වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මිහිදුම් සිහින සුජාතා, රජ දරුවෝ තැනූ දයා විමලවීරගේ අද තොරතුරු

මිහිදුම් සිහින සුජාතා, රජ දරුවෝ තැනූ දයා විමලවීරගේ අද තොරතුරු

‘රෙඩි’ කිව්වාම ‘වෙඩි’ ඇහිලා බලකොටුව කලින් පිපිරුණා

මෙරට ජනප්‍රිය සිනමාවේ ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කළ පුද්ගලයකු වූ දයා විමලවීර චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්, කැමරාකරණයෙන් දේශීය සිනමාවට අනුපමේය සේවයක් කළ කලාකරුවෙකි. වසර ගණනක් කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිට සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන දයා විමලවීර තම පියාණන් වූ සිරිසේන විමලවීරයන්ගේ සිනමා නිර්මාණයක් වූ එකමත් එක රටක චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙසින් සිය සිනමා චාරිකාවට මුල්වරට අත්පොත තබනු ලැබේ.

තම පියාණන්ගේම සිනමා අධ්‍යක්ෂණයක් වු රොඩී කෙල්ල චිත්‍රපටයෙන් මුල්වරට කැමරා අධ්‍යක්ෂණයට පිවිසෙන දයා වීදුරු ගෙවල් සිනමා නිර්මාණය ඔස්සේ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙයි. සිනමා කර්මාන්තය තුළ කීර්තිමත් වාණිජ සිනමාකරුවකු ලෙසින් ප්‍රසිද්ධියක් ඉසිලූ දයා විමලවීරයන් සමඟ කෙරෙන කතාබහකි මේ.

* චිත්‍රපට නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු, කැමරා ශිල්පියෙකු, සංස්කරණ ශිල්පියෙකු ලෙසින් පූර්ණකාලිනව සිනමා කර්මාන්තයේ නියැලී සිටි ඔබ අද නිහඬ දිවියක් ගෙවන බවයි පේන්න තියෙන්නේ?

මේ වෙන කොට මං අසනීප තත්ත්වයෙන් තමයි පසු වන්නේ. අවුරුදු දහයක පහළොවක විතර පටන් මම චිත්‍රපට කර්මාන්තයෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. මට හෘදයාබාධයක් ඇතිවීම නිසා බයිපාස් සැත්කමක් කළා. ඊට පස්සේ මේ වෙහෙසකාරී වැඩවලින් මම ටිකක් ඈත් වුණා. අද වෙන කොට මම වකුගඩු රෝගයෙන් පෙළෙනවා.

* අද වෙන විට වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වෙලාද?

ඒ වෙනුවෙන් මා ප්‍රතිකාර ගන්නවා. සතියකට සැරයක් ඩර්ඩන්ස් රෝහලට ගිහින් ඇඟේ ලේ පිරිසිදු කරනවා. මේ වගේ රෝගීභාවයක් තුළ මම අද කල දවස ගෙවනවා.

* ඔබේ සිනමා ගමනයේ අවසන් සිනමා නිර්මාණය වුණේ මොකක්ද?

රණහංසි චිත්‍රපටය. මේ චිත්‍රපටය තමයි මම අවසන් වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වගේම අවසන් කැමරා අධ්‍යක්ෂණයත් වුණේ. මට මතක හැටියට මේ චිත්‍රපටය 2004 වසරේ තිරගත වුණත් ඊට වසර කීපයකට කලින් තමයි මම මේ චිත්‍රපටයේ වැඩ අවසන් කළේ.

* ඔබ රෝගී තත්ත්වයටත් පෙරාතුව පටන් සිනමා නිර්මාණ කාර්යයෙන් සමුගෙන තිබුණා කියලයි මට හැඟෙන්නේ?

මගේ සිනමා දිවියේ මම කවදාවත් චිත්‍රපට ඉල්ලාගෙන නිෂ්පාදකයෝ පස්සේ ගිය සිනමාකරුවෙක් නොවේ. මම ළඟට ඇවිත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කවුරුන් හෝ කතා කළොත් ඇරෙන්න මම කිසි විටෙකත් ඉල්ලන් ගිය සිනමාකරුවෙක් නොවන වග මේ ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. මගේ ඒ නිහඬ බවට එක හේතුවක් වුණේ මට සුදුසු නිෂ්පාදකයෙක් මාව සොයාගෙන නොපැමිණීම.

* ඒත් ඔබ නිෂ්පාදකයෝ නාවත් ඔබම චිත්‍රපට නිෂ්පාදනයටත් යොමු වුණානේ?

වීදුරු ගෙවල්, මේජර් සර්, සීතල ගිනිකඳු මම නිෂ්පාදනය කළා. ඒත් තවදුරටත් චිත්‍රපට නිෂ්පාදනයේ රැඳී ඉන්න මට ඒ තුළින් ලැබුණු මුදල් ප්‍රමාණවත් වුණේ නෑ.

* චිත්‍රපට කෙරුවාව තවදුරටත් කරගෙන යාම පිළිබඳ ඔබ දෙවරක් සිතන්න පටන් ගත්තා නේද?

විජය කුමාරතුංග, සරත් දසනායක, ග්‍රේෂන් ආනන්ද, එච්. ආර්. ජෝතිපාල වගේ ජනප්‍රිය පුද්ගලයන් අපෙන් සමුගත්තට පස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයේ යම් දැනෙන පසුබෑමක් කර්මාන්තයට අත් වුණා. මම වැඩි වශයෙන් මේ අයත් සමඟ සිනමා නිර්මාණ කළා. ඒ අයගේ අඩුවත් සමඟ ප්‍රේක්ෂක ආකර්ෂණයේ චිත්‍රපට කිරීමට මා තුළත් යම් දෙගිඩියාවක් ඇති කළා.

* කරුණු කීපයක් පුරා විහිදුණු ඔබේ දැනුම කිසියම් හෝ මාර්ගයක් ඔස්සේ අන් අයට දායාද කිරීමට ඔබ සිතුවේ නැද්ද?

මම මේ අසනීප තත්ත්වයෙන් හිටියත් කවුරු හරි මාව හොයාගෙන ඇවිත් කැමරා කෝණ ගැන විමසුවොත් චිත්‍රපටයක් රූපගත කිරීමකදී අවශ්‍ය දැනුමක් පිළිබඳ විමසුවොත් අදටත් මම ඒ දේ ඇදල කරලා කියා දෙනවා. එහෙම මගෙන් දැනුවත් කිරීම් ලබා ගන්න අය ඉන්නවා. මම ඒ දේ කරන්නේ බොහොම සතුටින්.

* ඔබ මේ ක්ෂේත්‍රයට සම්මානනීය ගෝල බාලයන් රැසක් දායාද කළ ගුරුවරයෙක්?

ඒ ගැන මගේ හිත තුළ තියෙන්නේ ලොකු සතුටක්. ඒ ගෝලයෝ අද කරන දේවල් දැකලා ඒ අය සම්මානයට පාත්‍ර වෙනවා බලලා මම සතුටක් ලබනවා. ලලිත් තෝමස්, ජයනාත් ගුණවර්ධන, රංජිත් සිරිවර්ධන, ජී. නන්දසේන, ඩොනල්ඩ් කරුණාරත්න, චන්න දේශප්‍රිය මේ වගේ බොහෝ දෙනෙක් ඔය අතර ඉන්නවා.

* අධ්‍යක්ෂණයෙන් ඔබ අතින් මොන සිනමා නිර්මාණ ද බිහි වුණේ?

වීදුරු ගෙවල්, පහයි හතලිස් පහ, ජීවන කඳුළු, මිහිදුම් සිහින, මේජර් සර්, දෙව්දුව, මධුසිහින, ඡායා, රජ දරුවෝ, සුජාතා, බඹසර බිසව්, සීතල ගිනි කඳු, රණහංසි.

* කැමරා අධ්‍යක්ෂණයෙනුත් ඔබ බොහෝ නිර්මාණයන්ට එක් වුණා?

තෝට්ටකාරි, වැදිබිම, පටාචාරා, මිරිඟුව, ඉවසන දනා, ආදරයයි කරුණාවයි, අනුහස, කළණ මිතුරෝ, හරිම බඩු තුනක්, යළි ඉපදේ, සිකුරුලියා, හරි පුදුමයි, පරසතුරෝ.

* තිර රචනයෙන් මෙන්ම සංස්කරණයෙන් ද සිනමාගමනයට එක් වූ පුද්ගලයෙක් ඔබ?

සුජාතා, බඹසර බිසව් චිත්‍රපට මම සංස්කරණය කළා. රජ දරුවෝ, බඹසර බිසව්, සුජාතා, රණහංසි, සීතල ගිනි කඳු චිත්‍රපටවල තිර රචනය මගේ.

* අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?

අපේ සිනමාව තුළ කාර්මික පැත්තෙන් නම් එදාට වඩා දියුණුවක් දකින්න තියෙනවා. අපි එදා බොහොම වෙහෙස වෙලා කරපු ලයිටින්, කැමරා අද බොහෝ නවීකරණයෙන් භාවිත කරන්න පුළුවන් වෙලා තියෙනවා. කාර්මික පැත්තෙන් දියණුවක් ලැබුවත් නිර්මාණ පැත්තෙන් නළු නිළියන්ගේ රංගනයන් පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ.

* එදා නළු නිළියන්, කාර්මික ශිල්පීන් නිර්මාණ කාර්යයෙන් මොන වගේ දායකත්වයක් ද ලබා දුන්නේ?

කවුරුත් එකා වගේ. ෂූටින් ආවොත් ඒ වැඩේම තමයි. නළු නිළියන්ගෙන් උපරිම සහායක් ලැබුණ නිසා තමයි මට දුර ගමනක් එන්න ලැබුණේ.

* එදා ඔබේ කැමරාවට හසු වූ නිර්මාණ අධ්‍යක්ෂණයට හසු වූ නළු නිළියන් අද වෙන විට ඔබව අමතක කරලද?

නෑ කොහෙත්ම නෑ. සබීතා, නදීකා, සනත්, රෝයි, සුමනා, ටෝනි මේ හැමෝම අදත් මට කතා කරනවා. දුක සැප විමසනවා.

* එදා ඔබ කැමරාවට හසු කරගත් ඔබේම සිනමා නිර්මාණයන් අද පුංචි තිරයෙන් දකින කොට නැවත තිරගතවීමකදී දකින කොට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?

ලොකු සතුටක් ඇති වෙනනවා, එදා තිබුණ අපහසුකම් මධ්‍යයේ මේවා කළේ කොහොමද කියලත් හිතෙනවා.

* චිත්‍රපට කරන්න ගිහින් ජීවිතයේ අමතක නොවන සිදුවීම් පවා ඇති නේද?

කළණ මිතුරෝ චිත්‍රපටය කරන්න ගිහින් මම මාසයක් ඇඳේ හිටියා. එදා ටෝනි රණසිංහ තමයි කාර් එක එලවන්නේ. මම බොනට් එක උඩ ඉඳගෙන කැමරා කරනවා. කොහොම හරි ටෝනිට වාහනය ටිකක් හුරු නැහැ. හදිස්සියේ ටෝනි බ්‍රේක් කළා. මාව කැමරාවත් එක්ක උඩින් ගිහින් පාරේ පත බෑවුණා .

බඹසර බිසව් චිත්‍රපටය කරන්න ගිහින් ඇත්තටම ශෂී විජේන්ද්‍ර අනතුරකට පත් වුණා. ඒ අනතුර ඒ විදියටම චිත්‍රපටයේ තියෙනවා. පරසතුරෝ චිත්‍රපටය කරන්න ගිහින් ඉන්න කොට චිත්‍රපටයේ බලකොටුවක් පුපුරවා හරින්න තිබුණා. මේ පිපිරීම් භාරව හිටියේ කරුණාදාස අතුරුගිරියයි. කොහොම හරි බලකොටුව පුපුරවන්න කලින් තව දර්ශන පෙලක් ගන්න තිබුණා. කැමරා රෙඩි කිව්වා. වෙඩි කරූ හිතුවා එයාට කරූ වෙඩි කිව්වා කියලා මිනිහා මොකද කළේ බලකොටුව පිපිරෙව්වා. අපි බලාපොරොත්තු නොවූ මොහොතක එදා එයින් යන්තම් ජීවිතේ බේර ගත්තා. හැබැයි තව මාසයක් විතර ගියා ආයෙත් බලකොටුව හදලා චිත්‍රපටයේ දර්ශන ගන්න.

* ඔබ සතු වූ සිනමා ශාලාවට මොකද වුණේ?

තාත්තා සතුව තිබුණ නවජීවන චිත්‍රාගාරයත් නැති වුණා. තිස්සමහාරාමයේ තිබුණ රෝහණ සිනමා ශාලාව ගිනිබත් කළා. මේ දේවල්වලිනුත් මගේ හිතට කලකිරීමක් ඇති වුණා.

* සිනමාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු ඔබ යම් ආකාරයක ඇගැයීමකට ලක් නොවුණේ ඇයි?

ඒ ගැන මා තුළ තියෙන්නේ කණගාටුවක්. කොච්චර සේවයක් කළත් ඇගැයුමක් නැහැ. මගේ සමහර චිත්‍රපටවලින් මට ලැබිය යුතු සම්මාන මට අහිමි කළා. මගේ චිත්‍රපට ප්‍රේක්ෂකයෝ අතර ජනප්‍රිය වුණා. චිත්‍රපට ජූරිය මගේ චිත්‍රපට කපා හැරියත් වචනයකවත් ඇගැයීමක් මට නොලැබීම මා මේ ක්ෂේත්‍රයේ තවත් කලකිරවන්න හේතු වුණා.

* කොහොමද පවුලේ තොරතුරු?

මගේ බිරිය හයසින්ත් මාලනී. දුවල තුන් දෙනා ඩිලන්ති, ශිරන්ති, දුෂන්ති. මේ හැමෝම මාව හොඳින් බලාගන්නවා. දුවලා තුන් දෙනාම මගේ නිර්මාණවලට රංගනයෙන්, සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. ශිරන්ති දුව මධුසිහින චිත්‍රපටයේ පටන් මම කළ හැම නිර්මාණයකම මගේ සහාය අධ්‍යක්ෂ ලෙසින් දායක වුණා. මට මුණුපුරෝ තුන් දෙනෙක් මිණිබිරියෝ එක් කෙනෙක් ඉන්නවා. මේ හැමෝම මට පුදුම ආදරයක් දක්වන්නේ. ඒ අයගේ ආදර සැලකුම් ලබමින් මම අද කාලය ගත කරනවා.

අංක 154, ඇන්ඩර්සන් පාර නැදිමාල, දෙහිවල දයා විමලවීරයන්ගේ ලිපිනයයි.