වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රන්මුතුදූවේ අයිතිය මගේ විජය රාමනායක අවධාරණය කරයි

රන්මුතුදූවේ අයිතිය මගේ විජය රාමනායක අවධාරණය කරයි

ආරාධනා, කලියුගය, යුගාන්තය , මල්දෙණියේ සිමියොන් ආදී සම්මානනීය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම කැසට් ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ විජය රාමනායක මහතා හදිසියේ සරසවියට දුරකතන ඇමතුමක් දෙනු ලැබුවේ තමන්ට නිෂ්පාදන අයිතිය ඇති චිත්‍රපටයක් පිළිබඳ සරසවිය පුවත්පතේ මීට සති කීපයකට උඩදී පල වූ ලිපියක් පිළිබඳ කරුණු කාරණා තමනට ද කීමට ඇති බවකි.

2015. 03. 12 සිට 2015. 04. 02 දක්වා අප පුවත්පතේ පල වූ මයික් විල්සන් පිළිබඳ ලිපියේ මයික් විල්සන්ගේ දියණියක වූ දාමිණි විල්සන් මහත්මිය තම පියා වූ මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ රන්මුතු දූව චිත්‍රපටය සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් තමන්ට ද යම් කරුණු කීපයක් කීමට ඇති බවකි. අද ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූවේ පරම අයිතිය ඇත්තේ තමන්ට බවත් ඒ පිළිබඳ සියලු සාක්ෂි සටහන් තමන් සතුව ඇති බවටත් ඔහු අප සමඟ ප්‍රකාශ කළ හෙයින් කවදත් සරසවිය කලාකරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි හෙයින් අප ද මෙම ප්‍රශ්නයේදී රන්මුතු දූව චිත්‍රපටයේ වත්මන් අයිතිකරු ලෙස ඉදිරිපත්ව සිටින විජය රාමනායකයන්ට මෙලෙස ඉඩ සලසා දුණෙමු.

සිංහල සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව මුලින්ම ඔබ නැරැඹුවේ?

ගාල්ල සරසවි සිනමා ශාලාවේ. ඒ කාලේ මම පදිංචි වෙලා හිටියේ මාතර. මාතර සිනමා ශාලා තිබුණත් මගේ පුරුද්දක් තිබුණා යාළුවොත් එක්ක ගාල්ලට ඇවිත් චිත්‍රපට බැලීමේ. මුල්වරට රන්මුතු දූව සිනමා අත්දැකීම මම වින්දේ ගාල්ලේදී. පසු කලෙක හැත්තෑව දශකයේ යළිත් මේ චිිත්‍රපටයේ පිටපත් පහ හයක් මුද්‍රණය කරලා කොළඹ නිව් ඔලිම්පියා සිනමා ශාලාව මූලික කරගෙන පෙන්නුවා. ඒ පාරත් මම කොළඹදී රන්මුතු දුව නැරැඹුවා.

රන්මුතු දූවට පෙම් බඳින්න ඔබ තුළ ආශාවක් ඇති වුණේ කොහොමද?x

මම පසු කලෙක චිත්‍රපට නිෂ්පාදනයට එක් වුණා. චිත්‍රපට ගැන මගේ ලොකු ආශාවක් හිත තුළ තිබුණා. සිනමා ක්ෂේත්‍රයේ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්, චිත්‍රපට නිෂ්පාදකයන් මගේ මිත්‍රයන් වුණා. ඔවුන්ගේ ඇසුර හඳුනා ගැනීම මගේ ආශාවට ලොකු ආශිර්වාදයක් වුණා. වරක් මට බෙනඩික් දොඩම්පේගම මහත්තයා කිව්වා කවද හරි කලාත්මක චිත්‍රපටවලට පසු කාලෙක හොඳ කලක් ඇති වෙයි. ඔය වගේ දේවල් ආරක්ෂා කර ගත්තොත් ඉදිරියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එතකොටම මම සිකුරු තරුව, කුරුළු බැද්ද එහෙම මිලදී ගෙන තිබුණා. මෙවාට හොඳ ජාත්‍යන්තර වෙළෙඳ පොලක් ඇති වෙන්න පුළුවන් කියලා මා තුළ විශ්වාසයක් ඇති වුණා.

ලීස් විල්සන්

මයික් විල්සන් ඔබට මුණ ගැසෙන්නේ කොහොමද?

මයික්ව මම දැනහඳුනා ගත්තේ ටොරින්ටන්වල තිබුණ එයිටි ක්ලබ් එකේදී. ඔහු නිතර එතනට ආව ගියා. මමත් එතනට නිතර ආව ගියා. මධුවිතට ලොල් වෙලා හිටිය මයික් බොහෝ දිනවල මෙතන සුලබ පුද්ගලයෙක්.

ඒ හැඳුනුම්කම ඔබේ චිත්‍රපට නිෂ්පාදනයටත් බලපෑවද?

නෑ. එච්චර දුරට ගියේ නැහැ.

රන්මුතු දූව චිත්‍රපටය විතර ද ඔබ මයික්ගෙන් මිලදී ගත්තේ?

නෑ. ඔහුගේ ගැටවරයෝ චිත්‍රපටය, සොරුන්ගෙත් සොරු චිත්‍රපටය. මේ දෙකම කලින් ඔහුගෙන් මිලදී ගත්තා එක් චිත්‍රපටයක් රුපියල් තිස්පන් දහස ගානේ. ඒ චිත්‍රපට දෙකට විතරක් මම මයික්ට රුපියල් හැත්තෑ දහසක් ගෙව්වා.

ගැටවරයෝ, සොරුන්ගෙත් සොරු ඔබ නිෂ්පාදන අයිතිය ගත්තේ නීත්‍යානුකූලවද?

ලීස් විල්සන්

ඔව්. සියල්ල නීතිඥයන් ඉදිරිපිට ගිවිසුම් ලිපි ලේඛන ඇතිව.

අද ඔබ සතුද ඒ චිත්‍රපට?

ඇත්තටම ඒවට සිද්ධ වුණේ මේකයි. 83' ජූලි කලබල කාලේ මටත් මුදල් ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ මා ළඟ තිබුණ කුරුළු බැද්ද, සිකුරු තරුව, ගැටවරයෝ, සොරුන්ගෙත් සොරු චිත්‍රපට මම වැඩි පරිස්සමට බොරැල්ලේ රිට්ස් සිනමා ශාලා අයිතිකරු සුගතදාස මහත්තයා ළඟ තියලා මුදල් ටිකක් ඉල්ලා ගත්තා. ඔය අතරේ මට ආපු ප්‍රශ්න කීපයක් නිසා කැනඩාවට ගියා. ඔය අතරේ සුගතදාස මහත්තයා මේ චිත්‍රපට ටික තිස්ස නාගොඩවිතාන මහත්තයාට විකුණුවා.

රන්මුතු දූව ඔබ සතු වෙන්නේ කොහොමද?

දවසක් මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා හමුවීමට ගිය දවසක එතුමාගේ නිෂ්පාදන කළමනාකරු වූ රාජ් පෙරේරා මට කිව්වා මයික් විල්සන් රන්මුතුදූව විකුණන්න හදනවා. කැමැති නම් අරගන්න බලන්න කියලා. මටත් ලොකු ආශාවක් ඇති වුණා ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයේ අයිතිකරු වෙන්න. මම ඒ අදහසට කැමැති වුණා. මමයි මයික් විල්සන් අතර මේ ගනුදෙනුවේ කපුකම කළේ රාජ් පෙරේරා.

කවදද ඔබට මයික් එහි නිෂ්පාදන අයිතිය පැවරුවේ?

ඔය කාල වකවානුව වෙන විට මයික් විල්සන්, ලීස් විල්සන් යුවල දැඩි සේ මූල්‍ය අග හිඟකමින් බැටකමින් සිටියේ. ඒ හින්දම තමයි ඒ දෙපල මේ චිත්‍රපටය විකුණන්න අදහස් කරලා තිබුණෙත්. මයික්, ලීස් යුවල සමඟ මගේ නීතිඥ මහතුන් පවා කතා කරලා තමයි අවසානයේ නීත්‍යානුකූලව රන්මුතු දූව මම මිලදී ගත්තේ.

ඔබ කීයකටද එදා රන්මුතු දූව මිලදී ගත්තේ?

රුපියල් ලක්ෂ පහකට.

මයික් සතුව තිබූ රන්මුතු දූව ඔබ සතු වුණේ?

මට මතක හැටියට 1988 මැයි 17 වැනිදා තමයි අපි ගිවිසුම් අත්සන් කළේ.

අදත් ඒ නීත්‍යානුකුල ගිවිසුම් ඔබ සතුද?

රන්මුතුදූව

සියල්ල මා සතුයි. ඕනෑ මොහොතක මුල් පිටපත ඉදිරිපත් කරන්නත් පුළුවන්.

මයික්ගේ දියණිය දාමිණි අප පුවත්පතට ප්‍රකාශ කර සිටියා එක්තරා පුද්ගලයෙක් රන්මුතු දූව අයිතිය හොරාගෙන කියලා?

මම දන්න තරමින් ඒ චිත්‍රපටයේ අයිතිය මයික් විල්සන්, ලීස් විල්සන් මට නීත්‍යානුකුලව දීලයි තියෙන්නේ.

දාමිණි ප්‍රකාශ කරන එක්තරා පුද්ගලයා එතකොට ඔබ?

මම හිතන්නේ ඇය ඔය චෝදනාව මටයි එල්ල කරන්නේ.

ඇය චෝදනා කරනවා කූට ලෙස ඇගේ මවගේ පියාගේ අත්සන් ව්‍යාජ ලෙස සකසා ලියවිල්ලක් හදාගෙන ඔබ අයිතිය ප්‍රකාශ කරනවා කියා?

ඒක ඇය තුළ තියෙන වැරැදි අදහසක්. එයා ඇත්ත නොදැනයි ඔහොම කියන්නේ. මම නීතිඥයෝ ඉදිරියේ රටේ නීතියට අනුවයි එදා මේ චිත්‍රපටය මිල දී ගත්තේ. අදටත් එදා මේ ලියකියවිලිවලට අත්සන් කළ නීතිඥයෝ ජීවතුන් අතර ඉන්නවා. ඒ අයත් මම කියන දේට සාක්ෂි.

කවුද ඒ නීතිඥයෝ?

ගිවිසුම හැදුවේ ජේ්‍යෂ්ඨ නීතිඥ සෝමපාල ඉහලහේවා මහතා, සාක්ෂිකරුවන් වූයේ නීතිඥ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු මහතා. වෙන දෙයක් ඕනැ නැහැ. රාජ් පෙරේරා මහත්තයාත් අද ඉන්නවා. මේ ගනුදෙනුවේ සම්බන්ධීකරණය කළ එයාගෙන් වුණත් ඇත්ත දැනගන්න පුළුවන් මම හරි ද චෝදනා නඟන දාමිණී හරි ද කියලා.

දාමිණි කියනවා මයික් මිය යන මොහොතේ කිව්වලු රන්මුතු දූව යළිත් ගොඩ ගන්නවා නම් කළ හැක්කේ දිනේෂ් ප්‍රියසාද් නැමැත්තෙකුට කියා?

ම ඒ ගැන නම් දන්නේ නැහැ. මම මයික් මිය යන කොට ළඟ හිටියේ නැහැ. කාට ද බැරි ඕනෑ දෙයක් කියන්න.

අද වෙන කොට විල්සන් පවුලේ දරුවන් රන්මුතු දූවේ අයිතිය ලිඛිතව දිනේෂ් ප්‍රියසාද්ට පවරලලු?

ඔවුන් මයික්ගේ, ලීස් විල්සන්ගේ දරුවෝ බව ඇත්ත. ඒත් දරුවන්ටවත් එයාලා අයිතිය නොදී මට අයිතිය ලියා දුන්න එකට එයාලා කොහොමද දිනේෂ්ට අයිතිය දෙන්නේ.

 

රන්මුතුදූව චිත්‍රපටයේ අයිතිය පැවරීම පිළිබඳ ගිවිසුමේ අවසන් පිටුව

මම අහන්නේ මහත්තයෝ මගේ තාත්තා අම්මා වුණත් අපේ දෙයක් වුණත් මට ලියලා දුන්නේ නැතිව වෙන කෙනකුට විකුණුවොත් ඒකට මට අයිතිය කියන්න පුවවන්ද? මේක හතර බීරි කතාවක්නේ.

සෙරන්ඩිබ් කොම්පැණියේ නිර්මාණයක් වූ රන්මුතු දූව එහි අනෙක් අයිතිකරුවන් වු ශේෂා පලිහක්කාර, ආතර් සී. ක්ලාක් දෙදෙනාම ඔවුන්ගේ අයිතිය දිනේෂ් ප්‍රියසාද්ට පවරා දුන් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා?

ඔය කියන පුද්ගලයන්ට අයිතියක් තිබුණා නම් එයාලා ජීවතුන් අතර ඉන්න කාලයේනේ මම චිත්‍රපටය මිලදී ගත්තේ. එතකොට එයාලත් අයිතිය කියලා ඉදිරිපත් වෙනවානේ. මගේ නීතිඥ මහත්වරු හොඳට හොයලා බලලා තමයි මේ ගිවිසුම අත්සන් කළේ. එහෙම නැතුව මට කෑදරකමක් තිබුණේ නැහැ රන්මුතු දූව අයිති කර ගන්න. මම එදා මයික්ගෙන් මේක ගත්තේ නැත්නම් මයික් වෙන කාට හරි මේක විකුණයි.

රන්මුතු දූව ඩී. වී. ඩී පටයක් නිර්මාණය කළා යැයි පවතින රාවය කුමක්ද?

ශේෂා පලිහක්කාර මහත්තයා මිය ගියාට පස්සේ එයාගේ ඥාතිවරයෙක් රන්මුතු දූව ප්‍රින්ට් එකක් කොළඹ මල්වත්ත පාරේ රෙකෝඩ් බාර් එකකට විකුණලා තිබුණා. මට අරංචිය ඇවිත් පොලීසියත් සමඟ ගිහින් අපි එතනදි ඔවුන්ව අල්ලා ගත්තා. එතනදි ඒ ක්‍රියාව කළ පුද්ගලයා ඒ වෙන විටත් විශාල සී. ඩී. ප්‍රමාණයක් කරලයි තිබුණේ. එයා මට පොරොන්දු වුණා මා ඉදිරිපිට ඒ සියලු සී. ඩී. විනාශ කරන්න. එහෙම කරලා ඒ පුද්ගලයා මට මුදලින් රුපියල් ලක්ෂ තුනක් දුන්නා මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන යන්න එපා කියලා.

ටෙක්නි කලර් ස්ටුඩියෝවෙන් පවා මේ වෙන කොට රන්මුතු දූවේ ප්‍රින්ට් එකක් ගන්න අවශ්‍ය කරන වටපිටාව දිනේෂ් ප්‍රියසාද් සොයා බලා ඇති බවත් දාමිණි විල්සන් හෙළි කළා?

එංගලන්තයේ ටෙක්නි කලර් ලැබ් එකෙන් මේ සම්බන්ධයෙන් මමත් විමසීම් නම් කළා. අදටත් ඒ හැම ලියුමකම පිටපත් මා සතුයි. හැබැයි ඒ ලැබ් එකෙන් අද වෙනකන් මට දන්වල නැහැ වෙන කවුරුවත් මේකට ඇඟිලි ගහනවා කියලා. අද කාලෙ තාක්ෂණය මත කාටද බැරි ඉන්ටනෙට් එකෙන් ලැබ් එකේ නම අරගෙන ලියුම් හදා ගන්න.

ඔබට අයිතිය තියෙනවා කියන රන්මුතු දුව කවදා හරි අපේ ඉදිරි පරපුරට ඔබ උරුම කරන්න අදහසක් නැද්ද?

මට තමයි රන්මුතු දූව නීත්‍යානුකූල පූර්ණ අයිතිය තියෙන්නේ. ආයේ කතා දෙකක් නැහැ. එහෙම අයිතිය තිබුණ මේ චිත්‍රපටයේ පිටපතක් ගන්න අති විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ මුදල දැරීම මට ප්‍රශ්නයක්.

ඔබට රන්මුතු දූව ජීවත් කරන්න බැරි නම් ජීවත් කරන්න පුළුවන් කෙනෙකුට ඒ අවස්ථාව දෙන්න ඔබ කැමැති නැද්ද?

මට ලොකු ආශාවක් තිබුණා රන්මුතු දූව සිංහල පිටපත ඉංග්‍රීසියට ඩබ් කරන්න. මේ අදහස මට මුලින්ම කිව්වේ ගාමිණී ෆොන්සේකා මහත්තයා. අපි දෙන්නා මොස්කව් චිත්‍රපට උළෙලට ගිය වෙලාවේ ගාමිණී මේ අදහස මගේ ඔලුවට දැම්මා.

 

මයික් විල්සන් චිත්‍රපටයේ අයිතිය පැවරීම පිළිබඳ ටෙක්නි කලර් ආයතනයට යොමු කළ ලිපිය

රන්මුතු දූව කෙසේ වෙතත් මේ ලියුම් කඩදාසි මත අපේ රටට, ජාතියට, අපේ සිනමාවට අපේම වූ මුල්ම වර්ණ චිත්‍රපටය අහිමි වෙනවා නේද?

කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මහ ආත්මාර්ථකාමි පුද්ගලයෙක් කියලා. එහෙම කෙනෙක් නෙමේ මම. මම තරම් මේ කලා ක්ෂේත්‍රයේ බැට කාපු පුද්ගලයෙක් නැති තරම්. අද ඔය රන්මුතු දූවට අයිතිවාසිකම් කිය කියා ඉව අල්ලන්නේ රන්මුතු දූවට තියෙන ආදරේට නෙමේ. නැති අයිතිය ඇති අයිතිය කරගෙන ඔය එළියට එන්න හදන පුද්ගලයන්ගේ කැරැට්ටුව මම හොඳට දන්නවා. මම කීප විටක් චිත්‍රපට සංස්ථාව එක්ක එකතු වෙලා රන්මුතු දූව ජීවත් කරන්න උත්සාහ කළා. ඒත් සංස්ථාව ඇතුළෙන්ම මට බාධා කිරීම් කළා.

කවුද අප්පේ ඒ නොහොබිනා වැඩේට මුල පිරුවේ?

අශෝක සේරසිංහ මහත්තයා සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලේ සංස්ථාව සතුව තියෙන රන්මුතු දූව ප්‍රින්ට් කීපයක කලර් මැච් කරලා බැලීමේ කටයුත්ත ටෙක්නිකලර් ලැබ් එකට ගෙන යාමට මම ඉල්ලීමක් කළා. ඒත් ඒ ඉල්ලීමට සභාපති මුනිවත රකින කොට ඊටත් ඉහළින් සංස්ථාවේ ගෑනු පරානයක් මේකට බාල්දි පෙරලුවා. ගෑනු පරානේ බාල්දි පෙරලන කොට රන්මුතු දූව ආයෙත් හේදිලා ගියා.

ඔබට විශ්වාසද සංස්ථාව සතුව රන්මුතු දූව පිටපත් තියෙනවා කියලා?

මට ඇතුළෙන්ම තමයි විශ්වාසවන්තව තොරතුරු ලැබුණේ.

මේ රන්මුතු දූව අපි එක්වෙලා ගොඩ ගමුකෝ?

එක පයින් මමත් කැමැතියි. ජාතිය වෙනුවෙන්, අපේ සිනමාව වෙනුවෙන් මම ඒ දේට කැමැතියි. රන්මුතු දූව ජාතික වස්තුවක් කියන පදනමෙන් මම කැමැතියි මේ චිත්‍රපටයේ අයිතිය වුණත් රාජ්‍ය මැදිහත්වීමක් මත නීත්‍යානුකූලව පවරන්න. හැබැයි කවුරුවත් එක්ක මගෙ ගනුදෙනු නැහැ. අද රන්මුතු දූවට වෙන්න යන්නේ නංගි පෙන්නලා අක්ක දෙන්න යන වැඩක්. රන්මුතු දූව ගැන තැන තැන කිය කිය කිඹුල් කඳුළු හෙලනවා. හැබැයි හිතේ තියෙන්නේ වෙන අරමුණක්.

මයික් විල්සන් චිත්‍රපටයේ අයිතිය පැවරීම පිළිබඳ සංස්ථාවට යොමු කළ ලිපිය

මටත් ආරංචියි ලොකු ලොකු උප්පරවැට්ටි දානවා රන්මුතුදූව සොරා ගන්න කියලා.

අද වෙන කොට මයික්ගේ දියණිය ගොඩක් අසරණ වෙලා කියලා ඇය ප්‍රකාශ කර සිටියා. කැමති නැද්ද ඇය වෙනුවෙන් කියලා හිතලවත් මේ චිත්‍රපටය යළිත් ප්‍රේක්ෂකයන් අතරට ගෙනඑන්න. මේ චෝදනා ගැන කතා කොට එකඟතාවයකට ආවොත්?

ඇය මට හොරෙක් කියා චෝදනා කරනවා නම් ඒක වැරැදියි. මම එයාගේ අම්මාගෙන්වත් තාත්තාගෙන්වත් බලෙන් රන්මුතු දූව ගත්තේ නැහැ. එයාලා මට වික්කා. මම මයික්ගේ, ලීස්ගේ අත්සන හොරට ගහගෙන කියලා චෝදනා කරනවා නම් ඒක වරැදියි. මම විතරක් නෙමේ මේ ගිවිසුම අත්සන් කරලා මට අයිතිය පවරන තැන මා කලින් කිව්ව නීතිඥයොත් හිටියා. ඒ අය ඉදිරිපිටම තමයි මේ ගනුදෙනුව සිද්ධ වුණේ. මට කොච්චර දෝෂාරෝපණය එල්ල කළත් ඇයට වුණත් කළ හැකි දෙයක් නැහැ රන්මුතු දූව වෙනුවෙන්. මම කැමැතියි ඇය වුණත් මාත් සමඟ විවෘතව කතා කරලා මේ සම්බන්ධයෙන් එකඟතාවයකට එනවා නම්.

ඔබ අකෘර්තඥ මිනිහෙක් නොවෙයි කියලා ද පැවසුවේ?

මම ඒ කාලේ මයික් ස්වාමි ශිවකල්කි නමින් කතරගම ඉන්න කොට එයාට එහෙන් ඉඩමක් පවා අරන් දුන්නා. ඒ පිළිබඳ ලිපි ලේඛනත් මා ළඟ තියෙනවා. ටී. පී. සිරියාවතී කියල තැනැත්තියකගෙන් තමයි මම මේ ඉඩම මිලදී ගත්තේ. ඒ වගේ පරිත්‍යාගයක් පවා මම පසුවත් මයික් වෙනුවෙන් කළා.

ඔබම යෝජනා කරන්නකෝ රන්මුතු දූව යළිත් තිරගත කිරිමේ වැඩ පිළිවෙලක්?

අපි මේක ජාතික වැඩ පිළිවෙලක් කියලා හිතමු. එංගලන්තය වගේ රටක කලර් ලැබ එකකින් මාස්ටර් ප්‍රින්ට් එකක් ගන්න විශාල මුදලක් වැය වෙනවා. අපි කාටත් මේ දේ තනිව කරන්න බැරි නිසා සිනමාවට ආදරය කරන බොහෝ ධනවතුන් ඇති. ඒ අයත් හවුල් කරගෙන ලැබ් එකේ මුදල සොයාගෙන අවංක හදවතින් මේ චිත්‍රපටය අපි ආයෙත් මතු පරපුරට උරුම කරමු. මම ඒ සඳහා නීත්‍යානුකූල අයිතිය දෙන්නම්. මේ සඳහා රජයක් වශයෙන් ජාතික වැඩ පිළිවෙලක් ආරම්භ කරමු. එතකොට එංගලන්ත රජයෙනුත් උපකාරයක් ගන්න පුළුවන්. මටත් ඕනේ මටයි අයිතිය කිය කිය ඉන්න නෙමේ. රන්මුතුදූව සිංහල සිනමාවට උරුම කරන්නයි.