වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කුමාරදාස සපුතන්ත්‍රි හතළිස් වසක ගී අසිරිය

කුමාරදාස සපුතන්ත්‍රි හතළිස් වසක ගී අසිරිය

‘රන්මලක්’ හෙට මහරගම යොවුන් රඟහලේදී...

හදේ කොතැනක හෝ හිඳී ඔබ...

කුමාරදාස සපුතන්ත්‍රි නාමය මෙරට ගීත ක්ෂේත්‍රයේ සනිටුහන්ව ඇත්තේ විශිෂ්ට ගේය පද රචකයකු ලෙසිනි. ප්‍රේමයේ සුඛ දුක්ඛ සංවේදනාවන් මෙන්ම මිනිස් ජීවිතයේ ප්‍රහර්ෂයන් හා සංතාප ළතැවුල් ද ඔහුගේ ගී පදවැල් පුරාවට රන් හුයක් සේ බැඳෙමින් අප හද සන්තානයට නැවුම් අරුතක් එක්කරයි.

නාගරීකරණයෙන් ඔද්දල් නොවූ අවිහිංසක ගැමි සුන්දරත්වයෙන් සිය නිර්මාණ උල්පත පාදා ගත් සපූ සිය ප්‍රේමනීය ගී අසපුව නිබඳවම සරසාලන්නේ සොබා දහමේ අසිරි සිරියෙනි.

ඒ ගී රසෝඝයේ උප්පත්ති කතාව වරෙක වරෙක ඔහුගේම වදන්වලට පෙරලුනේ මෙලෙසය.

“බහ තෝරන වියේ සිට මා හැදී වැඩුණු බේරුවල ප්‍රදේශයේ වලතර නම් වූ ඒ සැබෑ සුන්දර ගම්මානය මගේ නිර්මාණ කුශලතා පෝෂණය කළ මවක් විය. නාමිකව සඳහන් කරන්නේ නම්, ගම වට කළ හෙට්ටිගොඩ වෙලත්, ඒ හරහා ගැලූ ගඟත් ගම එගොඩ රබර් සහ කුරුඳු යායත් මෙන්ම ඔබවත්ත වන රොදත් මගේ කලා දිවියේ ආනන්දනීය වූ ශාස්ත්‍රාලය විය.”

ඔහු තවදුරටත් ඒ අසිරිමත් මතකය අවධි කරන්නේ මෙලෙසිනි.

“කතා කරන මාළුන් සිටියේ එදා අපට ගඟක් වූ මේ කුඩා ඇලෙහිය. හිනා වෙන ගහකොල තිබුණේ ඔබවත්ත මූකලානෙහිය. ඉරමල මුදුනේ පිපුණ විට දොඹ ගහ මුල නෙළුම් රටා දැක්කේ මේ වන වදුලෙහිය. එදා වැලිහතු, ඉදලොලු නෙලන්නට අම්මා මා කැටුව ගිය මේ වන ලන්දේ අසිරිය අද මම සිතින් ඉවත් කරමි. එසැනින් දෙනෙත් මුල සියුම් රිදුමක් නැගෙයි. ඒ සුපසන් හැගුම් සමුදාය මහෝඝයක්ව මා වෙළාගනියි. උප විඥානයෙහි කිඳා බැස ඇති ඒ සෞන්දර්ය ප්‍රවාහයේ සිසිල මේ ජීවන ගමනාන්තය තෙක් නොසිඳෙනු ඇත. එතෙක් මට හෙටත් මොනවා හෝ කළ හැකිය.”

‘සපූ‘ අය්යා මේ සටහන තබා ඇත්තේ 1999 වසරේ ඔහුගේ විශිෂ්ට ගී සංකල්පනා එකතුවක් ඇසුරෙන් එළි දැක්වූ ‘මලින් මලට’ නමැති ගේය පද සංග්‍රහයේ පෙර වදනටය. එදවස ඔහුගේ කෝඩුකාර කවි සිත සෞන්දර්ය රසයෙන් ආලෝලනය වූයේ එවැනි රම්‍යය පෙදෙසකහිය.

අද වන විට සපූ අය්යා සිය නිර්මාණ චාරිකාවේ හතළිස් වසක් සපුරා තිබේ. මෙයින් දහසය වසකට පෙරාතුව එකී පෙර වදනේ “මට හෙටත් මොනවා හෝ කළ හැකිය” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණද සැබැවින්ම සපූ අය්යා ආවාට, ගියාට මොන මොනවා හෝ කළ සිල්ලර ගේය පද රචකයකු නොවූ බවද ගෞරවනීයව සඳහන් කළ යුතුය.

හෙට (08) සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේ දී කුමාරදාස සපුතන්ත්‍රි හතළිස් වසරක තෝරා ගත් ගී එකතුවක් ‘රන්මලක්’ නමින් සහෘද දෝතට පිදෙන්නේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි හා දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් ගේ සුගායනීය ගායන එකමුතුවෙනි.

මේ ‘සපූ‘ අය්යා ඒ නිමිත්තෙන් අප හා කතාබහකට එක්වූ අයුරුය.

‘රන්මලක්’ ප්‍රසංගයට ඇතුළත් වන්නේ වසර හතළිහක් පුරා මා රචනා කළ ගී අතරින් වඩාත් ජනප්‍රසාදයට පත්වූ නිර්මාණ සමුච්චයක්. ඇත්තෙන්ම ඒ ගී මගේ නිර්මාණ දිවියේ කඩඉම් ගී කිව්වොත් හරි. ප්‍රධාන වශයෙන් ඒ ගී නිර්මාණ ගායනා කරන්නේ සුනිල්, එඩ්වඩ් හා දීපිකා. ප්‍රසංගයේ මැද භාගයේ රොඩ්නි වර්ණකුලගේ ගායන හා රංගන ජවනිකාවක් ඊට ඇතුළත් වෙනවා. මේ සියලුම ගීතවල තනු හා සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් හඳුනා ගෙන මේ ශිල්පීන් ස්වේච්ඡාවෙන් මේ ප්‍රසංගය කරන්න ඉදිරිපත් වුණා. ඒ මට උපහාරයක් හා උපකාරයක් විදියට.

සපූ අය්යා අතින් වැඩිපුරම ලියැවී ඇත්තේ රමණීය ප්‍රේම ගීතයන්ය. ඒ ගී පදවැල් පිළිබඳ විමසුම් නෙත් හෙලද්දී ඔහු සොඳුරු ආදරවන්තයකු යැයි මට සිතේ. සිය ගී පද රචනාවන්ට ප්‍රේමය වැඩි වශයෙන් වස්තු විෂය වීම පිළිබඳ සපූ අය්යා පවසන්නේ මෙවැන්නකි.

අපේ තාරුණ්‍යයේදී ප්‍රේමය පිළිබඳ නොයෙක් අත්දැකීම් ලැබුවානේ. ප්‍රේමයේ විරහවත්, සුන්දරත්වයත් දෙකම මම අත්විඳ තිබෙනවා. අද වගේ ගහ මරා ගැනීම් නෙවේ ප්‍රේමයේ බොහොම සුන්දර දේවල් එදා අපිට අහන්න, දකින්න ලැබුණේ. ප්‍රේමයෙන් පරාජිත වුණත්, මා ක්ෂේත්‍රයට පිවිසි 70 දශකයේ. ඉන්පසු මෑතක් වන තුරුත් බොහෝ රචකයන්ගේ නිර්මාණයන් බිහිවුණේ යෞවනත්වය සහ යොවුන් සෙනෙහස ඇසුරෙන්. ඇත්තෙන්ම ඒ බොහෝ ගීත නිර්මාණ බිහිවුණේ ගුවන් විදුලිය හරහා. මම හිතන්නේ ශ්‍රාවකයන් අතර වඩා ජනප්‍රියත්වයට පත් වුණෙත් එබඳු ප්‍රේම ගීත.

වර්තමානයේ ගී පදරචනා නමින් බොහෝ විට ලියැවෙන්නේ පල්හෑලිය. නැතිනම් ඒකාකාරි, හරසුන් පෙම් අඳෙීනාය. නමුදු ‘සපූ‘ අය්යා වැනි රචකයන් සුරතින් නිර්මාණය වූ ගී සාහිත්‍යමය ලක්ෂණවලින් අනූන වීය. බුදු දහමෙන් ලත් කිසියම් ශික්ෂණයක් ද එකී නිර්මාණවල අන්තර්ගතය. ඔහුගේ නිර්මාණ පරිකල්පනය වඩාත් සංවේදීව අවදි වන්නේ එවන් පසුබිමක් තුළිනි.

අපි පාසල් යන කාලයේ සාහිත්‍යය, භාෂාව හා බුදු දහම කියන විෂයයන් තමයි වැඩිපුර ඇසුරු කරන්න ලැබුණේ. ඒ ආශ්‍රිත පත පොත තමයි වැඩිපුරම කියෙව්වේ. මට තාම මතකයි වලතර පාසල් වත්තේ රබර් ගල් මුල වාඩිවෙලා ගුරුතුමිය ඉදිරියේ එදා ලෝ වැඩ සඟරාව, බුදුගුණ අලංකාරය වැනි පැරැණි සිංහල බෞද්ධ සාහිත්‍ය පොත පතින් උපුටා ගත් කවි වණපොත් කරපු හැටි. ඒ වගේම පසු කාලයේ මට ඇසුරු කරන්න ලැබුණු සද්ධර්මරත්නාවලිය, අමාවතුර, බුත්සරණ වගේ පැරැණි සාහිත්‍යය පතපොතින් මගේ අනාගත නිර්මාණ දිවියට ලොකු ආලෝකයක් ලැබුණා.

මුලින්ම ඔබ නිර්මාණ දිවිය අරඹන්නේ කවියෙක් හැටියට...?

එදා ගී පදරචකයෙක් වීම මට සිහිනයක්ම පමණක් වුණා. මගේ කවි, සිත සදැස්, නිසදැස් කවි රටාවන්ට ම කොටුවී, සිරවී තිබුණේ ඒ නිසා වෙන්නට ඇති. මා ලියූ කවි, පුවත්පත් පිටු අතර කොතෙක් පල වුවත් ජීවිතයේ මුල්වරට නිර්මාණයක සැබෑ සුවඳ මට දැනුණේ ගුවන් විදුලියේ පද්‍යාවලිය වැඩ සටහනින් නම්, ගම් සහිතව මගේ රචනයක් ප්‍රචාරය වුණ දවසෙයි. එතෙක් මට සිහිනයක්ව තිබුණ ගීත රචනය පිළිබඳ සිතිවිල්ල කිසිසේත්ම සිහිනයක් නොවන බව මට වැටහුණේ එදා.

කවි ආර, ගී ආරක් බවට පරිවර්තනය වෙන්නේ ඒ සිදුවීමත් සමග...?

ඇත්තෙන්ම. මගේ මුල්ම ගුවන් විදුලි සරල ගීය නිර්මාණය වුණේ රෝහණ වීරසිංහයන් වෙනුවෙන්. ඒ රෝහණගෙත් මුල්ම සරල ගී වැඩසටහන. අපරාජික රජ දහනක තනිවූ පුරවැසියකු වෙනුවෙන් ‘අපරාජිකයි මා හද රජ දහනම’ කියන ඒ ගීතය මා අතින් රචනා වුණා.

එතැන් පටන් රෝහණගේ හා සපූගේ නිර්මාණ සබැඳියාව දිනෙන් දින දළුලා වැඩුණේ අතුපතර විහිදී ගිය දැවැන්ත වෘක්ෂයක් විලසිනි. මේ අපූර්ව සුසංයෝගයෙන් තවත් විශිෂ්ට ගායන ශිල්පීන් දෙදෙනකු තම ගී මග වඩාත් සුපසන්ව හෙළි පෙහෙළි කර ගත්හ. ඒ සුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩිය.

මුලින්ම මට එඩ්වඩ් ජයකොඩි මුණ ගැහුනේ කොළඹ සුදර්ශි ශාලාවේදී. ඒ එඩ්වඩ් ‘සෙක්කුව‘ නාට්‍යය කරන කාලේ. එතකොට සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙක් ඔහු. රෝහණ වීරසිංහ ඊටත් පෙර තමයි මට සුදර්ශියේදී මුණ ගැසුණේ. මුල්ම ගීය රචනා කළේ රෝහණට නේ. ඉන් පස්සේ මම එඩ්වඩ්ටත් ගීත කිහිපයක් ලියා දුන්නා. සුනිල් එදිරිසිංහ හමුවුණේ ඒ අතර වාරයේ. පසුව අපි හොඳ මිතුරන් බවට පත් වුණා.

මිත්‍රශීලි සුසංයෝගයක්...?

ඇත්තටම. මේ නිසා මට ඔවුන්ගේ සෑම සරල ගී වැඩ සටහනකටම ගීතයක්, දෙකක් ලියන්න ආරාධනා ලැබුණා. ඒ නිසා අනෙක් සියලුම ගායක, ගායිකාවන්ට වැඩිය ඔවුන් මට සමීප වුණා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් මම හඳුනා ගත්තා. මගේ අවශ්‍යතාවයන් ඔවුන් හඳුනා ගත්තා. ඒ නිසා මේ දෙන්නා එක්ක මගේ විශාල සම්බන්ධයක් තහවුරු වුණා.

ඔබේ පරපුරෙන් පසු සුභාවික ගීතයේ හෙට දවස පිළිබඳ කතා කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය වී නොමැති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ...?

සුභාවික ගීතයේ හෙට දවස පිළිබඳ මගේ හිතේ තියෙන්නෙත් අවිනිශ්චිත බවක්. වර්තමානයේ සාර්ථක ගීත බිහිවෙන්නේ නැතිනම් කරන්න තියෙන එකම දේ පවත්නා ගීතයක් අරගෙන ඒක රෙපයාර් කරලා, පොලිෂ් කරලා හරි ආපහු අරගෙන ප්‍රචාරය කිරීම. ඒත් මාධ්‍යයෙන් ඒ සහයෝගය ලැබෙන්නේ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ. එහෙම ඉඩක් දුන්නත් නිර්මාණකරුවන්ගේ නම් සඳහන් කරන්නේ නෑ. සමහර මාධ්‍යවල හිතුණාම නමක් දෙකක් කියනවා.

මේ නිසා ප්‍රවීණයන් කිසියම් උකටලී ස්වභාවයකින් පහුවෙනවා...?

මේවා කරලා වැඩක් නෑ කියලා අපට හිතෙනවා බොහෝ වෙලාවට. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනෑ මගේ මිත්‍රයින් නම් විදෙස් ප්‍රසංගවලට ගියාම මගේ නම ගෞරවයෙන් සඳහන් කරනවා. ඒ අගය කිරීම ඇත්තටම ගීත රචකයකුට ඉතාම වැදගත්.

වසර හතළිහක් පුරාවට ඔබ ආත්මීයව බැඳී ඉන්නේ අපේ ගීත කලාවත් එක්ක. ලංකාව වගේ රටක වෘත්තිය ගීත රචකයකු වීම ගැන ඔබට මොකද හිතෙන්නේ. විශේෂයෙන්ම ඔබේ පෞද්ගලික ජීවිතයත් එක්ක බලනකොට?

ඉන්දියාව වගේ රටක මගේ හැකියාව තිබෙන එබඳු තත්ත්වයක ඉන්න ගීත රචකයකු බිහිවුණා නම් මම හිතන්නේ ඔහුට රැකියාවක් කරන්න අවශ්‍යතාවයක් නෑ. රජයෙන් පවා ඔහුට බොහොම නිදහසේ අතපය දිගෑරලා ඉන්න පුළුවන් වටපිටාවක් සකස් කර දේවි. වර්තමානයේ බැලුවොත් එහෙම සලකන්න තබා රැකියාවෙනුත් අපිව ඉවත් කරන තත්ත්වයකට අද මේ රට පත්වෙලා. දැන් මම ඉන්නේ රැකියාවක් නැතුව.

සූවිසි වරමින්...

සූවිසි වරමින් - දෙවි රැක වරමින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඬල වැසී
නිවී පහන් වේවා

දිනේවා මවු බිම ශ්‍රී ලංකා
ලෝසතුන් නිතින අතිනතින් වෙලී
හදවතින් බැඳී යේවා
දෙවි බඹුන් ලෙසින අගහිඟෙන් මිදී

නෙක ඉසුරු උදාවේවා
දිනේවා මවු බිම ශ්‍රී ලංකා
සත් ගුණෙන් පෙඟී මෙත් හැඟුම් පිරී
නව ලොවක් උදාවේවා

උපනුපන් භවේ හදවතින් බැඳී
මේ බිමේ ජනිත වේවා
දිනේවා මවු බිම ශ්‍රී ලංකා
 

ගායනය - සුනිල් එදිරිසිංහ

සංගීතය - රෝහණ වීරසිංහ

අරාජිකයි මා...

අරාජිකයි මා හද රජදහනම
අම්මේ ඔබ මා හැර ගිය දා සිට
සරා සදෙව් ලොව නා ලොව කිමිදී
සත් රුවනින් පිරි දෝත මුදුන් කර

මුතු වරුසාවෙන් දෙපා දොවන්නට
ඔබ වැඩ හිඳුවා විදුරසුනේ
පැතුමක් පුතු හද තුළ තිබුණා එය |
ඔබ දැන සිටියේ නෑ අම්මේ

සුබ මොහොතින් ඔබ රන් කිරි කට ගා
දොරට වැඩම කළ සත්විති කුමරා
ඔබේ විජිතයට යළි ආවේ
කුලුඳුල් තිළිණය දෝතදරා

පින්මඳ ඔබ පුතු ඔබට ගෙනාවේ
මතක වතක් පමණයි අම්මේ
 

ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ

නිදුකාණනේ...

නිදුකාණනේ නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතක රඳනා කෝප ගිනි

උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවඟ ගලනා නාග විෂ
උනුන් නසාලන අසිරි බලන්නට
යොමා බුදු නෙත කුළුණිනේ

වඩිනු මැන නිදුකාණනේ
නෙතින් නෙතක ගැටෙනා රාග සිත
ලෙවන් වෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි

දයා දියෙන් සනහා නිවන්නට
කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ
 

ගායනය - සුනිල් එදිරිසිංහ

සංගීතය - රෝහණ එදිරිසිංහ

 

හදේ කොතැනක...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්

පෙළයි මා
මුදා සුව දැහැනින්
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ

තලා මා සිත පලාගිය ඔබ
දවයි මා අද
තනිවෙනා මොහොතින්
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්

ඉනූ කුඳුළද සිඳෙන්නට පෙර
යදින්නම් ඔබ
මැකී යනු මතකෙන්
 

ගායනය - සුනිල් එදිරිසිංහ

සංගීතය - රෝහණ එදිරිසිංහ

 

 

දොඹ මලින් මලට...

දොඹ මලින් මලට රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිළ රඟනු බලා
මල් මුව රද සැලේ
හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලක මල් පීදෙන කාලයයි

නව යව්වනේ පිපි මල් වනේ
රණ තිසර ළමැද යහනේ මධු සාදයයි
වන වදුලු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොනර කිකිණි හඬින් නැගෙන තාලයයි
හසරැල් සලා කඳුළැල් නිවා
සිත නිබඳු සොයන නිමල සොදුරු ගීතයයි
 

ගායනය – විශාරද එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

රන් මලක්...

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිළිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ

ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මවු බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මවුවරුන් ළය කිරි එරී ඇත උන් නමින්
මවු කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ

අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑ සියත් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙයි ඔබ තනිකළේ නැත කිසි දිනේ
 

ගායනය - සුනිල් එදිරිසිංහ

සංගීතය - රෝහණ වීරසිංහ

 

ඉරට සඳට...

ඉරට සඳට තරු වැලට සොරා
ඇලට දොළට බිඟු වැලට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ හමුවී තනිවී

ළදලු ළපත් සැලුනේ සුසුමින්
අපේ මුවින් නැඟෙනා
සයුරු විමන් පිරුණේ කඳුළින්
අපේ නෙතින් ගලනා

නෙතින් නෙතක උතුරා ගැලුවේ
අපේ නැවුම් සිහිනේ
යොවුන් ලොවට සිරවී බැඳුනේ
අපේ පැතුම් දැහැනේ
 

ගායනය, සංගීතය – වික්ටර් රත්නායක

අකුරු මැකී නෑ...

අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ

තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්
මේ ඊරී බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී

දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී
අපි දුවමූ අපි පනිමූ
ගී කියමූ අපි නටමූ

ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාල වියට පා නගමූ
 

ගායනය – විශාරද එඩ්වඩ් ජයකොඩි

සංගීතය - රෝහණ වීරසිංහ

 

 

පිතු සෙනෙහේ...

පිතු සෙනෙහේ පිදු
පියෙකු නොමැත ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැදි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ

හිරු මඬළක් සේ කිරණ බෙදා දී
තුරු සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී

පොළොව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ

පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවිරණ දෙන්නේ
 

ගායනය – විශාරද දීපිකා පියදර්ශනී පීරිස්

සංගීතය – රෝහණ වීරසිංහ