වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලෝචනා ඉමාෂි අද යුග දිවියට

ලෝචනා ඉමාෂි අද යුග දිවියට
 

මල් බෝනික්කන්

පූසි පැටව් ටික

පාට ගවුම් පොඩි

අද තනිවෙනවා

දම් පැහැයෙන් සිත්තම් වූ අහස නැවුම් හිරු කිරණින් පිරීගියා. කොහෙන්දෝ සිට පැමිණි පුංචි සමනලුන් රෑණ වත්ත පුරා ඉගිල ගියේ හරිම සැහැල්ලුවෙන්. මාත් ඔවුන්වගේ කාලයක් හිටියානේද කියලා මට මතක් වුණා. හැබැයි අද ඉඳලා එහෙම බැහැ. ටිකක් සංයමයකින් ඉන්න ඕන. මගේ හිත මටම මිමිණුවේ සමනල්ලු දිහා බලනගමන්.

ලෝචනා දුවේ ඔයා අද හරිම ලස්සනයි.

මෙන්න එතකොටම එහෙම කියාගෙන අම්මයි තාත්තයි මංගාව.

ඇයි වෙනදා මං ලස්සන නැතිද?

එහෙම අහන්නට මුව විවරවුණත් බොහොම අමාරුවෙන් ඒ වචන ටික මා විසින්ම ඉල්ලා අස්කර ගත්තා. ඉස්සර නම් එහෙම කියෙව්වා තමයි.

ඒත්...

කමක් නැහැ. අද ඉඳන් කියන කරන ඒවා ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන.

ලෝචි, උඹ බැන්ද දවසට කොහොම ඉඳීද මන්දා...?

යාළුවෝ මට අනන්තවත් එහෙම කියනවා මට ඇහිලා තිබුණා.

ඒ අය දන්නවනෙ ඉතින් මේ කෙල්ලගෙ හැටි. තව ටිකකින් මං මගේ අලුත් ජීවිතය අරඹනවා. පුදුමයි. මං අද ඉඳන් භාර්යාවක් වෙනවා. මට වගකීම් රැසක් තියනවා ඉටු කරන්න. එහෙම සිතුවිලි සැරින් සැරේ හිත්කොනින් මතුවෙනවා මට දැනෙනවා. මං ගෙදර ඉන්නකොට අම්මා දිහා බලාගෙන ගොඩක් දේ ඉගෙන ගත්තා. මමත් අපේ ගෙදරට ගියාම අම්මා වගේ ඉන්න ඕන.

මගේ සිත එකපාරටම අතීතයට ගියා. අදින් හරියටම වසරකට කලින් කිව්වෙත් මං වැරැදි නැහැ. ලසන්ත නවරත්න නම් ඔහු අපේ ගෙදරට මා ගැන විවාහ යෝජනාවක් ගෙනාවා. එතකොට අපි දෙන්නා මුණ ගැහිලා තිබුණෙ එකම එක වතාවයි. ඒ වතාවෙදිත් මහා ලොකුවට අපි අදහස් හුවමාරු කරගත්තෙ නැහැ. ඒත් ඔහුගේ හිත ගොඩක් දුර ගිහින්. එදායින් පස්සේ ලසන්ත මං ගැන ගොඩක් හිතලා. ඔහු යාළුවකුගෙ මාර්ගයෙන් මාව ඔහුගේ මනාලිය කරගන්න යෝජනාවක් ගේන්න ඇත්තේ ඒක හින්දා වෙන්න ඇති. ලසන්ත නෙදර්ලන්තයේ ජාත්‍යන්තර සංවිධානයක සේවය කරනවා. ඒ වගේම ඔහු කලාවට සම්බන්ධයි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඔහු. හැබැයි පළමුව ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයකු කියලා මා දැනගෙන හිටියෙ නැහැ. අවසානයේ අපේ ගෙවල්වල පිරිස මුණ ගැහිලා මේ යෝජනාව ස්ථිර කරගත්තා. එදා ඉඳලා මමත් පෙම්වතියක්. හැබැයි හිතේ තිබුණු සැහැල්ලුවයි දඟකාරකමයි ඩිංගක්වත් අඩුකරගත්තේ නැහැ. ලසන්ත මං ගැන හොඳට දන්නවා. මොකාද වගේ කියෙව්වට මං ආදරය ඉස්සරහා හරිම සංවේදියි කියලා ඔහු මට අනන්තවත් පවසලා ඇති. පිරිමියකු සතු සෘජු තීරණ ගැනීමේ හැකියාව, සුහදශීලීත්වය සහ ප්‍රසන්න බව ලසන්ත සතුව තියෙනවා. එයා මාව පණමෙන් ආරක්ෂා කරාවි. ඒක ඉරහඳවගේ මට විශ්වාසයි.

අපි දෙන්නා යාළුවුණාට පස්සෙ ලසන්ත ලංකාවට නිතර ආව ගියා. ඒ අතරතුරදි එයා අපේ ගෙදරටත් නොවැරදීම එනවා. එහෙම ආවම මං කරන්නේ ලසන්තට හොඳ බුරියානි එකක් හදලා දෙන එක. මට හොඳට උයන්න පුළුවන්. ඒක ලසන්ත දන්නවා. ඒ හින්දා මමත් කරන්නේ එයා එන දවසට මගෙ අතින්ම කෑම බීම හදලා දෙන එක. අද ඉඳලා ජීවිත කාලෙම මට එහෙම කරන්න වෙනවා. ඒ වගකීම හරිම ආදරෙන් මාව බාරගන්නවා. අද හවසවෙද්දි මං වගේ කෝලම් කෙල්ලෙක් අවුරුදු විසි හතරක් ඇස්දෙක වගේ බලාගත්තු මගෙ මව්පියන්ගෙන් සමුගෙන අලුත් ජීවිතයක් අරඹනවා. ඒ වෙලාවෙදි මගෙ අප්පච්චිට දරාගන්න බැරිවේවි. මොකද අප්පච්චි තමයි මගෙ කලාකටයුතුවලට මගෙ පස්සෙන් ඇවිත් නිතැතින් උදව් කළේ.

ලසන්ත රැකියාව කරන්නේ නෙදර්ලන්තයේ හින්දා මටත් නිතර එහෙ යන්න වේවි. මොනදේ වුණත් ඔහු කියනවා රංගනය නවත්වන්න එපා කියලා. මමත් එහෙම කරන්නේ නැහැ. ලසන්ත ඉදිරියෙදිත් චිත්‍රපට නිෂ්පාදනය කරනවා කියලා කිව්වා.

එහෙම මං කිව්වම වැඩිදෙනෙක් හිතාවි ඔහුගේ චිත්‍රපටවල මමද ප්‍රධාන නිළිය කියලා. නැහැ... මහත්තයා වුණත් මං ඔහුගේ චිත්‍රපටවල රඟපාන්නේ නැහැ. ඒත් පුංචි හෝ කමක් නැහැ සුදුසු චරිතයක් තිබුණොත් පමණක් රඟපානවා.

දුවේ.

අම්මා එහෙම කියලා පිටට තට්ටු කළාම මං ගැස්සුනා. මං ආයෙත් පාරක් කණ්නාඩියෙන් හැඩ බැලුවා. උඩරට විදිහට මනාලියක් විදියට පළමු දින සැරසෙන්න ඒ කාලෙ ඉඳලා හිතාගෙන හිටියෙ. මං ඒ හීනය අද සැබෑ කරගන්නවා. දෙවැනි දින ඉන්දියානු විදියට සල්වාර් එකකින් හැඩවෙනවා. මට සුබපතන්න මගෙ යාළුවො නෑදෑයො කොළඹ ගලදාරි හෝටලයට වෙලා බලාගෙන ඇති. මගෙ නව ජීවිතයට මගෙ රසික රසිකාවො වන ඔයාලත් අනිවාර්යෙන්ම සුබපතනවා කියනා මං දන්නවා. එහෙනම් මං ඒ සියලු අසිරි මැද මගෙ මංගල ගමනට පිටත් වෙන්න යන්නම්.
 

මීට ඔයාලගෙ ආදරණීය ලෝචනා ඉමාෂි.