වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මනිරත්නම් යළි ඉපිදේ

මනිරත්නම් යළි ඉපිදේ

ඉලෙක්ට්‍රොනික සංගීතය සමග දිව යන පරිගණක ක්‍රීඩාවක් යැයි සිතිය හැකි නාමාවලියක් නිම වනුයේ හිමිදිරි පාන්දර මුම්බායි නගරයේ දුම්රිය පළ වෙතටය. තමිල්නාඩුවේ සිට දුව එන දුම්රියක් විදුලි ආලෝකය මැද එහි ළඟා වෙයි. මුම්බායි නගරය ගමනාන්තය කර ගන්නා දුම්ර්ය මගීන් මැද එක් තරුණයෙකු අප ඇසට යොමුවෙයි.ඔහු ආදිත්‍ය නම් වෙයි.ඔහු පිළිගන්නට එන හිතවතා තවම නැත.මේ තරුණයා දුම්රියේ ඇති ගමන් මළු බිමට දමා සැරිසරද්දී හිස් වන වේදිකාව ඔස්සෙන් ඔහු දකිනුයේ අනිත් පස වේදිකාවේ අරගලයකි.එක් පියකරු තරුණියක් තරුණයෙකු සමග රණ්ඩු වෙයි.ඇය තරුණයාට තර්ජනය කරමින් අනිත් පසින් එන දුම්රියට බිලි වන්නට වෙර දරයි.

දුම්රියට පනින බවට ඇය තර්ජනය කරයි. එම වේදිකාවේ පැමිණෙන දුම්රියකි.එහි ආලෝකය සමග අප දකිනුයේ වේදිකාවේ අද්දරට එන යුවතියයි. ඉදිරිපස බලන ඇයගේ නෙත ගැටෙනුයේ අනිත් පස වේදිකාවේ ඇති දුම්රියෙන් එහා සිට තමන් වලකන්නට තැත් කරන ආදිත්‍යයය. එය ගනන් නොගන්නා ඇය වේදිකාවේ කෙලවරටම යයි. දැන් ඇයගේ පයෙහි එක් කොටසක් ඇත්තේ දුම්රිය වේදිකාවෙන් එපිටටය. ඉදිරියෙන් එන දුම්රියට නාභි ගත කරමින් ඇයගේ පයත් සමග යළි සංස්කරණය කරමින් සම්ප්‍රදායුනුකූලව සිදු කරන ත්‍රාසය මැවීමට සිනමාකරු උත්සාහ කරන්නේ නැත.එහෙත් ඒ වෙනුවට නොපැහැදිලි දුම්රියත් ඇයගේ පාදයත් අතර රූපයෙන් මේ පියකරු යුවතිය දුමිරියට බිලි වන්නේ ද යන කුතුහලය ඇති කරන්නට සිනමාකරු වග බලා ගනී. ආදිත්‍යයට ඇය බේරා ගන්නට නොහැක.එහෙත් ඇය සිටි වේදිකාවට පැමිණෙන දුම්රිය සමග ඇය නොපෙනී යයි.

මේ ආරම්භක රූප රාමු පෙළ ඇතුළත් වනුයේ මේ දවස්වල තිර ගත වන අලුත්ම දෙමළ චිත්‍රපටයකටය. එය නමින් ඕ කාදල් කන්මනි ය.අලුත් පරම්පරාවේ කෙටි භාෂාවට අනුව ඕකේ. කන්මනිය.චිත්‍රපටය නිර්මාණය කරලනුයේ ඉන්දියානු සිනමාවේ අසූව දශකය බිහි කරන ලද සිනමාකරුවන් අතර වඩාත්ම කැපි පෙනුන සිනමාකරුවා වන මනිරත්නම්ය.මේ ඔහුගේ විසි හතර වැනි වෘතාන්ත චිත්‍රපටයයි.

එකම පුවත ඔහු විසින්ම භාෂා දෙකකින් නළු නිළියන් වෙනස් කොට නිර්මාණය කළ අවස්ථා දෙකක් ඔහුගේ සිනමාවේ ඇත.ඒ හින්දි බසින් රාවන් ද දෙමළ බසින් රාවන්නා යනුවෙන් තැනූ චිත්‍රපට යුගළ සහ දෙමළ බසින් ආයුධ එළත්තු සහ හින්දි බසින් යුවා යනුවෙන් තැනූ චිත්‍රපට යුගලයයි.මේ හැරෙන්නට ඔහුගේ බොහෝ චිත්‍රපට හින්දි බසින් වෙනත් සිනමාකරුවන් අතින් ප්‍රති නිර්මාණය ව ඇත.නැතහොත් හින්දි සහ වෙනත් ඉන්දියානු භාෂාවන්ට දෙබස් කැවී ඇත්තේය.කොටින්ම පසුගිය දශකය පුරා මනිරත්නම් තරම් ලෝක සිනමාවේ අවධානය දිනා ගත් තමිල්නාඩු සිනමාකරුවකු තවත් නැති තරම්ය.ඔහුගේ රෝජා චිත්‍රපටය හින්දි බසින් දෙබස් කවන ලද දෙමළ චිත්‍රපට අතර ඉහළම ආදායම උපයන්නට සමත් වූයේය.ඔහුගේ බොම්බේ චිත්‍රපටය 1995 වසරේ ලොව බිහි වූ විශිෂ්ට චිත්‍රපට සියයට ඇතුළත් කරන්නට සුප්‍රකට ටයිම් සඟරාව කටයුතු කරන ලදී.

මනිරත්නම් ගේ මුල්ම චිත්‍රපටය 1983 වසරේ දී කන්නඩ බසින් නිර්මාණය වූ පල්ලවි අනු පල්ලවි වන අතර දෙවැන්න මලයාලම් බසින් නිර්මාණය වූයේ උනරූ නමිනි. ඔහුගේ මුල්ම දෙමළ බසින් තැනුන චිත්‍රපටය පාගල් නිලවු නම් විය. මේ මුල්ම චිත්‍රපට ත්‍රිත්වයම රූපය පිළිබඳ ඔහුගේ ශක්‍යතාව අනාවරණය කළ ද වාණිජ වශයෙන් අසාර්ථක විය. ඔහු ගේ මුල්ම චිත්‍රපටයේ කැමරාව මෙහෙයවන ලද්දේ පසුගිය දා වෙන්ව ගිය බාලු මහේන්ද්‍රන් විසිනි.මනිරත්නම් වාණිජමය වශයෙන් මුලින්ම සාර්ථක චිත්‍රපටය වනුයේ ඉදය කොයිල් වන අතර 1986 වසරේ ඔහු විසින් තනන ලද මෞනරාගම් චිත්‍රපටය හැම අතින්ම ඔහු ඉදිරියට ගෙන ගිය මුල්ම චිත්‍රපටය විය.මනි රත්නම් යනු දකුණු ඉන්දියාවේ බිහි වන තවත් එක් සිනමාකරුවකු නොවන වග මුල්වරට ඔහු සනිටුහන් කරන ලද්දේ එම චිත්‍රපටය හරහාය.ද්‍රවිඩ භාෂා කුලයට අයත් භාෂා හතරින්ම එනම් දෙමළ,තෙළිඟු,මලයාලම් සහ කන්නඩ යන භාෂා හතරින් මෙන්ම හින්දි බසින් ද සිනමාකරණයේ යෙදුන මනිරත්නම් ගේ චිත්‍රපට විවිධ තේමාවන් ගෙන් යුක්ත විය. ඔහු රෝජා, බොම්බේ, දිල් සේ නිර්මාණය කරනුයේ ඉන්දියාවේ ඇති ත්‍රස්තවාදි යුද්ධය පසුබිම් කුර ගෙනය.කන්නතිල් මුත්තමිටාල් සඳහා පාදක කර ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයයි. නායගන්, තලපති, ආයුධ එලත්තු,රාවන් පාතාල ලෝකයයි.නායගන් ගුරු, ඉරුවර් සැබෑ චරිත පාදක කර ගෙන තැනුන චිත්‍රපටයන්ය. ඔහු ලෝකය හමුවේ වඩාත්ම අවධානයට පාත්‍ර කරනුයේ නායගන් චිත්‍රපටය සමගය.මනිරත්නම් යනු සිනමාකරුවකු මෙන්ම දෙමළ සිනමාවේ විලාසිතාවක් වන්නේ එයින් පසුවය.

2002 වසරේ පවත්වන ලද සරසවිය සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ මනිරත්නම්ය. එම උළෙලට සමගාමි ව මනිරත්නම් ප්‍රත්‍යවලෝකන සිනමා උලෙලක් ද කොළඹ සිනෙසිටි සිනමාහලේ දී පැවැත්විණ. සුප්‍රකට තරුණ දෙමළ සිනමාකරු ශංකර් ගේ බෝයිස් චිත්‍රපටය තිර ගතවීම ආරම්භ වූයේ මනිරත්නම් සිනමා උළෙල නිමාවන දවසේය.ඔහු බෝයිස් චිත්‍රපටය නැරඹුවේ ද සිනෙසිටි සංකීර්ණයේය. එවර මනිරත්නම් සමග විශේෂ සාකච්ඡාවක් කිරීමේ කාර්යය පැවරුණේ ද මටය. ඒ වන විට ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතරින් මුල් ද්විත්වය හැරුණු විට අන් සියලු චිත්‍රපට නරඹා තිබීම මට එහිදී විශේෂ වාසියක් විය.මනිරත්නම් මට මුලින්ම මුණ ගැසුණේ එයට පෙර 1996 වසරේ කේරළ සිනමා උළෙලේදීය.

කෙසේ වෙතත් ඔහු ඕ කාදල් කන්මනි චිත්‍රපටයට පෙරාතුව නිර්මාණය කරන ලද කදල් හැම අතින්ම දුර්වල චිත්‍රපටයක් විය.එය වාණිජ මය වශයෙන් සාර්ථක වූයේ ද විචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූයේ ද නැත.කොටින්ම මනිරත්නම් ගේ කාලය අවසානය යන්න ඔහුගේ රසිකයෙකු වූ මගේත් ලොව පුරා විහිදුණ සිනමා විචාරකයන්ගේ ත් මතය වූයේය.

එහෙත් මනිරත්නම් යළි ඉපැදිණ.ඔහුගේ සිනමාවේ අපූරු රූපමය වියමන් යළිත් දැක ගත හැක්කේය.ලෙඩින් වැටුණු මිනිසෙකු යළි එක්වර ගොඩ එන්නේ නැත.කදල් වැනි කසිකබලක් තැනූ මනි රත්නම් මෙවර තැනූ චිත්‍රපටය ඔහුගේ මෞනරාගම් සහ අලෙයිපායුදේ යන චිත්‍රපට යුගල හා සැසඳීය නොහැක.එහෙත් ඔහු යළි තරුණ වූ බව මගේ හැඟිමයි.මනිරත්නම් 1956 වසරේ ජූනි මස දෙවැනි දින උපත ලද්දේ ගෝපාල රත්නම් සුබ්‍රමානියම් යන නමිනි.ඒ අනුව ඔහුට දැන් වයස අවුරුදු පනස් නවයකි. ඔහුගේ අලුත් චිත්‍රපටය පිළිබඳ මෙම සටහන තැබිය යුත්තේ ආදරය පිළිබඳ ඔහු නිර්මාණය කරන ලද හොදම චිත්‍රපට යුගල හා සසඳමිනි. ඔහුගේ සෑම චිත්‍රපටයකටම ආදර කතා ඇතුළත් වුව ද ප්‍රෙමය පමණක් විෂය කර ගනිමින් ඔහු විසින් තනන ලද චිත්‍රපට දෙකක් මගේ මතකයට එයි.එයින් පළමු වැන්න 1986 වසරේ දී තනන ලද මෞනරාගම් චිත්‍රපටයයි.

පියා ගේ බලකිරිම මත විවාහ දිවියට එළැඹෙන යුවතියක් සිය මංගල රාත්‍රියේ සැමියාගෙන් තිළිණයක් ලෙස ඉල්ලා සිටිනුයේ දික්කසාදයයි.ඒ ඇයගේ පෙම්වතා මිය ගොස් ඇති බැවිනි.තිස් හැවිරිදි සිනමා කරුවා එවර තනනුයේ මව් පියන්ගේ ආශිර්වාදය මැද විවාහ දිවියට එළැඹි යුවළ දික්කසාදයට සැරසෙන අතරවාරයේ එකිනෙකා හා ජීවිතය බෙදා ගන්නා අන්දමය.වෙන්ව යන්නට සැරසෙන යුගල තව දුරටත් එලෙස වෙන්ව යා නොහැකි වග වටහා ගනිති.මේ මනිරත්නම් එදා ජීවිතය දුටු ආකාරයයි.එයින් වසර ගණනාවකට පසු එනම් 2000 වසරේ දී ඔහුට 44 හැවිරිදි වියේ දී මේ සිනමාකරුවා ආදරය දකිනුයේ අලෙයිපායුදේ චිත්‍රපටය හරහාය.එය ඇරඹෙනුයේ මදුරාසියේ දුම්රිය පළක සිය බිරිය එනතුරු බලා සිටින තරුණ සැමියෙක්ගේ අතීතාවර්ජනයෙනි.ඔවුහු විවාහ වනුයේ හිතුවක්කාරයටය.ජීවිතය ගලා යනුයේ බාධක මැදය.

එහෙත් එකිනෙකා හැර යන්නේ නැත.චිත්‍රපටය අවසානය වන විට ඔවුන්ගේ බැඳීම තවත් ශක්තිමත්ව ඇත. තුන් වැන්න නැතහොත් ඕ කාදල් කන්මනි නිර්මාණය වන විට මනිරත්නම් පනස් නව හැවිරිදි වියේ පසුවෙයි. ඔහු මෙවර නොපැකිලව අත ගසනුයේ එයට වඩා වයසින් හරි අඩකටත් වඩා බාල තරුණ තරුණියන්ගේ ආදර කතාවකටය. අලෙයිපායුදේ මෙන්ම කාදල් කන්මනි ද ඇරඹෙනුයේ දුමිරිය පොළේ දීය. මෞනරාගම් නිමා වනුයේ දුම්රිය පොලේ දීය.අලෙයිපායුදේ මෙන් නොව කාදල් කන්මනි හිදී මනිරත්නම් තෝරා ගනුයේ මුම්බායි නගරයේ ජීවත් වන දෙමළ ජනතාවයි. එයට පෙර ඔහු මුම්බායි නගරයේ දෙමළ ජීවිත දෙස සිය සිනමාව යොමු කරන ලද්දේ ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපටය වන නායගන් සඳහාය.එවකට මුම්බායි හැඳීන්වූයේ බොම්බාය යනුවෙනි.(තවමත් මුම්බායි ස්වීට් නැත. ඇත්තේ බොම්බේ ස්වීට් පමණී.) මුම්බායි පාතාල ලෝකය රජ කළ වර්ධරාජන් මුඩ්ලියර් ගේ චරිතාපදානය පාදක කොට ගෙන ඔහු මුල් වරට මුම්බායි නගරයේ ජීවත් වන තමිල්නාඩු වැසියන් දෙසට යොමු විය. මෙවර ඔහුගේ සිනමා කෘතියේ තරුණ යුවල මුම්බායි නගරයේ නවාතැන් කරුවන්ය.තරුණයා එනම් ආදිත්‍ය (මෙම චරිතය නිරූපණය කරනු ලබනුයේ සුප්‍රකට මලයාලම් නළු මමුති ගේ පුතනුවන්ය.) නවාතැන් ගනුයේ එයට පෙර ඔහුගේ සොහොයුරා නවාතැන් ගෙන සිටි විශ්‍රම ලත් බැංකු නිළධාරියකු වන ගනපති ගේ නිවසේය.පැරණි සංගීතඥවරියක් වන භවානි ඔහු ගේ භාර්යාවයි.ඇය අමතක වීමේ රෝගයෙන් පෙළෙන මහළු කාන්තාවකි.ගනපති දැඩි නීති කාරයෙකි.

ආදිත්‍යට සිය මිතුරෙක් ගේ විවාහ මංගල්‍යෙය් දී නැවතත් දුම්රිය පොලේ දුටු යුවතිය මුණ ගැසෙයි.ඇය තාරාය.මේ චරිතය නිරූපනය කරනුයේ නිත්‍යා මෙනන්ය.මේ ආදර කතාව ඔහු තනනුයේ වර්තමානයටය.මේ තරුණයා සම්භාවනීය සංගීතය රස විඳීමේ අපොහොසත්ය.ඔහු ගේ අරමුණ පරිගණක හරහා බිල් ගේට්ස් කෙනෙකු වීමයි.අමෙරිකාව ඔහුගේ ඉලක්කයයි. තාරා ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමේ කැමැති එනිසාම පැරීසියට යන්නට බලාපොරොත්තු වන ධනවත් පවුලක හුදකලාව ජීවත් වන තරුණියකි.මේ හමුව විවාහයට පෙර එකට ජීවත් විමට මග පාදන්නකි.පසුගිය දශකය ඇතුළත බිහිවන තරුණ තරුණියන්ගේ සිතුවිලි ආකල්ප සියල්ල සැනෙකින් වෙනස් ව ගිය අයුරු පුදුමයක් නොවේ.වර්තමාන ඉන්දියාවේ පැරණි සම්ප්‍රදායන් තවමත් රකිනුයේ දකුණු ඉන්දියාවේ සහ ඈත ගම්මාන යන්ගේ පමණී.මුමබායි වැනි නගර ඉතා දැඩිව නව සංස්කෘතික විලාසිතා වැළඳ ගෙන ඇත්තේය.

විවාහ නොවී එකට ජීවත් වීම අද ඉන්දියාවේ සාමාන්‍ය කාරණයකි.මිනිස් සබඳතා යනු සරළ සිදුවීම් හැටියට පෙනෙන්නකි.වයසින් වියපත් වන සිනමාකරු මනි රත්නම් සිය නවතම චිත්‍රපටය හරහා අවුළුවන්නට තැත් කරලනුයේ මෙම වෙනස් වන සමාජ ආකල්පයන් සහ තරුණ සිතුවිලි ය. ඔවුන්ගේ පරමාදර්ශි ආකල්ප පැරණි පිරිසට වඩා වෙනස්ය. මනිරත්නම් එක් පසකින් නිතර අමතක වන රෝගයෙන් පෙළෙන භවානි සහ ගණපති ගේ ජීවිතය පෙරළා කියවන ආකාරයට ආදිත්‍ය සහ තාරා අතර සියුම් සබඳතා ගොඩ නංවයි. ජීවිතය පිළබඳ අලුතින් සිතන පරම්පරාවේ ආදිත්‍ය කෙල්ලක් පසු පස දුම්රියෙන් යයි. ආගන්තුක තරුණයෙක් සමග කාමරයක තනිවන තාරා ශාස්ත්‍රීය ගායනයෙහි සමත්ය.මොන තරම් ලෝකය දියුණු වුව ද මේ සිතුවිලි සාමාන්‍ය ආකාරයෙන් එදා මෙදා සිදු වෙයි.සිනමාකරු විසින් උපයුක්ත කර ගන්නා රූපය (වසර ගණනාවකට පසු ඔහු යළිත් කැමරා අධ්‍යක්ෂ පී.සී.ශ්‍රීරාම් සමග කටයුතු කරන්යේ මෙහිදීය.)සංස්කරණ රීතිය (සරසවිය සම්මාන දිනූ ශ්‍රීකර් ප්‍රසාද්) සහ මනිරත්නම් විසින් සිනමාවට හඳුන්වා දෙන ලද සංගීතඥ ඒ.ආර්.රහුමාන් ගේ සංගීතය මෙම කාලින ප්‍රකාශය තීවෘ කර ගැන්මට වෑයමක් යෙදේ.ඔහුටම ආවේණික ආකාරයෙන් රංගනය රූපය සංගිතය සංස්කරණය යන සිනමාතරණයේ සතර විදි ක්‍රම පාලනය කිරීම් හැකියාව පිළිබඳ සරසවිය පුවත් පත වෙනුවෙන් කළ සාකච්ඡාවේ දී එකල මා විමසා සිටි අයුරු තවමත් මට මතකය. එයටත් වඩා ඔහුගේ පිළිතුර මට මතකය.මට අධ්‍යක්ෂ කියන්නේ ඒ නිසාවෙන්.

ඔහුගේ පිළිතුර විය. සැබැවින්ම ඕ කාදල් කන්මනි යළිත් මනිරත්නම් නමැති සිනමාකරුවා බිහි කරන චිත්‍රපටයකි. මේ නව පරපුරේ හිතුවක්කාර තරුණ යුවලගේ ජීවිතය පිළිබඳ ඔහු අපට කියා පානුයේ මහළු යුවළගේ ඇති බැඳීයාව ද පසුබිමේ තබා ගෙනය. යම් කිසි දිනෙක මේ හිතුවක්කාර යුවළ ද වියපත් වනු ඇත. සැබෑ බැඳීමක අවසානයේ වතුර ටිකක් හෝ දෙන්නට කිසිවක් සොයා ගත යුතුය යන්න පෙරදිග සංකල්පයකි.එහි කියාපානුයේ ජීවිත දෙකක් අතර ඇති වන බැඳීමයි. සම්ප්‍රදායුනුකූලව චිත්‍රපටය නිමා කරලනුයේ ආදිත්‍ය විසින් තාරාට මංගල මල්දම පැළඳවීමෙනි. කෙතරම් නුතන ආකල්ප වලින් බැඳුන ද ජීවිතයේ එක් තැනක මිනිසුන් සම්ප්‍රදායයන් හා බැඳෙන බව නොරහසකි. ඉලක්ක සියල්ල ජය ගත් පසු අවසානයේ හැරී බලද්දි ඉතුරු වනුයේ කවර නම් ප්‍රතිලාභය පමණක් බව පශ්චත්තාපවීම බොහෝ දියුණු යැයි සම්මත මිනිසුන්ගේ හදවත් පිරික්සීමේ දී සොයාගත හැකි සුලබ කරුණකි. මේ සියලු කාරනා පසක තිබියදී මනිරත්නම් නූතන තරුණයෙකු මෙන් සිතන්නට පුරුදු ව ඇත්තේය.අපේ බොහෝ සිනමාකරුවන්ගේ නැති මනිරත්නම් ගේ ඇති තවත් විශේෂත්වයක් නම් එයයි.