වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මසේන පතිරාජ ‘සක්කාරං’ සමග යළි සිනමාවට

ධර්මසේන පතිරාජ ‘සක්කාරං’ සමග යළි සිනමාවට

දේශීය සිනමාවේ විශිෂ්ටතම සිනමාවේදියෙකු වන ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කළ නවතම චිත්‍රපටය ‘සක්කාරං’ ළඟදීම තිරගත වීමට නියමිතය.

චම්මින්ද වෙලගෙදර විසින් රචිත 2011 වසරේදී ස්වර්ණ පුස්තක සම්මාන දිනූ ‘සක්කාරං’ නවකතාව ඇසුරින් මෙම චිත්‍රපටයේ තිරපිටද ඔහු විසින්ම රචනා කරන ලදී. ආකාස කුසුම් චිත්‍රපටය නිෂ්පාදනයෙන් ජගත් කීර්තියට පත් නිෂ්පාදක එච්. ඩී ප්‍රේමසිරි සක්කාරංහි නිෂ්පාදකවරයා ය. බිමල් ජයකොඩි, ප්‍රසාදිනි අතපත්තු, ගයාන් වික්‍රමතිලක, පුබුදු චතුරංග, සිරිල් වික්‍රමගේ, සරත් කොතලාවල, ඩබ්ලිව් ජයසිරි, ලයනල් වික්‍රම, චමිලා පීරිස්, තුසිත ලක්නාත්, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස් සහ අනුර බණ්ඩාර රාජගුරු ඇතුළු නළු නිළියෝ රැසක් මෙහි චරිත මවති.

ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන් ද ඉමාල් ශානක පීරිස් වේශ නිරූපණයෙන් ද එල්මෝ හැලිඩේ සංස්කරණයෙන් ද නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද මාධවී ලෙව්කේ බණ්ඩාර සහ සුදත් අමරජීව බණ්ඩාර සහය අධ්‍යක්ෂණයෙන්ද චමත් පරණවිදාන පරිගණක සජීවකරණයෙන්ද සක්කාරං සඳහා දායක වෙති.

1974 වසරේදී අහස් ගව්ව චිත්‍රපටය නිර්මාණය කරමින් වෘත්තිය සිනමාකරණයට පිවිසි ධර්මසේන පතිරාජ එයා දැන් ලොකු ළමයෙක්, පාර දිගේ, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, මතුයම් දවස, පොන්මනී වැනි චිත්‍රපට රිදී තිරයට එක් කළේය. සක්කාරං ලෙස පතිරාජයන්ගේ සිනමා කෘතියක් යළි තිරයට පැමිණෙන්නේ පහළොස් වසරකට පසුවය. ඔහු අධ්‍යක්ෂණය කළ අහස් ගව්ව චිත්‍රපටය දේශීය සිනමාවේ දෙවන හැරවුම් ලක්ෂය ලෙසද විචාරකයෝ සළකනු ලබති.

පවන රළු විය, ආකාස කුසුම්, බිත්ති හතර චිත්‍රපට නිෂ්පාදනය කළ එච්. ඩී ප්‍රේමසිරි කුසපබා චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා ද වේ.