හැදිලා. ඊට පස්සේ තාත්තාව කළුබෝවිල රෝහලට එක්කරගෙන ගියේ මම.

* ඊට පස්සේ අයියලා, අක්කලා මැදිහත් වෙනවා?

ඔව්, එයාලා ඇවිත් අපි සේරම තාත්තා කොළඹට ගෙනාවා.

තාත්තා ජාතික රෝහලේ 63 වාට්ටුවේ ඉන්නවා කතා කර ගන්නත් බැරිව. එක දිගට දවස් තුනක් මම තමයි තාත්තා ළඟ ඉන්නේ. එතනින් තමයි අයියා සිද්ධමුල්ලේ ගෙදරට තාත්තාව ගෙනි යන්නේ. ඒ ඉන්න කොට තමයි ආයේ අසනීපෙ වැඩි වෙලා කළුබෝවිල ඉස්පිරිතාලෙට එක් කරගෙන එන කොට තාත්තා නැති වෙන්නේ. අයියගේ හරි අක්කගේ හරි අතේ තමයි තාත්තා අවසන් හුස්ම හෙළුවේ.

* කෙසේ හෝ තාත්තා අනිතිම කැමැති පත්‍රය ලියන්නේ ඔබට?

තාත්තා එයාගේ සිංදුවල නීත්‍යානුකුල අයිතිය මට දුන්නා. එයා තමන්ගේ අන්තිම කැමැති පත්‍රය මඟින් තමයි ඒ අයිතිය මට පවරලා තියෙන්නේ. දෛවයේ නියමය පරිදි ඒ දේ එහෙම වුණා. මට හිතෙන්නේ දැන් තමයි හොඳම වෙලාව කියලා තාත්තා වෙනුවෙන් මොනවා හරි කරන්න.

* ගීත ගායනය පිළිබඳ ඔබේ අත්දැකීම් කොහොමද?

තාත්තා ඔහුගේ මිත්‍ර සංගීතඥයකුගේ මාර්ගයෙන් මට ගීත ගායනය පුහුණු කළා. ඔහු ප්‍රසංග වේදිකාවල ගී ගයන්නත් මාව රැගෙන ගියා. ඊට පස්සේ ටවර්හෝල් පදනම මඟින් පවත්වපු සංගීත සංදර්ශන සඳහාත් මම සම්බන්ධ වුණා කිහිප වරක්ම. එතකොට තාත්තා ජීවතුන් අතර නෑ.

* ගායන හැකියාව වගේම නීතිමය අවසරය තිබිලාත් ඇයි මෙතෙක් කල් ප්‍රමාද වුණේ ක්ෂේත්‍රයට පිවිසෙන්න?

මට දැන් පුත්තු දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම මට මුලින්ම ඕනෑ වුණේ මගේ පෞද්ගලික ජීවිතය හදාගන්න. ඒ නිසා කලාව පැත්තට නැඹුරු වෙන්න ලොකුවට උත්සාහ කළෙත් නෑ. ඒත් තවදුරටත් එහෙම නිහඬ විය යුතු නෑයි කියලා මට හිතුණා.

* එහෙම හිතෙන්නත් විශේෂ හේතුවක් තිබුණා?

ඔව්. ඇත්තටම ‘රාජ මාළිගේ’ ගීතය සම්බන්ධව පැන නැගුණු ගැටලු සහගත තත්ත්වය නිසයි මම මේ විදිහට ජනතාව අතරට එන්න තීරණය කළේ. මොකද හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ ගීතවලට උරුමක්කාරයෙක් නෑ කියලයි. එක එක්කෙනා ඉදිරිපත් වෙලා එක එක දේවල් කියන නිසා ජනතාවට තාත්තා වෙනුවෙන් ඇත්ත පහදා දීම මගේ යුතුකමක් කියලා හිතුණා.

* ‘රාජ මාළිගේ’ ඇතුලු ෆ්‍රෙඩී සිල්වාගේ ගීතවල අයිතිය තිබෙන්නේ තමාට බව චාන්දනි සිල්වා පසුගියදාක ‘සරසවිය’ට ප්‍රකාශ කළා?

මම හිතන්නේ අක්කගේ නොදැනුවත්කම වෙන්නැති. එයා දැනගෙන ඉන්න නැතිව ඇති සමහර විට මේ ගීතවල අයිතිය මට තිබෙන බව. ඇත්තටම මම ඒ බව කියලත් නෑ එයාට.

* එතකොට චාන්දනී මේ බව දන්නේ නෑ කියලද ඔබ කියන්නේ?

නොදන්නවා ඇති. දන්නවා නම් එහෙම ප්‍රකාශ කරන්නේ නෑනේ. තාත්තා මට මේ දීලා තිබෙන අන්තිම කැමැති පත්‍රය අභියෝගයට ලක් කරනවා නම් මම ඕනෑ වෙලාවක සූදානම් ඊට මුහුණ දෙන්න. මට කිසි ප්‍රශ්නයක් නෑ, මට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. මේක අවලංගු වෙන්න වලංගු දෙයක් තියෙන්න එපායැ.

* එතකොට ‘රාජ මාළිගේ’ ගීතය ගායනා කළ ‘රෙඩ්’ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට චාන්දනී කිව්වා?

එහෙම ප්‍රකාශයක් කළ බව මම දන්නේ නෑ.

* ඇය එසේ ප්‍රකාශ කර තිබුණා ‘සරසවිය’ පුවත්පතට. දැන් එතකොට ෆ්‍රෙඩිගේ ගීතවල අයිතිකරුවා හැටියට ඔබ මේ ප්‍රශ්නය දෙස බලන්නේ කොහොමද?

රෙඩ් මේ ගීතය ගායනා කළා කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද එයා යළි ඒ ගීතය ගායනා කළ නිසානේ ආයේ ෆ්‍රෙඩී සිල්වා කියන නම ඉස්මතු වෙන්නේ. ඒ නිසා අපි රෙඩ්ට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ ගීතය ගායනා කළාට.

* ‘රාජ මාළිගේ’ ෆ්‍රෙඩී සිල්වා ගැයූ ගීයක් බව රෙඩ් දැනගෙන සිටියේ නැහැලු?

ඇත්තටම මම දැනගෙන හිටියෙත් නෑ. තාත්තාගේ ගොඩක් ලියකියවිලි, පේපර් කටින්ස් මගේ ළඟ තියෙනවා. ඔය කතාබහ ඇති වුණ නිසාම මම ඒ ගැන හොයලා බැලුවා. එතකොට තමයි මට තාත්තාගේ ගීත ඇතුළත් මේ ගීත පොත හම්බ වුණේ. එක්දහස් නවසිය හැට ගණන්වල තාත්තා එවකට ගැයූ සියලුම ගීත ඇතුළත් කර තමයි මේ පොත මුද්‍රණය කර තිබෙන්නේ. මේ පොතේ මිල සත 50 යි.

* සිරිල් ඒ. සීලවිමල ගීතය රචනා කළ බවකුයි ඔහුගේ දයාබර බිරිය සහ චාන්දනී පසුගියදා මාධ්‍යයට පවසා සිටියේ?

සිරිල් ඒ. සීලවිමලයන් තාත්තාට හුඟක් ගීත ලියා තිබෙනවා. නමුත් මේ පොතේ ඒ ගීතයේ රචකයා හැටියට සඳහන් වන්නේ බැසිල් එම්. සිල්වා කියලා කෙනෙක්. මම දන්න තරමින් ගුවන්විදුලි තැටියේත් සිරිල්.ඒ.සීලවිමල කියන නම සඳහන්ව නෑ.

* තාත්තාගේ ‘රාජ මාළිගේ’ ඔබ ඇහුවද?

මේ ළඟදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී තමයි මම මුලින්ම ඒක ඇහුවේ. එතෙක් මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම තාත්තා මෙහෙම ගීතයක් ගයා තිබෙනවා කියලා.

* යළි ඉදිරියේදිත් තාත්තාගේ ගීත කිසිවකු ගායනා කරනවා නම් ඔබ ඊට ගන්නා පියවර?

ඕනෑම කෙනෙකුට තාත්තගේ ගීත ගායනා කරන්න පුළුවන්. විකෘති නොකර. හැබැයි පුළුවන් නම්.

* ඇයි පුළුවන් නම් කිව්වේ?

මම හිතන්නේ නෑ එහෙම පුළුවන් වෙයි කියලා. මොකද ෆ්‍රෙඩී සිල්වාගේ ශෛලිය එහෙම හැමෝටම ගායනා කරන්න බෑ. පුළුවන් නම් කරන්න. ඒකේ මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මින් ඉදිරියට ෆ්‍රෙඩී සිල්වාගේ ගීතයක් සම්බන්ධව යම් දෙයක් දැනගන්න කාට හරි ඕනෑ නම් කතා කළ යුත්තේ මටයි. ඒක තමයි මට රටට, තාත්තාගේ ආදරණීය රසිකයන්ට කියන්න තියෙන පණිවිඩය.

* ඉදිරියේදී ඔබ ප්‍රසංග වේදිකාවේ තාත්තාගේ ගී ගයනවාද?

අනිවාර්යෙන්ම. ලබන මාසේ ප්‍රසංගයකට ඇරැයුම් ලැබිලා තියෙනවා. තවම මිනිස්සු මාව දන්නේ නැහැනේ.

මට ඕනෙ තාත්තාගේ නම ඉදිරියට ගෙන යන්න.