වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




කිං ඛාන් ලෙඩ වෙයි

කිං ඛාන් ලෙඩ වෙයි

බොලිවුඩයේ කිං ඛාන් ලෙඩ වෙලා. ඒ වුණත් ලෙඩ ලෙඩ කියමින් නිවෙසට වෙලා විවේක ගන්න නම් ඔහුට කොහෙත්ම වෙලාවක් නැහැ. කිං ඛාන් හෙවත් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් මේ විදියට අසනීප තත්ත්වයෙන් පසු වුණත් භාර ගත් වැඩ නම් අතපසු නොකර කිරීම කාගේත් ප්‍රශංසාවට ලක් වෙලා.

ඔහු පසුගිය කාලයේ දණහිසේ ආබාධයකින් පීඩා වින්දා. මේ දිනවල ඔහු රාහුල් ධෝලාකියා අධ්‍යක්ෂණය කරන Raees (රීස්) චිත්‍රපටයට දායක වෙමින් සිටින්නේ. දණහිසේ ආබාධය ඇති වුණේ පසුගිය වසරේ ෆාරා ඛාන්ගේ Happy New Year (හැපි නිව් ඉයර්) චිත්‍රපටයේ රූගත කිරීමකදීයි. දණහිස ආබාධ වුණත් කොර ගසමින් හරි රීස් චිත්‍රපටයේ කටයුතු සඳහා දායක වෙන්න ෂාරුක් තීරණය කළා. ඒත් පසුගිය දවසක එහි ගර්බා නර්තන අංගයක් යෙදිලා තිබුණා. ඉතිං දැන් මොනව කරන්නද. දණහිස අමාරුයි කියලා බැලුවේ නැහැ. අමාරුව අමතක කරලා කිං ඛාන් නර්තනයේ යෙදුණා.

Raees ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක්. ෂාරුක් එහි මැර කල්ලි සාමාජිකයෙක්. ඔහු සමඟින් නවුසුදීන් සිද්දික් සහ පාකිස්ථාන නිළි මහීරා ඛාන් එහි රංගනයෙන් දායක වෙනවා. Raees ලබන වසරේ තිරගත වෙන්න නියමිතයි.