වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපටය වූ කලී කාලය නම් ගලෙන් නෙළන පිළිමයකි

චිත්‍රපටය වූ කලී කාලය නම් ගලෙන් නෙළන පිළිමයකි

ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි

පුදුම හත කලා සිත් පුදුම කරවූ දේ සටහන් වන පිටුවයි. චිත්‍රපට, නාට්‍ය, ටෙලි නිර්මාණ සේම පුද්ගල චරිත ද එහි විශේෂය. අද පුදුම හතට පැමිණෙන්නේ සිනමාව කියවූ විශේෂ චරිතයකි.

සිනමා ලේඛකයෙකු ලෙසින් වසර ගණනාවක් කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින ඔහු වර්තමානයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරන්නේ.

ඔහු ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ය. ඔහු පුදුම හත වෙනුවෙන් තම රසවින්දනය උසස් මට්ටමකට කැඳවූ සිතුවිලි ලෝකය ප්‍රකම්පනය කළ සිනමා නිර්මාණ හතකි.

පවුරු වළලු

නීටා ප්‍රනාන්දු වයලට් ලෙසින් සහ ටෝනි රණසිංහ වික්ටර් ලෙසින් චරිත නිරූපණය කළ පවුරු වළලු චිත්‍රපටයත් විශේෂිත වූ චිත්‍රපටයක්. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ මෙහි තිර පිටපතත් ටෝනි රණසිංහයන් විසින් කළ අපූරු නිර්මාණයක්. පවුරු වළලු චිත්‍රපටයේ සිනමා රූප භාෂාව හසුරුවා තිබෙන ආකාරය ඉතාම විශේෂයි.

ඒ වගේම සමස්ත චිත්‍රපට අතර පරිණත සිනමා කෘතියක් ලෙසින් මා දක්වන්න කැමැතියි. එහි චරිත, සමාජ ජීවිතය, මානව සම්බන්ධතා පුදුමාකාර අයුරින් රූප භාෂාව සමඟ මුසුකර ගන්නට අධ්‍යක්ෂවරයා සමත් වී තිබෙනවා.

මේ නිර්මාණය තුළදී ගාලු කොටුව විශාල චරිතයක් රඟපාමින් විශාල සාධාරණයක් ඉටුකර ඇති බව මගේ අදහසයි. ජීවිතයේ ඇති සීමා සමාජ සම්බන්ධතා පශ්චාත් යටත් විජිත ලංකාව එහි සමාජමය පරාමිතිය සංස්කෘතිය ආදි විවිධ දේ මේ පවුර තුළ කතාවට ගැනෙනවා. රංග පාරාසය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය ආදී වූ සියලුම පැති එකින් එක මනාව සම්බන්ධවී පවතිනවා. එය මා දුටු ඇද පලුදු නැති පිරිවැද්දුම් නැති සිනමා නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න කැමැතියි.

විරාගය

1988 වසරේදී ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ විරාගය චිත්‍රපටය විශේෂ වන්නට හේතු වන්නේ නවකතාවට මූලික වශයෙන් තිබෙන බැඳීමයි. මහා කතුවර මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කෘතිය ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන් නිර්මාණය කළ විරාගය බොහොම ප්‍රවේශමෙන් කළ සිනමා නිර්මාණයක්. මා මෙය වඩාත් ප්‍රිය කරන්නේ පෞද්ගලිකව මා කම්පනය කළ එහි අන්තර්ගත කතා වස්තුව හා ජීවන දර්ශනය යි. එහි අරවින්දගේ චරිතය සිංහල නවකතාවේ වගේම සිංහල සිනමාවේත් අපට හමුවන දුර්ලභ සංකීර්ණ චරිතයක්.

ඔහු තුළ ඇති වන සම්බන්ධතාවල ස්වභාවය ලෝකය අර්ථකථනය කළ ආකාරය, ඔහු ජීවත් වූ දකුණු පළාතේ මුහුදුබඩ ජන ජීවිතය, අරවින්ද තම පවුල වගේම බාහිර සමාජයේ කළ ගනුදෙනුවල ස්වරූපය සේම තමන්ගේම සිත ලෝකය කරගෙන ඒ තුළ ජීවත් වන අරවින්ද මම අර්ථ ගන්වන්නේ ලාංකික පිරිමියා ලෙසින්. ඒ වගේම අරවින්ද නම් චරිතය දෙස ලබන විට ඇතැම් සිතුවිලි මා සමඟත් සමපාත වූ අවස්ථා තිබුණා. අරවින්ද වැනි චරිතයක් සිනමාවට නැඟීම ඉතා දුෂ්කර ක්‍රියාවත් බවයි මගේ හැඟීම. ඒ අභියෝගය තිස්ස අබේසේකරයන් ජයගත් අන්දම මා මෙතරම් විරාගය නම් වූ සිනමා නිර්මාණය කෙරෙහි බැඳෙන්නත් හේතු වුණා.

Reader

1995 වසරේ බර්නාඩ් ඩිල්න්ත් විසින් රචනා කළ රීඩර් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය ස්ටීවන් ඩැල්ග්‍රීගේ විශිෂ්ට අධ්‍යක්ෂණයක්. 1940 පමණ වූ කාලයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මානු සමාජය වගේම තරුණ නීති ශිෂ්‍යයෙකු තමන්ට වඩා වයසින් දෙගුණයක් පමණ වැඩිමහල් කාන්තාවක සමඟ වන ප්‍රේම සම්බන්ධයක් මෙයින් ගෙන එනවා. මෙහි හැනා ස්මිත් ලෙසින් හොලිවුඩ් නිළි කේට් වින්ස්ලට් චරිත නිරූපණය කරනවා. ඇය මා වඩාත් ප්‍රිය කරන බටහිර නිළියක්. ටයිටැනික් චිත්‍රපටය සමඟින් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තද රීඩර් චිත්‍රපටයේ රංගනය මා එයට වඩා විශේෂ ආකාරයෙන් දකිනවා.

මේ චිත්‍රපටය තුළ ස්ත්‍රී පුරුෂ ආදරය, මනුෂ්‍ය සම්බන්ධතාවල ගැඹුර, කොතෙක් දුරට මිනිසුන් විමතියට පත් කරන්නේද යන්න මනාව පිළිබිඹු කරනවා. හැනා ස්මිත් අවසානයේ සිර කුටියක දිවි නසා ගන්නා මරණයෙන් පවා දක්වන්නේ කාන්තාවකගේ සිතේ ඇති වන ආදරය කෙසේද යන්නයි. ඇත්තටම එය සිත කම්පනය කරවන්නක්. සාමුහික වගකීම, ඒ වෙනුවෙන් අවශ්‍ය වූ අධ්‍යාපනය පිළිබඳ වරදකාරි හැඟීම යන කාරණාද මේ තුළ සාකච්ඡා කරනවා. මෙයින් අපට මනුෂ්‍ය ජීවිතයට සමීප මුළු ලෝකයම නැරඹිය හැකි පුංචි කවුළුවක් විවර වනවා.

දේව්දාස්

සරත් චන්ද්‍ර චත්‍රෝපාද්‍යගේ 1917 වසරේදී ලියවුනු මේ නවකතාව 1927 සිට 2013 දක්වා දහසය වරත් සිනමාවට නැගී තියෙනවා. එයින් මා වඩාත් ප්‍රිය කරන්නේ 2002 වසරේ සන්ජේ ලීලාබන්සාලි අධ්‍යක්ෂණය කළ දේව්දාස් චිත්‍රපටය යි. මෙහි මධුරි ඩික්සිත්, ඓශ්වර්යා රායි සහ ෂාරුක් ඛාන් චන්ද්‍රමුඛී, පාර්වතී සහ දේව්දාස් ලෙසින් කළ චරිත නිරූපණය විශේෂයි. මා වඩාත් මෙයට කැමැති වෙන්න හේතු වන්නේ එහි ගොඩනඟා ඇති ස්ත්‍රී පුරුෂ ප්‍රේමය තුළ පෙරළා කිසිවක් නොපතන ආදරය යි.

දේව්දාස් චන්ද්‍රමුඛී සහ පාර්වතී යන ගැහැනුන් දෙදෙනා වෙත දක්වන ආදරයේ පිරිමියෙකු තුළ ඇති වන ආදරයේ ප්‍රධාන ධාරා දෙක දැක්වෙනවා. එහිදී බිරිඳ වෙනුවෙන් වූ ආදරය චන්ද්‍රමුඛී වෙතත් පෙම්වතිය වෙනුවෙන් වන ආදරය පාර්වතීහටත් දක්වනවා. මේක අතිශය සංකීර්ණ තත්ත්වයක්. මෙහි විශේෂය වන්නේ මේ චරිත දෙක එක් පුද්ගලයෙකු නොවී දෙදෙනෙකු වීමයි. එවගේම මධුරි ඩික්සිත් කියන්නෙත් මා වඩාත් ප්‍රිය කරන බොලිවුඩ් රංගන ශිල්පිනියක්. ඒවගේම කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, ඇඳුම් නිර්මාණය, සැරසිළි ආදියත් ඉතාම අනර්ඝ අයුරින් යොදා ගෙන තිබීම විශේෂයි.

Gloomy Sunday-

රැල්ප් ෂූබල් විසින් 1999 දී අධ්‍යක්ෂණය කළ හන්ගේරියානු චිත්‍රපටයක් වන Gloomy Sunday- A Song of Love and Death (ග්ලූමි සන්ඩේ – අ සෝන්ග් ඔෆ් ලව් ඇන්ඩ් ඩෙත්) චිත්‍රපටයත් මා වින්දනයට මෙන්ම කම්පනයට පත් කළ අපූරු සිනමා නිර්මාණයක්. එයද දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ වෙන්නක්. යුදෙව් ජාතිකයන් මිලියන හයක් අතු ගා දැමීම සමඟ ඇති වූ විශාලතම කැළලක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. එය හා සම්බන්ධ තවත් සිනමා නිර්මාණ ගණනාවත් බිහිවුවද Gloomy Sunday චිත්‍රපටය තුළ එයින් එහාට වන තවත් බොහෝ දේ ඇති බව කියන්න පුළුවන්. යුදෙව් ජාතික අවන්හල් හිමියා, පියානෝ වාදකයා සහ අවන්හලේ වේටර්වරිය යන චරිත තුන මෙහිදී විශේෂ වෙනවා. එහිදී වේටර්වරියගේ චරිතයෙන් පෙම්වතිය සහ බිරිඳ ලෙසද භූමිකා දෙකක් නිරූපණය වෙනවා.

Gloomy Sunday චිත්‍රපටයේ අවන්හල් හිමිකරු, පියානෝ වාදකයා සහ වේටර්වරිය අතර අපූරු ත්‍රිකෝණ ප්‍රේම කතාව රූපයට නැඟෙනවා. ආදරයේ සීමා, අභ්‍යන්තර ස්වරූපය, එය වින්දනය කළ හැකි ස්වරූපය වගේම තමන්ටම අයිති කර නොගත්තද ආදරය විඳිය හැකි බව එයින් පෙන්වනවා. ජර්මන් හමුදාවේ කර්නල්වරයාගේ පැමිණීම වගේම ඔහු තුළින් ව්‍යාජ ආදරයේ ස්වරූපය ගැන කතා කරනවා. විශේෂයෙන් සිතා බැලුවහොත් Gloomy Sunday තුළත් කතා කරන්නේ සංකීර්ණ මිනිස් සබඳතා ගැනයි. එකිනෙකා තුළින් ඒවා වෙනස් වන ආකාරය මෙහිදී මැනවින් නිරූපණය කරනවා.

Ctizen Kane

1941 වසරේදී ඕෂන් වේල්ස් අධ්‍යක්ෂණය කළ අග්‍රගණ්‍ය චිත්‍රපටයක් මෙම චිත්‍රපටය විශේෂ වෙනවා. එය ලොව බිහි වූ විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙසින් සැලකෙනවා. මෙහි සිනමා භාෂාව ව්‍යාකරණ හා කතාව ගෙන එන ආකාරය ඉතාම විශේෂයි.

මන්දයත් අද බිහිවෙන නිර්මාණ සමඟ සන්සන්දනය කිරීමේදී 1941 වසරේදී එවැනි නිර්මාණයක් බිහි කිරීම මෙන්ම එම නිර්මාණකරු වයස අවුරුදු 26ක තරුණයෙකු වීමත් අවධානය යොමු කළ යුතුයි. රූප භාෂාව, සිනමා ව්‍යාකරණය, සංස්කරණය, කැමරා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, රංගනය වගේම සංගීතය වැනි වූ සියලුම අංශ ගැන කතා කරන මනහර අත් පොතක් ලෙසින් එය හඳුන්වන්න පුළුවන්.

ලොව අගයන ප්‍රබල ධනවතෙකු සිය අවසන් හුස්ම හෙළන අවස්ථාවේදී මුවින් පිට කරන ‘රෝස් බඩ්’ නම් වූ වචන දෙක ඔස්සේ මෙම කතාපුවත දිවයනවා. සියලු සැප සම්පත් හමුවේ ඔහුට හිමි නොවී අවසන් මොහොතේ පවා කම්පනයට පත් කළ මේ රෝ්ස් බඩ් යනු කුමක්ද යන්න සෙවීමේදී හෙළ වන්නේ ඒ නම ඔහු කුඩා වියේදී තම හිම ඔරුවට තැබූ සුරතල් නම බවයි. එනම් ඔහුට අහිමි වී ඇත්තේ ඔහුගේ ළමා කාලයයි. මෙහිදීද මනුෂ්‍ය ජීවිතයක ඇති වූ ප්‍රබලතම ගැටලුවක් නිරාකරණය කළ ආකාරය ඉතාම විශිෂ්ටයි.

ආන්ද්‍රේ තර්කොව්ස්කි

පුදුම හතේ හත් වැන්නට මා තෝරා ගන්නේ විශිෂ්ට නිර්මාණ හතක් බිහි කළ අපූරු නිර්මාණකරුවෙක්. නිර්මාණයෙන් නිර්මාණයට කතා කරන්න අද අවස්ථාව නොමැති වූයෙන් ආන්ද්‍රේ තර්කොව්ස්කිගේ සමස්ත නිර්මාණ කාර්යභාරය ගැන කතා කරන්න මා තීරණය කළා.  Ivan’s Childhood  (අයිවන්ස් චයිල්ඩ්හුඩ්), Andrei Rublew (ආන්ද්‍රේ රුබ්ලෙව්), Solaris (සොලාරිස්), Mirror(මිරර්), Stalker (ස්ටෝල්කර්), Nostalghia (නොස්ටාල්ජියා), The Sacrifice (සැක්‍රිෆයිස්) යන මේ චිත්‍රපට හතම ඔහු විසින් කළ විශිෂ්ට නිර්මාණයන්. මා දකින පරිදි ඔහුගේ විශිෂ්ටත්වය වන්නේ නව සිනමා භාෂාවක් සොයා ගැනීමයි. චිත්‍රපටය වූ කලී කාලය නම් ගලින් නෙළූ පිළිම මෙනි. තර්කොව්ස්කිගේ නිර්මාණ හතද උක්ත සංකල්ය තුළ ප්‍රායෝගික වූ උදාහරණ හතකි.