වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තායි දුවයි තරගයක

තාත්තායි දුවයි තරගයක

පසුගිය සති අන්තය ඉන්දීය සිනමාවට කාර්ය බහුල සතියක් වුණා. කතාබහට ලක් වූ සිනමා නිර්මාණ දෙකක්ම එකම දිනයේ තිරගත වීම ආරම්භ කළ නිසා බොලිවුඩයට සේම කොලිවුඩයටද පෙම් බැඳි රසික රසිකාවන් චිත්‍රපට බලන්න සති අන්තය වෙන් කරලා තිබුණා. මේ චිත්‍රපට දෙකම හේතු කිහිපයක් නිසාම විශේෂ වුණා. ඒ අතර තරඟයක් ඇති වුණා කිව්වත් වැරදි නැහැ.

ක්‍රිෂ් අධ්‍යක්ෂණය කළ Gabbar is Back  චිත්‍රපටය වගේම රමේෂ් අරවින්ද් අධ්‍යක්ෂණය කළ Uttama Villain චිත්‍රපටයත් පසුගිය පළමු වැනිදා සිට තිරගත වෙනවා. Uttama Villain චිත්‍රපටය කමල් හසන්ගේ රංගනයෙන් ඔපවත් වුණා. Gabbar is Back චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් සමඟින් කමල් හසන්ගේ වැඩිමහල් දියණිය සෲති හසන් රංගනයෙන් දායක වුණා. හැමෝම බලා සිටියේ මේ චිත්‍රපට දෙකේ සාර්ථකත්වය කෙසේ වේවිද යන්නයි.

කොහොම වුණත් සති අන්තය ඒ සාර්ථකත්වය පෙන්නුම් කළේ Gabbar is Back චිත්‍රපටය වාර්තාගත ආදායමක් තබමින්. ‘සති අන්තයේ චිත්‍රපට ආදායම් දෙස බැලුවොත් බොලිවුඩයේ නියඟය හමාර වී ඇති බව දැන ගන්න පුළුවන්.’ විචාරක අදහස් පළ වුණේ මේ අයුරින්. Gabbar is Back චිත්‍රපටය පළමු දිනයේ පමණක් ඉන්දිය රුපියල් කෝටි 13ක් වාර්තා කළා. දින තුනකදී එය වාර්තා කළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 39ක්. එය Detective Byomkesh Bakshy  වැනි චිත්‍රපටයක් සති තුනකදී ඉපැයූ ආදායමට එය සමාන වෙනවා. ඒ වගේම මේ වසරේ දැනට ඉහළම සති අන්ත ආදායම ලද චිත්‍රපටයට හිමි තැන සිටින්නේ Gabbar is Back චිත්‍රපටය යි.