|
මගේ ගම ගාල්ලේඅද ‘හිච්චි’ හැටියට දකින එදා හපන් පැදුරේ බට්ටි රන්මිණි
හපන් පැදුරේ පෙළහර පෑ මේ බට්ටිව ඔබට මතකයි නේද? ඇය මේ දිනවල ජැක්සන් ඇන්තනීගේ දස්කොන් ටෙලි සිතුවමේ හිච්චි ලෙසින් ඔබ හමුවට එනවා. රන්මිණි ශාක්‍යා ලොරෙන්සුහේවා තමයි ඇගේ සැබෑ ජීවිතයේ නම. පුංචියට පුංචියේ හිටියට මෙයා නම් ගම්මිරිස් ඇටයක් වගේ සැරයි. රන්මිණිගේ සුරතල් කටහඬ එදා හපන් පැදුර පුරා විසිරි ගියා. ඉතින් බොහෝ කලකට පසුව ඇය ආවේ ඇගේ නවතම තතු සරසවියට කියන්න. අද FB පිටුවේ ආධිපත්‍ය පතුරු වන්නේ ඇයයි. * රන්මිණි, හිච්චි හරහා නේද ඔබ වසර ගණනාවකින් අනතුරුව නැවතත් රසික රසිකාවන් හමුවන්නේ? ඔව්. මම ඉතාම ආසාවෙන් රඟපෑ චරිතයක් හැටියට හිච්චිව හඳුන්වා දෙන්න පුළුවන්. මට මේ චරිතය ඉතාම විශේෂයි. මොකද මේ තමයි මගේ පළමු දීර්ඝ ටෙලි නාට්‍යය රංගනය. මීට කලින් අසනි වර්ෂා නම් වූ ඒකාංගික ටෙලි නාට්‍යයක හිටියා. ඒක හින්දා හිච්චිව මට ජීවිතේට අමතක නොවන චරිතයක් වේවි. * කවුද ඔබට හිච්චිගේ චරිත රංගනයට ඇරැයුම් කළේ? එහි අධ්යක්ෂ ජැක්සන් මාමා තමයි කතා කළේ. * දස්කොන්ට කලින් ඔබට වෙනත් දීර්ඝ ටෙලි නාට්‍යකට ඇරැයුම් ලැබී නැද්ද? ලැබුණා. ඒත් මං ගියේ නැහැ. * ඇයි ඔබට හිච්චි විශේෂ වුණේ? දවසක් ජැක්සන් මාමා මට කතා කරලා කිව්වා දස්කොන් නම් වූ නාට්‍යයක් කරනවා. ඒකේ මෙන්න මේ වගේ චරිතයක් තියෙනවා කියලා. මං ටිකක් කල්පනා කළා. එතකොට ජැක්සන් මාමා ‘මම හිච්චි කියන චරිතය මැව්වෙ උඹ වෙනුවෙන්මයි’ කියලත් කිව්වා. මං දන්නවා ජැක්සන් මාම ආවට ගියාට නිර්මාණ කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතිං මං ඔහුගේ ආරාධනය බොහොම ගෞරවයෙන් පිළිගත්තා. * රන්මිණිව හපන් පැදුරෙන් පසුව අප දුටුවෙම නැහැ. කොහෙද මෙච්චර කල් අතුරුදන් වෙලා හිටියේ? මම අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා පසුව රැකියාවකට ගියා. මේ වන විට මං මගේ වෘත්තීය ජීවිතයේ වැඩ කටයුතුවලට වැඩි වශයෙන් හිත යොමු කරලා තියෙන්නේ. * කොහෙද? කවුරු විදිහට ද ඔබ සේවය කරන්නේ? රත්මලානේ බිහිරි විද්‍යාලයේ කථන භාෂා චිකිත්සකවරියක විදිහට තමයි මං වැඩ කරන්නේ. * ඔබේ වෘත්තියේ ස්වභාවය දැනගන්නට කැමැතියි? මෙහෙමයි. ළමයෙක් සාමාන්‍යයෙන් බහ තෝරන වයසක් තියෙනවා. ඇතැම් විට සමහර ළමුන්ගේ ඒ කාලය පරක්කු වෙන්න පුළුවන්. ඒ වගේම ළමයෙක් කතාබහ කිරීම පටන් ගත්තත් වැරැදි විදිහට වචන උච්ඡාරණය කිරීම සිදු විය හැකියි. අන්න ඒ වගේ අවස්ථාවන්වලදී ප්‍රතිකාර කිරීම තමයි කථන භාෂා චිකිත්සකවරියකගේ රාජකාරිය. මං මේ වෙලාවේ තවත් යමක් කියන්න ඕනෑ. ළමුන් මෙහෙම බහ තෝරන්න පහුකරද්දි ඇතැම් මව්පියන් හිතනවා, එහෙම වෙන්නේ අපලවලට කියලා. ඒක මිත්‍යා මතයයක්. එවැනි අවස්ථාවලදී බල බල ඉන්න එපා නිසි ප්‍රතිකාර දරුවන්ට ලබා දෙන්න. * කලාවේ වැඩිපුර නියැලෙන්නේ නැත්තේ රැකියාවෙහි ඇති වගකීම් වැඩි නිසා වෙන්න ඇති? ඔව්. ඇත්තටම වෙලාවක් නැහැ කලා කටයුතුවලට සහභාගි වෙන්න. ඒත් කලාවෙන් ඈත් වෙන්නේ නම් නැහැ. * අපට මතකයි ඔබ හපන් පැදුරේ අපූරුවට ගී ගැයුවා. නමුත් ඒ හඬින් ස්වතන්ත්‍ර ගීයක් තවම අපට අසන්නට බැරි වුණා? අද ඕනැ තරම් ගායක ගායිකාවෝ ඉන්නේ සිංදු කියන්න. * එහෙම නෙවෙයි, ඒ කාලේ බහුතරයක් රසික රසිකාවියෝ ඔබ වටා රොද බැඳුණේ ඔබේ කිංකිණි සුරතල් කටහඬට? ඒක ඇත්ත. මගේම ගීතයක් එළිදක්වන්න තියෙන එකම බාධාවත් කාල වේලාවේ ප්රශ්නය තමයි. ඒත් බලමු. * අද බිහි වෙන ළමා වැඩසටහන් රන්මිණිට දැනෙන්නේ කොහොමද? මං විශේෂයෙන් ටෙලිවිෂනය බලන්නේ නැහැ. නමුත් ඉඳහිට ටී. වී. එකේ දකින ළමා වැඩ සටහන් ගැන නම් ඇත්තටම දුක හිතෙනවා. මම නම් කියන්නේ ගුණාත්මකභාවයක් නැති වැඩසටහන් කරනවාට වඩා මුකුත් නොකර හිටියා නම් හොඳයි කියලා. * ඔබට එවන් වූ ළමා වැඩ සටහන්වලට ආරාධිත ශිල්පිණියක් විදිහට කතා කරලා නැතිද? තවම නම් නැහැ. ආරාධනා කළත් දෙවතාවක් හිතලා තමයි සහභාගි වන්නේ. * හපන් පැදුරේ සුන්දරත්වය ගැන ඔබත් සමඟ කතා නොකළොත් ලොකු අඩුවක් වේවි? ඒ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ. තවමත් මාව වැඩි දෙනෙකු හඳුනා ගන්නේ හපන් පැදුරෙන්. එම වැඩ සටහන නිසා මට ගොඩක් ප්රවීණයින්ව ඇසුරු කරන්න වාසනාව උදා වුණා. ඔවුන්ගෙන් ලද උපදෙස් හින්දා තමයි අපි අදට වුණත් ක්ෂේත්රයේ ගරුත්වය ආරක්ෂා කරගෙන ඉන්නේ. * දස්කොන් නාට්‍යයෙන් පසුව ඔබට වෙනත් චරිත සඳහා ආරාධනා ලැබුණාද? තවම නැහැ. * හිච්චිගේ චරිතය පණ පොවන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි ඊළඟට මං අහන්නේ? අපි ගිලීමලේ හරියේ දිය ඇල්ලක් කිට්ටුව රූගත කිරීම් සිදු කළා. එතැන හරියට කූඩැල්ලෝ. හරිම බයෙන් තමයි එතැන හිටියේ. ඇඟේ තියෙන ලේ නිකරුණේ කූඩැල්ලෙකුට දෙන්න බැහැනේ. නේද. මං තව සිදුවීමක් කියන්නම්. ඒක නම් හරිම භයානකයි. ඔන්න දවසක් හවසක රූගත කිරීම් නිම වුණා. මං කොළඹ එන්න වෑන් එකට නගින්න හදද්දී සහාය අධ්යක්ෂවරයා කිව්වා මට යන්න එපා පහුවෙනිදට තව එකම එක සීන් එකක් තියෙනවා කියලා. නහයෙන් අඬ අඬ මං එදා ලොකේෂන් එකේ හිටියේ. පහුවෙනිදා ආරංචි වුණා මම යන්න හදපු වාහනය ඇක්සිඩන්ට් වෙලා කියලා. මං සාමාන්‍යයෙන් වාහනයේ යන්න කැමැති ඉස්සරහ සීට් එකේ. බැරි වෙලාවත් එදා මං ගියා නම් ඉවරෙටම ඉවරයි. * රන්මිණි කලාවේ නියැලෙන්නේ විනෝදාංශයක් හැටියට වගෙයි? ඔව්. මට කලාව විනෝදාංශයක් හැටියට තමයි කරන්න වෙලා තියෙන්නේ. ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්නයි රැකියාවක නියැලෙන්නේ. * රන්මිණිගේ පවුලේ විස්තරත් කියමු? අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි. * රන්මිණිගේ පාසල? සවුත්ලන්ඩ් බාලිකාව, ගාල්ල. * එතකොට පදිංචිය? ගම ගාල්ල, වර්තමාන පදිංචිය රත්මලාන. * ඔබ ගැන ඔබම කෙටියෙන් හඳුන්වා දෙන්නකො? කරුණාවන්ත කෙනෙක්.
|