වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




කාට කාටත් මේක හොඳ පාඩමක්

කාට කාටත් මේක හොඳ පාඩමක්

ගින්දරී ගැලවීම ගැන උදයකාන්තගෙන් පණිවිඩයක්

පසුගිය සතියේ ගින්දරි ගලවන්න ස්පන්දන නඩු දමයි යන මැයෙන් පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ අදහස් පළ කිරීමක් ගින්දරී අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය විසින් අපට ලියා එවන ලදී. මේ එම සම්පූර්ණ ලිපියයි.

'ගින්දරී ගලවන්න ස්පන්දන නඩු දමයි' යන හෙඩිම යටතේ ගිය සතියේ සරසවිය පත්‍රයේ පළ කර තිබූ ලිපිය පිළිබඳව 'ගින්දරී' චිත්‍රපටයේ නිෂ්පාදක, අධ්‍යක්ෂවරයා වශයෙන් පාඨකයින් හා ප්‍රේක්ෂකයින් වෙත නිවැරැදි අවබෝධයක් ලබාදීමේ අදහසින් මෙසේ ලියා එවමි.

චිත්‍රපට ප්‍රදර්ශනය කරන මෙරට ඇති සිනමා මණ්ඩල සංඛ්‍යාව පහකි. එනම් ඊ.ඒ.පී. මණ්ඩලය, සිනමා එන්ටර්ටේන්මන්ට් හෙවත් සී.ඊ.එල්. මණ්ඩලය (මෙම මණ්ඩලය සැකසී ඇත්තේ සිනමාස්, සිලෝන් තියටර්ස් සහ ලිබර්ටි සිනමාස් යන සිනමා සමාගම් තුන එකතුවෙනි) රිද්මා මණ්ඩලය (චිත්‍රපට සංස්ථාවට අයත්ය) මූවි ප්‍රොඩියුසර්ස් ඇන්ඩ් ඉම්පෝටර්ස් හෙවත් එම්.පී.අයි. මණ්ඩලය හා ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් හෙවත් එල්.එෆ්.ඩී. මණ්ඩලයයි. මෙහිදී ඊඒපී මණ්ඩලය තනිවත් සී.ඊ.එල්. හා රිද්මා මණ්ඩල ඒකාබද්ධවත්, එම්.පී.අයි. හා එල්.එෆ්.ඩී. මණ්ඩල ඒකාබද්ධවත් සිංහල චිත්‍රපට බෙදහරිනු ලබති. චිත්‍රපටයක් බෙදා හැරීම බාර ගන්නා මණ්ඩලයට චිත්‍රපටයේ ප්‍රදර්ශන ආදායමෙන් සියයට දහයක මුදලක් ලැබේ. එහෙයින් හොඳින් දුවන චිත්‍රපට ලබා ගැනීම සඳහා මෙම සියලු මණ්ඩල අතර ඇත්තේ දැඩි තරඟකාරී බවකි.

දැන් අපි ස්පන්දන හා ගින්දරී ගැටළුව දෙසට හැරෙමු. 'අපේ යාළු මාළු' චිත්‍රපටය බෙදා හරිනු ලැබුවේ සී.ඊ.එල්. මණ්ඩලය විසින්. එහෙයින් ඊළඟ චිත්‍රපටයේ ප්‍රදර්ශන වාරය හිමිව තිබුණේ ඒකාබද්ධ අනික් මණ්ඩලය වූ රිද්මා මණ්ඩලයටයි. රිද්මා මණ්ඩලය ඊළඟ ප්‍රදර්ශනය සඳහා සූදානම් කර තිබුණේ 'ගින්දරී' චිත්‍රපටයයි. සිංහල අවුරුදු සමය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සුදුසු කාලයක් නොවන හෙයින් අනුමාන ලෙස අපේ‍්‍රල් 17 වනදා සිට ගින්දරී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එහි නිෂ්පාදක වන මා සමඟ රිද්මා මණ්ඩලය තීරණය ගෙන තිබුණි. එහෙත් අපේ යාළු මාළු චිත්‍රපටයේ ප්‍රදර්ශනයෙන් බලාපොරොත්තු වූ ප්‍රේක්ෂක ඉලක්ක සපුරා ගත නොහැකි වූ හෙයින් සී.ඊ.එල්. හා රිද්මා මණ්ඩල සිනමා ශාලාවලට අප්‍රේල් 17 දා දක්වා මාසයක පමණ රික්තක කාලයක් උදා විය. මෙයට කිසියම් සහනදායී විසඳුමක් ලෙස රිද්මා මණ්ඩලයට අයත් සිනමා ශාලාවලට 'සංජානා' චිත්‍රපටය ද සීඊඑල් මණ්ඩලයට අයත් සිනමා ශාලාවලට 'ස්පන්දන' චිත්‍රපටය ද බෙදා හරිනු ලැබිණ. මා දන්නා අයුරින් එම චිත්‍රපට බෙදා හැර ඇත්තේ අප්‍රේල් 17 වනදා 'ගින්දරී' චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන බවට ස්පන්දන හා සංජානා නිෂ්පාදකයින්ට දැනුම්දීමෙන් අනතුරුව හා ඔවුන්ගේ එකඟතාවය මතය. එම චිත්‍රපට දෙක ප්‍රදර්ශනය ආරම්භයේදීම සිනමාහල් හිමියන්ට ප්‍රේක්ෂකයින්ගේ පැමිණීම පිළිබඳ ගැටළු සහගත තත්ත්වයන් උදා විය. අවුරුදු සමය ද එයට බොහෝ සෙයින් බලපෑවේය. සංජානා චිත්‍රපටය ඉවත්වීමෙන් හිස්වුණු සිනමා ශාලා කිහිපයක් ද ස්පන්දන චිත්‍රපටය සඳහා ලැබිණ.

අවුරුදු සමයේ බොහෝ සිනමා ශාලා වසා දමන හෙයින් අවුරුද්දෙන් පසු ඕනෑම චිත්‍රපටයක් සඳහා සිනමා ශාලා වෙත වැඩි ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙති. එම කාරණා හේතුවෙන් ද ස්පන්දන චිත්‍රපටයේ ආදායමේ කිසියම් වර්ධනයක් සිදු විය. නමුත් එම වර්ධනයත් සිනමා ශාලාවත් පවත්වාගෙන යාමට චිත්‍රපටය රදවා ගත හැකි අවම ආදායම් මට්ටම ඉක්මවා යාමට සමත් නොවිණ.

සිනමා ශාලාවකින් චිත්‍රපටයක් ඉවත් කිරීමට දෛනික ආදායම පදනම් නොවන අතර චිත්‍රපටයක් අවම වශයෙන් දින හතළිහක් ප්‍රදර්ශනය කළ යුතු බවට හෝ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන සියළුම සිනමා ශාලාවල දෛනික ආදායම රුපියල් එක් ලක්ෂ පනස්දාහකට වඩා වැඩි නම් එකී චිත්‍රපටය සිනමාහලින් ඉවත් කළ නොහැකිය යනුවෙන් ඉදිරිපත් කරන සියළුම කාරණා සත්‍යයෙන් තොරය.

සිනමා ශාලාවකට චිත්‍රපටයක් රඳවා ගත හැකි අවම කාලය සති දෙකකි. එනම් දින දාහතරකි. දින දාහතරින් පසු සම්ප්‍රවර්තනීය සංඛ්‍යාව අඩු නම් චිත්‍රපටය සිනමා ශාලාවෙන් ඉවත් කිරීමෙ හැකියාව සිනමා ශාලා හිමියාට ලැබේ. සම්ප්‍රවර්තනීය සංඛ්‍යාව යනු සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා හා සඳුදා යන දින හතර තුළ සිනමා ශාලාවේ ආසන සංඛ්‍යාවට සපේක්ෂව ගණනය කෙරෙන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රමාණයයි. මෙම සංඛ්‍යාව ආසන සංඛ්‍යාව අනුව සිනමා ශාලාවෙන් ශාලාවට වෙනස් වේ. සම්ප්‍රවර්තනීය සංඛ්‍යාව අඩු වූ විට ප්‍රදර්ශනය වෙමින් පවතින චිත්‍රපටය සිනමා ශාලාවෙන් ඉවත් කිරීමට නම් එම සිනමා ශාලාවට අදාල ප්‍රදර්ශන මණ්ඩලවලට දැනුම් දිය යුතුය. චිත්‍රපටයක් සිනමා ශාලාවෙන් ඉවත් කිරීමේි අවසන් තීරණය ගත හැක්කේ ප්‍රදර්ශන මණ්ඩලවලටය.

අඩු ප්‍රේක්ෂක සහභාගිත්වය හා අතරමැදි කාලය පිළිබඳ එකඟතාවය මත සංජානා චිත්‍රපටය එය ප්‍රදර්ශනය කළ සිනමා ශාලාවලින් ඉවත් කර ගන්නා ලද නමුත් ස්පන්දන චිත්‍රපටය තවදුරටත් ප්‍රදර්ශනය කරන ලෙසට අවසන් මොහොතේ ඉල්ලීම් කෙරිණ. මේ වන විට ගින්දරී චිත්‍රපටය අපේ‍්‍රල් 17 වනදා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන බවට සියළු ප්‍රචාරක කටයුතු අරඹා තිබුණි. නමුත් ස්පන්දන ප්‍රදර්ශකයින්ගේ ඉල්ලීම සලකා තවත් සතියක කාලයක් ඊට ඉඩ ලබාදීමට රිද්මා මණ්ඩලය එකඟ විය. ආදායමේ කිසියම් වර්ධනයක් තිබුණ ද සිනමා ශාලාවට සරිලන අවම ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉක්මවා යාමට ස්පන්දන චිත්‍රපටය ප්‍රදර්ශනය කළ සිනමාහල් සමත් නොවූ හෙයින් එය ප්‍රදර්ශනය කරන ලද සී.ඊ.එල්. මණ්ඩලයේ හා රිද්මා මණ්ඩලයේ අනෙකුත් සිනමා ශාලාවල අප්‍රේල් 24 දා සිට ගින්දරී ප්‍රදර්ශනය ආරම්භ කෙරිණ. නමුත් එදිනම ස්පන්දන චිත්‍රපටයේ ප්‍රදර්ශනය අත්හිටුවමින් උසාවියෙන් වාරණ නියෝගයක් ගනු ලැබිණ. එම වාරණ නියෝගය ලබා දී ඇත්තේ ඊට අදාල සිනමා මණ්ඩලවල අනුදැනුමකින් තොරව ඒක පාර්ශවීය කරුණු දැක්වීම් පමණක් සලකා බලාය.

වාරණ නියෝගය නිසා එතෙක් ස්පන්දන චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තිබු කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලා දහයකින් ගින්දරී චිත්‍රපටය ඉවත් කර ගන්නට සිදු විය. එහෙත් මේ වන විට ස්පන්දන චිත්‍රපටයේ නිෂ්පාදක රිද්මා හා සීඊඑල් මණ්ඩල සමඟ එකඟතාවයකට පැමිණ ගින්දරී චිත්‍රපටය යළිත් ප්‍රදර්ශනයට අවසර ලබා දී ඇත.

ගැටළුව පැන නැඟුණේ එකඟතා හා අනෙකුත් අවැසි කාරණා පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසාය. සිනමා කර්මාන්තයේ පැවැත්ම උදෙසා නිෂ්පාදකවරුන් මෙන්ම සිනමා මණ්ඩල හා සිනමා ශාලා හිමියන්ගේ අනේ‍යීන්‍ය අවබෝධය හා සහයෝගය ඉතා වැදගත්ය. කෙසේ වෙතත් ස්පන්දන හා ගින්දරී පිළිබඳ ගැටළුව ඉදිරි චිත්‍රපට ප්‍රදර්ශන කටයුතු උදෙසා හොඳ ආදර්ශයක් මෙන්ම පාඩමකි.