|
සිංහයාට 76යිවැලිකතර පිළිබඳ ආශ්වාදය පෙරටු කොට ලියුවකි
මාතෘකාවට පෙර - ජීවන සිනමාවේ විජයග්‍රාහී 76 වෙනි ඉම් කුලුන පසු කර යන ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මැතිඳුන් හට සෞභාග්‍යයෙන් පිරි - නිරෝගීමත්, කාලය සහ අවකාශය නිතැතින්ම දීර්ඝ වේවායි ‘සිනමාවේනික’ වගන්තියකින්ම ප්‍රාර්ථනා කරන්නේ - සුවහසක් සිනමා ලෝලීන්ගේ සුභාසිරි ද සමඟිනි. 1971 ඔක්තෝබර් 27 වෙනිදා එළැඹෙන තුරු මට ඉවසුම් නැති විය. ඒ සිංහල රිදී තිරය - අති විශාල පුළුල් තිරයක් වන දිනයයි. මාගේ සහෝදර ගිවන්ත අර්ථසාද් මහතා විසින් නිහාල්සිංහ මහතාගෙන් ලබා ගත් ‘වැලිකතරේ’ සුවිශේෂිත වූ - කළු සුදු මි. මී. 35 හේ චිත්‍රපට ප්‍රදර්ශක පටල කැබලි ගණනාවක් මාස කිහිපයක් මුළුල්ලේ - මා දැඩි සෙනෙහසින් අත පත ගාමින් කිසිවෙකු හට නොපෙන්නට - පටල මත දිව ගා ද බැලුවේ - සිනමාවේ ‘රහ’ දැනගැනීමටය. එම පටල මත කාවැදී ඇති - ගාමිණී, ජෝ, සුවිනීතා වැනි සිංහල නළු - නිළියන්ගේ සුවිශේෂිත වූ, දෙපසින් හැකිලී ගිය රූප (ANAMORPHIC IMAGES) මාගේ ‘සීරසිමා’ නමැති රෝගී තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් කළේය? ‘සීරසිමා’ යනු - සීමා රහිත සිනමා මාන්දමයි. කාලයාගේ ඇවෑමෙන් රෝගී තතත්වය - නිරෝගී වී යෑමේදී මා වෙතින් ‘ඩිලීට්’ වී ගිය ඇතැම් පැරැණි දත්ත නැවත ‘ඩවුන් ලෝඩ්’ කර ගැනීම වෙනුවෙන් ගිවන්ථ අර්ථසාද්, ජෝර්ජ් මනතුංග, සෝමපාල ලීලානන්ද සහ නිමල් රෝසා යන මහතුන් හට ස්තුතිය පුදකර සිටින අතර, රෝගී තත්ත්වය, නැවත හිස ඔසවා ඇති බව ද කිව යුතුය. නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සූරයෝ’ 100 වෙනි දිනයට පසු දින එනම් 1971 ඔක්තෝබර් 26 වෙනි දින පමණක් මරදාන ගාමිණී (ගාමිණී හෝල්) සිනමාහල තාවකාලිකව වසා දමන ලද්දේ, පසු දින තිරගත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම පුළුල් තිර චිත්‍රපටය වන විශ්මය ජනක වූ ‘වැලිකතර’ වෙනුවෙන් සිනමාහල් තිරය ගලවා දමා, අති විශාල පුළුල් තිරයක් සවි කිරීම පිණිසය. එය ඒ අයුරින්ම සිදු වූයේ නිහාල්සිංහ මහතාගේ මැදිහත්වීමෙන්, එතුමාගේ තාක්ෂණික උපදෙස් සහ විධානයෙනි. ගාමිණී : රජ දැක්මට අවසරද . . .? සුවිනීතා : අවසරයි . . .! ඒ, වැලිකතරේ ප්‍රචාරක දැන්වීමකට භාවිත කළ ශබ්ද පටයෙන්ම උපුටා ගත් එක් දෙබස් ඛණ්ඩයකි. සිංහල සිනමාවේ රජ දැක්ම - නිහාල්සිංහගේ වැලිකතර... ඒ, බණ්ඩාර කේ. විජේතුංගයන්ගේ හඬයි. දැන්, සිංහල රිදී තිරය උස මෙන් දෙගුනයකුත්, දශම තුනයි, පහක් පළලින් යුක්තය. (1, 2, 35 - ASPECT RATIO) මොරටුව එමෙස් සිනමාහලේ අති විශාල පුළුල් තිරය මත - පළමු දිනයේ - පළමු දර්ශනය (FIRT DAY - FIRST SHOW) දහවල් 2.00 ට නැරැඹීමේදීම මා කෙතරම් සිනමාපටයට ඇබ්බැහි වී, ප්‍රමෝදයට මෙන්ම වේදනාවකට ද පත් වූවා යැයි කීවොත් පිට පිට වැලිකතර නැරැඹීමට තරම් , මා පෙළඹ වූ ඒ ‘ප්‍රමෝදය’ සහ ‘වේදනාවම’ ප්‍රධාන සාධකය බවට පත් විය. ඒ, එතෙක් සිනමා තිරයේ මාගේ ‘වීරයා’ බවට පත්ව සිටි - ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා, වැලිකතරේ ප්‍රධාන දුෂ්ට චරිතයට පණ පොවා මාගේ හදවත පෑරවීමට තරම් සාහසිකවීමයි. ගාමිණී ෆොන්සේකා දුෂ්ටයකුවීම, මට අදහාගත නොහැකි විය. රටම ආදරය කරන නළුවෙකු, එවන් අභියෝගාත්මක චරිතයක් භාර ගැනීම එදා මා අනුමත නොකළෙමි. එහෙත්. එම දුෂ්ටයා පසුපස සිටි දැවැන්ත සෙවණැල්ල අන් කාගේවත් නොව, ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂවරයාගේය. එතුමන්, ෆොන්සේකා මහතාව මෙහෙයවා ඇති ආකාරය අතිශය අපූරුය. එබැවින්, එම සුපිරි දුෂ්ටයාට සහ දුෂ්ටයාට පණ පෙවූ අධියුරුවරයාට මා අදටත් සැබැවින්ම ආදරය කරමි. මහගම සේකරයන් අතින් ලියැ වී, ඇල්විටිගලයන්ගේ සංගීතයෙන් උත්පාදනය වූ, අමරදේවයන් ගයන ‘ගිනි ගත් මරු කතරේ’ ගීතය ප්‍රධාන දුෂ්ටයාගේ චරිතාපදානය පාදක කොට ගත් දුෂ්ට චරිතය, සිනමාපටය තුළ ඔසවා තැබීමට තරම් ලියැවුණු විශිෂ්ට ගණයේ තේමා ගීතයක් බවයි මගේ රසතාවය.
ගිනිගත් මරු කතරේ
ඒ තේමාවේ - ප්‍රාර්ථනය, අවසන් ජවනිකාවේදී දුෂ්ට චරිතය තුළ ව්‍යර්ථ වී යයි. දුෂ්ටයා හෙවත් ඒ. එස්. පී. වික්‍රම රණ්දෙනිය (ගාමිණී) තම බිරිඳට (සුවිනීතාට) ලිඛිතව කරන පාපෝච්චාරණයෙන් පසු වික්‍රම, ජීවිතයම බිඳ වැටුණු ස්වරූපයෙන් - රූප රාමුවෙන් ඉවතට යයි. හිස් බවින් පිරී ගිය පුළුල් තිර රූපරාමුව මත, ප්‍රේක්ෂකයාට ඇසෙන්නේ පිස්තෝල වෙඩි හඬක් පමණි. ඒ ‘අවසානය’ අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ට වූ නිමාවක ඉදිරිපත් කිරීමක් යැයි මට හැඟේ. ඩී.බී. නිහාල්සිංහ නම් කැමරා අධ්‍යක්ෂ, සංස්කාරක ශිල්පියා විසින් ‘අල්ට්‍රාස්කෝප්’ හෙවත් ඇනමෝෆික් (ALTRASCOPE ANAMORPHIC) පුළුල් තිර කාචය 1968 දී මෙරටට රැගෙන විත්, ශ්‍රියාණි අමරසේන ප්‍රධාන චරිතයට යොදා ගනිමින් ‘කෙටි කතාව‘ නම් කෙටි චිත්‍රපටය නිර්මාණය කොට, පුළුල් තිර කාචය පිළිබඳ සහ පුළුල් තිර ක්‍රමවේදයන් පිළිබඳ පුළුල් අධ්‍යනයක යෙදුණේ තම සිනමා පාසලේ තම පුළුල් තිර ගුරුවරයාව, තමාම කර ගනිමිනි. ඉන් පසුව එතුමා වැලිකතරට පය ගැසුවේ, ලාංකේය සිනමාවේ ප්‍රථම පුළුල් තිර වෘත්තාන්ත චිත්‍රපටය එළිදැක්වීමේ අරමුණ පෙරදැරි කරගෙනය. එය - එසේ - මෙසේ හිතන තරම් පහසු කාර්යයක් නොවන වග, සිනමාවට ගැඹුරට හඳුනන අය පිළිගනු ඇත. 1979 දී ගිවන්ත අර්ථසාද් නිර්මාණය කළ ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය වන ‘දුටුගැමුණු’ පුළුල් තිර, ඇනමෝෆික කාචයක් භාවිතා නොකොට තැනූ ‘ඔර්ජිනල් ඇනමෝෆික්’ පුළුල් තිර චිත්‍රපටයක් බව කීවොත් යමෙකු විමතියට පත්වනු නොඅනුමානය. එයද සිනමාව ඉදිරියේදී පුදුම සහගත ක්‍රමවේදයකි. ඇරත්, එම ‘ඔරිජිනල් ඇනමෝෆික්’ ක්‍රමවේදය භාවිත කළ ලොව එකම චිත්‍රපටය ද ‘දුටුුගැමුණු’ බව මේ සමඟ සටහන් තැබීම නොවටින්නේද. .? කෙතරම් අනර්ඝ වුවත්, චිත්‍රපටයක් මා හය, හත් වතාවකට වඩා නරඹා නැති අතර, ‘වැලිකතර’ නැරැඹූ වාර ගණන තිස් දෙක හමාරකි. 18 වැනි වතාව පිළියන්දල ‘සීදේවි’ සිනමාහලේ නරඹින් සිටි අතර, විවේක කාලයෙන් පසු විදුලි බලය විරහිත වී යෑමෙන් වැලිකතරේ ඉතිරි භාගය අදටත් ඉතිරිව ඇති බව කිව යුතුය. ‘විලාස්නි’ දෙහිවල ද - ‘වැලන්ටයින්’ වෑතර ද ඇරුණු කළ කළුතර සිට වැල්ලවත්ත, මරදාන, කිරිබත්ගොඩ අවට ද තිරගත වූවා නම්, මා වැලිකතර නොබැලූ සිනමාහලක් සොයා ගැනීමට නොහැකි තරම්ය. එදා - මෙදාතුර - දේශීය සිනමාව තුළ බිහි වූ විශිෂ්ට ගණයේ හාස්‍යෝත්පාදක රංගධරයා වන ජෝ අබේවික්‍රමයන් ගෝරිං මුදලාලි හෙවත් දිප්පිටිගල මුදියන්සේලාගේ සුදුු බංඩා චරිතය තුළින්, අභියෝගාත්මක ගණයේ සිනමා නළුවකු බිහි කිරීමට ගත් උත්සාහයකි. ඒ වන විට, සුවිනීතා විරසිංහ නැමැති ජනප්‍රිය පෙළේ පළපුරුදු රංගවේදිනිය තුළින් සූරා මිරිකා ගත් ‘ගීතා රණ්දෙනිය’ චරිතයත්, තිස්ස අබේසේකරයන්ගේ තිර නාටකය අබිබවා යවමින් ‘අඹා’ ඇති බව, පැසසිය යුතු කාරණයක් වන්නේය. සියලු නළු - නිළියන් හට එල්බ කොට ඇති අපූරු අධියුරු විධානයන්, ප්‍රබල සංස්කරණ රටාවට සරිලන නිවැරැදි රූ ගැන්වීමත් සහ ඊටත් වඩා ගාමිණී ෆොන්සේකා මහතාව මෙහෙයවා ඇති විශිෂ්ට වූ, අපූර්වත්වය මා විශ්මයට පත් කර වූ කාරණා වන්නේය. බහු-තල සංස්කරණය ද දේශීය සිනමාවට හඳුන්වා දෙන ලද්දේ නිහාල්සිංහයන්ගේ ‘වැලිකතර’ රූ ගැන්වීමෙන් සහ සංස්කරණයෙන් බව නොකියා සිටියහොත් මෙම ලිපිය වැදගත් නොවන්නේය. දර්ශනයට පෙර, හඬ පැමිණීමෙන් සහ හඬට පෙර දර්ශනය පැමිණීමෙන්, අවිඡින්නතාවය (CONTINUTY) ගව් ගණනක් පන්නා හරිමින්, කාලය සහ අවකාශයට අධ්‍යක්ෂක මනස තුළ ගම්‍ය වන සංස්කරණ රටාව 1976 ඔක්තෝබර් 08 වනදා ලොව වටා තිරගත කිරීම ඇරැඹූ චිත්‍රපටයක් භාවිතා කිරීම ඇරැඹූ කැසෙන්ඩ්‍රා ක්‍රොසිං චිත්‍රපටයට භාවිතා කිරීමට පෙරාතුව, නිහාල්සිංහයන් විසින් 1971 දී වැලිකතරට භාවිතා කිරීම, ශ්‍රී ලාංකේය හෙළවුඩ් සිනමාව විසින් අතිශයින් පැසසිය යුතු කාරණයක්ද වන්නේය. මාද, ඒ සංස්කරණ මූලධර්මය, මාගේ ප්‍රථම චිත්‍රපටය වන ‘පෙරළිකාරයෝ’ හට (මිනීමරු විජය - හිරෙන් එන දර්ශනය) අනුගත කර ගත්තේ (ආභාෂය ලබා ගත්තේ) එසේත් නැතිනම්, අමු අමුවේ කොපි කර ගත්තේ කැසෙන්ඩ්‍රා ක්‍රොසිං චිත්‍රපටයෙන් නොව, නිහාල්සිංහ මහතාගේ වැලිකතරින් බව අභිමානයෙන් ප්‍රකාශ කරන්නේ, අප කථානායකයාට ඉමහත් ගෞරවයක් ගෙන දීම පිණිසය. තිරගතවීමත් සමඟම වැලිකතරේ වැරැදි පෙන්වීමට උත්සාහ කළ උසස් යැයි කියන විචාරකයෙකු එම සංස්කරණ රීතිය පිළිබඳ පුවත්පතකට ලියා තිබුණේ, සංස්කාරක නිහාල්සිංහ සංස්කරණය වරද්දවා ගෙන ඇති බවය. එය දුටු මා කෝපාවිෂ්ට විය. එහෙත්, සිනමා පාසැලක් නොමැති අප රටේ, එවන් මෝඩ විචාරකයින් බිහිවීම ගැන කනගාටු නොවන්නේ, පරාජයට පත් වූ කෙනෙකුට කිසිදා පහරදීම මගේ අභිලාශය ද නොවන නිසාය. 1953 වසරේ - හොලිවුඩ් සිනමාවට (CENTURY FOX) විසින් දායාද කළ හෙන්රි ක්‍රෙෂන් නම් විද්‍යාඥයාගේ ඇනමෝෆික් හෙවත් ‘සිනමාස්කෝප්’ යන වෙළඳ නාමය යෙදූ පුළුල් තිර කාච ක්‍රමවේදය, බොලිවුුඩ් සිනමාවේ ගෝර් ඕර් කාලා, පාකිෂා සහ කොලිවුඩ් සිනමාවේ රාජා රාජා චෝලාන් වැනි චිත්‍රපට නිපදවීමෙන් ඉන්දියානු කලාපීය රටවලට පුළුල් තිර ක්‍රමය සංක්‍රමණය වූයේ, වැලිකතර ප්‍රදර්ශනයෙන් අවුරුදු තුනකටත් පසුව බව සටහන් තබන්නේ, ඉන්දියානු සිනමාව හෑල්ලුවට ලක් කිරීමට නොව, අප සිනමාවේ සම්පතක් වූ ‘විසි වෙනි සියවසේ සිංහයාට’ ඒ විශිෂ්ට වූ ගෞරවය නිතැතින්ම ලැබීම වළක්වාලිය නොහැකි බැවිනි. ‘මරු කතර’ නමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළ ද, එහි ‘නමේ’ ගණ පිහිටීම නිවැරැදි වූවත් මරුකතර තුළින් පේ‍්‍රක්ෂක මනස තුළ මැවෙන චිත්‍රය වඩා සුභදායක තත්ත්වයට පත් කිරීමට නිහාල්සිංහ මහතා ‘වැලිකතර’ යනුවෙන් නම් තැබීම වඩා යෝග්‍ය යැයි චිත්‍රපටය නැරඹූ පසුව මට ද වැටහිණ. ලොව පුළුල් තිර චිත්‍රපට වන ලෝරන්ස් ඔෆ් ඇරේබියා (70MM. SUPER PANAVISION) ද, ටෙන් කොමාන්ඩ්මන්ස් (VISTAVISION) හව්ද වෙස්ට් වොස් වොන් (CINERAMA) ද ග්‍රේට් එස්කේප් (CINEMASCOPE) ෆොර් ෆිව් ඩොලර්ස් හෝ (TECHNISCOPE) වැනි දැවැන්ත චිත්‍රපට කතා පුවත් සඳහා යොදා ගත්, සිනමාවට පමණක් ආවේණික වූ අතිශය ‘දුර රූප’ හැසිරවීමේ ශිල්පීය ක්‍රමය නිහාල්සිංහයන් විසින් තෙරක් නොපෙනෙන ‘වැලිකතර’ට භාවිතා කිරීමෙන් එම කථා පුවත වඩාත් ඔපමට්ටම් වී ඇති බැව් පෙනී යන්නේ. එය අති විශාල පුළුල් තිර චිත්‍රපටයක්ම නිසාය. සිනමාව යනු කුඩා කාමරවලට හෝ මිනි සිනමාහල්වලට ඔරොත්තු නොදෙන කලා කර්මාන්තයක් බව නිහාල්සිංහ ‘ගුරු’ අපට උගන්වා ඇත්තේ, වැලිකතර නම් වූ දැවැන්ත සිනමා කෘතිය තුළිනි. එමෙන්ම, දර්ශනය සුදු පැහැ ගැන් වී, දීප්තියෙන් බැබළෙමින් ඊළඟ දර්ශනයට මාරුවීම (GLAMOUR IN GLAMOUR OUT) (නාමාවලිය අවසන් වී යෑමෙන් පසු - සෘණ පසුබිම - ධන පසුබිමක් බවට පෙරළීමේදී එම දෘශ්‍යප්‍රයෝගය යොදා ඇත). එම ප්‍රයෝගය භාවිත කළ ලෝක සිනමාවේ ප්‍රථම චිත්‍රපටය වැලිකතර බැව් මා නිර්භයව ප්‍රකාශ කර සිටින්නේ, ලෝකයේ ඕනෑම සිනමා විද්වතෙකු මතු කරන හරස් ප්‍රශ්න සඳහා පිළිතුරු දීමේ දැඩි අපේක්ෂාවෙනි. විප්ලවවාදී සිනමාරූපී බවක් ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට ‘හස්තගත කැමරාකරණය’ (HAND HELD CAMERA OPERATING) වෘත්තීය මට්ටමින් නිර්මාණාත්මකව හඳුන්වා දෙනු ලබන්නේ ද වැලිකතරෙනි. වික්‍රම රන්දෙණිය (ගාමිණී) ගේ දෘෂ්ටි කෝණයෙන් ක්‍රමයෙන් ගෝරිං මුදලාලි (ජෝ) වෙත ළංවීමද, ගෝරිංගේ සගයා - වික්‍රම රන්දෙණියගේ හිසට බෙලියඩ් පොලු පහර දීමේදී සිහිසුන් වී බිම ඇද වැටීම, වික්‍රමගේ කෝණයෙන් - හස්තගත කැමරා භාවිතයෙන් අපූරුවට රූ ගන්වා ඇත. ඒ එක් අවස්ථාවක් පමණි. 1998 ජූලි 24 වෙනිදා ලොව පුරා තිරගත කළ ශ්‍රීමත් ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ‘ද සේවිං ප්‍රයිවට් රයන්’ චිත්‍රපටයට භාවිත කළේ ද ‘ස්ටෙඩ් කෑම්’ රහිත හස්තගත කැමරා හැසිරවීමයි. තවදුරටත් තම සිනමා ප්‍රකාශනයට සමාන්තර සහ ශ්‍රේණිගත සංස්කරණ මූලධර්ම බහුලව නිවැරැදි තැනට භාවිත කොට ඇති අතර විශේෂයෙන්ම, පුළුල් තිර ප්‍රතිඡායා පලක පටඡේදනය කිරීමේදී (PICTURE NEGATIVE CUTTING) ඇති වන විශේෂ ආබාධය දැඩි පරිශ්‍රමයකින් නිහාල්සිංහයන් විසින් මඟමරවා ඇති බව ද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ, සැබෑ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු තම කෘතිය පිළිබඳ කෙතරම් වෙහෙසකට හා මානසික පීඩාවකට පත් වන්නේ ද යන්න උකහා පෙන්වීමටය. එනම්, දර්ශනයෙන් දර්ශනය කැපී යාමේදී (STRAIGHT - CUTS) 1:1 2 රූප රාමුවේ ඉහළ සහ පහළ සලකුණු වන ‘ඇලවුම් ලකුණු පැල්ලම්’ (JOINT MARKS WITH FILM CIMENT PATCH)) වැලිකතර නැරැඹූ අධ්‍යක්ෂකයාට කිසි දින දැකගත නොහැකි විය. මෙම සිනමාස්කෝප් ඇලවුම් සලකුණු පැල්ලම ඇමරිකන් සිනමාවට ද 1953 ‘ද රෝබ්’ සිට කාලයක් ගත වනතුරු ඉමහත් පටලැවිල්ලක්ව පැවතිණ. ඉන් ඉක්බිති හොලිවුඩ් සිනමාව, නිහාල්සිංහ මහතාගෙන් ඒ පිළිබඳ උපදෙස් ගත්තාද පමණක් මා නොදන්නා කරුණකි. එහෙත් ඇමරිකාවේ S. M. P. T. E. ආයතනය විසින් M. S. M. P. T. E. හෙවත් ASSOCIATE MEMBER OF THE SOCIETY OF MOTION PICTURE AND TELEVISION ENGINEERSXP ගෞරව නාමය එතුමා හට ප්‍රධානය කර ඇත්තේ, චිත්‍රපට හා රූපවාහිනී කලාව සහ තාක්ෂණය පිළිබඳ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් සතු ප්‍රයෝගික සහ න්‍යායාත්මක දැනීම් සම්භාරය හේතු කොට ගෙන බව මෙහි වැඩිදුරටත් සටහන් කළ යුතුව ඇත. අප සිනමාව තුළ එවන් ගෞරවනීය නාමයකින් පුද ලද එකම එක සිනමාකරුවා මා දන්නා තරමින් නිහාල්සිංහ මහතාණන්ය. තවද, කාර්මික තිර - නාටකයක් සහ කටු- රූප කථා මාලාවක් (TECHNICAL SCREEN PLAY STORY BOARD) පිළිබඳ වැලිකතර නාමාවලියේ සඳහන් නොවුණත්, එය ද සූක්ෂම ලෙස නිහාල්සිංහ මහතා අතින්ම සිදු වී ඇති බැව් ප්‍රදර්ශක පිටපත නරඹන විට හැඟී යයි. අධ්‍යක්ෂණය කොට, කැමරා කරමින්, අනතුරුව අධ්‍යක්ෂවරයා විසින්ම සංස්කරණය කළ යුතු බවට අකිරා කුරොසෝවා සහ සත්‍යජිත් රායි වැනි ලොව විශිෂ්ට පෙළේ සිනමාකරුවන්ගේ ‘නිවැරැදි මතය’ සාක්ෂාත් කිරීම වෙනුවෙන් නිහාල්සිංහයන් විසින් බිහි කළ වැලිකතර හෝ වැලිකතර විසින් බිහි කළ නිහාල්සිංහයන් සාක්ෂි දරනු ඇත. 1972 මැයි 22 දා - ශ්‍රී ලංකාවේ සමාරම්භක ජනරජ දිනයේ මංගලෝත්සවයයි. එදින ප්‍රධාන නිළි සුවිනීතා වීරසිංහ මහත්මිය චිත්‍රපටයේ නව පිටපතක් සමඟ සෝවියට දේශයේ ‘ටෂ්කන්ට්’ සිනමා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය - වැලිකතර වෙනුවෙන් ඍධ්ර්‍ථ අසුනක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජනරජයට ගෞරවය ගෙනාවාය. මෙරට චිත්‍රපට සඳහා සම්මාන දෙන උළෙල නියෝජිත නිලධාරීන් සහ ඔවුන්ට උපදෙස් දෙන සිනමා විද්වතුන්, වැලිකතර නැවත සලකා බලන්නේ නම් ඉතා කෘතඥ වෙමි. එබැවින් මෙම වටිනා සිනමා කෘතිය කෞතුකාගාරයක නොව, මුහුදින් එතෙර, පොළොවෙන් පහළ, සෙල්සියස් අංශක 20 - 15 අතර, සංරක්ෂණාගාරයක සංරක්ෂණය විය යුතු යන්නයි මගේ බලවත් ඉල්ලීම. යට කී සියල්ලටම වඩා නිහාල්සිංහ මහතා පිළිබඳ සටහන් කළ යුතු වැදගත් කරුණක් මා සිත තුළ දැන් දැන් ජනිත වෙමින් පවතී. එනම් මහා සිනමාකරු ඕසන් වේල්ස් හෝ නැතිනම් ලෝක සිනමාවේ පියා වන ඩී. ඩබ්. ග්‍රිෆිත් හෝ නොකළ අන්දමේ, අවදානම් හපන්කමක් නිහාල්සිංහ මහතා විසින් කර ඇති බවට, ලාකීය සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුතුය. එනම් තනි කාචයෙන් වෘත්තාන්ත චිත්‍රපටයක් රූගන්වීමයි. එතුමා මෙරටට රැගන ආ අල්ට්‍රස්කෝප් මි. මී. 50 හේ කාචය පමණක් භාවිතයෙන් වැලිකතරේ සියලු රූප - එනම්, අතිශය දුර රූපයේ සිට අති සමිප රූපය දක්වා ද, ඉන් නොනැවතී මැක්‍රෝ නාභිගත රූප (MACRO FOCUS SHOTS) ද, එම කාචයෙන්ම රූගන්වා (පොලිස් මැසේජ් දර්ශනවල - යතුරු ලියනය අකුරු) කළ අති විශිෂ්ට වූ, භාවිත හපන්කම පිළිබඳව සිනමා තාක්ෂණය හොඳින් හදාරා සහතික ලබා ඇති අයෙකු වුවද නොපිළිගනු නොඅනුමානය. ප්‍රයෝග දර්ශන 02 ක් සඳහා පමණක් ‘පැතලි කාචයක්’ (FLAT LENS) භාවිත කොට ඇත. එනම්, සුදු බණ්ඩාගේ නැඟණියගේ (දේවිකා කරුණාරත්න) ප්‍රසව වේදනාවේ අති සමීප රූපයත් සහ වැලිතලාව දිගේ, මිරිඟුව පසාරු කරගෙන ඉදිරියට ඇදී එන පොලිස් ජීප් රථ බිම වැටී වේදනාවෙන් පසුව සුවිනීතාට පෙනෙන ආකාරයෙන්, හරස් අතට ඇඳි රූපය ‘විකෘති’ වීමට ඉඩ ලබා දෙමින්, නොමිලේ ලැබෙන ප්‍රයෝග නිර්මාණාත්මකව තම කෘතියට යොදා ගෙන ඇති අතර, එම ප්‍රයෝගය මේ ලිපිය ලියන මේ මොහොත දක්වාම හොලිවුඩ් සිනමාවට භාවිත කිරීමට අමතක වී ඇති බැව් ද සතුටින් දන්වා සිටිමි. පුළුල් තිර යුහුමු (ANAMORPHIC ZOOM) කාචයක් නොමැතිව ZOOM BACK දර්ශනයක් (දවස පුවත්පත් හෙඩිම - වික්‍රම රන්දෙණිය උතුරේ මහා වික්‍රමයක් කරයි) භාවිතා කිරීම, නිහාල්සිංහයන්ගේ සිනමා තාක්ෂණ හසල දැනුම මොනවට කියා පායිද. ගාමිණී - ජෝ - සුවිනීතාගේ අති සමීප රූපවල සිට මධ්‍යම දුර රූප රංගනයේ යෙදෙන කරත්තකරුගේ දර්ශනය දක්වාම අධියුරුගේ නිවැරැදි විධානය ඉලක්ක ගත වී ඇති බැව් ප්‍රශංසාවෙන් සඳහන් කළ යුතුය. සිනමාවෙ නව රීති සම්පාදකවරයකු වශයෙන් හඳුන්වා දිය හැකි එතුමා, මට දැනෙන ආකාරයට ඩී. බී නිහාල්සිංහ යනු අප සිනමාවේ ඩී. ඩබ්. ග්‍රිෆිත්ය. වැලිකතරින් පසු කළ වෙනත් සිනමා නිර්මාණ හරහා මා අදහන ‘ඩී. බී. නිහාල්සිංහයන්’ විනිවිද නොපෙනීම අප දේශීය සිනමාව ලද අභාග්‍යයකි. දැනට අවුරුදු 46 කට පෙර උත්පාදනනය වූ වැලිකතරේ මුල් ප්‍රතිචායා පලක පටය (ORIGINAL PICTURE NEGATIVE) නව ඩිජිටල් අධිතාක්ෂණය අනුසාරයෙන් 2KM ප්‍රභේදයට දත්ත දාඩාංග (DATA - RECORDING ON HARD DISKS - WITH 2 K RESOLUTION) ගත කරමින්, එහි ආලෝක තත්ත්වයන් ශ්‍රේණි ගත කර, (LIGHTING CONDITIONS - RE GRADING) රූපමය පළුදු වී සීරී ගිය තැන්, මකා පුරවා දමා (VISUAL DAMAGES - SCRACHERS AND ROLLER MARKS - DELETING AND REFILLING) නැවත ප්‍රතිසංස්කරණය කොට, තාක්ෂණය අතින් එදාට වඩා, ඉතා නිවැරදි කළු සුදු පරාසයක් (DAZLIN BLACK AND WHITE) සහිත පුළුල් තිර වැලිකතරක් අති විශාල පුළුල් තිර ඔස්සේ ළඟදීම ප්‍රේක්ෂකයාට දැක ගත හැකි වන තැනට දේශීය සිනමා කර්මාන්තය පත් වන්නේ නම් අප වාසනාවන්තය. එදා බලධරයා විසින් කපා හරින ලද ගෝරිං මුදලාලි විසින්, පොලීසියට පහර දෙන ජවනිකා පෙළද, නව ඩිජිටල් වැලිකතර සමඟ නැවත ප්‍රසංයෝග වී ප්‍රේක්ෂකයා අබියසට එනු ඇතැයි මගේ යටි සිත කියා පායි. එය නම් නිවැරැදි දැයි මා නොදන්නා තුන්වෙනි කාරණයයි. සිංහල සිනමාවෙ රජදැක්ම හෙවත් තෙරක් නොපෙනෙන ඒ විශ්මයජනක වැලිකතරේ නව ඩිජිටල් පිටපත තිරගත වනතුරු හැත්තෑ එකේ මෙන්, අද ද මම නොඉවසිල්ලෙන් බලා සිටීමට සිදු වී ඇත. බටහිර පන්නයේ නිමාවක් වන වැලිකතරට සහ එහි නිර්මාණකරුට මා සදාකාලික ණය ගැති බව කිව යුතුය. මන්ද යත්, එතුමාගෙන් මා සූරා ගත් දේ මගේ නිර්මාණ සඳහා නිරායාසයෙන් බද්ධ වීම මට ද වළක්වා ගත නොහැකි බැවිනි. එබැවින් නිහාල්සිංහ මැතිඳුන්ට නැවතත් රජ දැක්මට අවසරය දෙමින් මෙම කෙටි ලිපිය අවසන් කරමි.
මා
දුර්ලභ ඡායාරූප ලබාදුන්නේ ප්‍රසාන්ත පරණවිදාන සහ දයාන් විතාරණ |