වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සංජනා - කෙවින් ආදර අන්දරය

සංජනා - කෙවින් ආදර අන්දරය My Sweet Heart

බන්දු නෙමෙයි බින්දු රඟන චිත්‍රපටයක්

ගල්කිස්ස මුහුදු වෙරළ තීරය අමුතුම සුන්දරත්වයකින් වෙලී ඇත. ඒ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරමින් ජනප්‍රිය ගීතයක් පසුබිමෙන් ඇසේ.

ඒ සංගීත රාවයට සුන්දර නර්තනයක යෙදෙන යුවළකි. ඒ සංජනා පීරිස් සහ හඳුන්වා දෙන මෝස්තර ශිල්පී කෙවින් කාරියවසම්ය.

ඔවුන්ගේ නර්තනයෙන් මුසපත් වූ මුහුදු රළ පෙළ වැල්ල සිසාරා පතිත වනුයේ පෙණ බුබුළු මතු කරමිනි. ඒ පෙණ බුබුළුවල පහස සංජානාගේ සහ කෙවින්ගේ සිරුරුවල වැදී නැවත මුහුද හා එක් වේ.

රන් මසු රන් කිරි ගරුඬ තලාවක
සැලෙන හදින් මා අමතන්නේ

තිස්ස නාගොඩවිතාන මහතාගේ කාරුණික අනුග්‍රහය මත ඒ ගීතය නැවත තිරය සිසාරා රැව් පිළිරැව් දීමට සංජානා - කෙවින් සුසංයෝගයට හැකි වූයේ මයි ස්වීට් හාට් නිර්මාණය සඳහාය.

චමරි යහමින් මුදල් හදල් ඇති පවුලක කෙනෙකි. ඔහු ආදරය කරනුයේ චින්තකටය. ඔහුට මුදල් තබා හරි හැටි රස්සාවක් ද නොවීය. එහෙත් සංජානාගේ පියා යටතේ සේවය කරන මෝඩ ගති ඇති චුට්ටා චින්තක චමරි ආදරය මල්පල ගන්වා දෙමාපිය ආශිර්වාදය ඇතුව එකතු වීමට මඟපාදයි.

මුදලාලි - චුට්ටා හොඳට මතක තියා ගනින් ඔන්න ඔය පාර දිගේ යනකොට හතරමං හන්දියක් හම්බ වෙනවා. එතනින් හැරියන් දකුණට.

චුට්ටා - කාගේ දකුණටද?

මුදලාලි - මගේ නෙමෙයි උඹේ. ඒ යන කොට හදන ගෙයක් තියෙනවා. එතන ඉන්නවා බාස්. අන්න එයාට මේ ලක්ෂ පහ ගිහින් දෙනවා.

චුට්ටා හතරමං හංදියට ගිය ද ඔහුට වම දකුණ මාරු වේ. වැරැදි පාරක යන විට ඒ මඟෙහි එන්නේ චින්තකය.

චින්තක - චමරි නැති වුණොත් ඉඳල වැඩක් නැහැ. ඒත් චමරිගේ අම්මයි තාත්තයි මට කැමති කර ගන්නේ කොහොමද. ඒගොල්ලන්ට ඕනේ සල්ලි තියෙන බෑණා කෙනෙක්. අඩු තරමින් බඳිනකම්වත් කාගෙන් හරි සල්ලි ටිකක් හොයා ගන්න තියෙනවා නම් . . .

චින්තකට හමු වනුයේ චුට්ටාවය.

චුට්ටා - බාස්උන්නැහේ මුදලාලි හදිසි ගමනක් ගියා. ෂීට් ගන්න ලක්ෂ පහක් මගේ අතේ එව්වා. මෙන්න ගන්න . . . ඔන්න සල්ලි. අනං මනං කියවන්න වෙලාවක් නැහැ. මං ගියා.

චින්තකට කිසිවක් සිතා ගත නොහැක. ඔහුගේ ඉහේ මලක් පිපුණා වැනි විය.

චමරි . . . දෙයියෝ අපේ මුහුණ බැලුවා . . . මං දැං ලක්ෂපතියෙක්.

චින්තක මාර්ගය පුරා දිව යමින් කෑ මොර දෙනුයේ සතුට දරා ගත නොහැකිවය.

මේ අනුව සතේ අතේ නැතිව සිටි චින්තක දැන් ලක්ෂපතියෙකි.

එහි ප්‍රතිඵලය මුදලාලි සහ බිරිඳ චමරිගේ ආදර සම්බන්ධයට එකඟතාවය පළ කිරීමය.

ඔන්න සුබම සුබ ආරංචියක් කියන්න තියෙනවා.

මොකක්ද හාමිනේ සුභ ආරංචිය . . .

ලොකු දුවට ළමයෙක් ඉන්නවලු. . .

මොනවා ඒ සුබ ආරංචියක්ද, කවුද ඕක කරපු එකා . . . මම මරාගෙන කනවා . . . කෝ මේ චමරි...

මුදලිලා බොරුවට කෑගහන්න එපා. මං කිව්වේ ලොකු දුව බඳින්න කැමැති ළමයෙක් ඉන්නවලු. එයා ලක්ෂපතියෙක්ලු.

මුදලාලිගේ බෙරිහන්දීමට චමරි සහ නැඟණිය ඔමරි ද එතනට එයි.

තාත්තේ එයා මාව බඳින්න කැමතියිලු. ලක්ෂ ගාණක බිස්නස් තියෙනවා. තාත්තවයි අම්මවයි හම්බ වෙන්න ඕනෑලු.

අන්න වැදගත් දරුවෝ. කෙළින් කතාව. අහනවා එන්න කියන්නද කියලා .

මොකට කල් දානවද හෙටම එන්න කියන්න . . .

මේ අනුව චමරි සහ චින්තකගේ දෛවය වෙනස් වන්නට විය.

මුදලාලිගේ සල්ලිවලින්ම චින්තක නව ව්‍යාපාරයට අත තියන්නට විය. එහෙත් ඔහුට ඇති ගැටලුව තමන්ට සල්ලි දුන්න චුට්ටාවය. එහෙත් එය ද එතරම් ප්‍රශ්නයක් නොවන්නේ චුට්ටා යනු කිසිත් මතක නැති පුද්ගලයකු වීමය.

මේ ළමයට පුළුවන් මගේ බිස්නස්වලට හරි යන බිස්නස් එකකුත් පටන් ගන්න. මොකද මම ගෙවල් හදන්න කන්ට්‍රැක්නේ ගන්නේ. ඉතිං ඔය ළමයට පුළුවන් ගල් වැලි සිමෙන්ති ෂීට්

අපොයි ෂීට් නම් මට මතක් කරන්න එපා.

ඇයි ඒ . . .

නෑ, ඒක ඕනේ නෑ . . . මම ගල් වැලි ගන්නේ අත්පිට මුදලට. බ්ලොක් ගල් වුණත් කමක් නැහැ . . .

බ්ලොක් ගල් . . . බ්ලොක් ගල් . . . ඒ වැඩේ නම් හොඳයි වගේ.

මේ අනුව චින්තක බ්ලොක් ගල් ව්‍යාපාරයකට මුල පුරන්නට විය.

මේ අතර මුදලාලි පොලීසියේ දැමූ පැමිණිල්ල විභාග කරනුයේ කොස්තා රාලහාමිය. ඔහු චුට්ටා සමඟ මුදල් දුන් පුද්ගලයා සෙවීමට වෙහෙස වෙයි.

රාලහාමි - අර හදන ගේ . . .

චුට්ටා - හොඳට හදාගෙන යනවා වගේ . . .

රාළහාමි - මං ඇහුවේ ගොනෝ ඒ ගෙදර බාස්ට ද සල්ලි දුන්නේ ඔව් නේද . . . ඔව් නේද . . .

රාලහාමි චුට්ටාගේ කටින් උත්තරයක් ගැනීමට මාන බලයි.

චුට්ටා - මට වඩා රාලහාමිට මතකයි වගේ. මේ ගේද . . . වෙන ගෙයක් ද . . . චුට්ටා කල්පනා කරයි.

රලහාමි - සල්ලි දුන්නේ මටයි කියලා කාව හරි බාස් කෙනෙක්ව පෙන්වනවා ඕයි. මං ඌව අල්ලලා දෙකක් දීලා සල්ලි ටික අරං දෙන්නම් . . .

චුට්ටා - ගත්තු එකාව මතක් කරගන්න බැරිවනේ රාලහාමි මේ මාත් ඉන්නේ.

මේ අතර රාලහාමි සහ චින්තක මුදලාලි රථයෙන් පැමිණෙයි. ඔවුන්ට මඟදී චුට්ටා හමු වෙයි.

මුදලාලි - ඔය චුට්ටා කියන්නේ මගේ අක්කගේ පුතා. හරිම මෝඩයා. ඒ වුණාට හරිම අවංකයි. ඊයේ පෙරේදා මාර වැඩක් වුණානේ ඕකා . . . අප්පෝ මතක් වෙන කොටත් මට මාවම ගිලින්න හිතෙනවා . . .

ඇයි . . ඇයි . . මොකද කෙරුවේ . . .

මම ලක්ෂ පහක් දීලා ඇරියා බාස් කෙනෙකුට දෙන්න කියලා වහල ගහන්න ෂීට් ගන්න. මූ ඒක දානයක් දීලා පාරේ ගිය වෙන කෙනෙකුට ඒ ලක්ෂ පහම දීලා.

මළා . . .

නෑ . . . නෑ ඒ ගත්ත එකා මැරිලා නැහැ. මමයි බාගෙට මැරිලා තියෙන්නේ . . .

ඉතිං ඔය චුට්ටාමනේ ඒ හාදයට සල්ලි ටික දීලා ඇවිල්ලා තියෙන්නේ. ඉතිං ඒ සල්ලි ගත්ත හාදයාගේ වරදක් නැහැනේ . . .

මේ හමුවීම චින්තක සහ චමරිගේ ඉරණම කුමන මාර්ගයකට යොමු කරවයිද .

එය ඔබට දැක බලා ගත හැකි වනුයේ 'මයි ස්වීට් හාට්' නිර්මාණය ඔබ හමුවට පැමිණි විටයි.

මයි ස්වීට් හාට් හි චුට්ටා ලෙස රඟනුයේ බින්දු බෝතලේගමයි. ඔහු දකින බොහෝ දෙනෙක් අපේ සිනමාවේ දක්ෂතම විකට නළුවකු වන බන්දු සමරසිංහ යැයි සිතා රැවටේ. ඇත්තටම ඔහු අනුකරණයකින් තොරව ස්වභාවිකවම එම රංගනයේ නිරත වෙයි. එය ඔහුගේ ජීවිතයට කා වැදී ඇති රංගනයකි. මේ නිසා ඔහුට රැවටෙන බොහෝ අයට බින්දු පවසනුයේ මම බන්දු නෙමෙයි බින්දු යනුවෙනි.

මේ අනුව මයි ස්විට් හාට් හි මුදලාලි ලෙස ප්‍රේමදාස විතානගේත්, මුදලාලි බිරිඳ ලෙස හෙලන් රෙනෝල්ඩාත්, ඔමරි ලෙස උදර්ශි රත්නායකත්, පොලිස් රාලහාමි ලෙස ගාමිණී කොස්තාත් බාස් ලෙස පොඩි නිලමේ දේදුනුපිටියත් රඟන අතර චින්තක ලෙස කෙවින් කාරියවසම් ද චමරි ලෙස සංජනා පීරිස් ද චුට්ටා ලෙස බින්දු බෝතලේගම ද චරිත මවන අතර සෙසු චරිත රංගනයෙන් නිලූ ලියනගේ, ග්‍රියාන් විජේසුන්දර, ප්‍රසාද් උඩුගමසූරිය, ගුණවර්ධන එදිරිසිංහ, සංජීව රෝහණ දායක වී ඇත.

මයි ස්විට හාට් සාර්ථක කර ගැනිමට දර්ශන තල අනුග්‍රහයෙන් දාගොන්න නෙත්මි ෆුඩ්ස් සහ දාගොන්න වරුණි දිසානායක, නිශානි තිසේරා සහ රන්ජන් තිසේරා දැක් වූ අනුග්‍රහය අති මහත්ය.

සරත් වික්‍රමගේ මියුරු සංගීතයෙන් ඔපවත් වන මයි ස්වීට් හාට් නිෂ්පාදනය සංජානා ෆිල්ම්ස් වෙනුවෙන් නුවන් සම්පත් විතානගේය.